ඔබෙ ආදරෙන් මා දැවේ – 21

0
24

මලිත් කවදාවත් තමන්ගෙන් මේ විදියට පළිගනීවි යැයි ජාන්වි හිතා තිබුණේ නැති බව ඇත්තකි. එහෙත් ආදරයටම වෛරයකට, පළිගැනීමකට හැරෙන්නට යන්නේ මහ කාලයක් නොවන බව ජාන්වි තේරුම්ගත්තේද මලිත් ගේ මේ ඊලඟ පියවර සමගින් ය.

ආදරයෙන් තමන් හා බැඳුණ මිනිසෙකුට මෙතරම් කෲර වීමට හැකියාවක් තිබේ යැයි ජාන්වි කවදාවත් සිතා තිබුනේ නැත. විශ්වාස කළේ නැත. හිත වඩාත් රිදුණේත්, කැළඹුණේත් ඒ නිසාවෙන්මය. මලිත්ගේ මේ පියවර තිබුනේ ජාන්විගේ හිතේ මලිත් ගැන තිබූ බැඳීමක, ආදරයක අවසාන රැහැන් පටද බිඳ හරිමිනි.

ඉන් පසුව ඇති වූ සීතල, විනිවිද යන නිශ්ශබ්දතාවය තුළ, ජාන්වි මීට පෙර කිසිදා තේරුම් නොගත් දෙයක් දැකගත්තාය. ඒ ආදරය සහ වෛරය අතර මාවත දුර හෝ දිග එකක් නොවන බවය. එය තනි හැරීමකි, තනි පියවරකි, සමහර විට එය නොදැනුවත්වම ගනු ලබන පියවරකි. දෙදෙනෙකු එකට බැඳ තබන එම ආශාවම, බලාපොරොත්තු සුන්වීම, ද්‍රෝහීකම හෝ ඉරි තැළුණ උඩඟුකම හමුවේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් බවට හැරවිය හැකිය. ඒ වෙනස වඩා අඳුරු, තියුණු සහ අතිශයින්ම භයානක දෙයක් බවට පත්වෙන්නට හැකි බවද ජාන්වි හිමින් සීරුවේ තේරුම්ගත්තාය.

ආදරය වනාහී හුදෙක් සුන්දර හැඟීමක් පමණක් නොවේ. එය කාලය, විශ්වාසය සහ කෙනෙකුගේ ජීවිතයේ වඩාත්ම වටිනාකම් ආයෝජනය කිරීමකි. ආදරයකට ද්‍රෝහි වීමේ තුවාලය ඉක්මනින් සුව නොවන්නේ ඒ නිසාමය. එය සරලව මැකී යන්නේද නැත. එහෙත් ඒ කිසිවක් ගැන හැඟීමක් මලිත්ට තිබුනේ නැත. ඔහු උන්නේ මේධාංගනී විසින් කියන්නට යෙදුන දේවල් ඔස්සේ ජාන්වීව රිදවන්නටත්, දික්කසාදය දැමීමෙන් ඇයව වළක්වා ගන්නටත් හැකි සියලුම දේ කරන්නට කටයුතු කරමිනි.

“ඔයා ඉන්නකො මම කියන්නම් කරන්න ඕන දේ. ජාන්විට ඇඬෙන්න” කියා එදා මේධාංගනී කියද්දී ඒ වනාහී තමන් මෙලොව වඩාත්ම ආදරය කරන සංගීතය ඔස්සේ කරන්නට යෙදෙන හතුරුකමක්, රිදවීමක් විය හැකි බවට කිසිත් අදහසක් මලිත්ට තිබුණේ නැත. 

“ජාන්විට රිද්දන්න තියෙන හොඳම දේ ඔයාලා දෙන්නගෙ කතාව අපි සෝන්ග් එකකින් රිලිස් කරමු. ඊටපස්සෙ අපි අලුතෙන් ආව සෝන්ග් එකකට ඉන්ටවිව්ස් කීපයක් කරමු රේඩියෝ එකේ එහෙම. ඔය පේජ් කාරයන්ට හාර පන්දාහක් දුන්නම කොහොමත් ඕක ට්‍රෙන්ඩ් කරගන්න එක මහ දෙයක් නෙවෙයි” කියා මේධාංගනී කියද්දීවත් මේ කරන්නට යන්නේ කුමක්ද කියා මලිත්ට හිතාගන්න පුලුවන් උනේ නැත.

“සින්දුවකින් අපි දෙන්නගෙ කතාව කියන්න?” කියා මලිත් මේධාංගනීව විමසුවේ ඒ හන්දාය.

“ඔව්”

“මම කසාද බැන්ද ගෑනි ගෙදර ඉද්දි වෙන ගෑනු එක්ක ලගින හන්දා ඒකි මාව ඩිවෝස් කරන්න යනවා කියලා සින්දුවකින් කියන්න” කියද්දිත් මලිත්ගේ දෙතොල් අග තිබුනේ කුතුහලයකට මිශ්‍ර වුණ සමච්චල් සහගත සිනාවකි. ඒ සිනාව වනාහී මේධාංගනී වෙත කෙළින්ම එල්ල වූවක් බව තේරුණද ඇය උන්නේ එයට වඩා සමච්චල් සහගත හිනාවක් දෙතොල් අග අලවාගෙනය.

“ඔයාට වෙන ගෑනු ඉන්නවද, ඒක නිසා ජාන්වි ඩිවෝස් එක දානවද කියන සීන් එක දන්නෙ ඔයයි එයයි මමයි විතරනෙ. ඔයාගෙ ෆෑන් බේස් එක ඒක දන්නෙ නෑනෙ මලිත්. ජාන්විගෙ පැත්තෙන් මිනිස්සු ඇත්ත දැනගත්තත් දැනගන්නෙ කීයෙන් කීදෙනාද? උපරිම දහයක් දොළහක් වගේ. හැබැයි ඔයාගෙ පැත්තෙන් බොරුවක් උනත් මිනිස්සු ලක්ශයක් දෙකක් අස්සේ ට්‍රෙන්ඩ් කරවන්න පුලුවන් නෙ නේද?

මේක තමයි හොඳම විදිය. ජාන්වි ඩිවෝස් එක දිගටම කරගෙන යාවිද නතර කරලා ආයෙ බැක් ටු නෝමල් වේද කියන්න නම් මම දන්නෙ නැ. හැබැයි ඒ මොක උනත් ජාන්වි තේරුම් ගනිවී මොක උනත් පවර් එක තියෙන්නෙ ඔයාගෙ අතේ කියන එක”

“ඒ උනාට මෙච්චර ඉක්මනට කොහොමද සින්දුවක් කරන්නේ? සිංදුව ලියලා, මියුසික් කරලා, විශුවල් හදලා එද්දි ජාන්වි ඩිවෝස් එක අරගෙනත් තියේවි” කියා මලිත් කිව්වේ මේධාංගනී විසින් කියන්නට යෙදුන විසඳුම ඇත්තටම කාලින එකක් බව තේරුණද එය මේ වෙලාවේ කෙතරම් නම් ඉක්මණින් කරන්නට හැකිද යන ගැටලුව හිත අස්සෙ තිබුන නිසාවෙනි.

“ලෙට් මී හැන්ඩ්ල් දැට්. මේ මේධාංගනීට බැරිනම් ඔයාට දවසෙන් දෙකෙන් සිංදුවක් ලියලා, මියුසික් කරවලා දෙන්න මොකද්ද මං මෙච්චර අවුරුදු ගාණක් හදාගත්ත කන්ටැක්ට්ස් වලින් තියෙන පලේ. අනික විශුවල් එක අපි වෙනස් විදියකට කරමු. මිනිස්සුන්ගෙ ඇටෙන්ශන් එක ඔයාට තව චුට්ටක් එන විදියට” කියා මේධාංගනී කියද්දී මලිත් නිහඬවම උන්නේ එකඟතාවය පලකරන්නට නොවේ. වෙන කරන්න දෙයක් නැති හන්දාය. වෙන මාවතක් නොපෙනුන හන්දාය.

ජාන්වි දික්කසාදය ගැන මලිත්ට කතා කර විස්තර කියන්නට යෙදුන බව දැනගත්තයින් පස්සේ තුරුණු බලාගෙන උන්නේ මලිත්ගේ පැත්තෙන් ඔහුගේ නීතිඥවරයා දික්කසාදයට අවශ්‍ය කරන විස්තර සහිත ඇමතුමක් දෙන තුරු නමුත් ඒ ඇමතුම නොආ තැන තුරුණු උන්නේ ජාන්විට කතාකරනවාද නැද්ද කියන කුකුස හිත අස්සේ රඳවාගෙනය.

මංජලී ආපහු රට ගොස් සිටි නිසාවෙන් කෙලින්ම ජාන්වි අමතනවා හැරෙන්නට වෙන කරන්නට හැකි දෙයක් තුරුණුට තිබුනේ නැත. “දැන් මම එයා ගැන මුකුත් හිතන්නෙ නෑ ඉස්සර වගේ” කියා කොපමන වාරයක් හිතට පුන පුනා කියන්නට යෙදුණද “එහෙම හිතන්නෙ නැත්තම් ඒකි ක්ලයන්ට් කෙනෙක් විතරයි කියලා හිතලා කෝල් එකක් දෙන්න උඹ ඔච්චර තටමන්නේ මොකද?” කියා හිත පෙරළා විමසද්දී තුරුණු නිරුත්තර විය. 

තුරුණුගේ ඇමතුම දුරකතනය වෙත එද්දිත් ජාන්වි උන්නේ ඇඳ උඩට වැටී කම්මැලිකමේ වෙන කරන්නට දෙයක් නැති හන්දා කල්පනා කරමිනි.

“මලිත්ගෙ ලෝයර් තාම මාව කන්ටැක්ට් කරගත්තෙ නැහැ. ඔයා මේ…මේ මලිත්ට විස්තර කිව්වද?” කියා තුරුණු අහද්දි කුමක් හෝ නොතේරෙන හැඟීමක් හිත අස්සේ කරන්ට් එකක් වගේ සංසරණය වෙනවා ජාන්විට නොතේරුනා නොවේ.

“මන…තුරුණු ඉන්නේ ඔෆිස් එකේද?” කියා අහද්දී වචන පැටලී ඉස්සර මෙන් මනහාර කියා කියන්නට ගිය තැත ජාන්වි වළක්වාගත්තේ ආයාසයෙනි. ඒ නම තමන්ගෙ කටෙන් කියවෙද්දිත් මංජලී තුරුණුව මනහාර කියා අමතද්දිත් හිත හීනියට ඇදුම්කන බව ජාන්වි නොදන්නවා නොවේ. ඒ නිසාවෙන්ම අතීතයට අයිති ඒ නම මග හැර වර්තමානයට අයිති තුරූණු යන නමෙන් ඇමතීම ජාන්විගෙ හිතට මද අස්වැසිල්ලක් ගෙන ආවාය.

අතීතය සම්පූර්ණයෙන්ම අත්හැර දමා, එය කිසිදාක නොතිබුණා සේ සිතා වර්තමානයේ ජීවත් වීමට අපට හැකියාවක් නැත. අතීතය අපගේ ජීවිතය තුළට තදින්ම කාවැදී ඇත. එහි වූ සුන්දර හෝ වේදනාකාරී සෑම මොහොතක්ම අප සිතන, දැනෙන සහ ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය හැඩගස්වන බව අප තේරුම්ගන්නේ ජීවත් වීමෙනි. එය සමහර විට නිහඬව, හොඳම මිතුරෙකු ලෙස අප අසලින් ගමන් කරයි. තවත් විටක බියකරු සෙවණැල්ලක් සේ අප පසුපස එයි.

එහෙත්, සමහර අවස්ථාවලදී එම මතකයන් වර්තමානයට ඕනෑවට වඩා බලපෑම් නොකරන්නේද?. ඒවා අපගේ හිතේ සැනසීම  කඩ කර, අප ඉදිරියේ ඇති දේ පැහැදිලිව දැකීමේ හැකියාව අපට අහිමි කරන්නට හේතු වේ. එවන් මොහොතක, අපට අවශ්‍ය වන්නේ අතීතයට පිවිසෙන එම දොරටු වසා දැමීමට, ඒවා අගුලු දැමීමට තරම් ශක්තියක් සහ විනයක් සොයා ගැනීමයි. 

ජාන්වි කරමින් උන්නේද එයයි.

එහෙත් මේ වේදනාකාරී වර්තමාන මොහොතේ අතීතයේ තමන් දැන ගෙන හුන් අයෙක් ඇසුරේ මදක් හෝ රැඳි සිටීම හිතට මද වශයෙන් හෝ සැනසීමක් ගෙන එන්නට හේතුවක් වනු ඇතැයි ජාන්විට සිතුණාය.

“තුරුණු”

“ඔව් කියන්න”

“මම ඔයාගෙ ඔෆිස් එකට ආවට කමක් නැද්ද?” කියා ජාන්වි අහද්දී තුරුණු සැබවින්ම නිහඬ වූයේත්, නිරුත්තර වූයේත් හිත කියන්නට යෙදුණ එක කතාවක් නිසාය.

“History Repeats and it will hurt you more this time”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here