අරුමැති ආදරයක් – 64

0
1236

නිවසට පැමිණි අපූර්වා උන්නේ කල්පනාබරවය. ඒ සිත දුකින් පිරී තිබුණේ අහේතුකව නොවේ. යළිත් වරක් යුගාශ්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නට සිතුනත් ඕ එසේ නොකළාය. යුගාශ්ගේ අප්පච්චිට කිසිවක්ම සිදු නොවිය යුතුය. ඔවුන් වෙන්ව සිටියත් උඩු සිත කුමක් පැවසුවත් යුගාශ්ගේ යටි සිතෙහි වීරයා වූයේ අප්පච්චී බව විශ්වාසය. බොහෝ දරුවන්ගේ හදවත් තුළ වීරයා වන්නේ තාත්තාය. මේ ඔහුව යුගාශ්ට අහිමි වියයුතු වේලාවක් නොවේ.  දිගු සුසුමක් මුදා හළ යුවතිය හේෂානිට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. සිත මඳක් හෝ සැහැල්ලුව ගියේ ඇයට සියල්ලම පැවසුවාට පසුවය.

“මාර වැඩේ..හරි අවුලෙන් ඇත්තේ.”

“සමහරවිට එයා අප්පච්චිව ගෙදර එක්කරගෙන යයි. මට එහෙම හිතුනා.”

“ඒත්…සර්ගේ අම්මා”

“යුගාශ් අයියා  නිතරම කියන්නේ එයාගේ අම්මා කරුණාවන්ත  කෙනෙක් එයා වෙන දැකල නෑ කියලා. එහෙම එකේ නොසලකා ඉදීද..”

“අනේ මන්දා..උවමනාම  කාලේ තමන්ව අකාරුණික විදිහට දාලා ගියාට පස්සේ ගෑණු කෙනෙක්ගෙ හිතේ ආපහු ඒ පිරිමියා ගැන ආදරයක් අනුකම්පාවක් උපදියිද. මටනම් කවදාවත් එහෙම කරන්න බැරි වෙයි.”

“ඒ හැම දේටම මුල් වෙන්නේ හිත. එහෙම උනොත් මම යුගාශ්  අයියගෙන් අහලා අප්පච්චිව බලා ගන්න එයාට උදව් කරනවා. උදේ ගිහිල්ලා හවස එන්න  හරි පුලුවන්නේ. කෑම බීම ටික හරි හදලා දීලා.”

“අපි එන විදිහක් බලමු. එයාලා සල්ලි නැති මිනිස්සු නෙමෙයිනේ බං. නර්ස් කෙනෙක් තියාගෙන හරි වැඩ ගනියි. ඒක නෙමෙයි අර මැඩම්ලයි ගෙදරට යන්න ඕනේ නැද්ද. දැන් ඔක්කොම වැඩ ඉවර එකේ ගෙට පදිංචි වෙන්න දවසක් බැලුවනං හරි නේද?”

“ඔව් මම යුගාශ්  අයියගෙන් අහන්න හිටියේ. ඒත් නොහිතපු ප්‍රශ්නයක්නෙ අන්තිමට ආවේ.”

“සමහරවිට මේ දේවල් වෙන්නේ හොඳටත් වෙන්න පුළුවන්. ඕක අහ අහා ඉන්න දෙයක් නෙමෙයිනේ. අපි ගිහිල්ලා එමු. හෙට හවසට වගේ.”

“හරි මං  කියන්නම්..”

මුලින්ම දුරකථනය විසන්ධි කර දැමුවේ අපූර්වාය. අවසන ඕ දිගු සුසුමක් මුදාහැර අලුතින් ඉදි කළ නිවසේ කාමරයක් කාමරයක් ගානේ ඇවිද ගියාය. සැබෑ වී ඇත්තේ සිහිනයක්ය. සොල්දර ගෙදර පුරවා තිබූ බඩු මුට්ටු තාත්තා එකින් එක විකුණා දැමුවේ පසුව ඉදිකළ කුඩා කාමරයට ඒ කිසිවක් ගෙන ආ හැකි කමක් නොවූ නිසාය. එනිසාම අලුත් ගෙදරට ගෙන ඒමට කුඩා කාමරයේ වූයේ ප්ලාස්ටික් පුටු හතරකුත්, ඇඳකුත්, අල්මාරියකුත්, උයන පිහින හට්ටි වලං කිහිපයත් පමණි.

ඒවා ගැන දුකක් අපූර්වාට නොවූවාය. ඒ සියල්ල හෙමි හෙමින් සකසා ගතයුතු අ⁣ඩුපාඩුය. අම්මාටත්, ආච්චීටත් කුඩා කාමරයට වඩා රැකවරණයක් අලුත් නිවසේ වේ. එනිසාම අපූර්වා සිතා සිටියේ අම්මා යළි  ආ පසුව රැකියාවක් කරන්නටය.

මේ දිනවල පැවතියේ අවසන් අදියරේ වැඩ කටයුතුය. ඊයේ පෙරේදා  සිට බාස්ලා  නිවස වටා වූ කම්බි වැට ශක්තිමත් කරමින් මිදුල පවා සකසන්නට පටන් ගෙන තිබේ. දහස් වරක් මේ සිත තමාරාට  පින් දෙන්නට ඇත. ඇයනම් මේ ජීවිතයට දේව දූතිකාවකි. හේෂානි පවසන ආකාරයට සැකයකින් සාංකාවකින්  තොරව දැන් යුගාශ්ගේ මවත්, ඥාතීනුත් මෙම නිවසට කැඳවාගෙන ආ හැකිය. අපූර්වා දිගු සුසුමක් මුදා හැරීයේ වර්තමානය සේම අනාගතයත් යහපත් වේවායි සිතමින්ය. 

                                     ********************

යුගාශ්  යළිත් පුෂ්පානන්දගේ කාමරයට පැමිණියේ අඩ හෝරාවකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියාට පසුවය.පසුගිය කාලයේ සිදුවූ බොහෝ දේ ඔහු අසා දැනගත්තේ සමරවීරගෙන්ය. අප්පච්චී ඒසා මවා පෑමක් ලෝකයාට සිදු කළේ කෙසේදැයි යුගාශ් සිතුවේ මවිතයෙන්ය. 

“පුෂ්පානන්ද සර් කියන්නේ මහ පුදුම මනුස්සයෙක්. සර්ට හැමදාම ඕන වුණේ වෙනද කළා වගේ හැම දෙයක්ම කරන්න. කොටින්ම කිව්වොත් සර්ට කැන්සර් එකක් කියලා අමතක කරන්නයි සර්ට ඕන වුණේ. මං මේ තරම් හයිය මනුස්සයෙක් දැක්කමයි යුගාශ් සර්. අනේ මන්දා මොන හේතුවක් හින්දා ලොකු සර් තමන්ගේ පවුල අතෑරියද  කියල. ඒ උනාට ලොකු සර් අපේ යුගාශ් සර්ට හරිම ආදරෙයි. කීප සැරයක්ම මට ලොකු සර් කතා කරද්දි ඒක දැනිලා තියෙනවා. මොන කරුමෙකටද මන්දා පුෂ්පානන්ද සර්ට ඒක පෙන්නගන්න බැරි උනා.”

“මේ හිටිය වගේම ඉස්සරහ කාලෙදිත් අප්පච්චිට සමරවීරගෙ උදව් ඕන වෙයි.”

‘මං අපේ ලොකු සර්ව දාල යන්නෙ නෑ. මගේ දරු පවුල ජීවත් වෙන්නේ ලොකු සර් හින්දා. මගේ කෙල්ලෝ දෙන්නෙක්ම විශ්ව විද්‍යාලේ ගියේ ලොකු සර්ට පින් සිද්ධ වෙන්න. අදටත් සර් ඒ දෙන්නගෙ වියදම් බලනවා. සර් ගියේ වෙනස් පාරක වෙන්න ඇති. අපි දන්නවනෙ යුගාශ් සර්  හැම ලෝයර් මහත්තයෙකුටම සාධාරණය වෙනුවෙන් විතරක්ම කතා කරන්න බෑ කියලා. ලොකු සර්  තණ්හාවයි කියලා මිනිස්සු කිව්වට,  කතා උනාට සර් අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන හැටි මං මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. සර් ලොකු ලොකු මිනිස්සුත් එක්ක ගැවසුනා තමයි. ඒ මිනිස්සුන්ගේ නීති විරෝධී වැඩ කටයුතු වලදී සර් ඒ මිනිසුන්ව බේර ගත්තා තමයි. හැබැයි යුගාශ් සර්  එක පැත්තකින් බලනකොට ඒක සර්ගේ රස්සාව. යුගාශ්  සර්ට උනක්  හැමදාම සාධාරණය වෙනුවෙන් විතරක් කතා කරන්න බෑ. සර් ඔය නීති පීඨයෙන් අයින් වුනේ මේ ලෙඩේ ගැන දැන ගත්තට පස්සේ. එතකල් නීති ශිෂ්‍යයෝ දහස් ගානකට අපේ සර්, සර්ගේ දැනුම දුන්නා. අපේ ලොකු සර්රුත්  මේ ලෝකෙ ජීවත් ජීවත් වෙන එක සාමාන්‍ය මනුස්සයෙක් විතරයි යුගාශ් සර්. උසාවියෙදි සර් ගැන මිනිස්සු කතාවෙන දේවල් මගේ මේ ඇස් දෙකට ඇහිලා තියෙනවා. මිනිස්සු කැමතියි තවත් මනුස්සයෙක්ගේ හොඳ ගැන කතා කරනවට වඩා නරක ගැන කතා කරන්න. සර්ගේ  කසාඳේ  ගැන කතා කරපු සමහර තැන්වලදී සර් කියන කතාවක් තමයි ‘අනේ මන්දා ඕයි ඒ ගෑණිව මට තේරුම් ගන්නත් බැරි වුණා ඒ ගෑනිට  මාව තේරුම් ගන්නත් බැරි වුණා කියලා’. නොගැලපෙන  මිනිස්සු එකට එකතු උනහම එතන සතුටක් නෑ කියලා සර්ට හිතෙන්න ඇති. කීප වතාවක්ම යුකාශ් සර්ට  මේ ලෙඩේ ගැන කියන්නද  කියලා මම අපේ ලොකු සර්ගෙන් ඇහුවා. ඒ හැම වතාවකම ලොකු සර් කිව්වේ මං මැරුණට පස්සේ කිව්වහම ඇති කියලා. සර් හැමතිස්සේම කියපු දෙයක් තමයි උන් දාලා ආවේ මම කියලා. ඒ වගේම සර් කිව්වා කවද හරි මං මැරිලා ගියපු දවසක මිනිස්සු මට කියයි කියලා ‘අවසන් මොහොතෙවත් වතුර ටිකක් ඉල්ල ගන්න ගෑනියෙක් දරුවෙක් නැති වෙච්ච කාලකන්නියෙක් කියලා’. මං එක දෙයක් දන්නවා යුගාශ් සර් ලෝකෙට පේන්න ජීවිත නඩත්තු කරන හැම මිනිහෙක්ගෙම හිත ඇතුලේ අසරණයෙක්, අහිංසකයෙක් ජීවත් වෙනවා. මං ඒක ඉගෙන ගත්තෙත් අපේ ලොකු සර්ගෙන් තමයි. තව ලොකු සර් හැම තිස්සෙම කියන දෙයක් තමයි ‘මගේ වටේ මේ විදිහට සල්ලිකාරයෝ පිරිලා හිටියට බං මං ඇඳට වැටුණු දවසකට මේ එක මනුස්සයෙක් නෑ කියලා. උන් මාව වටකරන් ඉන්නේ මගේ බලයට කියලා.  එහෙම හිතද්දී ලොකු සර්ට යුගාශ් සර්රුයි සර්ගේ නෝනයි මතක් වෙන්න ඇති.”

“මං අප්පච්චිව තනි කරන්නේ නෑ…”

යුගාශ් අවසන උඩුමහලට පැමිණියේ එසේ පැවසුවාට පසුවය.

කල්පනාවෙහි උන් අප්පච්චි තමා කාමරයට ඇතුළු වෙද්දීම දෑස් වල වූ කඳුළක් පිසදා ගන්නට ඉක්මන් වන අයුරු යුගාශ් හොඳටම දුටුවේය. එය නොදුටුවා සේ  යුගාශ් අසුන් ගත්තේ කලින් ඉඳගෙන උන් පුටුවේමය.

“මංගේෂ්වරී නම් නිවාඩු. සමරවීරට කිව්වනං පුතාට තේ එකක් හදලා දෙයි. හිතුවක්කාරයෙක් නොවී ඒක බීල ගෙදර යන්න. අම්ම ඔයා එනකල් හැන්දෑවට මග බලාගෙනන ඉන්නවා.”

“මං අද යන්නෙ නෑ මෙහේ නතර වෙනවා..”

“යුගාශ් මං උඹට එක සැරයක් කිව්වා. තව ටික කාලයක් මට තනියෙන් මගේ වැඩ කරගන්න පුළුවන්. එහෙම බැරි වෙච්ච කාලෙකට ඒකට ගන්න ඕන විසඳුමත් මම තීරණය කරලා ඉවරයි.”

“අප්පච්චි මොනවා කිව්වත් මං අද යන්නේ නෑ. අප්පච්චිට ඔෆ්ෂන් දෙකයි තියෙන්නේ එක්කෝ මමත් එක්ක අපේ ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් මාව මෙහේ තියාගන්න ඕන.”

“උඹ මහ වදයක් යුගාශ්..”

පුෂ්පානන්දගේ උඩුසිත එසේ පැවසූවත් යටි සිත පැවසූයේ එය නොවේ. මේ වදය සුන්දරය.  ඔහුට ඇවැසිව තිබුණේ මෙවේලෙහි යුගාශ්ව  බදා වැළඳගෙන සිප ගන්නටය. කුඩා කල සේ තදින් තම පපුවට තුරුලු කරගන්නටය.

“අද විතරක් නෙමෙයි මීට පස්සේ හැමදාම මං ඉන්නේ මෙහේ…”

“අර ගෑනිගෙ පපුව පැරිලා මැරෙයි.”

“මට පුළුවන් හවසට ගිහිල්ලා අම්මව බලල එන්න. අම්මත් එක්ක නන්දනී  ඉන්නවා.”

“කියන දේ අහපං යුගාශ්. මේවා සෙල්ලම්  තීරණ නෙමෙයි. මං දන්නවා ඔය ගෑනි හිත හදාගෙන ජීවත් උනේ උඹ නිසා කියලා. එහෙම අසාධාරණයක් කරන්න දෙන්න බැහැ. කොයිම වෙලාවකවත් උඹ අම්මට වඩා මට ආදරෙයි කියන සිතුවිල්ල ඒ හිතට දැනෙන්න ඕනෙ නෑ.”

“එහෙමනම් අප්පච්චිට  කරන්න තියෙන්නේ මමත් එක්ක ගෙදර යන එක. අප්පච්චි….අපිව දාල ගියේ ඔයා. හැබැයි මං දන්නවා අදටත් අම්මගේ හිතේ ඔයා ගැන තිබුණු ඉඩ එහෙමමයි කියලා. ලෙඩ කියන දේවල්, හදිසි අනතුරු කියන දේවල් අපි කාටවත් කිය කිය වෙන්නේ නෑ. අද ඔයාට හෙට මට අනිද්ද අම්මට වෙන්න පුළුවන්. එහෙම වෙලාවකදි ඔයාව තනිකරල යන්න මට බෑ. අම්මා කැමති වෙන්නෙත් නෑ. මේ තනිකම මේ වෙලාවේ ඔයාගේ හිතට බරක් කියලා මම දන්නවා. ඔයා අපිත් එක්ක තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ඕනේ. අවුරුදු ගානක්ම මට නැති වෙච්ච ඒ ආදරේ එක පාරටම මට ලැබිලා ආයෙ නැති කරගන්න බෑ. ඔයාව මේ විදිහට දැක දැක ඔයාව දාලා ගිහිල්ලා සැනසීමෙන් ජීවත් වෙන්නත් මට බෑ. හොඳට මතක තියාගන්න අප්පච්චි මං ඔයාගේ පුතා ඔයා වගේම මං දන්නෙත් දිනන්න විතරයි.”

අවසන් වදන් කිහිපය පවසද්දී යුගාශ්ගේ  හඬ බිඳී යමින් තිබිණ. වෛද්‍ය මිතුරා පැවසූ ආකාරයට අප්පච්චිට ජීවත්වීමට ඇත්තේ තවත් කෙටි කාලයකි. අම්මා ඔහුව කොහොමටවත්ම ප්‍රතික්ෂේප නොකරන බව විශ්වාසය. පුදුමයනම් වසර ගණනාවක් ගෙවී ගියත්  ඔහුගේ ආදරයට යටි සිතෙහි වූ ලෝබකම තවමත් එහෙමමය. පුෂ්පානන්දගේ දෑස් දෙපසින් කඳුළු ගලා යමින් තිබිණ. ඔහු ඒවා පෙර මෙන් සඟවන්නටවත් පිසදා ගන්නටවත් උත්සාහ නොදැරුවාය. තවදුරටත් යුගාශ් ඉදිරිපිට දී තම චරිතය මවා පෙන්වන්නට ඔහුට ඕනෑ වූයේ නැත. පුෂ්පානන්ද ඒ සැර පරුෂ තේජවන්ත නීතිඥයාගෙන් විනාඩි කිහිපයකට මිදුනේය. ඔහු තම දකුණතින් යුගාශ්ට පැවසූයේ තමාට ළං වන ලෙසය. වසර විසි ගණනකට පසුව රිසිසේ ඔවුනොවුන් වැළඳගත්  අප්පච්චිත් පුතාත්  ඉකිබිඳ හඬන්නට විය. පුෂ්පානන්දට  දැනුනේ තමා සිය ඇතුලාන්තයෙන්ම දියව යන බවකි. 

“අප්පච්චි ලෑස්ති වෙන්න ගෙදර යන්න. ලෝකෙට කවුරු උනත් අද ඉඳලා ඔයා මට මගේ අප්පච්චි විතරයි. සමහර බෙහෙත් වලට කරන්න බැරි දේවල් ශක්තිමත් මනසට කරන්න පුළුවන්.”

“උඹලයි අම්මට රිදෙයි පුතා. අන්තිම කාලෙ මං මේ විදිහට ගිහිල්ලා ඒ ගෑනි ළඟ වැටුනහම ඒක එයාට කරන අසාධාරණයක්. ඔය මනුස්සයා මං ගෙදරින් එන්න කලින් මගේ කකුල් දෙක ළඟ වැඳ වැටුණා. එදා මම මහා හිතක් පපුවක් නැති මනුස්සයෙක් විදිහට ඔය ගෙදරින් පිටවෙලා ආවෙ. සමහර තැන්වලදී මට මාවම මරල දාන්න ඕන උනා. නිමක් නැති තණ්හාවක් පස්සේ මං දුවලා ගිහිල්ලා මට හති වැටුණා. මං ලෝකෙ සිංහයෙක් වගේ ජීවත් වුණා. ඒ උනාට ඇතුළතින් මං හිස් මනුස්සයෙක් උනා. මට ඕන උනා පුෂ්පානන්ද ගැන හැමෝම කතා කරනව දකින්න. මං ඒක කළා. හැමෝටම වඩා වැඩි යමක් මං ඉපයුවා. තනිකමයි දුකයි දෙකම නැති කරගන්න මං දිවා රෑ නොබලා වැඩ කළා. කාලය ගතවෙලා යනවා දැනුනේ නෑ. මගේ වෘත්තිය ඇතුලේ පුෂ්පානන්ද කියන නම මං බැබළෙව්වා. මේ රටේ ඕනෙම බලපුළුවන්කාරයෙක් මගෙ කකුල් දෙක ළඟට ගෙන්න ගන්න තරම් මං ශක්තිමත් වුණා. ඒ උනාට මගේ ජීවිතේ එක අඩුවක් හැමදාම තිබුණා.”

“අප්පච්චි අපි අතීතය අමතක කරමු. අපි වර්තමානයේ ජීවත් වෙමු. මට ඒ වචනෙ දෙන්න අප්පච්චි ඔයා මමත් එක්ක අපේ ගෙදර යන්න එනවද? මේ දැන්ම…”

“පුතා….”

“එහෙනම් මං මෙහේ නවතිනවා. මම සමරවීර යවලා අම්මට කියලා ඇදුම් ටිකක් ගෙන්න ගන්නම්.”

යුගාශ්  නැගී සිටියේ එසේ පවසමින්ය. සුදු පැහැ දෙකොපුල්  රත් පැහැවී තිබිණ. තවමත් ඒ කොපුල් මත නොවේලුන කඳුළු දෙපේළියක් විය. 

“යුගාශ්…”

පුෂ්පානන්ද යළිත් ඔහුව ඇමතූයේ ඔහු කාමරයෙන් පිටවන්නට සූදානම් වද්දීය. යුගාශ්  නතර වූවත් ආපසු හැරී බැලුවේ නැත.

“යමු…”

තරුණයාගේ  මුව මත ඇදී ගිය මදහස පුශ්පානන්ද නුදුටුවේය. ඔහු ඇඳෙන් නැගී සිටියේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය. 

“අප්පච්චි ඔයාට ජීවත් වෙන්න ලෝබ කමක් ඇති කරන්න මං දන්නවා. ඔයාට එච්චර ඉක්මනට මං යන්න දෙන්නෙත් නෑ..”

අවසන ඔහු පවරා ගත්තේ තමාටමය.

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here