මොකක්ද මේ DPD කියන්නේ

ජීවිතය කියන්නේ පහසු දෙයක් නෙවෙයි.ඔබ මොනතරම් ස්වාධීන කෙනෙක් උනත් සමහර අවස්ථාවලදී ඔබට අන් අයගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ජීවත් වීමේදී ඔබ වටා ඔබව හොඳින් හඳුනන සහ ඔබට ආදරය කරන පිරිසක් ඔබේ සුවපහසු කලාපය වශයෙන් තබා ගැනීමෙහිද වරදක් නැහැ. නමුත් බොහෝ වෙලාවට බොහෝ දෙනා සුවපහසු කලාපයේ සිටින අය මත යැපෙන අවස්ථා තිබෙනවා. ඔබට ආදරය කරන ,ඔබව හඳුනන අය මත යැපෙන , කුඩා දෙයකට පවා ඔවුන් ගේ සහයෝගය පතන ඔබට කාලයක් යන විට ඔබේ ස්වාධීන බව මඟ හැරෙන්නට පුළුවන්. මේ තත්ත්වය හඳුන්වන්නේ යැපෙන පෞරුෂ ආබාධය හෙවත් Dependent personality disorder ( DPD ) කියලයි. මේ තත්ත්වයේ ලක්ෂණ මොනවද ? ඒ ගැන අපි කතා කරමු.

ඔබ මිනිසුන් සතුටු කිරීමට උත්සාහ කරයි 

අනෙක් අයව සතුටු කිරීමට උත්සාහ කිරීම සහ ඔවුන්ව සතුටින් තැබීම අතිශය සාමාන්‍ය දෙයක්. ඒ වගේම එය අතිශය මානුෂීය ගුණයක්. නමුත් ඔබට කෙනෙක් සමග තිබෙන සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා ඔබ ඒ කෙනාව සතුටින් තැබීමට උත්සාහ කරනවා නම් , ඇත්තටම ඔබ ඒ වෙනුවෙන් අනවශ්‍ය වෙහෙසක් ගන්නවා නම් එය මේ DPD තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණයක්. විශේෂයෙන්ම මෙහිදී අනෙක් පුද්ගලයා ඔබ කෙරෙහි සැලකිල්ලක් නොදක්වන විට දී පවා ඔබ ඒ කෙනාව සතුටින් තැබීමට විශාල වෙහෙසක් දරනවා නම් එයින් හැඟවෙන්නේ ඔබ ඒ කෙනා මත සහ ඒ කෙනාගේ සතුට මත යැපෙන බවයි.

ඔබ අන් අයගේ සහතික කිරීම් බලාපොරොත්තු වෙයි 

ඔබේ සුවපහසු කලාපයේ සිටින අය වගේම ඔබට ආදරය කරන අය ඔබව නිතරම අගය කරනවා නම් ,ඔබත් ඔවුන්ව අගය කරනවා නම් එය ඔබ සහ ඔවුන් අතර තිබෙන සම්බන්ධතාවය ඉතාම හොඳ ලක්ෂණයක්. නමුත් DPD තත්ත්වයේදී මෙය තරමක් වෙනස් ස්වභාවයක් ගන්නවා. මෙහිදී ඔබ නිතරම අන් අයගේ සහතික කිරීම් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ කරන දේවල් වල නිවැරදිභාවය පිළිබඳව ඔබට අන් අයගේ සහතික කිරීමක් අත්‍යවශ්‍ය වනවා.ඔබ ඒ වෙනුවෙන් බලා සිටිනවා. මෙය යැපෙන පෞරුෂ ආබාධයේ තවත් ලක්ෂණයක්.

ඔබ වෙන්වීම් පිළිබඳව බියෙන් සිටියි

කාලයක් ගතවන විට අපගේ ජීවිත වල සිටින ආදරණීයයන් වෙනස්වීම ඉතාම සාමාන්‍ය දෙයක්. එසේත් නැත්නම් එකිනෙකාගේ රැකියාවල ස්වභාවය සහ කාර්යබහුල ජීවන රටාවට අනුව ඔවුන්ට හිතවත්කම් පැවැත්වීම සඳහා කාලයක් සොයා ගැනීමට අපහසු වන්නට පුළුවන්. කොහොම වුණත් මෙවැනි වෙනස්වීම් සහ වෙන්වීම් වලට ඔබ අසාමාන්‍ය ලෙස බියක් දක්වනවා නම්, ඔබ අන් අයව නිතරම ඔබේ ඇසුරේ තබා ගැනීමට උත්සාහ කරනවා නම් එයින් හැඟවෙන්නේ ඔබට DPD තත්ත්වය හෙවත් යැපෙන පෞරුෂ ආබාධයේ ලක්ෂණයක් තිබෙන බවයි.

සබඳතා අවසන් වූ විට ඔබ විනාශ වන බව සිතයි 

ජීවිතයේ අපට හමුවන ඕනෑම කෙනෙකු අපේ ජීවිතයේ අවසාන කාලය දක්වා අප සමග සිටින බවට අපට සහතික කරන්නට බැහැ. ඕනෑම කෙනෙකු ඕනෑම මොහොතක අපගෙන් වෙන් විය හැකි බව මතක තබා ගෙන අප ජීවත් විය යුතුයි. කෙනෙක් වෙන් වූ විට හෝ කෙනෙක්ව අපට අහිමි වූ විට ,නැත්නම් සබඳතාවයක් අවසන් වූ විට ඔබට එතනින් එහාට ඔබේ ජීවිතය ගත කරන්නට බැරි බව සිතෙනවා නම් , ඔබට ඔවුන්ගෙන් තොරව ජීවිතයක් නැතැයි සිතෙනවා නම් එයින් හැඟවෙන්නේ ඔබ යැපෙන පෞරුෂ ආබාධ තත්ත්වයේ සිටින බවයි.

ඔබ තීරණ ගැනීම සඳහා අන් අයගේ උපදෙස් පතයි 

ඔබේ ජීවිතයේ වැදගත් තීරණ සහ තීන්දු ගැනීම සඳහා ඔබේ ආදරණීයන්ගෙන් ,ඔබේ පවුලේ අයගෙන්, හිතවතුන්ගෙන් සහ මිතුරන්ගෙන් අදහස් විමසා සිටීමෙහි වරදක් නැහැ. නමුත් ජීවිතයේ ඔබ ගත යුතු වැදගත් සහ ඕනෑම අවස්ථාවකදී ඔබ ගත යුතු තීරණ ගැනීම සඳහා අන් අයගේ අදහස් අපේක්‍ෂා කරනවා නම් , අන් අයගේ අදහස් වලින් තොරව ඔබ තීරණයක් ගැනීමට නොහැකිව සිටිනවා නම් සහ ඒ පිළිබඳව බියක් දක්වනවා නම් ඔබට තිබෙන්නේ ඔබේ පෞරුෂය පිළිබඳව අවිශ්වාසයක්.

ඔබ ඔබ වෙනුවෙන් නැගී සිටීමට අරගල කරයි 

අන් අය මත යැපෙන පෞරුෂ ආබාධයක් සහිත අය බොහෝ විට තමන් වෙනුවෙන් නැගී සිටීමට විශාල අරගලයක යෙදෙනවා.මෙයට හේතුව වන්නේ සහ මෙම පෞරුෂ ආබාධයේ සුල මුල වන්නේ ඔබේ කුඩා කාලයයි. බොහෝවිට ඔබේ කුඩා කාලයේදී ඔබ අනාරක්ෂිත පරිසරයක හැදී වැඩුණා නම් , දෙමව්පියන්ගේ නොසලකා හැරීම්වලට ලක්වූවා නම් ,  අපයෝජනයට ලක්වූවා නම් , දෙමව්පියන්ගේ දැඩි ආරක්ෂාව මැද්දේ සමාජ අවබෝධයකින් තොරව හැදී වැඩුනා නම් සහ සෞඛ්‍ය සම්පන්න නොවන සබඳතා මැද හැදී වැඩුනානම් එය ඔබේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා. මේ තත්ත්වයේදීද ඔබ පසුකාලීනව අන් අය මත යැපීමට පුරුදු වනවා.

මෙවැනි ලක්ෂණ ඔබ සතු වනවා නම් ,ඔබ නිතරම අන් අය මත යැපෙන පෞරුෂ ආබාධයක් සහිත කෙනෙක් බව ඔබට සිතනවා නම් හොඳම විසඳුම වන්නේ වෘත්තීය සහාය ලබා ගැනීම සහ ස්වයං රැකවරණය පුහුණුවීම, ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සහ ඔබේ හැකියාවන් වර්ධනය කර ගැනීමයි.

Related Articles

Don't Miss


Latest Articles