ඔබෙ ආදරෙන් මා දැවේ – 19

0
717

ජාන්වි කවදාවත් තමන්ට විරුද්ධව උසාවියට යනු ඇතැයි බලාපොරොත්තුවක් මලිත්ගේ හිතේ තිබ්බේ නැත. මලිත්ට අනුව ජාන්විට තමන් නැතුව ජීවිතයක් නැත. ජාන්විගේ සමස්ත ලෝකයම කැරකෙන්නේ තමන් වටේය. එහෙම එකේ එදා තමන් ඇගේ ගෙදරදී අරහෙම කියා ආ පළියට ජාන්වි දික්කසාදයකට යාවි කියා අදහසක් මලිත්ගේ තුන් හිතකවත් තිබ්බේ නැත. ජාන්වි කතා කර ඒ ගැන කියද්දි මලිත් නිරුත්තර උනේ ඒ නිසාය.

“…ඔයා ඇත්තටම මාව ඩිවෝස් කරනවද?” කියා අහද්දී මලිත්ගේ කටහඬ බිඳී ගියේය. සිතේ කොතැනක හෝ මේ දවස එන බව දැන සිටිය නමුත් ජාන්වි කිසිම දවසක තමන්ව දික්කසාද කරාවිය යන සිතුවිල්ලක් නොතිබුන බව මලිත් සිතුවේය. මලිත් හිතාගෙන උන්නේ තමන් කොතෙක් ජාන්විව අතාරින්න උත්සහ කරද ඇය වනාහී එවන් දෙයකට ශක්තියක් එකතු කරගන්නට බැරි තරම් තමන් ගැන ආදරයෙන් මත් වූ කෙල්ලක ලෙසය. එහෙත් අද ඒ සියල් සිතුවිලි උඩු යටිකුරු වී දුරකතනයක් ඔස්සේ ඇහෙද්දී මලිත් උන්නේ වචන පවා එකලස් කරගන්නට නොහැකිවය. එහා පැත්තෙන් තිබුනේද දිගු නිහඬතාවයකි. ඒ නිහඬතාව සිතන නිහඬතාවක් නොව, තම තීරණය සමඟ අවසානයේදී සමාදාන වූ නිහඬතාවක් බඳු බව මලිත්ට නොතේරුනා නොවේ.

“ඔව්.”

ජාන්විගේ කටහඬ උස් වූයේ නැත. ඇය කිසිවක් පැහැදිලි නොකළාය. ජාන්වි එය සෙමින් කීවේ, ඒ වචන වනාහී මෙතෙක් දවසක් පුරාවට සිත තුළ දහස් වරක් පුන පුනා කී සත්‍යයක් වූ නිසාවෙනි. දහස් වාරයක් හිතා බලා ගත් තීරණයක් නිසාවෙනි.

ජාන්විගේ වදන් අස්සේ තැවරී තිබුණ ඒ සන්සුන් බවට මලිත් වෛර කළේය.

“එහෙනම් එහෙමද?” මලිත් උපහාසයෙන් මෙන් ඇසුවේය. “මෙච්චර දේවල් වෙලත්, තාම හෙන ලොකුකම නේද ඔයාගෙ?”

ජාන්වි උන්නේ හෙමින් හෙමින් හිත අස්සේ හිස ඔසවන්නට වෙර දරන කෝපය නිවා සනසාලමිනි. ඈ හුස්මක් පිට කරාය. අනතුරුව මලිත්ට කියන්නට වචන ගලපා ගත්තාය.

“ඔයා හිතන්නෙ මේ මම සදාකාලිකවම මට එකට ඉන්න පුලුවන් වෙයි කියල හිතපු මනුස්සය වෙන ගෑනු එක්ක ඉන්නවා කියල දැනගෙන දික්කසාද කරන්න යන එක ගැන ලොකුකමෙන් ඉන්නවා කියලද? මං මොකටද මලිත් ඔයාට ලොකු සීන් දාන්නෙ? අනික ඔයාම නේද මහ ලොකුවට අපෙ ගෙදර ඇවිල්ලා කිව්වේ “ඔයා නම් ගියේ ඔයාටම තමයි එන්න පුලුවන්. බලෙන් ඇවිල්ලා එක්කරගෙන යන්න තරම් පිස්සුවක් මට නෑ. ඕන නම් දික්කසාදෙ දාන්න” කියල. එවෙලෙ හෙන පොර ටෝක් දීලා දැන් මොනාද මේ අහන්නේ?

අනික කොච්චර කල් මම ඔයාගෙ ඔය රැඩිකල් ලයිෆ් එක අස්සෙ හිරවෙලා ඉන්නද මලිත්? ඔයාට අමතක උනාට මට තියෙන්නෙත් ලයිෆ් එකක් තමයි. ඔයා ඔයාගෙ ලයිෆ් එක ඔයාට ආස විදියට ගෙවනවා වගේම, මමත් ආසයි මගෙ ලයිෆ් එක මම ආස විදියට ගෙවන්න. ඔයා හැමදාම කිව්වෙ මම ඔයාගෙ ලයිෆ් එකට බාධාවක් කියලා. ඔයා එක්ක තියෙන සම්බන්ධෙ මගෙ ලයිෆ් එකටත් බාධාවක්නෙ. අපි ඒ බාධාව අයින් කරගමු මලිත්.

දෙන්නටම එතකොට ඉශූ එකක් නෑනෙ. මගේ ලෝයර්ට කතා කරන්න ඔයාගෙ ලෝයර්ගෙ නම්බර් එක එවන්න. මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක මත ගන්න ඩිවෝස් එකක් හන්දා කල් යන එකක් නෑ. නිකන් අපි මෙච්චර කල් කරගත්තා වගේ කාලෙ නාස්ති කරගන්න උවමනා නැනේ”  

ජාන්විගේ ඒ වචන වලට පිළිතුරු දෙන්නට පළමුව මලිත් කටුක ලෙස සිනාසුණේය. “එතකොට දැන් මමද මේ කතාවෙ දුෂ්ටයා?”

“අනේ නැහැ,” ඇය පිළිතුරු දුන්නාය. “මම කිසිම තැනක ඔයා දුශ්ටයා කියලා නෑ. එහෙම නම් මම ඩිවෝස් එක දාන්න ඕන ඔයා අනාචාරයේ හැසිරෙනව කියලනෙ නේද? යන්න යන මිනිස්සුන්ව අතාරිනවා මිසක්කා බලෙන් ලඟ තියාගන්න උවමනාවක් මට නෑ මලිත්. මෙච්චර කල් මම එහෙම කරන්න ඇති. හැබැයි මෙතනින් පස්සෙ නෑ”

මලිත් ගේ උගුර තිබුනේ වියළී ගොසිනි. කියන්නට කිසිත් වචනයක් ඔහුට මතක් උනේ නැත. එනිසාම කිසිදු හැඟීමක් පිට නොවීය. ස්ථිර යැයි සිතූ දෙයක් අතින් ගිලිහී යන වේදනාව පමණක් මලිත්ට ඒ මොහොතේ දැනුනි.

“මහ ලොකුවට ඔයා කිව්වෙ කොහොමද මොන දේ උනත් මම ඔයාට ආදරෙයි. ඔයා මොනවා කරත් මම ඔයාව දාලා යන්නේ නෑ. එතකොට දැන් මේ මොකද කියන්නේ?” කියා ඒ වචන අවසානයේ සමච්චල් සහගත සිනාවක් තවරන්නට මලිත්ට කොපමණ උවමනාවක් තිබුනද ඒ සමච්චල් සහගත හිනාව අස්සෙ සැඟවී තිබුන ඉරිසියාව ජාන්වි හඳුනාගත්තාය.

“ඔයා ආදරය කළේ මම ඔයා වටේම කැරකි කැරකි ඉන්න එකට මිසක් මට නෙවෙයි  මලිත්,” ජාන්වි සෙමින් කීවාය. “මම හැමදාම ළඟ හිටපු නිසා, ඔයාට අභියෝග නොකළ නිසා, මට රිදෙනකොටත් මම නැවතුණු නිසා ඔයා හිතුවෙ මම හැමදාම එහෙම ඉඳී කියලනම් සොරි මලිත් ඕනම කෙනෙක්ට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ නේද?

අනික ඔයා බලාපොරොත්තු වෙච්ච විදියට මම මොනතරම් කැපවීම් කරත් ඔයාගෙ පැත්තෙන් වෙන්න ඕන යුතුකම්වත් වගකීම්වත් හරියට උනාද කියන එක ඔයා කල්පනා කරලා බලන්නකො?

ඔව් මම ඔයාට කිව්වා තමයි ඔයා මගෙ මුළු ලෝකයම කියලා. හැබැයි ඔයා මට සැලකුවේ ඔයාගේ කතාවේ අතුරු චරිතයක් විදියට. ඔයා සූර්යයා වුණා. මම… ඔයා වටේ කැරකෙන ග්‍රහලෝකයක් වුණා. හැබැයි ඔයා වටේ කැරකිච්ච එකම ග්‍රහලෝකෙ මම නෙවෙයි නේද?”

ඊට විරුද්ධ වෙන්නට වචන ඇත්තටම මලිත් ළඟ තිබුණේ නැත.  ඇත්ත කටුක ය. ඒ කටුක බව අපට දැනෙන්නේ, සැබැවින්ම ඒ ඇත්ත අපගේ දෙතොල් මතින් පිටවන විටය. ඒ වන තුරු සත්‍යය යනු අප සැනසීම පිණිස මවාගත් මායාවන්ගෙන් ආවරණය වූ දෙයක් පමණක් බව අපට සිතේ. ඒ කටුක බව අපට නොදැනෙන්නේ එබැවිනි. එහෙත්, සත්‍යය අපගේ දෙතොල් ස්පර්ශ කරන විට, අපගේම කටහඬින් පිටවන විට, එහි බර, තියුණු බව සහ වේදනාව අවසානයේදී අපගේ සිතේ තැන්පත් වෙයි. එවිට එය මඟහරින සිතුවිල්ලක් නොවී, අපට තවදුරටත් දුවන්නට නොහැකි යථාර්ථයක් බවට පත් වෙයි.

මලිත් උන්නේ ඒ යථාර්තය විඳගනිමිනි. සැබවින්ම කිව්වොත් විඳවමිනි.

“ඔයා හිතනවද මේක කරන එක මට ලේසියි කියලා?” ජාන්වි ඇසුවාය. ඇයගේ කටහඬ වෙව්ලුවද, තවමත් ස්ථිර විය. “ඔයා හිතනවද මං මෙහෙම කරන්නෙ මේක මට ඕන වෙච්ච හන්දා කියලා? මම මගේ මුළු ජීවිතයම හැදුවේ ඔයා වටේ. අපි වටේ. ඔයා කොච්චර මට රිද්දුවත් මම ඔයාව විශ්වාස කළා.”

මම සද්ද නැතුව හිටිය නිසා ඔයා හිතුවා මම සතුටින් ඉන්නෙ කියලා. මම ළඟ හිටිය නිසා ඔයා හිතුවා මම හොඳින් ඉන්නෙ කියලා. හැබැයි ඉන්නවා කියන එකම ආදරේ වෙන්නෙ නෑ මලිත්. සමහර වෙලාවට එහෙම ඉන්නෙ ආදරේ හන්දා නෙවෙයි වෙන කරන්න දෙයක් නැති හන්දා. මිනිස්සු මොනවා කියාවිද කියන බය හන්දා. සමහර වෙලාවට ඒක පුරුද්දක් වෙලා හන්දා. තවත් සමහර වෙලාවට, අපි අපේ හිතම රවට්ට ගන්න හන්දා. මට තව එහෙම මගෙ හිත රවට්ටගන්න උවමනා නෑ. ඔයා ඔය යන තැන්වල ඉන්න ගෑනු, මේධාංගනීලා එහෙම මට හිනාවෙනවා ඇති නේද මුකුත් නොදන්න මෝඩ ගෑනියෙක් තාම මැරේජ් එක අස්සෙ හිරවෙලා ඉන්නවා කියලා.

අනේ මං මොකටද මලිත් මත පොඩ්ඩක්වත් ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් එහෙම කරන්නේ?

ඔයා හිතන් ඉන්නෙ මට මේක ලේසියි කියලා නම් මමත් ඔයා වගේ වෙන පිරිමි එක්ක ඉන්න ගිය දවසක ඔයාට තේරෙන්න තිබ්බ මලිත් එහෙම දෙයක් දරාගන්න එක අපි හිතන තරම් ලේසි නෑ කියලා.

ඔයා ඔය ලියන රැඩිකල් ලව් එක හොඳයි මලිත් කිසිම දේක වගකීමක් ගන්න දන්නෙ නැති පිරිමින්ට. මේධාංගනී වගේ තමන්ගෙ මඩිස්සලේ පුරවගන්න එක ගැන විතරක් හිතන ගෑනුන්ට.

හැබැයි ඔයාම අර ඉස්සර මට බණීනවා වගේ මම හෙනම ට්‍රැඩිශනල් ගෑනියෙක්නෙ.

ඉතින් ඔයා වගේ හෙනම රැඩිකල් මිනිහෙක්ට මේ ට්‍රැඩිශනල් ගෑනි එක්ක ඉස්සරහට යන ලයිෆ් එක අමාරු වෙන එකේ මේ ඩිසිශන් එක නොගෙන ඉන්න එක අපරාදෙ නේද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here