නිශ්ශංකගේ නිවස ගිනිගෙන තිබුණේ සවස් වරුවේ ආ ආරංචියත් සමඟය. ගුරුවරයකු ලෙස මාතර ප්‍රදේශයේ පාසලක සේවය කළ බාල පුතා දරුවන් දෙදෙනෙකු සිටින, ස්වාමි පුරුෂයා මියගිය කාන්තාවක සමඟ එක්ව ජීවත් වනවාය යන ආරංචිය නිශ්ශංකගේ කන වැකුණේ අද ඊයේක නොවේ. බිරිඳටවත් තොකියා ඔහු මාතර ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳව සොයා බැලුවේ හොර රහසේය. අවසන ඔහු නිවසට පැමිණියේ එය ඇත්තක් බව සහසුද්දෙන්ම දැනගත්තාට පසුවය.
“මං කිව්වේ ඕකා ගෙදර එන්නේ නැති වෙනකොට මොකක් හරි තියෙනවා කියලා. ඌට තිබුණා දුප්පත් තැනකින් උනත් කමක් නෑ හරිහමන් කෙල්ලෙක්ව කසාද බැදගන්න. මූ අපි ඔක්කොටම අවනම්බුවක් කලේ..”
දෙවෙනියා කෑ ගැසුවේ නිවස දෙදරා යන ලෙසය. නිශ්ශංක ඉදිරිපිට වාඩිවී උන් බිරිඳ සිටියේ කඳුළු සලමින්ය. වරෙක ඔහු තම පපුවට ගසා ගත්තාය. වරෙක හඬා වැටුනාය. මේ සුළු පටු ලැජ්ජාවක් නොවේ.
“හොඳටම විශ්වාසද මහත්තයා….”
ඇය නිශංකගෙන් එසේ ඇසුවේ බැරිම තැනකදීය. තවමත් මේ පුවත ඇයට අදහා ගත නොහැක්කක් සේය.
“උගේ කටින්ම ඇත්ත අහගත්තට පස්සේ ආයි මොනවා අවිශ්වාස කරන්නද. කී සැරයක් මං ඌට මෙහෙට මාරුවීම් හදල දෙන්න හැදුවද. අන්තිමට නිකන් මට පච වෙන්න විතරයි උනේ. ගමේ ඉස්කෝලෙටත් මාරුවීමක් ගන්න පුළුවන්කම තියෙද්දි ඕකා ඔහෙට වෙලා ජීවත් වුණේ ඒක තමයි.”
“අම්ම තවත් ඌට සුදු හුණු ගාන්න ලෑස්ති වෙන්න එපා. එදා ඉදලා අම්මගේ ලෝකෙම උනේ මල්ලි. පොඩි එකා කිය කිය හුරතල් කලේ.. ඒක හින්දා ඌ වැරැද්දක් කලත් අම්මා පිළිගන්න කැමති නෑ.”
එසේ පැවසූයේ ලොකු පුතාය. දෙදෙනාම තම බිරින්දෑවරුන් සමග අසුන් ගෙන සිටියේ ආලින්දයේය. තම දරුවන් දෙසට අසරණ බැල්මක් පා කළ නන්දිතා දිගු සුසුමක් මුදා හැරියේ හදවත සනසා ගන්නටම නොවේ. වෙහෙස වූයේ දරුවන් තිදෙනාම අහසේ තබන්නටය. එහෙත් අද ඔවුන් තිදෙනාගේම ජීවිත අඳුරු වී ඇත. සිංහයන් සේ තවදුරටත් මේ ගම්වල ජීවත්විය නොහැකි බව විශ්වාසය. ලොකු පුතාගේ බිරිඳ වඳ ගැහැනියක බව හරි හැටිම දැන ගත්තා පමණක් නොව ඇය ගර්භාෂයේ යම් රෝගී තත්වයකින් පෙළෙන බවද වෛද්‍ය පරීක්‍ෂණවලදී හෙළි විය. මාසික ඔසප් වීම් දිනවලදී ඇය රෝහල් ගතවන්නේ ගර්භාෂයේ ඇතිවන ඒ වේදනාව දරා ගත නොහැකිවය. ඊට ඇත්තේ තාවකාලික පිළියමක් මිස දීර්ඝ කාලීන විසඳුමක් නොවන බව වෛද්‍යවරු පවසති. එනිසාම ඕ මානසිකව කඩා වැටී උන්නාය. මහගෙය දෙපසකට වෙන්කරගෙන දරුවන් දෙදෙනා ජීවත් වන්නේ ඔවුන්ගේ බිරින්දෑවරුන් සමඟය. ලොකු පුතා සිටින පසින් නිතර ඇසෙන්නේ බැණ අඬ ගසා ගැනීම්ය.
දෙවෙනියාගේ බිරිඳ අලුත්ගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියකි. සොල්දර ගෙදර ප්‍රශ්නයෙන් පසුව නිවසට පැමිණියාට පසුව ඕ යළිත් සොල්දර ගෙදරට යාමට කැමති වූයේ නැත. කුලියට නිවසක් ගෙන යන්නයැයි පැවසුවත් දෙවනියා ඊට කැමති වූයේ නැත. අවසන නිශ්ශංකටත් නන්දිතාටත් මුළුතැන් ගෙය ආසන්නයේ කාමරය ඉතිරි කරමින් දෙවෙනියාත් ඔහුගේ බිරිඳත් නිවසේ අනිත් පස පදිංචි විය. දෙවෙනියාගේ බිරිද සමාජශීලී ගැහැණියකි. සමිති සමාගම්, පාටි, උත්සවයැයි පවසමින් ඕ නිතරම නිවසින් බැහැරව සිටියාය. වරෙක තමාගේ මහගෙදරට යන්නේ සැමියාටවත් නොකියමින්ය. එනිසාම දෙදෙනා අතර ඇතිවන නොහොඳ නෝක්කාඩු, කතාබහ දුරදිග ගොස් අවසන ගුටිබැට හුවමාරු පවා සිදුවෙයි. මහ ගෙදර මදක් විසල් වූ මුළුතැන් ගෙය තුළ පවුල් තුනක්ම ඔවුනොවුන් වෙනුවෙන් ආහාර සකසා ගනී. ඒ අතරේදී ඇතිවන කුඩා කුඩා වචන හුවමාරු මගහරවා ගැනීමට නන්දිතා මුළුතැන් ගෙයට යන්නේ දෙදෙනාම ඉන් ඉවත් වූවාට පසුවය. එතෙක් තමාත් සැමියාත් ඇල් වතුර වීදුරුවකින් බඩගිනි නිවා ගන්නා තත්තවයට වැටුණයැයි ඈ සිතුවේ දෑස් රිදවූ කඳුළු වලට ඔහේ ගලා යන්නට ඉඩ දෙමින්ය. තමාගේ පමණක් නොව සැමියාගේත් අවසන් බලාපොරොත්තුව වූයේ පොඩි පුතුය. එහෙත් අද ඒ බලාපොරොත්තුව බිඳ වැටුණේ නිශ්ශංකත් තමාත් දෙදෙනාම අඩි ගණනාවක ප්‍රපාතයකට ඇද දමමින්ය.
“ඒ දරුවෝ ලොකු දරුවෝද මහත්තයා….”
අවසන නන්දිතා ඇසුවේ මද ස්වරයකින්ය. ඒ, කියවමින්, බැණ වදිමින්, හින්ට් ගසමින් උන් දරු දෙදෙනාත් ඔවුන්ගේ බිරින්දෑවරුත් ආලින්දයෙන් නික්ම ගියාට පසුවය.
“එක ළමයෙක් සාමාන්‍ය පෙළ කරනවා. අනිත් ළමයා නවය වසරේ.”
“එතකොට අපේ පොඩි පුතාට වඩා වැඩිමල් ඇති.”
“අවුරුදු නවයක් වැඩිමල් ලු. ඔය ගෙදරින් ලූ තුන් වේලටම බත් ගත්තයි කියලා කියන්නේ.”
“යස බත් ගැනිල්ල. ඇහැට කණට පේන ගෑනියෙක්ද මහත්තයා.”
“ඇහැට පේනවද කනට පේනවද කියලා කියන්න මං දන්නෙ නෑ. තමන්ට වඩා අවුරුදු නවයක් වැඩිමල් ගෑනියෙක් කසාද බැඳගන්න තරම් මූට තිබුණු අඩුපාඩුව මොකක්ද කියලා මං මේ හිතන්නේ.මේවා හෙට අනිද්දා ගම්වලටත් ආරංචි වෙයි.”
“එදාට කොහොමද මහත්තය අපි පාරේ බැහැලා යන්නේ.”
“දැනටමත් මේ ගෙවල් වල ප්‍රශ්න ගමේ මිනිස්සු දන්නවා. මෙච්චර කල් අපි පාරේ බැහැල ගියේ කාටවත් මුහුණ නොදීනේ. ඉස්සරහටත් එහෙමම ඉමු.”
ඔහු ඇඳි පුටුවෙන් නැගී සිටියේ එසේ පවසමින්ය. ඒ හඬෙහි වූයේ කෝපයකි. නන්දිතාට වූයේ කෑ ගසා හඬන්නට වුවමනාවකි. එහෙත් ඔහු එසේ නොකළාය. මෑතක සිට නිශ්ශංක පසු වන්නේ අසනීප තත්ත්වයෙන්ය. රාත්‍රියට ඔහු වෙනුවෙන් ඉඳිආප්ප කිහිපයක් පිළියෙළ කළේ හැන්දෑවේමය. හොදි රත් කර ඔහුගේ කෑම වේල ලබා දිය යුතු බව නන්දිතාට පසක් වූයේ එවේලෙහිය. රාත්‍රියට පානය කරන බෙහෙත් පෙති නවයට පෙර පානය කළ යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී තිබිණ.
****************
අපූර්වාත් යුගාශූත් යළි පැමිණෙද්දී රාත්‍රී අට පමණ වී තිබිණ. ඔහු අපූර්වාටත්, ආච්චිටත් රාත්‍රී ආහාරය මිලදී ගත්තේ කළුතරදීය. ‘මම ත්‍රීවිලර් එකක යන්නම්’ යැයි දෙතුන් වරක්ම ඕ පවසද්දී යුගාෂ් ඇයව නිවස අසලටම ඇරලූවාය. වාහනය පදවද්දී ඔහු සිය දකුණතින් සුක්කානම අල්ලාගෙන වමත ඇගේ දකුණත හා පටලා ගන්නේ පුරුද්දට සේය.
වෙනදා සේ “ස්තුතියි” නොකියා ඈ තම දකුණත හා පැටලී තිබූ ඔහුගේ වමත සිය දෙතොළට තබා සිප ගත්තේ ‘ගොඩක් ආදරෙයි..’ යැයි පවසමින්ය. තත්පර කිහිපයක් යුවතිය දෙස බලා උන් යුගාෂ් ඇගේ නළලත මත මෘදු හාදුවක් තැබුවේ “ඔයා මගේනේ…” යැයි කියූවාට පසුවය.
ඔහු හමු වූයේ මේ ජීවිතයේ අමාරුම කාලයේදීය. එසේ නොවුනානම් මේසාවත් සැනසීමක් සිතෙහි ඉතිරි නොවනු ඇත. අතහැර දමා යන්නට ඕනෑ තරම් හේතු කාරණා තිබියදීත් ඔහු ඒ කිසිවක් සුළඟේ ගසා යන වරා මලක් තරමටවත් මායිම් නොකිරීම පුදුම සහගතය. ජීවිතය අත් හරිමින් උන් යුවතියට බලාපොරොත්තුවක් දුන්නේ ඔහුය. සැබැවින්ම මේ ගන්නා හුස්මක් හුස්මක් පාසා මේ ජීවිතය අයිති වන්නේත් ඔහුටය.
අපූර්වාගේ දෑස් වල වූයේ කඳුලකි. ඒ අත අතහැර දමන්නට වූ ලෝබකමකි. වාහනය තුළ වූයේ අඳුරකි. එනිසාම ඉඳ හිට හෝ මග යන්නෙකුට අපූර්වා හෝ යුගාශ්ව හඳුනා ගැනීමේ හැකියාවක් වූයේ නැත.
“ඇයි.. මොනවද කල්පනා කරන්නේ..හ්ම්..?”
“තව ටික දවසකින් ඔයත් එක්ක මෙහෙම ඉඳලා ආපහු මට ඔයාව දාලා යන්න බෑම කියලා හිතෙයි..”
“ටික දවසක් මට දෙන්න…මටත් දැන් ඔයා නැතුව ඉන්න බෑ වගේ හැඟීමක් දැනෙනවා. ඔයත් එක්ක ඉඳලා ඔයාව ඇරලවලා යද්දි ඒ දැනෙන තනිකම…සමහර වෙලාවකට මට ආපහු හරවගෙන එන්න හිතෙනවා. එහෙම තව ගොඩ කාලයක් ජීවත් වෙන්න මටත් බැරි වෙයි.”
ඔහු පැවසූයේ මද ස්වරයකින්ය. මේ ආදරය ඇබ්බැහියක් බව විශ්වාසය.
“මං යුගාශ් අයිය කියලා කියන්නද…..”
යුවතිය ඇසුවේ යළිත් වරක් ඒ අත්ල සිප ගත්තාට පසුවය. වෙනදා සේ ඔහු අබියස දැන් ඇයට කෝල බවක් දැනෙන්නේ නැත.
“සර්ගෙන් අයියා කෑල්ලට බැහැපු එකම මැදෑ…”
“ඔයා මගේ පපුවට බර වැඩියි වෙලාවකට..”
යුවතිය එසේ පැවසුයේ හිනැහෙමින් වුවත්, ඇත්තම කාරණයත් එයය.
“පිස්සු කෙල්ල….මාව පපුවට බරක් කරගන්න එපා. මං ඔයාට ආදරේ කරන්නේ ඔයාව සැහැල්ලුවෙන් තියන්න. හොඳ ළමයා වගේ පුළුවන් තරම් විවේක අරගෙන පාඩම් කරන්න. ඔයා මගේ.. ඒක කාටවත් කවදාවත් වෙනස් කරන්න බැරි ඇත්තක්.”
අපූර්වාගේ කොපුල් දෝතින් අල්ලාගත් යුගාශ් පැවසූයේ ඒ මුහුණට එබී ගෙනය. තමා මෙතරම් ආදරය කරන්නට දැන සිටියාදැයි ඔහු පුදුමයෙන් සිතුවේත් ඒ අතරේය. තරුණයා යුවතියගේ දෙතොල් මත තැබූ තම දෙතොල් ආපසු ගත්තේ තත්පර ගණනාවකට පසුවය. දින ගණනාවක්, මාස ගණනාවක්, අවුරුදු ගණනාවක් නොව තත්පරයක්වත් ඇයව අතහැර ගන්නට ලෝබකමකින් ඔහු දැවිමින් සිටියේය.
“පරිස්සමෙන් ගිහිල්ලා ගියපු ගමන් මට කෝල් එකක් දෙන්න..”
“හරි මැණික…ආච්චිට කියන්න මං ඇවිත් ඔයාව මෙතනටම ඇරලලා ගියා කියලා..”
යුවතිය හිස වැනුවේ ඔහුට එකඟවය. යුගාශ් වාහනය ආපසු හරවාගෙන නික්ම යනතුරු බලා උන් ඕ කඩුල්ල පැන්නූයේ මහා බරැති සුසුමක් අතහරිමින්ය.
යුගාෂ් නිවසට පැමිණෙද්දී තමාරා වූයේ විසිත්ත කාමරයේය. ඇය රූපවාහිනියේ නරඹමින් උන්නේ දිනපතා ප්‍රවෘත්ති විකාශයයි. තමාරා තමා අත වූ දුරස්ථ පාලකයෙන් රූපවාහිනය විසන්ධි කර දැමුවේ යුගාශ් උඩුමහලට නඟින්නට සූදානම් වද්දීමය.
“යුගාශ් ඔහොම නතර වෙන්න. මට ටිකක් කතා කරන්න ඕනේ.”
රළු නොවූමුත් ඒ හඬට තරුණයා තිගැස්සුනේය. ඔහු ආපසු හැරුනේ ක්ෂණයකිනි.
“මෙහෙන් ටිකක් වාඩි වෙන්න.”
“ඇයි අම්මා…”
ඇයට එහාපස වූ අසුනින් අසුන් ගත් තරුණයා එසේ ඇසුවේ යමක් ඇසිය යුතු වූ නිසාය.
“ඔයා ගියේ කොහෙද කියලා මං අහන්නේ නෑ. මොකද මං හොඳටම දන්නවා ඔයා ගියේ කොහෙද කියලා. පුතා… මොන තරම් දුර දිග ගිය සම්බන්ධයක් ඔයයි අපූර්වයි අතරේ තියෙනවද කියන්න මම දන්නෙ නෑ. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නෑ ඔයා මේ තරම් පහත් තත්වෙකට වැටෙයි කියලා.”
“අම්මා මේ…..”
“මට කතා කරන්න ඉඩ දෙන්න. මුලින්ම ඔයා අපූර්වට අනුකම්පා කළා. ඒක මං හොඳටම දන්නවා. මොකද අපූර්වගේ කතාව ඇහුවට පස්සේ ඔයාට විතරක් නෙමෙයි, මටත් දැනුනේ පුදුමාකාර වේදනාවක්. ඔයා ඔයාගේ අප්පච්චි නිසා ඒ තරම් අසරණ වෙච්ච පවුලක් ගැන දැනගත්තේ පළවෙනි වතාවට උනාට මට අපූර්වා කියන්නේ ඔයාගේ තාත්තගෙන් අසරණ වෙච්ච පළවෙනියා නෙමෙයි. අපූර්වට නැති වුණේ එයාගේ ඉඩමයි එයාගේ තාත්තයි විතරයි. හැබැයි ඔයාගේ තාත්ත නිසා මේ ලෝකෙ තනියම ජීවත්වෙන ගෑනු ගැනත් මම දන්නවා. එයාලට එයාලගේ මුළු ජීවිතේ නැති වෙලා.”
“අම්මා….”
“මං ඔයාට උදව් කළේ ඔයා ඒ උදව්ව කරන්නේ බොහොම සද්භාවයෙන් කියලා හිතාගෙන. මේ වගේ යටි අරමුණක් ඔයාගේ හිතේ තිබුණා කියලා මම දැනගෙන හිටියනම් කීයටවත් මම අපූර්වට උදව් කරන්නේ නෑ. එක පැත්තකින් බලනකොට ඔයා ඔයාගේ අප්පච්චිට දෙවෙනි නෑ පුතා.”
“අම්මා මොනවද….”
“මං කිව්වනේ මට කතා කරන්න ඉඩ දෙන්න කියලා. කොච්චර දුරදිග කිය සම්බන්ධයක් උනත් ඔයා මේ සම්බන්ධකම අදම නතර කරන්න ඕනේ. මොකද අපූර්වයි ඔයයි කියන්නේ අහසයි පොළවයි වගේ දෙන්නෙක්. ඔයා කසාද බැඳලා මේ ගෙදරට එක්කන් එන ගෑණු දරුවගෙන් මම සල්ලිවත්, දෑවැදිවත් ඊට කඩම්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි ඒ දරුවා ඔයාට ගැලපෙන උගත්කමක් තියෙන අපේ පවුල් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාව මං හැදුවෙ කොහොමද කියලා ඔයාට අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න අවශ්‍යතාවයක් නෑ. මං හිතනවා ඔයාගේ ජීවිතේ වැදගත්ම තීරණයෙදි එතනට මැදිහත් වෙන්න අයිතිය මට තියෙනවා කියලා. ඔයාට වැරදුණු තැන ගැන පැහැදිලි කරලා දෙන්න යුතුකමක් මට තියෙනවා කියලා. අපූර්වා ගෙනත් මේ ගේ ඇතුලේ හංගගෙන ඔයාට ජීවත් වෙන්න බෑ පුතා. අපූර්වා නිසා ඔයාට ඔයාව අතාරින්නත් බෑ. මං කැමති නෑ කවද හරි දවසක මට වෙච්ච දේ අපූර්වට වෙනව දකින්න. ඔයා හොයා ගන්න ඕනේ. ඔයාට ගැලපෙන, ඔයාගේ තරාතිරමට ගැලපෙන කෙනෙක්ව. ඔයා බොහොම ඉක්මනට තීරණයක් අරගෙන මට ඒක දැනුම් දෙන්න. එහෙම නැති වුනොත් මට අපූර්වට කතා කරන්න සිද්ධ වෙයි.”
“අම්මා අනේ ප්ලීස් මාව තේරුම් ගන්න…”
“මට ඔයත් එක්ක තව කතා කරන්න දෙයක් නෑ පුතා. ඔයා එකඟ වුණත් නැති වුනත් මේක තමයි මගේ අවසන් තීරණය.”
එසේ පවසමින් තමාරා සුවපහසු පුටුවෙන් නැගී සිටියා පමණක් නොව තම කාමරය වෙත ඇවිද ගියේ යුගාශ්ට කිසිවක්ම පවසන්නට අවසර ලබා නොදෙමින්ය.
( යළිත් හමු වෙමු ආදරයෙන්)