ඔබෙ ආදරෙන් මා දැවේ – 16

0
377

ජාන්වි සැබවින්ම සිටියේ එවැනිම අතීත ආදර කතාවක වේදනාවකට තම සිතේ හොල්මන් කරන්නට ඉඩ දීය. මලිත්ගේ අවසාන තීරණය මේ විවාහය නැමැති මිනී පෙට්ටියේ පියනට ගසන්නට තිබූ අවසාන ඇණය බව ජාන්වි ඒ වදන් මලිත්ගේ මුවින් පිටවෙද්දී දැනගෙන සිටියාය. ඒ මොහොතේ ඇයගේ දෙනෙතින් ගලන කඳුළු ඇයගේ වේදනාවේ ප්‍රකාශනයක් පමණක් නොව, අවසන් වූ පරිච්ඡේදයකට දෙනු ලබන සමුගැනීමක්ද විය. මලිත් තමන්ගේ වෘත්තිය සහ ඇය අතරේ තමන්ට වඩා වැදගත් දේ තෝරාගත් බව ඇයට වැටහුණි. එහෙත් ඒ වනාහී හිත වඩ වඩාත් රිදවන්නට හේතු වූ වැටහීමකි.

එහෙත් ජාන්වි උන්නේ තීරණයක් ගෙනය. තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාස කරගත යුතු නැති බව ජාන්වි දැනගෙන උන්නාය. ක්කසාද වීම යනු කාන්තාවකට සමාජයේ බොහෝ අපහසුතා ඇති කළ හැකි තීරණයක් බව ඇය දැන සිටියද, තමන්ව නොපිළිගන්නා, තමන්ගේ සතුට නොසලකන තැනක තවදුරටත් රැඳෙන්නට ජාන්විට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැත. 

“දික්කසාද වෙච්ච ගෑනියෙක්ට, මේ තාම තරුණ කෙල්ලෙක්ට මේ සමාජෙ පිරිමියෙක්ගෙ හෙවණැල්ලක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ?” කියා අම්මා අහද්දි ජාන්වි වෙනදා මෙන් හඬන්න හිතුවේ නැත. අනෙක් අතට හඬා වැලපුණු දවස් කීපෙකට පස්සේ හඬන්න තරම් කඳුලු ජාන්විගෙ ඇස් අස්සේ තිබුණෙ නැත.

“අනික සමාජෙ පිරිමි මෙයා දිහාව බැලුවෙ නැතත් මෙයා ඇස් දෙක වහන් ඉඳී කියලද අපෙ මහත්තයා හිතන්නේ? මහත්තයා නොදන්නවා නෙවිනෙ දෝණියැන්දගෙ තරම. මං ඒත් හරි බයෙන් උන්නෙ කැම්පස් එකේදි කා එක්ක හරි පැටලිලා ඉගෙනීම කඩාකප්පල් කරගනිවි කියලා. අන්තිමේ මොකද්ද උනේ?” කියාගෙන මනෝරමා රැයේ නින්දක් නැතුව අන්ධකාරයෙ ඇඳේ දිගාවී වැළපෙද්දිත් අනිල්ට කරන්න පුලුවන් වෙච්ච එකම දේ මහ හයියෙන් හුස්මක් පිටකර හැර මනෝරමාට උත්තර දෙන එක විතරය.

“වෙච්ච දේවල් වෙනස් කරන්නත් බෑ. වෙන්න තියෙන දේවල් වෙනස් කරන්නත් අපිට බෑ මනෝ. එහෙම එකේ අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ එක දෙයයි. ඒ අපේ දරුවා ඊලඟට කරන්න යන දේ මොකද්ද, අන්න ඒක බලලා ඒකෙ ගුණදොස් මේ දරුවට කියලා ඉන්න තැනින් පොඩ්ඩක් හරි ගොඩ එන්න උදව් කරන එක විතරයි”

ජාන්විගේ හොඳම යාලුවෙක් වෙච්ච මංජලී උන්නේ ඒ දවස්වල ලංකාවට ඇවිත් ය. විශ්ව විද්‍යාලයේ ඉගෙනීම අවසන් වුන වගා ශිෂ්‍යත්වයක් ලැබී කැනඩාව බලා ගිය මංජලී මේ ආයේ වරක් ලංකාවට ආවේ අවුරුදු දෙකකට විතර පස්සේය. විශ්ව විද්‍යාලයේ එක හොස්ටල් රූම් එකේ නතර වී උන් යාලුවො සෙට් එකෙන් කෙනෙක් වෙච්ච මංජලී ලංකාවට ආ හැමවෙලාවම හොස්ටල් එකේ එකට උන් යාලුවන් සමග සෙට් වන්නට එක දිනයක් හෝ කෙසේ හෝ දාගන්නෙ තවමත් ඒ මිතුදම් කිසි වෙනසක් නොවූ නිසාවෙනි. එහෙත් මේ වතාවේ මංජලිගේ ඒ මිතුරු හමුවේ එක අසුනක් තිබුනේ හිස් වීය. “ජාන්වි ආවෙ නැත්තෙ ලෙඩ වෙලා අනේ” කියා පාරි දෙතොල් මැත් කර කිව්වාට ඒ දෙනෙත් කිව්වේ වෙනත් දෙයක් බව තේරුම්ගන්න මංජලීට අපහසු උනේ නැත. 

මේ ගමන යෙදුණේ ඒ අනුවය.

මංජලී ගෙදරටම තමන්ව හොයාගෙන ආවේ සියල්ල දැනගෙන බව තේරුම්ගත් තැන ජාන්විට දෙනෙත් ඔස්සේ වැගිරෙන කඳුලු වලක්වාගන්න හැටියක් තිබුනේ නැත.

“මං…මං…කවදා…කවදාවත් හිත්…හිතු…හිතුවෙ නෑ බං…මට්…මට…මෙහෙම්ම… වෙයි කියලා” ඉකිබිඳිමින්, ගොතගසමින් කියද්දිත් මංජලී උන්නේ කිව යුතු දේ හිත අස්සෙන් පෙලගස්වමින් තමාගේ උරහිස මත හිස තබාගෙන හිඳිනා ජාන්විගේ පිට සෙමෙන් අතගාන එකය.

“අනේ දැන් මේ මී හරකි වගේ අඬන්න එපා කෙල්ලෙ. පාරිගෙන් මාත් විස්තරේ අහගත්තෙ හරිම අමාරුවෙන්. ඒකි කියන්න කැමති උනේම නෑ. මං මේ තකහනියෙ ආවෙම කොහොමද බං මෙහෙම දෙයක් වෙච්ච වෙලාවක උඹව මෙහෙම තනිකරලා යන්නේ? මට මතකනෙ මලිත් අයියා එක්ක උඹ යාලු වෙච්ච කාලෙත් උඹ ඒකගෙ පොඩි පොඩි කේස් වලට අඬා වැළපෙනවා රෑ තිස්සෙ.

මතකද ඌ එක්ක අර බ්‍රේකප් වෙන්නම ගිහින් උඹ ප්‍රොපර් දාලා, අපි බය උනා උඹ ඩිග්‍රියත් කෙලෝගනීවි කියලා. මං ඒ කාලෙම කිව්වනෙ උඹට ඕක හරියන එකක් නෙවෙයි කියලා. උඹ අපි කියන දෙයක් ඇහුවෙ නෑනෙ බං. දැන් ඉතින් අඬනවා” කියා මංජලී කියද්දිත් ඒ සියල්ල වනාහී ඇත්ත කතාවක් බව පිළිගන්නට ජාන්විගේ හිත එකඟ වුණාය. ඒ සියල්ල ඇත්තය. ඒ යාලු වී උන් කාලයේ පවා මලිත් නිසා තමන්ගේ ඇස් තිබුනේ නිරත්තරයෙන්ම තෙත් වීය. එහෙත් තමා උන්නේ ඒ කාලයේ මෙච්චර ජනප්‍රිය තාරකාවකට පෙම් කරන ඉඩකඩ අහුරා ගන්නට අකමැත්තෙන් ය. සියල්ලම දරාගත්තේ මලිත් ගේ ප්‍රේමය සමග තමන්ට අනාගතයේ ලැබෙන්නට නියමිත ජනප්‍රියත්වය ගැන ලෝබකමෙන්‍ ය.

“දැන් ඉතින් උඹ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?” කියා මංජලී අහද්දී ජාන්වි දිග හුස්මක් ගත්තේ කරන්නට ඉතුරු වෙච්ච බොහෝ දේ තිබෙන හන්දාමය. තමන්ට දැන් තමන්ගේ කියා තැනක් නැත. තමන් ඒ දවස්වල මහ ලොකුකමට “මට නම් ඔන්න මේ පරණ වෙච්ච මහ ගෙවල් එහෙම ලියන්න එපා. මලිත් අයියා අනික ඕවා බලාපොරොත්තු වෙන්නෙත් නෑ. එයාට ඕන මාව විතරයි” කියා කිව් නිසාවෙන්ම අම්මාත් තාත්තාත් ජීවිත භුක්තිය තියාගෙන ගේ නංගි නමට ලිව් එක ඇත්තකි. තමන් ජිවීත කාලය පුරාවටම මේ ගෙදර වැටී උන්නද නංගි කිසිවක් නොකියන බව ඇත්තකි. ජීවත්වෙලා ඉන්න තුරු අම්මාත් තාත්තත් තමන්ට කන්න බොන්න දෙන බව ඇත්තකි.

එහෙත් තමන්ට කියා කිසිම දෙයක් සන්තකයේ නෑ නොවේද? තමන්ගේ කිසා හිසට සෙවණක් නැත. ආස දෙයක් ගන්නට මුදලක් හොයාගන්නට් රැකියාවක් නැත. මලිත් වෙන්ව ගිය පසු තමන්ගේ කියා කිසිවෙක්ද නැත.

“මම දැන් මොනවද නොකරන්න ඕන කියල කියන එක ලේසි මංජි මොනවද කරන්නෝන කියනවට වඩා. මම හැමදේම කරන්න ඕන. මට කියලා ඉන්න තැනක් තියෙන්න ඕන. මට කියලා රස්සාවක් තියෙන්න ඕන. මට දැනට ඒ දෙකම නෑ. ඩිවෝස් එක ලැබුණට පස්සෙ මලිතුත් නෑ”

“ඌ ඉතින් මෙච්චර කාලයක් පුරාවට ඉඳලත් නෑනෙ බං. ඉඳියනම් මෙහෙම වෙන්නෙ නෑනේ” කියා මංජලී කියද්දී ඒ වනාහී ඇත්තක් බව ජාන්විට අමතක කරන්නට නොහැක.

“දැන් ඩිවෝස් එක දාන්නෙ උඹද ඌද?”

“මලිත් තාත්තට කියලා තිබ්බා කොහොමත් ඉතින් කවුරු ඩිවෝස් එක දැම්මත් අපේ පැත්තෙන් මලිත්ට වෙන අෆෙයාර්ස් තිබ්බා කියල කියන හන්දා කවුරු දැම්මත් එකයිනෙ කියලා”

“ඔව් ඉතින් කියන්න එපාය. මිනිහා හිතන් ඉන්නවද දන්නෙ නෑ උඹ මේ සද්ද නැතුව ඌට දික්කසාදෙ දේවි” කියා ජාන්වි ගේ මූන බලද්දී මංජලී බලාපොරොත්තු උනේ ජාන්වි එයට පොසිටිව් උත්තරයක් දෙයි කියා නමුදු ජාන්විගේ මුහුණේ වූ හිස් බැල්මද නිහඬ වූ දෙතොලද කියා පෑවේ වෙන කතාවකි.

“උඹ දැන් වෙස්සන්තර වෙලා ඌව නිදොස් කොට නිදහස් කරන්නද ප්ලෑන් එක?”

“මං කොහොමද බං හිතක් ඇතුව ගිහිල්ලා උසාවියක් ඉස්සරහා කියන්නෙ මලිත් වෙන ගෑනු එක්ක ඉන්නවා කියලා? මං කොහොමද ආදරේ කරපු හිතකින්  එහෙම දෙයක් එයාට කරන්නෙ?”

“උඹට එච්චර ඉවසීමක් තියෙනම් ඇයි උඹ එහෙනම් ඌ එක්ක රණ්ඩු වෙන්නෙ ඌට වෙන ගෑනු ඉන්නවා කියලා. ඉවසගෙන ඉඳපංකො” කියා මංජලී කියද්දී ඒ වනාහී සම්පූර්ණ තරහකින් කියන කතන්දරයක් බව තේරුම්ගන්න ජාන්විට අපහසු උනේ නැත.

“උඹත් දැන් තකහනියෙ මෙහෙ ආවෙ මට බැණලා යන්නද?” කියා ජාන්වි අහද්දී කෝපය හන්දාම ජනේලෙන් එලිය බලාගෙන උන් මංජලී ආපිට හැරුණේ තමන් මෙහි ආ ඒ වැදගත් කතාව මේ ඔක්කොම නිසාවෙන් කියන්නට අමතක වේයැයි සිතමිනි.

“නෑ මං ඇත්තටම ආවෙ උඹට කෙනෙක් ගැන කියලා යන්න” කියා මංජලී කියද්දී ජාන්විගේ දෙනෙත් අස්සේ ඇඳුණේ කුහුලකි.

“කවුද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here