(අ)හිමි සිහින -203

ඔබ මා සමඟ දින දෙසිය ගණනක් ඇවිද ආවා.කුඩා කෙල්ලක නොදුටු තරුණයෙකුට ආදර හසුනක් ලියූ දිනයේ සිට ඔබ ඒ ආදර කතාව ඔබේ කර ගත්තා.අනුරාධා ඇගේ ආදර කතාව දිනා ගත් හැටි අසන්නට මඟ බලා සිටි ඔබට අද ලියන්නට මට වචන නැහැ.හඬ පටයක් වෙබ් අඩවිය වෙනුවෙන් උඩුගත කළ හැකි නම් ජීවිතය ම අහිමි වූ ගැහැනියක් ඉකිලමින් හඬන හඬ පමණක් ඔබට ඇසේවි.

දෙසැම්බරය කොහොමත් සීතලයි.ඒ සීතල අස්සේ දෙසැම්බරය ඇරඹී දින අටක් ගිය තැන මට උදේ දුරකථන ඇමතුමක් ආවා.ඒ සුධාරක ලඟ සේවය කල කනිෂ්ඨ නිලධාරියෙකුගෙන්.

“මැඩම් good morning.මේ වෙලාවේ කතාකරන්න පුලුවන්ද?”

ඔහු සැලෙන කටහඬ පාලනයට ලොකු උත්සාහයක් දරමින් සිටියා.

“ඔව් පුතා කියන්න.”

මා එසේ කියද්දී ඔහු ලොකු හුස්මක් පහත දැම්මා.

“මැඩම් වගේම චූටි බබා හොඳින් ඇති කියලා හිතනවා. මැඩම් සර් වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කළා ඒක අපි හැමෝම දන්නවා.සර් මැඩම එක්කයි බබා එක්කයි තමයි සතුටින් හිටියේ”

සමහර වෙලාවට සමහර දේවල් කියන්නට පෙර අපට දැනෙනවා.මට සිතට ආ සිතුවිල්ල වචනයෙන් නොඇසේවා කියා මා ප්‍රාර්ථනා කළා.ඒ නිසා මම කතා කරන්නට තීරණය කළා.

“ඒක ඕගොල්ලෝ දැනගෙන සිටීම ගැන මට සතුටුයි පුතා.ඒත් දැනගන්න ඕන මිනිස්සු ඒක දැනගෙන හිටියේ නෑ.සර්ට සිහිය තිබුණා නම් ඔහොම වෙන්නෙ නෑ.”

නැවතත් දිගු සුසුමක් සමඟ ඔහු කතා කරන්නට වුණා.

“ඔව් මැඩම්. සර් ට කතාකරගන්න බැරි වුණු එක තමයි ඔක්කොටම මුල.එහෙම උනානම් ඔය මිනිස්සු කව්රුවත් ලඟට වත් එන්නෙ නෑ”

සැබවින්ම සුධාරක ආදරය කළ සහ විශ්වාස කළ කිසිවෙක්ට ඔහු ගිලන් වූ කළ ඔහු අසල රැඳෙන්නට ඔහුගේ පවුලේ අය හා දිල්හානි ඉඩ දුන්නේ නැහැ.ඒ නිසාම සුධාරක පිලිකුල් කළ් ඔහු ඈත්කර තැබූ මිනිසුන් තමයි ඔහු වටා සිටියේ.දිල්හානි වෙනුවෙන් කතාකරන සුලු පිරිසට අයත්ව සිටියේ සුධාරකගේ ජන්ම වෛරක්කාරයන්.සුධාරක ල්ගේ කඩා වැටීම සහ පරිහානිය පැතූ අය දිල්හානිගේ පැත්තටත් සුධාරකට ආදරය කළ ඔහු නිර්දෝෂී මිනිසෙකු බව දැන හුන් අය මගේ පැත්තටත් බෙදී සිටියා.ඒ අතරම අපි කිසිවෙක් ඔවුන්ට කිසිවක් නොකරම අප සමග කුලියට අමනාපකම් ගොඩනගාගෙන හුන් පිරිසක් ද හිටියා.

මට කතාකරමින් සිටි කනිෂ්ඨ නිලධාරියා සුධාරක ,දිල්හානි මෙන්ම මා ද හොඳින් දැන සිටි අයෙක්. මා මුණගැසෙන්නටත් පෙර දිල්හානි කළ කී දෑ ඔහු හොඳින්ම දැන සිටියා. එයින් එකක් මා ඔබට පවසන්නම්.

මා සමග නැවත එක්වන්නටත් කලකට පෙර දිල්හානි  මේ නිලධාරියා අත යෝගට් කෝප්පයක දැමූ මස් කැබැල්ලක් කොලඹ සිට දියතලාවට යවා තිබෙනවා.ඒ ගැන ඇය කියා තිබුණේ එය සුධාරකට ගුණදායක බවත් ඒ නිසාම කෝකියන් ලවා ඔහුට එය පිස කෑමට දෙන ලෙසටත්.කොළඹ සිට ඒ තරම් දුරක් ගෙවා තම සැමියාට ගුණ දෙයක් යවන්නේ නම් එය යෝගට් කෝප්පයක ප්‍රමාණයේ මස් කැබැල්ලක් වීම ගැන සැක සිතූ ඒ නිලධාරියා එය සුධාරකට පවසා තිබෙනවා. දිල්හානිගේ වශී බන්ධන කොඩිවින ගැන දැන සිටි සුධාරක එය විසිකර දමන ලෙසත් දිල්හානි ඇසුවහොත් එය තමාට කන්නට දුන් බව පවසන ලෙසත් පවසා තිබෙනවා.ඒ බව නොදත් දිල්හානි මේ කනිෂ්ඨ නිලධාරියා තමන්ට හිතවත් යැයි සිතාගෙන කිහිපවරක් එසේ ඔහු අත යෝගට් කෝප්පයක තරම මස් කැබලි සුධාරකට යවා තිබෙනවා.නමුත් ඒ සියල්ලටම සිදුවී ඇත්තේ පෙර වූ දෙයමයි.

මේ දේවල් හේතුවෙන් දිල්හානිව පිලිකුල් කළ ඔවුන් මාත් සුධාරකත් අතර වූ ආදරයට හරි හෝ වැරදි බව නොසලකා හැකි පමණ උදව් උපකාර කළා.සුධාරක ජීවිතයක් ගෙව්වේ මා සමග බව ඇස්පනාපිට දුටුවන් කිසිදා අපට දොස් කීවේ නැහැ. 

මඳ වේලාවක් මා සමග කතාකරමින් හුන් මේ කනිෂ්ඨ නිලධාරියා මෙසේ මේ හිමිදිරියේ ම මා අමතන්නේ ඇයි දැයි මට විශේෂයෙන් නොසිතුණේ ඔවුන් අප දෙදනාටම ඉතා හිතවත් වූ නිලධාරීන් වූ නිසාමයි.සිතට දැනෙන දෙය පිළිගන්නට මට ඕනෑ වුයේ ද නෑ.

“කුමාර දැන් වෙලාව කීයද?මම අර සර්ට පත්තුකරන පහන තියලා ඇවිත් ආයේ නිදාගත්තා.අදත් කරන්න වැඩ කීපයක් තියෙනවා සර් ට සිංහල වෙදකම් කරන්න හරි බලන්න ඕනේ. සර්ව හොඳකරගන්න අරුන්ට උවමනාවක් නැහැ”

මම ඔහුට එසේ පැවසුවා.

” ඒක හැමෝම දන්නවා මැඩම්.හිටපු විදියට සර්ගේ බාරකාරත්වය මැඩම්ටම තිබුණා නම් අපේ සර් බේරෙනවා. මැඩම් ඔයා සර් වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කළා.ගෑනියක් හැටියට පිරිමි අපිටවත් කරන්න බැරිතරම් දේවල් මැඩම් කළා.”

එසේ පැවසූ ඔහුට ඉකි ගැසෙන්නට පටන් ගත්තා.මගේ අත පපුව මතට ගිය බවක් මට මතකයේ තිබෙනවා

“දැන් ඉතින් ඒවා මතක්කරලා කොහොමහරි හිත හදාගන්න මැඩම්. අපේ සර් දැන් විනාඩි කීපයකට කලින් නැති වුණා” 

ඔහු එපමණක් පවසා ඉකි ගසමින් අඬන්නට ගත්තා.

“ආ…….”

මට කියාගන්නට හැකිවූයේ එපමණයි.රටක නිදහස දිනාදුන් සිය හමුදා ජීවිතයම ඉදිරිපෙළ සටන් මෙහෙයවූ අභීත රණවිරුවෙකු සේ වර්ගවාදී යුද්ධයක් දිනාගෙන ආ මගේ සංසාර ගමන් සගයා අනේක දුක්ඛ දෝමනස්සයන් විඳිමින් තමන්ගේම උන්ගේ කූඨ සැලසුම්වල හිරකාරයෙකු වී ආදරයක උණුසුමක් හෝ නොලැබ උසුලමින් සිටි ඒ වේදනා ගොන්නට තිත තබමින් මාස අටක් හෝ තනිව සටන් කර රැකගන්නට උත්සාහ කළ තම දිවි සැරියට තිත තබා තිබුණා.   

ජීවිතයේ වැටි වැටී නැගිට ආ කිසිදු තැනකදීවත් කඩා නොවැටුණු මගේ හදවත කැඩී බිඳී සුණුවිසුණු වී යනු මා ආයාසයෙන් දරාගෙන සිටියත් මගේ ඇස් එසේ දරාගෙන ඉන්නට එකඟ වුණේ නෑ.මහා හඬින් මා හැඬූ හඬ මේ නිවස පුරා දෝංකාර දිදී මට ම ඇසුණා.ඒත් ඒ දුක වේදනාව කඳුලුවලට නවතන්නට හැකියාවක් තිබුණේ නෑ.අදටත් මේ ලියන මොහොතේත් ඔබට මේ කතාව ලියූ සෑම දිනකමත් මා ඔබට ලියුවේ මුහුණ පුරා ඇද හැලෙන කඳුලු ගංගාවක් පිසදමමින් බව ඔබ නොදන්නවා ඇති.ඒ ඔබ කතාවක් ලෙස කියවූවාට මේ කතාවේ අවසානය ඔබ නොදැන සිටියාට එහි අවසානය මගේ හදවත දන්නා නිසා.

පසුගිය කොටස් බොහොමයක ඔබේ comments ගොඩේ ඔබ තබා තිබූ අදහස් ඒ වේදනාව මට තවත් දැන්වූවා.

“අනේ සුධාරකට සනීප වුණා නේද?

“අපිට තවත් ඉවසන්න බැහැ.ඔය දෙන්නා ආයේ එකතු  වුණා නේද”

“අනේ නපුරක් නම් වෙන්න එපා”

ඒවා දකිනවිට පපුව පිච්චිලා ගිය අන්දම මට දැනුණා. ඒ පැතුම් එසේම ඉටු වූයේ නම් අද මේ කියවන ඔබේ ඇස අගත් ඇති ඔය කඳුලු බින්දුව ඔබටත් පිසදමන්නට සිදු නොවේවි.  

ඒ නිලධාරියාට ස්තූතිකර ඇමතුම විසන්ධි කළ මා පෙරදාක සුධාරක සමග ආදරයෙන් තුරුලු වී හුන් ඒ සයනය මත හිඳ මෙතෙක් කලක් මගේ කොට්ටය යට තබාගෙන තුරුලුකරගෙන නිදාගත් සුධාරකගේ ඇඳුමේ මුහුණ හොවාගෙන ජීවිතයේ කිසිදාක නොහැඬූ තරම් හඬාවැටුණා.

හිතවත් මිතුරියනි,

අල්පයක් තරමේ කියන්නට දේ ඇති මේ කතාව මෙතැනින් එහා අද කියන්නට මට ධෛර්යයක් නෑ.ඔබ දහස් දෙනෙකු මේ කතාව කියවන බව SmartLady කණ්ඩායම මා සමඟ පැවසුවා.ඔබ සමඟ අහිමි සිහිනයක් බෙදා ගත් ගැහැනියකට කවරදාටත් වඩා ඔබේ වචන අද අවශ්‍යයි.

කමෙන්ට් එකක් තබා අහිමිව ගිය සිහිනය වෙනුවෙන් ඔබේ අදහස තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles