ආදර සැලසුම් – 56

0
1893

ආදිත්‍ය සුපුරුදු පරිදි දිනපතාම ආයතනයට පැමිණ රාජකාරී කටයුතු සමග කාර්යබහුල වූ අතර හදවතේ වූ වේදනා කාරී ගතිය පාලනය කර ගැනීමට ඒ කාර්යබහුල කමට බොහෝ දුරට හැකි විය. ෂෙහාරා දික්කසාදය ලබා දීම සඳහා එකඟ වීමත් සමඟ ආදිත්‍ය වෙනදාට වඩා තරමක සැහැල්ලුවකින් කල් ගත කරන්නට ද පටන් ගත්තේය.

මෞර්යා ගේ සිත කොයි මොහොතක හෝ වෙනස් වේ යැයි සහ ඇගේ සිත තමා කෙරෙහි බැඳේ යැයි බලාපොරොත්තුවෙන් අභිමන් අධිෂ්ඨානශීලීව බලා උන්නේය. අභිමන් ගේ ආදර යෝජනාව මෞර්යා ප්‍රතික්ෂේප කලද වචනයකින් හෝ වෙනසක් කාර්යාලය තුළදී අභිමන් සහ මෞර්යා අතර වූයේ නැති අතර ඔවුන් ඉතාම සාමාන්‍ය ලෙස තම තමන් ගේ වැඩ කටයුතු වල නිරත වූහ. ජීවිතය දෙස අළුත් ඇසකින් බලන්නට මෞර්යා නිසා ආදිත්‍යයට ද හැකිව තිබූ අතර දෛවයේ සැලසුම් වලට අනුව එදිනෙදා සිදුවන ඕනෑම දෙයකට ශක්තිවන්තව මුහුණ දීමට ආදිත්‍ය හුරු වෙමින් උන්නේය.

දේවක වෙනදාට වඩා නිතර නිවසට ආ ගිය අතර අශිකා පිළිබඳව මෙන්ම දෙපුත්‍රයන් පිළිබඳව ද සොයා බලන්නට දේවක කාලය වෙන් කළේය. දේවක ගේ නිතර පැමිණීම අශිකා ගේ සිතට මද අස්වැසිල්ලක් එකතු කොට තිබූ අතර ඔවුන් දෙදෙනා අතර මෙතෙක් කාලයක් පැවති දුරස්ථ භාවයද කෙමෙන් පහව යමින් තිබුණේය. එහෙත් හදවත් පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට හැකි දැයි යන විශ්වාසය අශිකා තුළ තිබූයේ නැත. දරුවන් දෙදෙනා වෙනුවෙන් තව දුරටත් ඉවසා හිඳිමින් දේවක හා රැඳෙන්නට අශිකා හිත හදා ගෙන වුන් අතර ඉදිරියේදී දේවක ගන්නා ඕනෑම තීරණයකට එකඟ වීමටද ඇය සූදානමින් උන්නාය.

නඩු වාර පැවැත්වෙන අතරතුර කාලයේ දී ආදිත්‍ය ගේ හිත කෙසේ හෝ වෙනස් කර ගැනීමට ෂෙහාරා වරක් දෙවරක් උත්සාහ කළ අතර අනතුරුව ඇය එය අත හැර දමා තිබුණාය. ආදිත්‍යයට දික්කසාදය ලබා දෙමින් තමාගේ වරදින් අහිමිව ගිය විවාහය කෙළවරක් කර දමනවා හැරෙන්නට වෙනත් විසඳුමක් නොමැති නිසා අවසානයේ දී මාස තුන හතරක් දක්වා කල් යමින් තිබූ දික්කසාද නඩුව අවසන් කරන්නට ෂෙහාරා තීරණය කළාය. 

වන්දියක් ලබාදීමට තරම් අසාධාරණයක් ආදිත්‍ය අතින් ෂෙහාරාට සිදු වී නොතිබුණු නිසා ෂෙහරා ආර්ථිකමය අතින් ස්ථාවරයකට පත් වන තුරු ඇයට මාසිකව නඩත්තු මුදලක් ගෙවීමට ආදිත්‍ය ඉතාම කැමැත්තෙන් එකඟ වූයේය. 

අවසාන නඩු වාරය පැවැත්වෙන දිනයේ දී සුදු සාරියකින් සැරසුණු ෂෙහාරා උසාවියට පැමිණියේ නීතිඥවරයාත් ,රවින්ද්‍ර සහ ශීලා ත් සමඟය. තම එකම දියණිය ගේ දික්කසාද නඩුවට සහභාගී වීම සඳහා උසාවියකට පැමිණීමට සිදු වීම දෙමව්පියන් ගේ හදවත් මොන තරම් කම්පාවට පත් කර තිබේ දැයි තේරුම් ගන්නට ෂෙහාරාට අපහසු වූයේ නැත.

නඩු කටයුතු අවසන් වන විට සවස තුන පමණ වූ අතර ආදිත්‍ය මෙන්ම ෂෙහාරා ද උන්නේ බොහෝ වෙහෙසට පත් වීය. අවසාන දිනය නිසා ලියකියවිලි කටයුතු බොහෝමයක් සිදු කිරීමට කාලය ගත වීම හේතුවෙන් තවත් පැයක් පමණ උසාවි භූමියේ රැඳී සිටින්නට ආදිත්‍යයට සහ ෂෙහාරාට සිදු විය.

සියලු කටයුතු අවසානයේ දී තමා පිළිබඳව කම්පාවක් මෙන් ම අනෙක් අතට සැහැල්ලුවද දරාගෙන ආදිත්‍ය උසාවි භූමියෙන් පිටතට පැමිණ වාහනය නවත්වා ඇති ස්ථානය කරා ඇවිද ආවේය. වාහනයට නගින්නට පෙර ආදිත්‍ය නැවතී මොහොතක් කල්පනා කළේය. දහසකුත් බලාපොරොත්තු තබා ගෙන පා තැබූ විවාහ ජීවිතය මෙසේ උසාවියකින් කෙළවර කරන්නට ලැබීම අවාසනාවකි. එහෙත් වංචනික විවාහයක රැඳී සිටීම ඊටත් වඩා අවාසනාවක් නිසා මෙතැන් පටන් අලුතෙන් ජීවිතය ආරම්භ කරන්නට ආදිත්‍ය හිත හදා ගත්තේය.

” ආදිත්‍යය ” 

ෂෙහාරා කොහේදෝ සිට ආදිත්‍ය ගේ වාහනය අසලට පැමිණ උන්නාය.විවාහ දිනයෙන් පසුව ෂෙහාරා වෙනත් උත්සව අවස්ථාවකට හෝ සාරියකින් සැරසුණේ නැත. එහෙත් අද ඇය සුදු සාරියකින් සැරසී ශෝකී භාවයක් සහ පසුතැවිල්ලක් මුහුණේ රඳවා ගෙන තමා ඉදිරියේ සිටියි. මේ සියල්ල මේ ආකාරයට සිදු වූයේ ෂෙහාරා ගේ දුර දිග නොබලා ක්‍රියා කිරීමේ පුරුද්ද නිසා සහ හිතුවක්කාර ගති පැවතුම් නිසාය. එහෙත් මනුෂ්‍යයෙක් ආකාරයට ස්වාමි පුරුෂයෙකුට බිරිඳක ගේ එවැනි ගති පැවතුම් දිගින් දිගටම ඉවසා සිටිය නොහැක. අනෙක් අතට තමා රැවටුණු බව දැන දැනම එවැනි විවාහයක රැඳී සිටීමෙන්ද පලක් නැත. ඒ නිසා ඕනෑම දෙයක් සිදුවන්නට හැර තමා ගත් තීරණය නිවැරදි යැයි ආදිත්‍ය ඔහු ඉදිරියේ සිට ගෙන සිටින ෂෙහාරා දෙස බලමින් සිතුවේය.

” ආදිත්‍යය හැමදේම උනේ මගේ වැරැද්දෙන්. අනික ,පොඩි වැරැද්දකට ජීවිතේ කොච්චර දුරට වෙනස් කරන්න පුළුවන්ද කියලා මට දැන් තේරෙනවා ” 

ෂෙහාරා වෙනදාට වඩා සන්සුන්ය. ඒ සංසුන් බව තුළ ඇත්තේම පසුතැවිල්ලකි. එහෙත් ඒ පසුතැවිල්ලට දැන් කළ හැකි දෙයක් නැත.

” ඒක පොඩි වැරැද්දක් නෙමෙයි ෂෙහාරා. තමන්ව විශ්වාස කරලා කසාද බැඳපු , තමන්ගේ මුළු ජීවිතේම බාර දීපු මනුස්සයෙක්ට ඔයා කලේ වංචාවක්. ඒ වගේ වංචාවක් මම නෙමෙයි වෙන කවුරු වුණත් ඉවසන්නේ නෑ ෂෙහාරා. මීට පස්සේ ඔයාගේ ජීවිතෙට ලං වෙන කාට වුනත් ඒ වගේ වංචාවක් නොකර ඉන්න “

ආදිත්‍ය කීවේ කිව යුතු නිසාය.මින් ඉදිරියට වත් ෂෙහාරා යහපත් ජීවිතයක් ගත කළ යුතු වන අතර මේ දික්කසාදයෙන් හෝ ඇය පාඩමක් ඉගෙන ගත යුතුය. 

” මං කවදාවත් හිතුවේ නෑ ආදිත්‍යය ඔයා මට මෙච්චර ලොකු දඩුවමක් දෙයි කියලා “

ෂෙහාරා ගේ දෑස් වල පිරී තිබුණු කඳුළු ආදිත්‍ය පැහැදිලිවම දුටුවේය.එහෙත් ඒ කඳුළු පිළිබඳව කම්පා වන්නට තමාට දැන් අයිතියක් හෝ වුවමනාවක් නැත.මේවා ෂෙහාරා ඇගේ හිතුවක්කාර කම් වලට ලබනා ප්‍රතිඵලය.

” ඔයාට දඬුවම් කර ගත්තේ ඔයාම මිසක් මම නෙමෙයි ෂෙහාරා. අනිත් එක මං ඔයාට දඬුවම් කරන්නේ මොකටද ? අපි දෙන්න තව දුරටත් එකට හිටියනං තමයි ඒක අපි දෙන්නටම දඩුවමක් වෙන්නේ. ඒ නිසා මේ දේවල් මෙහෙම කෙළවර උන එක අපි දෙන්නටම හොඳයි. දැන් ඔයාට කැමති විදිහේ මනුස්සයෙක් එක්ක ඔයාට ජීවත් වෙන්න පුළුවන් ෂෙහාරා. අපි දෙන්න ගේ ගැලපෙන්නෙ නැති දේවල් ගලප ගන්න උත්සාහ කරනවට වැඩිය කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක ” 

ෂෙහාරා ඉවත බලාගෙන කල්පනා කළාය.මෙතැන් පටන් විවාහයට පෙර සේ තමාට සිදු වන්නේ නැවතත් දෙමව්පියන් සමඟ ජීවත් වීමටය. එය බොහෝ විට දැඩි නීති රීති වලින් පිරි එකක් වන බවට නොඅනුමානය. තමා දික්කසාදයට එකඟ වීම පිළිබඳව තම පියා පසු වන්නේ තමා සමඟ කෝපයෙන් නිසා තමා සොයනා නිදහස සම්පූර්ණයෙන් අහිමි වීමට පවා ඉඩ ඇත.

සමහර විට ආදිත්‍යව මේ තරම් සමීපයෙන් තමා දකින්නේ අවසන් දිනයට විය හැකි යැයි සිතූ ෂෙහාරාට දැනුනේ ලෝභකමකි. වසරක කාලයක් හෝ තමා සමඟ එක වහලක් යට ජීවත් වූ නිසා ෂෙහාරා සමග වෛරයක් තබා ගන්නට නොසිතූ ආදිත්‍ය සිතුවේ හැකි සෑම අවස්ථාවකදීම හැකි ආකාරයෙන් ඇයට උදව් කිරීමටය. ඉදිරි ජීවිතයේ හෝ තමාගේ වැරදි නිවැරදි කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්නට ෂෙහාරාට හැකි වේවායි ආදිත්‍ය ප්‍රාර්ථනා කළේය.

” ඩිවෝස් උනා කියලා අපි තරහක් තියා ගන්න ඕනේ නැහැ ෂෙහාරා. ඔයාට මොන හරි උවමනාවක් තියෙනව නම් මට ඒ ගැන කියන්න. අනිත් එක… ” 

ආදිත්‍ය යමක් කියන්නට ගොස් නතර කර ගත්තේය. එහෙත් ෂෙහාරා ට උවමනා වූයේ එය අසන්නටය.

” මොකක්ද ආදිත්‍යය ? ” 

” ඔයාට දැන් හොඳටම තේරෙනවනේ ෂෙහාරා ඔයාට වැරදුනේ කොතනද කියලා? ඉතින් ඉස්සරහටත් ඒ වගේ වැරදි නොකර හොඳින් ජීවත් වෙන්න බලන්න. මට කරපු දේට ඔයාට දඬුවම් ලැබෙන්න ඕනේ කියලා මං කවදාවත් හිතන්නේ නැහැ. ඒ නිසා ඔයා වැරදි හදා ගෙන ලස්සනට ජීවත් වෙනවා දකින එක මට සතුටක් වෙයි කියලා හිතලා ජීවත් වෙන්න. ඔයාට ආදරය කරන මිනිස්සුන්ට අවංක වෙන්න ෂෙහාරා. එතකොට ඔයාට හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ” 

ආදිත්‍ය වාහනයට නඟින්නට සූදානම් වී හැරුනේය. ෂෙහාරා වහාම ආදිත්‍යය ගේ අතින් අල්ලා ඔහුව වැළැක්වුවාය.

” අපි ආයේ හම්බ වෙන්නේ නැද්ද ආදිත්‍යය ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here