යුගාශුත් අපූර්වාත් ආදරණීය පොරොන්දුවක් සමගින් දෙපසකට වී වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබිණ. පුදුම උපදවන තරම් සංයමයක් දෙදෙනා තුළම විය. දිනපතා රාත්‍රියේ හෝරාවක් දෙකක් පමණ සිදුවන දුරකථන සංවාදයේදී දවසේ සිදුවන සියල්ල ඔවුනොවුන් හා පවසා ගැනීම අදහස් බෙදා ගැනීම සේම උපදෙස් ලබාදීම ද සිදුවිය. අපූර්වාව හමු නොවුනාට යුගාශ් නිරතුරුවම අපූර්වා පිළිබඳව සොයා බලමින් සිටියේය. ඇය අවුරුදු තුනක කාල සීමාවක් තමාට ලබා දෙන්නයැයි ඉල්ලා සිටියේ කුමන හේතුවක් නිසාද යන්න යුගාශ්ට වැටහුම් වූයේ පසුවය. ඇය ඇගේ ජීවිතයේ බොහෝ දේ පිළිවෙලක් කර ගනිමින් සිටියාය. මේ වෙනස් ආදර කතාවකි. ඒ වෙනස් වූ ආදර කතාවේ ලොව සුන්දරම ආදර කතාවක්යැයි යුගාශ්ට සිතුනේ වරක් දෙවරක් නොවේ.
“අයියේ..අප්පච්චී ආපහු ඔයාලගේ ජීවිතේට ඇවිල්ලා සම්බන්ධ වෙච්ච මුල්ම කාලේ ඔයාටයි අම්මටයි දෙන්නටම ටිකක් අපහසු කාලයක් කියලා මම දැනගෙන හිටියා. සමහර පරණ පුරුදු වෙනස් කරන්න වගේම අලුත් පුරුදු ඇති ඇතිකර ගන්නත් ඔය දෙන්නටම සිද්ධ වෙන බව මම දැනගෙන හිටියා. මට ඕන වුණේ ඔයාලගේ ජීවිත වලින් චූටි කාලෙකට ඈත් වෙලා ඔයාටයි, අම්මටයි අප්පච්චිටයි එක පවුලක් විදිහට එකතු වෙන්න නිදහස දෙන්න. ඒ අතරේ මම හිටියනම් සමහර විට මේ තරම් ආදරෙන් ඔයාලා එකතු නොවෙන්න තිබුණා. මිනිස්සුන්ගේ ජීවිතවලට උපදෙස්,ඇඟිලි ගැහීම්, හොයා බැලීම් වලට වඩා අවශ්‍ය වෙන්නේ කාලය කියලා මම විශ්වාස කරනවා.”
අපූර්වා එසේ පැවසූයේ ඒ අයුරින් කතා කරමින් සිටි එක් සැඳෑවකය. ඇයගේ තේරුම් ගැනීමත් අවබෝධයත් පිළිබඳව තරුණයාට වූයේ පුදුමයකි. වර්තමානයේදී අපූර්වා, තමා දුටු ශක්තිමත්ම ඉවසිලිවන්තම ගැහැනිය යැයි සිතා උන් අම්මාවත් පරදවමින් උන්නාය. ගැහැණිය වඩා ලස්සන වන්නේ පරාර්ථකාමීත්, සංවේදීත් වූ විටය.
“තමාරා මට ටිකක් කතා කරන්න පුලුවන්ද?”
පුෂ්පානන්ද ඇසුවේ ඇය බුදු කුටියේ සිට ආපසු නිවස තුළට එමින් සිටියදීය. බොහෝ විට දැන් නිවසේ සමහර තීරණ වලදී තමාරා පුෂ්පානන්ද හා සාකච්ඡා කළාය. විවේක සුවයෙන් නිවසෙහි ගත කරන ඔහු වැඩි ඉඩක් වෙන් කළේ පොත්පත් කියවීමටය. අප්පච්චිත් පුතාත් එකතු වී පසුගිය සමයෙහි කුඩා පුස්තකාලයක් සකස් කලේ උඩුමහලෙහිම වූ කාමරයකය.
කිසිවක් නොකියා තමාරා ආලින්දයේම අසුන් ගත්තේ මද සිනහවක් මුව මත තබාගෙනය. ජීවිතයේ අවසන් කාලයේ හෝ පුෂ්පානන්ද සතුටත් සැනසුමත් මුදල් මතම තීරණය නොවන බව බටහා ගැනීමට සමත්ව උන්නේය. මෙම නිවසෙහි සතුටුම කාලය වූයේ ගෙවී ගිය දෙවසර බව විශ්වාසය.
“අපි දැන් යුගාක්ගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න ඕනේ තමාරා. මේ ගෙවිලා යන්නේ එයාගේ ජීවිතේ හොඳම කාලේ. මං ඒ තීරණයට මැදිහත් වෙන්නේ නැහැ. මොකද අවුරුදු ගානක් මගෙන් කිසිම උදව්වක් නැතුව ඔයා යුගාශ්ව මේ විදිහට උස්මහත් කළා විතරක් නෙමෙයි ගුණධර්ම දන්න, රටට ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් විදිහට නිර්මාණය කළා. ඒ නිසා ඒ තීරණය ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඔයාට බාරයි. හැබැයි එයාගේ හිතට සතුටක් දෙන විදිහේ තීරණයක් ගන්න කියලා මං ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මොකද යුගාශ් කියන්නෙත් අපූර්වා කියන්නෙත් මං මේ ලෝකේ දැකපු හොඳම දරුවෝ දෙන්නා. එහෙම දරුවෝ දෙපැත්තකට කරලා ලබන ආත්මෙටත් අපි පවු එකතු කරන් යන්න ඕනේ නෑ”
පැහැදිලි වූ හඬකින් පැවසුවත් අවසන් වදන් කිහිපයේදී පුෂ්පානන්දගේ හඬ බිඳී යමින් තිබිණ. තමාරා හිස වැනුවේ ඔහුව අනුමත කරමින්ය.
“අපි ළඟ නොතිබුණු ඉවසීමක්, අපි ළඟ නොතිබුණු සංයමයක් වගේම අපි ළඟ නොතිබුණු තේරුම් ගැනීමක් ඒ දරුවෝ ළඟ තියෙනවා. ඒ නිසා දරුවො දෙන්නටම අසාධාරණයක් නොවන තීරණයක් ඔයා ගන්න. මට ඒ ටික කියන්නයි ඕන වුණේ.”
“ඒ තීරණේ අපි දෙන්නම එකතුවෙලා ගමු පුෂ්පානන්ද. මේ මගේ දරුවා විතරක් නෙමෙයි. අපි දෙන්නගෙම දරුවා.”
තමාරා පැවසූයේ ඉදිරිය බලාගෙනය. ගාලු පාරේ තිබෙන වාහන වලින් විටෙක නැගුනේ ඝෝෂාකාරී ශබ්දයකි. ඒ ශබ්දය නිසාම විටක මෙම නිවස අතහැර වෙනත් නිවසකට යාමට සිතුනු අවස්ථා බොහෝය. එහෙත් සිතෙහි වූ තනිකම මකා ගන්නට පැය ගණන්, වරු ගණන් තමා සැදැල්ලට වී ගාලු පාරේ එහේ මෙහේ දිවෙන වාහන දෙස බලා සිටි අයුරු තමාරාට සිහි වූයේත් ඒ හදිසියේමය. ජීවිතය පුදුමාකාර එකකි. වරෙක වදයක්, සිත් තැවුලක් වන සමහර දේ තවත් වරෙක ජීවිතයට අත්‍යාවශ්‍යම වීම පුදුමයකි.
මින් දෙසතියකට පමණ පෙර කාන්තා සමිතියේ සුබ සාධන වැඩ කටයුත්තක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ආරාධනා ලැබුවේ අපූර්වාය. සිය ගණනක් සෙනඟ මැද්දේත් ඕ තමාගේ දෙපා වැඳ විනාඩි කිහිපයක් යනතුරු තමාට තුරුළුව උන් ආකාරය ඇය සිහි කළේ දෑස් මත කඳුලක් උපදිද්දීය. යුගාශ් සේම තමාරාත් වරින් වර අපූර්වා පිළිබඳව සොයා බැලුවාය. අද ඇය මුළු ගමම කතාවන පූර්වාදර්ශී චරිතයක් වී සිටියාය.
“අපූර්වාට අකමැති වුණේ මගේ හිත නෙමෙයි පුෂ්පානන්ද මගේ ජීවන අත්දැකීම්. අපූර්වා කියන දරුවා ලේලියෙක් කරගන්න මොනම අම්මා කෙනෙක්වත් අකමැති වෙන්නේ නෑ. ඒ තරං ලස්සන ගතිගුණ මං එදා ඉදලම ඒ දරුවාගේ දැක්කා. එක තැනකදි මට හිතුණා මගේ පුතා අතින් ඒ දරුවට අසාධාරණයක් වෙයි කියලා. කවද හරි දවසක ඒ දෙන්නගෙ නොගැලපීම් ගැන සමාජය කතා කරයි කියලා. මොකද අපූර්වා ජීවිතේ ඒ වගේ වයසකට උහුලන්න බැරි තරම් දුක් කන්දරාවක් උහුලපු දරුවෙක්. අපූර්වා යුගාශ්ට ආදරය කරන තරම මම හොඳටම දැනගෙන හිටියා. ජීවිතේ කවද හරි දවසක යම්කිසි දෙයක් වුණොත් ඒ දරුවාට හැරිලා යන්න තැනක් නෑ කියන එකත් මම දැනගෙන හිටියා. මං දන්නවා කවදාවත් අපූර්වා දුවට මේ හිතේ දීපු ඉඩ වෙන කෙනෙකුට දෙන්න බැරි බව. මට හැමදාම කේන්තියක් ඇති උනේ යුගාශ් එක්ක.”
“යුගාශ්ගේ තේරීම නිවැරදියි කියලා මට හිතෙනවා තමාරා..”
“ඔව් ඒක හරි..මං මෙතනදි ඔයාට කියන්න උත්සාහ කළේ පුෂ්පානන්ද මට තිබුණේ අපූරුවා ගැන අකැමැත්තක් නෙමෙයි, එකතු වෙලා ඒ දෙන්නට වෙන් වෙන්න සිද්ද වෙයි කියලා බයක්. අද මම විශ්වාස කරනවා අපූර්වා තරම් ලස්සනට ජීවත් වෙන්න වෙන කාටවත් බෑ කියලා.”
“අපූර්වා එහෙම ජීවත් වුණේ යුගාශ් එයාගේ ළඟ ඉඳපු නිසා. අපූර්වා කියන්නේ හොඳටම වැටිලා හිටපු දරුවෙක්. බැඳීමක් ඇතුළෙ සිද්ධ වෙන්න ඕනෙ අන්න ඒ දේ.”
“ඔව්….අපූර්වා මට හම්බවුණු දවසෙයි අද දවසෙයි අතර අහසට පොළොව වගේ ලොකු වෙනස්කමක් තියෙනවා. අද මං සීයට සීයක්ම විශ්වාස කරනවා යුගාශ්ට ගැලපෙන්නේ අපූර්වා කියලා. තව ටික දවසකින් මමත් මේ කාරණය ගැන ඔයා එක්ක කතා කරන්න තමයි හිතාගෙන හිටියේ. අපූර්වගේ තැන එදා හිටියේ වෙන දරුවෙක් උනානං අද මගේ පුතත් මට නැති වෙලා.”
“අපි මේ කටයුතු ඉක්මන් කරමු. තවදුරටත් මේ දරුවෝ දෙන්නා දෙපැත්තට වෙලා විඳවන්න ඕන නෑ. මට විශ්වාසයි අපිට හොරෙන්වත් මේ ගෙවිලා ගියපු අවුරුදු දෙකහමාර ඇතුළත මේ ළමයි දෙන්න හම්බවුණේ නෑ. තවදුරටත් ඒක එහෙම වෙන්න ඕන නෑ. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ගෙවිල ගියපු කාලේ අපරාදෙ කියල හිතලා පසුතැවෙන්නෙ නැතුව ඇති මම තරම් වෙන කිසිම මනුස්සයෙක්.”
පුෂ්පානන්ද එවේලෙහි පැවසූයේ මඳක් එහාට වන්නට වූ බුදු කුටිය දෙස බලාගෙනය. තමා මේ ජීවිතයේ කිසිවක්ම නොලද මිනිසෙකු යැයි ඔහුට සිතෙන්නේ දැන්ය.
“අපි අදම මේ ගැන පුතා එක්ක කතා කරමු පුෂ්පානන්ද. ඔයා කිව්ව හරි එයාලගේ හොඳම කාලෙ තවදුරටත් අපි උදුර ගන්න ඕනෙ නෑ.”
“මට ඔයාට කියන්න තව කාරණයක් තියෙනවා.”
“ඒ මොකද්ද පුෂ්පානන්ද?”
“මම ගිය සතියේ දවසක මගේ කියල තිබුණු හැම දෙයක්ම ජීවිත භුක්තියවත් තියාගන්නේ නැතුව පුතාගේ නමට ලිව්වා.”
“මං හිතන් නෑ යුගාශ් කවදාවත් ඔයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙයි කියලා. ඔයාට ඒක දැනෙනවද නොදැනෙනවද කියන්න මම දන්නෙ නෑ පුෂ්පානන්ද. එයා දැන් බලන්නේ විනාඩියක් හරි කලින් ගෙදර එන්න. ඔයා නිසා එයා හරි සතුටින්.”
“ඒක මං දන්නවා. ඒකයි මං දැන් මේ ජීවිතේ අතෑරලා දාලා යන්න ලෝබ. ඒත් මට ලොකු කාලයක් නෑ කියන්න මං දන්නවා.”
පුෂ්පානන්දගේ හඬ වෙව්ලමින් තිබිණ. තමාරාග් දෑස් යළිත් කඳුලකින් තෙත් වූයේ එවේලෙහිය. ප්‍රථම වරට ඕ තමාගේ ආයුෂත් ගෙන ඔහු ජීවත් විය යුතු යැයි පැතුවාය.
“මම අපූර්වගේ නැතිවුණු ඇත්තටම කිව්වොත් මම නැති කරපු සොල්දර ගෙදර සල්ලි වලට ගත්තා.”
තමාරා එවේලෙහි තම සැමියා දෙසට හැරුනේ දෑස් විසල් කරගෙනය.
“මොන හේතුවක් හින්දද මන්දා ඒ ගෙදර ඒ මිනිස්සුන්ට ඉන්න බැරි වෙලා. ඔය ගමේ ග්‍රාම සේවක ඉන්න මනුස්සයා හරිම කපටි මනුස්සයෙක්. දවසක් මට උසාවියේදී හම්බවෙලා ඔය ගේයි ඉඩමයි මගේ ඇඟේ ගහන්න සෑහෙන්න උත්සාහ කළා. ඊට පස්සෙත් දෙපාරක් තුන් පාරක්ම ඒ කාරණයටම මාව හම්බ වෙන්න ආවා. මං ඒක ගත්තේ සමරවීර ලව්වා. ගිය සතියේ මං කට්ටියක් දම්මලා ඒ වත්ත සුද්ද කෙරෙව්වා. ඒක අපූර්වා දුවට මගෙන් තෑග්ගක්. එයා කැමති දෙයක් ඒකට කරපුවාවේ. මට එයාට නැති වුණු තාත්තා ආපහු ගෙනත් දෙන්න බෑ. හැබැයි මගේ ඇස් දෙක පියවෙනකල්ම මං එයාට හොඳ තාත්තා කෙනෙක් වෙනවා.”
“ඔයා දැනටමත් ඒක කරනවා පුෂ්පානන්ද. මිනිසුන්ගේ දෛවය, ඉරණම ඒක වෙනස් කරන්න ඔයාටවත් මටවත් බෑ. ඒ වගේම තමයි ඒ වගේ දේවල් මේ ලෝකෙට සදාතනිකයි. අදත් හෙටත් මිනිස්සු දේපළ වෙනුවෙන් මිල මුදල් වෙනුවෙන් කුළල් කා ගනීවි. ජීවිත නැති කර ගනීවි. ජීවිත නැති කරාවි. උසාවි වල මිනිස්සු නඩු කියන්න පෝලිං ගැහිලා ඉදීවි. ඒ නිසා ඒ වරද ඔයාගේ පිටට පටවගෙන හිතින් දුක් විඳින්න එපා. අපූර්වා දුවගේ හිතේ ඔයා ගැන පුංචිමවත් තරහක් නෑ කියන එක මට හොඳටම විශ්වාසයි.”
“මං ඒක දන්නවා. ඒ ළමයා වෛර කරන්න දන්න ළමයෙක් නෙමෙයි.”
ඉන්පසු දෙදෙනා අතර ඇති වූයේ සාමාන්‍ය කතා බහකි. දරුවන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය හැකි ඉහළම ආකාරයෙන් පවත් වන්නට ඔවුන් තීරණය කළේත් එවේලෙහිමය. වරෙක පුෂ්පානන්ද තමාරාගේ අදහස් වලටත් තමාරා පුෂ්පානන්දගේ අදහස් වලටත් ගරු කරමින් හිස නමමින් සිටියේය. ජීවිතය පිළිබඳව දෙදෙනාගේම සිත්වල ඇති වෙමින් තිබුණේ ලෝබකමකි.
යෝජනාවක් මත විවාහ වුවත් ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වුවත් ඒ දෙදෙනෙකු මිස එක් අයකු නොවන බව මුලින්ම සිහි තබා ගත යුතුය. ඔවුන් එක් අයකු වන්නේ ගෙවී යන කාලයත් සමඟය. ජීවන අත්දැකීම් සමගය. විවාහය යනු එකිනෙකාගේ අදහස් වලට කන් දෙමින් ගරු කරමින් අවබෝධයෙන් යුතුව ඉදිරියට යා යුතු ගමනකි. මිනිසුන් ජීවිතය වරදාගන්නේ අත්දැකීම් නැති කමින්ය. සියල්ලටම අවැසි වන්නේ කාලයය. විවාහ ජීවිතයක් ඉදිරියට පවත්වාගෙන යාමට ආදරයටත් වඩා අවැසි වන්නේ ඉවසීමය. ඉවසීම තුළින් ගොඩනැගෙන ජීවිත ශක්තිමත්ය. වෙනස් වූ මත ඉවසා සිටීම තුලින් ඒ ශක්තිමත් කුටුම්භය එළිය වනු ඇත.
බොහෝ දික්කසාද නඩුවලට හේතුව වී ඇත්තේ හදිසි තීරණය. ඒ අයුරින් තීරණ ගන්නට හදිසි වන්නේත් තාරුණ්‍යයේ පසුවන දරුවන්ය. එක්ව ජීවත් විය නොහැකිනම් වෙන්වීම සුදුසු යැයි පැවසුවත් තීරණ ගන්නට දිය යුතු කාලය පිළිබඳව අවබෝධයක් මේ තරුණ දරුවන්ට නොවේ.
දිගු සුසුමක් මුදාහළ පුෂ්පානන්ද තමාරා දෙස බැලුවේ ඇයව තමාට මගහැරී ගියේ කොතැනකින්දැයි සිතමින්ය. එදවස ඇය කුමක් කලත් තමා ඈ දෙස බැලුවේ නුරුස්නා හැඟීමකින්ය. දෙදෙනා එකට එක්ව ජීවිතය පිළිබඳව කතා කළ දිනක් ඔහුගේ මතකයේ නොවේ. කාලය දුන්නා නම්, අත්දැකීම් වලින් පරිණත වූවානම්, ජීවිතය යනු සැප සම්පත් නොවන බව අවබෝධ කරගත්තානම් ගෙවී ගිය කාලය පිළිබඳව පසුතැවීමක් නොවේයැයි ඔහු අවසන සිතුවේය.
(යළිත් හමු වෙමු ආදරයෙන්)