මා හද මට නැති විට – 18

වෘත්තිමය කටයුතු සම්බන්ධයෙන් තේජ දක්වන සුහුරුබව ලාවන්‍යාගේ සිත තදින්ම පැහැර ගන්නට සමත් විය. ඔහු සතුව අණ දීම් නැත. යෝජනා පමණක් ඇත. සියළුම වැඩසටහන් සැලසුම් කරන්නට ලාවන්‍යාට සම්පූර්ණ නිදහස දෙන්නට ඔහු තීරණයකට පැමිණියේ ය. ලාවන්‍යාට දැනුණේ සතුටකි. ප්‍රතාපසිංහ මහත්මිය මේ සම්බන්ධයෙන් හොඳ මුදලක් ගෙවන්නට එකඟ වී තිබේ. ඒ හැරෙන්නට අනුත්තරාගේ කාර්යාලයේ තේජගේ ඇස් මානයට වී කටයුතු කිරීම සහනයකි.

“මට මේ වගේ වැඩ සෑහෙන්න කරගන්න තියනවා. දරුවන්ට හඬක් නෑ ලාවන්‍යා. අපි තමයි හඬ නඟන්නෝන. මම ආසයි ඔයා මේ වෙනුවෙන් වැඩ කරනවනම්. මම කියන්නේ ලාවන්‍යා මම කැමතියි ඔයා අපි එක්ක වැඩ කරනවනම්.”

ප්‍රතාපසිංහ මහත්මිය ඒ සඳහා වැටුපක් පවා යෝජනා කළා ය. ඒ නාලිකාවේ වැටුපට වඩා වැඩි වැටුපකි. 

“මගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකයි ටීවි ප්‍රෝග්‍රෑම් එකයි ෆ්‍රීලාන්සින් යන්න පුලුවන්ද කියලා මං චැනල් එකෙන් අහලා බලන්නම්කො මිසිස් ප්‍රතාපසිංහ.”

ලාවන්‍යා සිතා බැලීමකින් තොරවම පොරොන්දු වූවා ය. තනි ගැහැනියක ලෙස ජීවත් වීම ඇරඹූ පසු ඇයට මුදලෙහි වටිනාකම තදින් දැනෙනවා වන්නට ඇතැයි තේජ සිතී ය. කොහොමටත් විදේශයන්හි කාලාන්තරයක් ජීවත් වූ ප්‍රතාපසිංහ මහත්මිය මිනිස් ශ්‍රමය සූරා කන්නියක නොවේ. ඇය සිතන්නේ ශ්‍රමයේ වටිනාකමට නොගෙවීම මිනීමැරුමකට සමාන අපරාධයක් බව ය.

“මිසිස් ප්‍රතාපසිංහ හිතන්නේ මිනිස්සු වැඩ කරනවානම් ඒ වැඩට හරියන්න පේ කරන්න ඕන කියලා. මේ ළමයි සමහර වෙලාවට සතියම විකාර නට නට ඉඳලා පස්ස ගිනි ගත්තම වීකෙන්ඩ් වැඩට එනවා. අනේ ඕටී හම්බෙනවා.”

ඒ කතාව අසා සිටි අනුත්තරා හිනැහෙමින් පැවසුවා ය. නාලිකාවෙන් ශ්‍රමය සූරා කන අන්දම ලාවන්‍යා සිහි කළා ය. එවැනි තැනකින් මිදී මෙවැනි නිදහස් වටපිටාවකට එන්නට ලැබෙන්නේ නම් සහනයකි. අනුත්තරාගේ ඇස් මානයේ ඉන්නට ලැබීම සතුටකි. නමුත් තේජව පැය විසි හතරෙන් බොහෝ වෙලාවක් දකිමින් ඉන්නට ලැබීම ඊටවඩා සහනයකි.

“ටීවි චැනල් එකකින් රේඩියෝ චැනල් එකකින් වගේ මෙතැන ඔයාට ප්‍රසිද්ධයක් නම් නෑ. ඒ නිසා හිතලා බලලා තීරණයක් ගන්න ලාවන්‍යා. අනික භාතිය ඔයාව නිදහස් කරයි කියල මං හිතන් නෑ.”

සමුගන්නට පෙර තේජ එහෙම පැවසුවේ හිතේ සිහින් කටු ඉතිරි හන්දා ය. භාතිය කියන්නේ කුකුළු රජෙකු බව ඔහුට පැවසුවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ම මිතුරෙකි. ඒ කුකුළා ලාවන්‍යා තිරිඟු ඇටයක් බව සිතන්නට යාම ඔහුට සියුම් කෝපයක් උපදවයි.

“ඒ ළමයත් නිදහස් මනුස්සයෙක්. භාතියත් කසාදයක් කරගෙන නෑ. අනික මේ කොහෙවත් ඉන්න කෙල්ලක් හින්දා මං ලේ පුච්චා ගන්නෙ ඇයි?”

තේජ එහෙම හිතමින් හිත හදා ගන්නට උත්සාහ කළේ ය. නමුත් ඕනෑම දෙයක් බෙදා ගන්නා අනුත්තරා සමඟ මෙතැන රාජකාරි කරන්නට ලාවන්‍යාට ලැබුණු ස්වර්ණමය අවස්ථාව ගැන සතුටු වන්නට ඔහුට සිතිණ.

“මිනිස්සු මොනව නැතත් ආර්ථිකව හයියට ඉන්න ඕන. ලාවන්‍යා වගේ තනි වුණු ළමයෙක් කොහොමත් ඒ හයිය ගන්න ඕන. කොතන හරි තැනක ඔහෙ පල් වෙවී ඉඳලා ජීවිතේ ඉස්සරහට යන්න බෑනේ.  දැන් කොහොමත් එයාට ඉන්න හයිය එයානෙ”

ඔහු අනුත්තරා සමඟ එසේ පැවසුවේ ය. අන්තිම වාක්‍යය නොවන්නට මුළු කතාවම සහතික ඇත්තක් බව අනුත්තරා පවසද්දී තේජ හිනැහිණ.

“හරි හරි. මනුස්සයෙක්ට හොඳ යාළුවෙක් කියන්නෙ පුදුම තරම් බ්ලෙස් එකක්. ඒ ළමයට ඒ බ්ලෙස් එක තියනවා. ඔයාලා ඉන්නවා. ඒ වුණාට මම කියන්නේ ආර්ථිකේ ගැන බං.”

අනුත්තරා පැවසුවේ ද ඒ ගැන නොවේ. ආර්ථිකය ගැන ය. භවන්ත සිටීමෙන් ලාවන්‍යාට සිදු වූ ආර්ථික සවියක් නැති බව ඇය තේජට පැවසුවා ය. කෙනෙකුගේ පෞද්ගලික දේ හෙළිදරව් කිරීම කිසිම කමකට නැති වැඩකි. නමුත් ලාවන්‍යා දික්කසාද වූයේ කරන්නටම දෙයක් නැති තැන බව තේජට නොකියා සිටින්නට අනුත්තරාට සිතේ. ඇය වේදනා දරා ගත් ගැහැනියක බව ඔහු දැන ගත යුතුම වේ. නිර්වාන් මේ කතාව අග සිට මුලට ද මුල සිට අගට ද දන්නා කොල්ලෙකු බව අමතක කිරීම ද උගහට ය.

“පරිපූර්ණ මිනිස්සු නම් ආදරේ කරන්න හොයන්න බෑ. ඒත් ඔය කියන විදියට භවන්ත මහ කාබාසිනියාකාරයෙකුත් වෙලා නීති දම දම විකාර කරන මිනිහෙකුත් වුණානම් ලාවන්‍යා අයින් වුණු එක ඇත්තටම හොඳ දෙයක්.”

තේජ එහෙම කියන්නේ අවංක හැඟීමකිනි. සමහර මිනිසුන්ට මිනිස් ගති ලක්ෂණ අල්ප ය. ඒවාට සත්ව ගති ලක්ෂණයැයි කියන්නට ද අසීරු බව ඔහුට සිතේ. භවන්ත වැන්නෙකු මේ වෙද්දී අසල්වැසියෙක් නොවීම පවා එක අතකට සහනයකි.

“ඔය වගේ මිනිහෙක්ව ඒ ළමයට නොබැඳ ඉන්න තිබ්බා.”

ඔහුට එහෙම කියන්නට සිතිණ.

“ඔයා කියන එක හරි තේජ. පර්ෆෙක්‍ට් ලව් කියලා දෙයක් මේ ලෝකෙ ඇති කියල මං හිතන්නෙත් නෑ .මගේ සම්බන්දෙ ඇතුළේ මම වුණත් ආගියු කරගන්නවා.හැබැයි අනිත් මනුස්සයගෙ පෞද්ගලික ජීවිතේ ගැන නෙවෙයි. අපේ ඉස්සරහට තියන  ටාගට් ගැන.ඒ වුණාට සමහර වෙලාවට අද ඩිනර් එකට ගන්නෙ මොනවද කියලත් ආගියු කරගන්න තරම් මම මෝඩ වෙනවා.හැබැයි සමාව දෙන එකයි නිදහස දෙන එකයි රිලේෂන්ශිප් එකකට වැදගත් කියල මං වගේම මගෙ කොල්ලත් දන්නවා..”

අනුත්තරා නොකියා කියන්නේ ලාවන්‍යාට එවැනි නිදහසක් හෝ සමාවක් හිමි ජීවිතයක් නොතිබූ බවදැයි තේජ සිතී ය. කොහොමටත් ආදරය කියන්නේ පාලනයකට නතු වී හිඳීම බවට අමුතු ආකල්පයක් දැන් පැතිරෙන්නට පටන්ගෙන තිබේ.

අපි ආදරෙයි මානසික ලෙඩයි පටල ගන්නව අනූ..මට නම් සරලවම හිතෙන්නෙ එච්චරයි. අනේ මගෙ කොල්ලා මට බැන ගත්තු ගමන්මයි කියලා පූච්චානම් කියන කෙල්ලො ඕන තරං ඉන්නෙ. හිතට කරදර එන්න ගත්තම තමා ඉතිං ඇස් ඇරෙන්නේ..”

ආදරය සම්බන්ධයෙන් අනුවණ තීරණ ගන්නා ගැහැනු ළමයින් අගනුවර පමණක් නොව ඈත ගම්වල පවා වෙසෙන බවත් සරසවි සිසුවියන්, ඇඟලුම් සේවිකාවන්ගේ සිට සමාජයේ විවිධ ස්ථර දක්වා ඒ යුවතියන් සැරිසරන බවත් කියන්නට තේජ අමතක කළේ නැත. ඔවුන් මැදිහත් වී කටයුතු කරන සමහර ව්‍යාපෘති වල එවැනි වින්දිත ගැහැනුන් ඕනෑතරම් වේ. ඒ හන්දාම අසරණ වූ දරුවන් ප්‍රමාණය ඊට වැඩි වේ. ජීවිතය ඒ අන්දමට අවසන් වීම හෝ ආරම්භ වීම අපරාධයක් බව තේජ සිතී ය.

“ඔය සමහර නිළියෝ හරිම උජාරුවෙන් ටීවී ප්‍රෝගෑම්ස්වලට ඇවිල්ල කියන්නෙ හස්බන්ඩ් අකමැති රඟපානවට, කසාදෙන් පස්සෙ ෆීල්ඩ් එක අතාරිනවා කියලා. එයාලට තේරෙන් නෑ එයාලා සෙලිබ්‍රිටිලා හැටියට ඒ කරන්නෙ වරදක් කියලා.පෞද්ගලික තීරණ ඕන එකක්.ඒක පෞද්ගලිකව ගන්න පුලුවන්. ඒවා උත්කර්ෂවත් කරන්න ඕන නෑ. තමන් නටවන රූකඩේ තමන්ගෙ පාට්නර් කියන අදහස ගෑනු ළමයින්ට දෙන එක ඇත්තටම වරදක්..”

තේජ පවසන සියල්ල අනුත්තරා අසා සිටියා ය. ඔහුගේ තර්කන හැකියාව කොහොමටත් ඉහළ ය. වැදගත් එය නොවේ.  ජීවිතය සහ ප්‍රේමය ගැන මේ තරම් දන්නා ඔහු පටලවා ගත් තැන සොයා ගැනීම ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles