“මං ඔයාට දෙයක් කියන්න උන්නෙ දවස් කීපෙක ඉඳලා” කියා ජාන්වි කියද්දී තුරුණූට අහන්න තිබුණේ එකම එක ප්‍රශ්නෙකි.
“ආදරෙයි කියලද?”
එහෙත් හිත එහෙම කිව්වද ඒ සිතුවිලි වචන කරන්න තුරුණුට පුළුවන් උනේ නැත.අනෙක් අතට එහෙම දෙයක් අහන එක පවා ආයෙම වතාවක් මෙහෙම හීන් සීරුවේ ගොඩ නැගීගෙන යන මේ බැඳීම ලිහිල්වෙන්නට හේතුවෙන බව තුරුණු දැනගෙන උන්නේය.
ඒ නිසාම “මොකද්ද?” කියා තප්පර ගාණකට ජාන්විගේ දෙනෙත දිහා බලා තමන්ගේ කාර්‍යාල මේසය උඩ අතුරා තිබූ ලිපි ගොනු දෙස බලන්නට තුරුණු දෙනෙත් මෙහෙයෙව්වේය.
“ඔයා අපේ ඔෆිස් එකට ඇවිල්ල තියෙනවද?” කියා කියන්න ආ දේ කෙලින්ම නොකියා තමන් ගේ හිත ආයෙම වතාවක් මේ වැල්වටාරම් අහන්නේ ඇයිද කියා හිතාගන්න ජාන්විට අපහසුය.
“ඇයි ඇහුවෙ එහෙම එකපාර? ඔව් ඉතින් මං ඇවිත් තියෙනවා. ඔයාලගෙ එච් ආර් එකේ ඉන්න සුදීප මගෙ යාලුවෙක්. ඇයි එහෙම ඇහුවෙ?” කියා තුරුණු මොහොතකටවත් තමන් දිහා නොබලා අහද්දී ජාන්වි උන්නේ මේසය මත තබා මදකට තුරුණු වෙත නැඹුරු වී ඔහුගේ අවධානය තමන් වෙත ඇදගන්නට හේතු වෙමිනි.
“අපේ ටීම් එකේ ගර්ල් කෙනෙක් ඉන්නවා ශෙහාරා කියලා” ජාන්වි ඇද පැද කියද්දී තුරුණු කරමින් උන් රාජකාරිය මගින් නතර කරේ ජාන්වි මේ කියන්න හදන්නේ එසේ මෙසේ කතන්දරයක් නොවන බවට තේරුම් යද්දීය.
“හරී ඉතින්, ඒ ළමයගෙන් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?” කියා තුරුණු අහද්දී ජාන්වි කරේ හිස හොලවා නැතැයි කියන එකය.
“එහෙනම්?”
“එයා ඔයා ගැන ඇහුවා” කියා වචන අතර සැහෙන ඉඩපරතරයක් තබා ජාන්වි හොරෙන් මෙන් ඇස් අගින් බලමින් කියද්දීත් තුරුණු උන්නේ ජාන්වි කියන්නට හදන්නේ කුමන අන්දමේ කතාවක්ද කියා හිතාගන්න බැරුවය.
“මං ගැන? මොනවද? මොකටද?” කියා අහද්දී තුරුණුගේ දෙනෙත් අස්සේ ඇඳී තිබුණ ප්‍රශ්නාර්තය සිහින් රිදුමක් හිත අස්සේ ඇතිකරනවා ජාන්විට නොතේරුණා නොවේ. තමන් ඊලඟට කිව යුතු කොටස වචන කල යුතුද කියන පැනය ඒ රිදුමට උඩින් පැන නගිනවාද ජාන්විට තේරුණාය. මේ වනාහී කුමනාකාරයේ හැඟිමක්ද කියා තේරුම්ගන්නට බැරි තැන “මේ ආදරේ නෙවෙයි. මොකෝ මං තුරුණුට ආදරේ කරේ නැතුව නෙවෙයිනෙ. මේක මේ වෙන මොකක් හරි එකක්” කියා කියන්නට උඩු හිත කටයුතු කලාය. තමන් ඊළඟට කියන්නට යන කුමනාකාරයේ දෙයක් උනත් තමන් සහ තුරුණූ අතර ඇති සබැඳියාව සහ හිතවත්කමට සුලු හෝ වෙනසක් වෙන්න එය හේතු වෙන බව ජාන්වි දැනගෙන උන්නාය.
“මොනවද ඇහුවෙ?” කියා තුරුණූ ආයේ අහද්දී ජාන්වී කිව යුතු දේ වදන් කරන්නට හිත හයිය කරගත්තාය.
“එයා මගෙන් ඔයා ගැන ඇහුවා”
“මොනවද ඇහුවෙ? මොකටද අනික මං ගැන ඔයාගෙන් අහන්නේ?”
“ගර්ල් කෙනෙක් මොකටද බෝයි කෙනෙක් ගැන අහන්නේ?” කියා ජාන්වි එක එල්ලේ තමන් දෙස බලාගෙන අහද්දී තුරුණු ඇත්තටම උන්නේ ප්‍රශ්නාර්තයක් දෙනෙක් අස්සේ ඇඳගෙනය.
“මං කොහොමද දන්නේ?” කියා තුරුණු කිව්වේ මද කෝපයකිනි. මේවගේ කතන්දර වලට තුරුණු කොහොමත් ඉස්සර සිටම අකමැති බව දන්නා ජාන්වි අනතුරුව තුරුණු දෙස බැලුවේ මද හිනාවක් දෙතොල් අස්සේත් දෙනෙත් අස්සේත් ඇඳගෙනය.
“දන්නෙම නෑ? කෙල්ලෙක් කොල්ලෙක් ගැන අහන්නෙ මොකටද කියලා දන්නේම නෑ” කියා ජාන්වි ඉස්කෝලෙ යන කාලෙ වගේම කට උල් කරගෙන හුරතල් තාලයට අහද්දී තුරුණුට හිනායන්නට ආ බව ඇත්තකි. මේ සියල්ල අතීතයේ දවසක් උනා නම් කොච්චර ලස්සන වෙන්න තිබුනාද කියා හිතුණ බව ඇත්තකි. එහෙත් ඒ සිතුවිල්ලට හිත අස්සෙ පිළිසිඳගන්නට ඉඩ දෙන්න තුරුණුට ඕන උනේ නැත. ඒ අතීතය දැන නැත. අතීතයේ උන් මිනිසුන් දෙනෙත් ඉදිරියේ රැඳී උන්නද තමන් මේ හිඳින්නේ වර්තමානයේය. කාලය වෙනස් වී ඇති තැනක මිනිසුන් වෙනස් වී නැතැයි හිතන්න පුලුවන්කමක් නැත.
“ශෙහාරා ඔයා ගැන ඉන්ටරස්ට්” කියා තමන් කියද්දී තුරුණු ඇස් ගස්සා තමන් දෙස බලාවි යැයි ජාන්වි බලාපොරොත්තු උනද තුරුණූ ඒ කිසිම දෙයක් ගැන නොසිතා, කිසිත් වෙනසක් නොපෙන්වා තමන් ඉදිරියේ දිග හැරී තිබුන ලිපි ගොනුව වෙත නෙත් යොමු කර ගැනීම ජාන්වි භාරගත්තේ “මං හිතුවා හරි තුරුණු ඒ ගැන ඉන්ටරස්ට් නෑ” කියාය.
කතාව දිග්ගස්සන ජාන්වි කටයුතු කලේ හිත විසින් ඇතිකල ඒ විශ්වාසය නිසාවෙන් ය.
“ලස්සනයි, ෆැශනබල් වැඩත් හොඳට කරනවා. එයාමයි මගෙන් ඇවිල්ලා ඇහුවෙ ඔයාට කියන්න පුලුවන්ද කියලා. එයා ඔයාව දවස් ගාණක් බලන් ඉඳලා ඔෆිස් එක ලඟින් යද්දියි ඔයා ඔෆිස් එකට ආව වෙලාවල් වලයි. මං කිව්වා ඔයා තමයි මගේ ලෝයර් කියලා. මං ඒත් කියන්නත් හදලා තුරුණු නම් එහෙම ගෑණු ළමයි ගැන ඉන්ටරස්ට් නෑ කියලා. ඒත් හිත රිදේවි කියලා කිව්වෙ නෑ. ඔයා ඕන නම් එයා එව්ව ෆේස් බුක් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා එයාට කියන්න.
මං කිව්වොත් හිතාවි ඉරිසියාවට කියලා” ජාන්වි කුඩා කාර්‍යාල කාමරයේ එහෙ මෙහෙ ඇවිද ඇවිද අහද්දී තුරුණු උන්නේ විටින් විට දෙනෙත් තමන් වෙත තිබූ ලිපි ගොනුව මතත් ජාන්වි වෙතත් හුවමාරු කරමිනි.
“මොකටද ඉරිසියා කරන්නේ?” කියා තුරුණු අහද්දී ජාන්වි ගැස්සුණේ ඇත්තටම ඒ ප්‍රශ්නයට දෙන්න උත්තර හිතාගන්න බැරුවය.
“නෑ මං කිව්වේ මේ… සමහර වෙලාවට කෙල්ලො හිතනවනෙ තමන්ට කොල්ලෙක් සෙට් වෙනවට තව කෙල්ලෙක් අකමැති කියලා”
“ඉතින් ඔයා එහෙම දේකට අකමැති කියලා ඒ ළමයා හිතන්නෙ මොකටද?” කියා තුරුණු එක එල්ලේ තමන් දෙසම බලාගෙන අහද්දී ජාන්වි නිරුත්තර වුනාය. වචන පැටලුණාය. ඇස් ගැස්සුනාය. හිත කලබල උනාය. ඒ බව තේරුම්ගත්තාක් මෙන් තුරුණු ඒ කතාව දිග්ගස්සන්න හිතුවේ නැත.
“මොකද්ද ඒ ළමයගෙ නම කිව්වේ?” කියා තුරුණූ ෆෝන් එක ගනිද්දීත් තුරුණු හදන්නේ තමන් කිව්ව විදියටම රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කර ශෙහාරාට කරුණු පහදන්නට බව සිතු ජාන්වි තුරුණු දෙසට ඇදී අවුත් ඔහුගේ අතේ තිබුන දුරකතනය වෙත නැඹුරු උනේ ශෙහාරා ගැන තව මොනවා හරි කියන්නට මෙනි.
“ශෙහාරා ගලප්පත්ති කියලා සර්ච් කරන්නකො” කියමින් ජාන්වි තමන් ළඟටම එද්දී ඉඳගෙන උන් තමා අසල හිටගෙන, මදක් දුරකතන වෙත නැඹුරු වෙද්දී ජාන්විගේ වතේ සිට තමන්ගේ නහය වෙත ඇදී ආ මල් සුවඳක් හිත ආය පාරක් අතීතයට ඇදගෙන ගියාය. ඒ දවස්වල විහාරමහාදේවි උද්‍යානයේදි ලැබුණ අවසරයක, වටපිටේ ඉන්නේ කවුදැයි බලා ජාන්විගේ බෙල්ල මුල මුහුණ සඟවාගත් මොහොතක විඳගත් සුවඳ තුරුණුට මතක් උනේය.
“මෙයාද?”
“ඔව්”
“ලස්සන ළමයෙක් නේද?” කියා තුරුණු කියද්දී ජාන්වි ඇස් ගස්සා තුරුණූ දෙස බැළුවේ පොඩි නොරිස්සුමක් එක්කය.
“ඒ උනාට ඔයාට ගැලපෙන්නෙ නෑ” කියා ජාන්වි කියද්දී දුරකතනය මේසය මත තබා තුරුණු ජාන්වි වෙත හැරුනේය.
“ඇයි එහෙම කියන්නේ?”
“එයා ඔයාට වඩා අවුරුදු දහයක් විතර බාලයි. ඊටත් වැඩිද මන්ද? පෙඩෝ කෙනෙක් නෙවෙයිනෙ ඔයා නේද? අනික ඔයාට වඩා වෙනස් එයා. ඔය ජෙන් සීලා වෙනස් නෙ හිතන පතන කන බොන අඳින පලඳින විදිය තබා.
නරක කෙනෙක් කියලා නෙවි කියන්නෙ. ඔයාට මැච් වෙන්නෙ ඉතින් ඊට වඩා මැචුවර්ඩ් එක්කෙනෙක්. අනික ඉතින් ඔයා කිව්වා නේද ඔයාට එහෙම ගර්ල් කෙනෙක් ගැන හිතන්න, අෆෙයාර් එකකට යන්න අදහසක් නැ කියලා?”
“අදහස් ඉතින් වෙනස් වෙන්න පුලුවන්, නොගැලපීම් ගලපගන්නත් පුලුවන් නේද?”
“එතකොට ඔයා දැන් හදන්නෙ එයාගෙන් ආස්ක් අවුට් කරන්නද? ඊට කලින් හැබැයි ශෙහාරා ආස්ක් අවුට් කරාවි ඔයාගෙන්”
“සමහරවිට ගැලපුනොත් එහෙම වෙන්න පුලුවන්”
“එතකොට ඔයා එදා කිව්ව තනියෙන් ඉන්නවා කියන කතාව බොරුවක් වෙනවනෙ”
“ඔයා ආස මම තනියෙන් ඉන්නවා බලන්නද?”
“නෑ නෑ එහෙම නෙවෙයි මං එදා ඔයා කිව්ව නිසා ඇහුවෙ එහෙම”
“එදා එහෙම කිව්වා තමයි. ඒත් මට හිතෙනවා මම එහෙම කරන එකම මම මට කරගන්න මාර ලොකු මෝඩකමක් වරදක් නේද කියලා”
“ඇයි ඒ?”
“මම ආදරේ කරපු කෙනෙක් මගෙ හිත රිද්දුව එක මට මගේ ජිවීතෙන් පලිගන්න හේතුවක් නෙවෙයි නේද? මම නිකන් එහෙම මට වරදක් කල කෙනෙක් වෙනුවෙන් ඇත්තටම මගෙ ජීවිතේ මේ විදියට නිකන් දිය වෙන්න අරින්න ඕන ද කියල මම හිතුවේ” කියා තුරුණු කියද්දී ජාන්වි හදවතින් දියවී ගියාය.
ඒ වනාහී වේදනාවේ හිරු රශ්මිය ඉදිරියේ දියවුණ සීතල හිමෙන් ගොඩ නැගුණ හදවතකි.
“සමහර විට මම හිතුවට අතීතෙ උන්න, ඒ නිසාම මගේ වර්තමානෙයි අනාගතෙයි ආදරේ ගැන ජීවිතේ ගැන දකින, දැකපු හීන නතර කරගන්න හේතුවෙච්ච, මට අතෑරිච්ච කෙනා තමයි හරිම කෙනා කියලා සමහර විට මට ගැලපෙන වෙන කෙනෙක් ඉන්න පුලුවන් නේද?
මම මෙච්චර කල් දුක් වින්දෙ මම කෙනෙක්ට ආදරේ කල හන්දා. සමහර විට මට ආදරේ කරන කෙනෙක් ළඟ මම හොයන සැනසීම තියෙන්න පුළුවන් නේද?”