අත් දෙක උඩ පිපී තිබුන මලක සුවඳ බලන්නට කලින් ඒ මල අතෙන් ගිලිහීම දරාගන්නට අමාරු හැඟීමක් බව ජාන්විට තේරුණේ ඒ කාල වකවානුවේය.
“සමහර විට මම හිතුවට අතීතෙ උන්න, ඒ නිසාම මගේ වර්තමානෙයි අනාගතෙයි ආදරේ ගැන ජීවිතේ ගැන දකින, දැකපු හීන නතර කරගන්න හේතුවෙච්ච, මට අතෑරිච්ච කෙනා තමයි හරිම කෙනා කියලා සමහර විට මට ගැලපෙන වෙන කෙනෙක් ඉන්න පුලුවන් නේද?
මම මෙච්චර කල් දුක් වින්දෙ මම කෙනෙක්ට ආදරේ කල හන්දා. සමහර විට මට ආදරේ කරන කෙනෙක් ළඟ මම හොයන සැනසීම තියෙන්න පුළුවන් නේද?” කියා තුරුණු කියන්නට යෙදුණායින් පසුවය.
තුරුණු ඉන්පසුව අවස්තා කීපයක්දීම තමන්ගේ කාර්‍යාලට එන්නට කටයුතු කිරීමත්, ඒ නිමේශයන්වල තුරුණුගේ දෙනෙත් ශෙහාරා වෙත මද සිනාවක් පා කරන්නටත්, ශෙහාරාගේ දෙනෙත් අස්සේ ආලෝක පුංජයක් දකින්නට වීමත් රිද්දුවේ ජාන්විගේ හිත ය. ඒ වනාහී මෙයාකාර වේදනාවකැයි කියා කියන්නට නොහැකි තරම් දරාගන්නට අමාරු වේදනාවකි.
අත් දෙකේ තිබුණ දෙයක් අතෑරුණම දැනෙන වේදනාව වනාහී මහා පුදුමාකාර එකක් බව ජාන්වි තේරුම්ගත්තේ ඒ වේදනාව අල්ලාගෙන සිටින්නට හිත වෙහෙසෙද්දීය. අත් දෙක උඩ එය තිබෙද්දී දැනුණ බරට වඩා එය අතෙන් ගිලිහුණ තැන හදවතට දැනෙන වේදනාව බර බව ජාන්වි තේරුම්ගත්තේ ඒ කාලයේය. තමන්ගේ වරදකින් එය නැතිවුන තැන දැනෙන වේදනාව වනාහී වචන කරන්නට බැරි දෙයකි.
දෙයක් අතේ රැඳී තිබෙන තුරු අපි ඒ දිහා බලන්නේ වටිනාකම රැඳුන දෙනෙතකින් නොවේ. දෙයක වටිනකමද, වැදගත් කමද අපි හොඳින්ම තේරුම්ගන්නේ ඒ දේ නැතිවුන තැනදීය. ජාන්වි උන්නේ ඒ වේදනාව අලුතෙන් තේරුම්ගනිමින් ය.
මේ අතරේ මලිත්ට තිබුණ ලොකුම ප්‍රශ්නය නම් මේධාංගනී අලුතෙන් කරළියට ආ සිගින් ස්ටාර් තරුවක් වන ප්‍රභාත් සමග ඇතිකරගෙන තිබුණ අලුත්ම ලෙංගතුකමය. තමන් එක්ක බැඳෙනු පිණිස මේධාංගනී ඇයට ඉන් පෙර සබඳතාවය තිබුණ කවින් එක්ක බැඳීම අතරමග කඩා බිඳ දැම්ම බව මලිත්ට අමතක නැත. මේධාංගනී තමන්ටත් එය කරන එකක් නැතැයි කවදාවත් තමා හිතා තිබුණේ නැති උනත් එය වෙද්දී දරාගන්න අපහසු බව මලිත් ට තේරුණේ මේධාංගනී වෙනස් වීමත් එක්කය.
“දැන් අලුතෙන් කොල්ලෙක් සෙට් කරගෙන හන්දා වෙන්නැති නේද වෙනදා වගේ එන්න කියන්නෙ නැත්තෙ?” කියා තමන් අහද්දීත් මේධාංගනී එයට පිළිතුරු දුන්නේ වෙනදා මෙන්ම කිසි ගාණක් නැතුවය.
“වෙනදත් මං එන්න කියද්දි නෙවෙයිනෙ මලිත් ඔයා ආවෙ නේද? ඔයාට හිතුණම ඔයා ආවා. එහෙමනෙ. මොකද ඉතින් දැන් මේ අමුතු කතාවක් දාන්නෙ” කියා මේධාංගනී තමන්ගේ කාර්‍යාල කාමරයේ අසුනේ වාඩි වී දෙනෙත එක තප්පරේකටවත් තමන් වෙත යොමු නොකර, පරිගණකය වෙතම රුවාගෙන අහද්දී මලිත් උන්නේ නොසංසුන් වීය.
“ඔව් ඒ උනාට ඉතින් ඉස්සර වගේ දැන් අපිට පිළිගැනීම නෑනෙ” කියා තමන් එක එල්ලේ මේධාංගනී දෙස බැලුවත් මේධාංගනී වෙනදා මෙන් තමන්ව අස්වසන්නවත් තමන් දෙස නොබැලුව බව මලිත්ට ස්ථිරය. එහෙත් මේධාංගනී උන්නේ ඒ කිසිම දෙයක් කරන අදහසක නොවන බව දැන උන්නේ මේධාංගනී ය. මලිත් උන්නේ කතාව ඉස්සරහට ගෙනයනවාද මග නතරකරනවාද කියා හිතාගන්න බැරි තැනකය.
“ප්‍රභාත් ඔයාගෙ පස්සෙ එනවද ඔයා ප්‍රභාත් පස්සෙ යනවද කියන එක තමයි මට හිතාගන්න බැරි” කියා මලිත් සමච්චල් සහගතව කියද්දී මේධාංගනී මෙතෙක් වෙලා කරමින් උන්නු රාජකාරිය නතර කර දමා මලිත් දිහා බැලුවාය. ඒ වෙනදා මෙන් ආශාවත් සරාගයත් මුසුවුන දෙනෙතකින් නොවේ. අධිකාරී බලයක් රැඳුන දෙනෙතකිනි. තමන්ව පරදවන්නට හෝ තමන්ට රිදවන්නට ඔය වචන වලට නොහැකි යැයි කියනා බැල්මකිනි.
“ප්‍රභාත් මගෙ පස්සෙ එනවද මම ප්‍රභාත් පස්සෙ යනවද කියන එක මලිත්ට ගැටලුවක් වෙන්න විදියක් නෑ නේද? මලිතුත් කාලයක් එහෙම මගෙ පස්සෙන් ආවනෙ. ඒ පස්සෙන් ආව එකට මම හොඳින් සැලකුවත්නෙ. එහෙම එකේ මොකද්ද මලිත්ට තියන ප්‍රශ්නෙ ප්‍රභාතුත් ඒකම කරන එක.
අනික මලිත් හිතනවනම් මලිත් කරා වගේ ප්‍රභාත් මගෙ පස්සෙ එනවා කියලා අන්න ඒක වැරදියි.මොකෝ ප්‍රභාත් කියන්නේ එහෙම ලේසියෙන් කාගෙවත් පස්සෙ ගිහින් තමන්ගෙ වැඩේ කරගන්න ජාතියෙ මනුස්සයෙක් නෙවෙයි. ප්‍රභාත් ටැලන්ටඩ්. මං ආසයි මිනිහගෙ වයිබ් එකට. ඔයා නොදන්නවා නෙවෙයිනෙ මම ආස මොන වගේ අයටද, මොන වගේ වයිබ්ස් වලටද කියලා.
අනික ඔයා නිකන් මේ තරහෙන් කතාකරන්නේ හරියට අපි අතරෙ සම්බන්ධයක් තිබ්බා වගේනේ?” කියා මේධාංගනී මෙතෙක් වේලා තමන් ඇය වෙත පාන්නට යෙදුණ සමච්චල් සහගත සිනාව යළි තමා වෙත හරවා එවද්දී මලිත් උන්නේ අහන්න ඕන, ඒත් අහන්නට හිතේ හයියක් නැති බොහෝ දේ හිත අස්සේ හිරකරගෙනය.
“අපි අතරෙ තිබ්බෙ සම්බන්ධයක් නෙවෙයිනම් මොකද්ද ඒ?” කියා වචන විදියට කටෙන් එලියට විසික්වුණේ ඒ හිත අස්සේ හිරකරගෙන උන්නු හැඟීම් වලින් අරික්කාලකටත් වඩා අඩු ප්‍රමාණයකි.
“ඇයි මලිත් ඔයාම නෙ නේද මට කිව්වෙ අපි දෙන්න අතරෙ සම්බන්ධයක් නෑනෙ. මේක මේ නිදාගන්න එකක් විතරනෙ වෙන්නෙ. ඔයා මාත් එක්ක නිදාගන්නවා. මං ඒකට ඔයාට සලකනවා කියලා.
දැන් ඇයි ඔයා අහන්නෙ මේ අපි අතරෙ තියෙන්නෙ සම්බන්ධයක්ද මොකද්ද කියලා? තේරුමක් නැති කතාවක් නේද ඒක? අනික ඔයා උනත් මං ගාවට ආවෙ මලිත් ඔයාට ගොඩයන්න පුලුවන් පාරක් මට හදලා දෙන්න පුලුවන් බව දැනගෙන මිසක් මේ වෙන සීන් එකකට නෙවෙයිනෙ. මං එහෙම මගෙ ජීවිතේ උන්න මිනිස්සුන්ව ලේසියෙන් අතෑරලා දාන ජාතියේ කෙනෙක් නම් නෙවෙයි.ඔයා දන්නවනෙ මම කවීන්ලට උනත් තාම මියුසික් එකකට, වීඩියෝ එකකට සපෝට් එකක් ඕන උනොත් ඒක කරලා දෙනවා. හැබැයි මේ වගේ රෝන් ටර්න්ස් වලට නම් මම එච්චර කැමති නෑ”
එදා ඒ කතාව එතනින් අවසන් කර එද්දී මේ ගෙවීයන්නේ මේධාංගනිගේ පිහිටෙන් තමන් ගොඩගිය කාලයේ අවසන් හෝරාව බව මලිත්ට නොතේරුනා නොවේ. හිත වඩාත් බියපත් කලේ එයයි. මෙතෙක් දිනක් කෑවේ බිව්වේද, යාන වාහන පැද්දේද, උන්න තැනට රෙන්ට් එක ගෙව්වේද මේ සිංදු කිමෙන් උපයාගත් ඒවයිනි.
කලා ක්ශේත්‍රය කියා කිව්වද මේ සියලු ක්ශේත්‍ර අස්සේ වැඩි වටිනාකමකට අලෙවි වන්නේ මනුස්සයෙකුගේ ආත්ම ගරුත්වය සහ ශරීරය බව මලිත් තේරුම්ගත්තේ කලාවට ආවයින් පස්සේය.
“ඔය උඹලා කියන සිංදුවල උඹලා හිතන තරම්ම රහක් ඇත්තටම ඇති කියලා හිතන්න එපා. අද එන තරුවක් හෙට වෙද්දි බැහැලා යනවා පුතේ ඉන්න විදිය හරියට ඉගෙන ගත්තෙ නැත්තං. මං මේ ගමන තනියෙන් අමාරුවෙන් ආවා කියලා කිව්වට ඇත්තටම ඒ ගමන ගොඩක් අය අමාරුවෙන් ආව ගමනක් නම් නෙවෙයි.
ඔය දිළිහීම අස්සෙ, හැම අවෝඩ් සෙරමනි එකකම ස්ටේජ් නගින එක අස්සෙ තියෙන්නෙ අපි හිතන්නෙවත් නැති දේවල්” කියා කිව්වේ තමන්ව මේ සංගීත ලෝකයට ඇද දැමුව මිතුරාය.
ඒ කතාව කොච්චර ඇත්තද කියා හිතෙද්දිත් මේධාංගනී තමන්ව අත හැර වෙන කෙනෙකු මුල් කර ගැනීම හිතන තරම් තමන්ගේ ජීවිතේට දරාගන්න පහසු නොවන බව මලිත් දැනගෙන උන්නේය.
එපා කියා බිත්තියට දමා ගැසූ පලා මිටියත් බේතකට ඕන බව කවුරුන් හෝ කිව්ව බව මලිත්ට මතක් වුනේ ඒ වෙලාවේය.
මේධාංගනීව අතැරෙනවා නම් ඒ වෙනුවෙන් තමන්ට කරන්නට හැකි දේවල් සීමිත බව මලිත් දැන උන්නේය.
එහෙත් තමන්ගේ අතේ පිපී උන් දැන් අතෙන් ගිලිගෙන්නට යන ජාන්විව නතර කරගන්නට තමන්ට හැකියාව තිබෙන බව මලිත් ගේ යටි හිත ඒ වෙද්දිත් කොඳුරමින් උන්නේය.