මැදිවියෙන් පසු කාන්තාවන්ට සිරුරේ බර අඩු කර ගැනීම අපහසු ඇයි?

ශරීරයේ නිසි හැඩය පවත්වා ගැනීම ගැන හිතන කාන්තාවන් බොහෝ දෙනා ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමට වෙහෙස වෙනවා. නමුත් වයසින් වැඩි කාන්තාවන් හට මේ තත්ත්වය තරමක් අපහසු වෙනවා . ඒ කියන්නේ ඔවුන්ට බර අඩු කර ගැනීම තරමක් අපහසු දෙයක් .මේකට හේතුව මොකක්ද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු .

බොහෝ විට මේ තත්ත්වයට මුහුණ පාන්නට සිදුවන්නේ අවුරුදු හතළිහෙන් පසුව .එහිදී ඔබ කොතරම් ආහාර පාලනය කළත් සහ කොතරම් ව්‍යායාම වල යෙදුනත් ඔබේ බරෙහි සැලකිය යුතු වෙනසක් ඔබට දැකගන්නට ලැබෙන්නේ නැහැ . ඇත්තටම මේකට මොකක්ද ?

ඔබේ සාමාන්‍ය හෝමෝන වෙනස්කම් වලට භාජනය වීම

බොහෝ විට කාන්තාවන් සඳහා වයස අවුරුදු 45 ත් 55 ත් අතර වන තුරු ආර්ථවහරණය සිදු වේ . මෙහිදී ඊස්ට්‍රජන් හෝමෝනය සැලකිය යුතු ලෙස පහත වැටෙන අතර අතිරේක මේදය උදරය වටා තැන්පත් වීම සිදුවේ .මෙසේ සැලකිය යුතු ලෙස මේදය ගබඩා කිරීමේ ක්‍රියාවලිය වෙනස් වන නිසා බර වැඩිවීම වන අතර ,අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් , හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ ඇති වීමේ අවදානම ද වැඩි කරයි .

තවද පිටියුටරි ග්‍රන්ථියේ වර්ධන හෝමෝනය මැදිවියේ සිට පහත වැටේ.එයට අයත් කාර්‍යයන් වලින් එකක් ලෙස මාංශ පේශීන් ගොඩනැගීම සහ පවත්වා ගැනීම සැලකේ .එම නිසා එම හෝමෝන වර්ධනය පහත වැටෙන විට ඔබේ ශරීරයට මාංශපේෂි සෑදීම සහ නඩත්තු කිරීම අපහසු වන අතර ඔබ දහනය කරන කැලරි ගණනටද බලපෑම් එල්ල කරයි

ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය පෙරට වඩා මන්දගාමී වීම

මාංශ පේශි ස්කන්ධය අඩුවීම ඔබේ පරිවෘත්තීය මන්දගාමී වීමට හේතුවේ .ශරීරයේ වැඩි මේද හා මාංශපේෂි අඩුවීමෙන් කැලරි දහනය අඩු වේ .ඒ වගේම බොහෝ අය වයසත් සමග ක්‍රියාශීලී නොවන නිසා එය ශරීරයේ පරිවෘත්තීය වේගය අඩු කරයි.

ඔබ වැඩිපුර වෙහෙසට පත්වීම සහ ආතතියට පත්වීම

ඔබේ වයස 45 – 50 කාලය එළඹෙන විට ඔබ නියැලෙන වෘත්තියත් සමග ජීවිතයේ ඉදිරියට යන විට , ඔබේ බර අඩුකර ගැනීම තරමක අභියෝගයක් විය හැකියි .දිනකට පැය අටක් හෝ ඊට වඩා වැඩි කාලයක් කාර්යාලයේ ද ,ඉන් අනතුරුව පැය ගණනාවක් නිවසේ කටයුතු කටයුතුවල ද නිරත වන ඔබට බොහෝ විට ආහාර පාලනය සහ ව්‍යායාමය කිරීමට කාලය වෙන් කිරීම යනු හුදෙක්ම සිහිනයක් විය හැකිය.
ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම වෙනුවට කාලය ඉතිරි කර ගැනීම පිණිස පිටතින් ආහාර ගැනීමටත් බොහෝ අවස්ථාවල ඔබට සිදුවනු ඇති . මෙසේ අධික කාර්යබහුල බව නිසා ඔබ වෙහෙසට පත් වීමත් ඉන්පසුව ආතතියට ලක් වීමත් නිසා ඔබට බර අඩු කර ගැනීමේ කාර්යය තරමක් දුරට අපහසු වනු ඇත .

ඔබේ ප්‍රධාන ජීවන රටාවේ වෙනස්කම් සිදුවීම

කාන්තාවන් හට ඔවුන්ගෙ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වනවා . එහිදී සුපුරුදු පරිදි බර අඩු කර ගැනීම වෙනුවෙන් වෙහෙසීමට හෝ ආහාර පාලනයට විශේෂයෙන් වේලාවක් වෙන්කර ගැනීමට ඔවුන්ට හැකි වන්නේ නැහැ. ඒ වගේම අතිශය කාර්යබහුල රටාවකට හුරුවීමට සිදුවීමත් මේ බර අඩුකර ගැනීමට බාධාවක් වෙනවා . ඔබේ ශරීරය වෙනුවෙන් සැලකිලිමත් වීමට ඔබ ගත කළ කාලය ඔබේ දරුවන් වෙනුවෙන් වෙන් කිරීමට සිදුවීම,දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට සිදු වීම සහ නිවසේ කටයුතු සඳහා වෙන් කිරීමට සිදු වීම නිසාත් ශරීරයේ බර අඩු කර ගැනීම ගැන ප්‍රායෝගික ගැටලු ද ඔබට මතුවෙනවා.

PCOS තත්වයන් ඇතිවීම

කාන්තාවන්ගෙන් 5% ත් 10% අතර ප්‍රමාණයක් මේ තත්ත්වයෙන් පීඩා විඳිනවා . මෙය හෝමෝන අසමතුලිතාවක් නිසා සිදු වන දෙයක් නිසා බර අඩු කර ගැනීමට වඩාත් අපහසු වන අතර එය ඔසප් අක්‍රමිකතා වලට ද හේතු වනවා.

සෞඛ්‍යසම්පන්න ආහාර කෙරෙහි අවධානය යොමු නොකිරීම

ජීවිතයේ වගකීම් සමග ගැටෙන බොහෝ කාන්තාවන් තමන් ගැන සැලකිලිමත් වීම වයස්ගත වීමත් සමග නතර කරනවා . එහිදී ශරීරයට නිසි පෝෂණයක් ලැබෙන සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම වෙනුවට කුමක් හෝ ආහාරයකින් කුස ගින්න නිවා ගැනීමට ඔවුන් පුරුදු වනවා . මේ තත්ත්වය දිගු කාලයක් පුරා පවත්වා ගැනීම නිසාද පසුකාලිනව ශරීරයේ බර අඩු කර ගැනීම සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි .

නිසි නින්දක් නොලැබීම

මැදි වයස යනු බොහෝ කාන්තාවන්ගේ නින්දේ ගුණාත්මකභාවය බිඳවැටෙන කාලයක් ය .ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම සහ සුව නින්දක් නොලැබීම තරබාරුකම වැඩිවීම සහ දියවැඩියාව ඇතිවීමට හේතුවනවා .ඒ මගින් ශරීරයට ග්ලුකෝස් නියාමනය කිරීම අපහසු වන අතර එය ඉන්සියුලින් ප්‍රතිරෝධය ලෙස හඳුන්වන අතර එය ශරීරයේ බර වැඩි වීමට හේතු වේ.

මේ හේතු කාරණා වල බලපෑම නිසා තරුණ කාලෙට වඩා සෙමින් ඔබේ බර අඩු වීම සිදුවීම විය හැකි. ඒ තුලින් අද්‍යරර්‍යමත් නොවී කෙසේ හෝ BMI දර්ශකයට අනුව ඔබේ බර නිවැරැදි සීමාවේ පවත්වා ගෙන යාම ඉතාම වැදගත්.

මේ ලිපියේ අරමුණ ඔබ වයසින් මුහුකුරා යන විට ඔබේ ශරීරයේ බර ගැන සිතීම නවත්වා දැමීම නොව , ඒ ගැන වඩාත් අවධානය යොමු කරමින් ඒ සදහා වැඩි උනන්දුවකින් කටයුතු කිරීම සිදුකල යුතු බව ඔබට සිහිපත් කිරීමයි . . ඇය්හ්තෙන්ම ශරීරයේ අනවශ්‍ය ලෙස බර වැඩි වී තිබීම පසු කාලීනව බොහෝ ලෙඩ රෝග වලට මුහුණ දීමට හේතු වන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවීම, නිසි ලෙස ව්‍යායාම වලට අවධානය යොමු කිරීම වගේම පෝෂදායී ආහාර රටාවකට හුරු වීමටත් කාන්තාවක් ලෙස ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි .
මේ ලිපිය ඒ සදහා ඔබ දිරිමත් කිරීම වෙනුවෙන් සැකසූ ලිපියක්…

Related Articles

Don't Miss


Latest Articles