එය අධික කාර්යබහුල දිනයක අවසානය සනිටුහන් වෙමින් තිබුණු පැය කිහිපයකි.ආදිත්‍ය රාත්‍රී ආහාරය ගෙන අශිකා සමග සංවාදයකද නියැළී නැවත කාමරය වෙත පැමිණියේ චිත්‍රපටයක් නැරඹීමේ අදහසිනි. ගෙවුණු පහුගිය කාලය පුරාවටම නිදි නොමැති රාත්‍රීන් බොහෝමයක් ගෙවූ ආදිත්‍යය හට යන්තමින් මධ්‍යම රාත්‍රියේ එළඹෙන විට නිදි මතක් දැනෙන්නට පටන්ගත්තේ දින කිහිපයක සිටය. එවන් මොහොතක් එළඹෙන තුරු චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් නැරඹීම ආදිත්‍ය පුරුද්දක් කර ගෙන උන්නේය.
නිදන කාමරයේ කොණකට වන්නට ඇති හාන්සි පුටුවේ හාන්සි වූ ආදිත්‍ය ලැප්ටොප් පරිගණකය ඔඩොක්කුවේ තබා ගෙන එය දිගහැර ගත්තේ නින්ද එනතුරු කුමක් හෝ චිත්‍රපටයක් නරඹන අදහසිනි.
” අයියා “
අභිමන් කාමරයෙන් පිටත සිට දෙවරක් පමණ දොරට තට්ටු කළේය.
” මල්ලි එන්න.දොර ඇරලා තියෙන්නේ ”
ආදිත්‍ය ලැප්ටොප් පරිගණකය නැවත වසා දමා හාන්සි පුටුව අසල ඇති කුඩා ස්ටූල් එක මතින් තැබුවේය. අගුළු දමා නොතිබූ කාමරයේ දොර හැරගෙන අභිමන් ආදිත්‍ය අසලට පැමිණියේය.
” අයිය දැම්ම නිදා ගන්නේ නැද්ද ? ”
අභිමන් ආදිත්‍යව පෙනෙන සේ ඇඳ මතින් වාඩි වූයේය.
” තව පැයක් විතර ඉන්න පුළුවන්. ඒ නිසා ෆිල්ම් එකක් බලන්න හිතුවේ. ඔයා නිදා ගන්නෙ නැද්ද මල්ලි ? ”
බැලූ බැල්මට අභිමන් උන්නේ කුමක් හෝ අවුල් සහගත තත්ත්වයක බව තේරුම් ගන්නට ආදිත්‍ය හට අපහසු වූයේ නැත. ආදිත්‍ය හාන්සි පුටුවෙන් නැගිට ගොස් බැල්කනියට යන දොර විවෘත කළේය. සිහිල් සුළං රැල්ලක් කාමරයට ඇතුළු වනවාත් සමගම ආදිත්‍ය බැල්කනියට පය තබා ගැඹුරු හුස්මක් ගත්තේ අභිමන් හට සවන් දීමේ බලාපොරොත්තුවෙනි.
” මං ආවේ අයියත් එක්ක ටිකක් කතා කරන්න ”
” මං අහගෙන ඉන්නේ මල්ලි ”
ආදිත්‍ය කීවේ පහලින් පෙනෙන තැන තැන දල්වා ඇති කුඩා විදුලි බුබුළු වලින් ගෙමිදුලට එක් කර ඇති අසිරිය විඳින අතරේය. අභිමන් ඇඳෙන් නැගිට බැල්කනියට පිවිස ආදිත්‍යයට මඳක් නුදුරින් සිට ගත්තේ අත් වැටට වාරු වෙමිනි.
” ලබන සතියේ මෞර්යා ගේ birthday එක අයියා “
ආදිත්‍ය හට එය අමුතුවෙන් මතක් කළ යුතුව තිබුණේ නැත. එය මතක් වූයේ දින කිහිපයකට පෙර වූ අතර ආදිත්‍ය උන්නේද ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක් දැයි සිතමිනි.සමහර විට අභිමන් හට එය මතක් වන්නට ඇත්තේ ඔහු මෞර්යා පිළිබඳව සැලකිල්ලෙන් සිටින නිසා විය හැකිය.
” මං හිතන් ඉන්නේ එදාට මෞර්යාට ආපහු ප්‍රපෝස් කරන්න. මං කියන්නේ අයියා නිකං සප්‍රයිස් එකක් වගේ ”
ආදිත්‍යය ට අභිමන් ගේ සිතුවිලි ගැන දුකක් දැනුනේ අභිමන් එසේ කී විටය. ඔහු තවමත් මෞර්යා ගේ ආදරය තමාට හිමි වේ යැයි බලාපොරොත්තුවකින් බලා සිටියි. ජීවිතයේ ප්‍රථම වරට ඔහුට දැනුණු ආදරය, ආදරය කරන්නේ ඔහුගේම සහෝදරයාට බව දැන ගත් විට කුමක් සිදු විය හැකි දැයි ආදිත්‍ය කල්පනා කළේය.
” ඔයා ඒ ගැන මොකක්ද හිතන්නේ අයිය?”
” මං ඇත්තටම හිතා ගෙන හිටියේ ඔයා ඒ අදහස අතෑරලා කියලා මල්ලි ”
” අතඇරලා නෙමෙයි අයියා. මෞර්යාට පොඩි කාලයක් දීලා මං බලා ගෙන හිටියේ. එයා මට අකමැති උනා කියලා එයා ගෙන් පළි ගන්නවත් තරහ පිරිමහන්නවත් මට ඕන වුණේ නැහැ. ඉස්සරහටත් එහෙමයි. හැබැයි ඉතින් මට හිතුණා එයාගේ birthday එක එන එකේ මොන හරි special දෙයක් කරලා එයාට ආපහු ප්‍රපෝස් කරල බලන්න ”
ආදිත්‍ය මොහොතක් කල්පනා කළේය.මෙවන් දෙයක් අභිමන් වෙතින් මෞර්යා කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැත. අනෙක් අතට එය ඇය ස්ථිරවම ප්‍රතික්ෂේප කරනු ඇති අතර අභිමන් එයින් මීටත් වඩා හිත් වේදනාවටද පත්වනු ඇත. එම නිසා නුවණැතිම ක්‍රියාව එය සිදු වීමට පෙර වළක්වාලීමය.නැතහොත් සත්‍ය තත්වය අභිමන් හට පැහැදිලි කර දීමය.
” ඒ වගේ දෙයකින් එයා අපහසුතාවයට පත් වෙයිද කියලා කවුද මල්ලි දන්නේ ? අනිත් එක තමයි birthday එක වගේ දවසක ඔයා එන්න කිව්ව පලියට මෞර්යා වගේ කෙල්ලෙක් කොහොමටත් එළියට එන එකක් නැහැ. එයා ඉතින් පවුලේ එකම ළමයා නිසා එයාට එදාට කරන්න වැඩ ගොඩක් තියෙයි නේ ”
අභිමන් ඈතින් පෙනෙන පාර දෙස බලා උන්නේ හිස් බැල්මකිනි. මෞර්යා අතින් ප්‍රතික්ෂේප වීම ඔහුට තරමක් දුරට බලපා ඇති බව ඒ බැල්මෙන්ම කිව හැකිය. ජීවිතයේ ප්‍රථම වරට දැනුණු ආදරය අහිමිව යාමේ දුක ඔහුට දැනෙමින් තිබෙන බව ආදිත්‍ය හට අමුතුවෙන් පැහැදිලි කර ගත යුතුව තිබුණේ නැත.
” අපි ආදරය කරන හැමදේම අපිට අයිති වෙන්නේ නෑ මල්ලි. ඒක කොයි මොහොතේ හරි නැති වෙනවා කියලා දැන ගෙන අපි ජීවත් වෙන්න ඕනේ. ඒ වගේ දේකට හිත කලබල කර ගන්න වත් වැටෙන්න වත් හොඳ නැහැ ”
” අනේ මන්ද අයියා.මෞර්යා වගේ කෙල්ලෙක් ආයෙ මට ජීවිතේට හම්බවෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා එයාව මිස් කර ගන්න හිතෙන්නේ නැහැ.ඒත් ඉතින් එයා මට කැමති නැත්නම් මොනවා කරන්නද ? ”
ආදිත්‍ය හට දැනුනේ ශෝකයකි.මෙවැනි බලාපොරොත්තු රහිත බවකින් අභිමන් කිසි දාක සිට නැත. තවදුරටත් ඔහුගේ හදවතට බලාපොරොත්තු එක් රැස් නොකර ඔහුට සත්‍ය පැවසිය යුතුය.
” මට ඔයාට දෙයක් කියන්න තියෙනවා මල්ලි ”
ආදිත්‍ය එවදන් පිට කළේ ආයාසයෙනි.කවදා නමුත් මේ තත්ත්වයට මුහුණ දිය යුතු වේ.අභිමන් ගේ ප්‍රතිචාරය යහපත් වුවත් අයහපත් වුවත් ඔහුගේ එකම සහෝදරයා වශයෙන් මේ කාරණාව ඔහු හට පහදා දිය යුතුය.
” මොකක්ද අයියා ? මෞර්යා ගැනද ? ”
අභිමන් ආදිත්‍ය දෙසට හැරුනේය. ආදිත්‍යයට දැනුනේ සියොලඟම ගැහෙන බවකි. එය ෂෙහාරාට අනියම් ප්‍රේමයක් තිබෙන බව දැන ගත් මොහොතේ ඇති වූ හැඟීමට සමාන චකිතයකින් පිරි හැඟීමකි.
” හ්ම්ම් ”
” කියන්නකො අයියා ? මොකක්ද? මෞර්යා ඔයාට මං ගැන මොනවා හරි කිව්වද ? “
අභිමන් කලබල වූයේය. ආදිත්‍ය වඩාත් බිය වූයේ ඔහු ගේ ඒ හැසිරීමටය. පියවරක් පසු පසට ගන්නවා ද නැතහොත් අභිමන් හට සත්‍ය පවසනවා දැයි ආදිත්‍ය නැවතත් කල්පනා කළේය.
” කලබල වෙන්නැතුව මං කියන දේ අහන්න අභිමන් ”
” ඔයා මාව බය කරනවා අයියා ”
අභිමන් බැල්කනියේ වූ පුටුවකට වාරු වූයේය.ආදරය මෙතරම් වේදනාවක් යැයි දැනෙන්නේ දැන්ය. ආදරය හමුවේ තම මව විඳි වේදනාවද , තම එකම සහෝදරයා විඳි වේදනාව ද සියැසින්ම දුටුවත් එය හරියාකාරවම වැටහෙන්නේ දැන්ය.
” මෞර්යා වෙන කෙනෙක්ට ආදරය කරනවා මල්ලි ”
ආදිත්‍යය කියා දැම්මේය.බොරු කියමින් තව බොහෝ කාලයක් ඔහුව රැවටිය හැකිය.එහෙත් එසේ රවටනවාට වඩා සත්‍ය පැවසීමෙන් ඔහුට දැනෙන වේදනාව හැම අතින්ම හොඳය. තම එකම සහෝදරයා ආදරයක් හේතුවෙන් තමාව රැවටුවා යැයි දැන ගත හොත් ඔහුට ඇති විය හැක්කේ එයට වඩා අතිශයින්ම දරුණු වේදනාවකි. ඊටත් වඩා එය ජීවිත කාලයටම අමතක නොවන තරමෙන් වේදනාවක් ද වනු ඇත. එසේ වීම වළක්වාලීමට නම් තමා මේ මොහොතේ කල යුතු හොඳම දෙය වන්නේ සත්‍ය ඔහු ඉදිරියේ ගෙන හැර පෑමය.
” අයියා කොහොමද දන්නෙ ? ”
” මං ඇරෙන්න කවුද දන්නේ අභිමන් ”
” ඒ කිව්වේ ? ”
අභිමන් වාඩිවී සිටි තැනින් නැගී සිට , සෙමෙන් පියවර තබමින් ආදිත්‍ය අසලට පැමිණියේය.
” මෞර්ය ඔයාට අකමැති වෙන්න හේතුව එයා වෙන කෙනෙක්ට ආදරේ කරන එක. මේ ඔෆිස් එකට එන්නත් කලින් එයා කෙනෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා.එයා ඒ කෙනාට ආදරේ කරනවා. ඉතිං එහෙම එකේ ඔයා කොච්චර බලා ගෙන හිටියත් එයාගේ හිත වෙනස් වෙන්නෙ නෑ මල්ලි. මං ඒකයි ඔයාට කිව්වේ.අපි ආදරය කරන හැමදේම අපිට අයිති වෙන්නේ නැහැ ”
අභිමන් දිගු සුසුමක් පිට කළ අතර ආදිත්‍ය ඉවත බලාගෙනම උන්නේය.මෙය ගෙවා ගැනීමට අතිශයින් අපහසු අවස්ථාවකි.
” ඉතිං අයියා දන්නවද මෞර්යා ආදරේ කරන්නේ කාටද කියලා ? ”