දෑත දරා – 3

0
102

තෙවන අත් දැරුම

මනුජ  වේලාසන කෑම්ප් එකෙන් බැහැරවීම සඳහා වන අවසර පතක් ලබා ගත්තේය. සාරතී දියණියව සූදානම් කර තිබුණි. අම්මා සහ තාත්තා වෙත රැගෙන යන්නට නැවුම් පළතුරු සහ එළවලු මල්ලක් ද ඇය සූදානම් කරවාගෙන තිබුණි. 

“මං බබාට දවල්ට කවලා තියෙන්නේ මහත්තයා… දැන් ඔය ගමන පැය දෙක තුනකට පනිනවානේ….  වාහනේදී ආයේ ලොකුවට  මුකුත් කවන්න කරන්න යන්න ඕන නැහැ. මම බබාගේ බෑග් එකට  දාලා තියෙන්නේ බබාට කන්න පුලුවන් ජාති ටිකක් ..පලතුරු ටිකකුත් කපලා හැන්දක් එක්කම දැම්මා…. ඒ ඇරෙන්න මහත්තය වාහනේ ගෙනියන  ගමන් බබාට කවන්න කරන්න යන්න එපා. එහෙම උවමනා වුනොතින් වාහනය නවත්තලා කවලා පොවලා ඉවර කරගන්න..”

මනුජ නිම්නෙත් ප්‍රේමනාත  ගුවන් හමුදා කඳවුරේ ඉහළ නිලධාරියෙකු බව අමතක කර සාරතී  ඔහුට උපදෙස් ලබා දුන්නාය. මනුජ හිස සැලුවේ පිය තනතුරට අලුතෙන් පත් පත් වූ අයෙකුට ලබාදෙන උපදෙස් ලෙසින් ඒවා ගණන් ගනිමිනි. කොළඹ සුදු අම්මා සහ අප්පච්චි සීයා  බලන්නට යෑමේ ප්‍රීතිය නිසා දියණිය කොහොමටත් වුන්නේ ප්‍රීතියෙනි.

“අප්පච්චි  ඩ්‍රයිව් කරනකොට බබා අප්පච්චීට  කරදර කරන්න එහෙම නෑ හරිද?..”

සාරතී  දියණියව  බේබි කැරියර්   එකේ හිඳුවා එහි අසුන් පටි දමා ඉදිරි අසුනේද තබා අසුන් පටිය පළඳවන අතරේ එලෙසින් පවසා දියණියගේ හිස සිම්බාය. දියණියද සාරතීව වැළඳගෙන ඇයට හාදු දුන්නාය.

“මං  සාරා ආච්චි ට චොකලට් ගේන්නම්….”

ඇය පැවසුවේ සාරතී දොර වසන්නට පෙරය

සාරති එයට හිස සැළුවාය මනුජ  දෙදෙනාගේ කෝලම් බලා උන්නේ මඳ සිනහවක් සමගිනි.

“මම ඉරිද හවස ආවොතින් සාරති නැද්දට කෝල් එකක් දෙන්නම්…එහෙම නැත්නම් මම එන්නේ  සඳුදා පාන්දර….”

“හරි මහත්තයා මහත්තයා බලලා කෝල් එකක් දෙන්න……. මං ඉතින් මේ පයින් එන්න පුළුවන් දුරක නේ ඉන්නේ…”

“හරි සාරථි නැන්දේ …. එහෙනම් ගෙවල් වහලා කරලා  ගෙදර යන්න….”

මනුජ මෝටර් රිය පණ ගන්වා ගනිමින් ප්‍රධාන මාර්ගය දිගේ මෝටර් රථය ගෙන යමින් උන්නේය. අද දිනයේ කොළඹ පැමිණෙන බව අම්මාට සහ තාත්තාට නොපවසා ඉන්නට මනුජ තීරණයක් කළේ දෙදෙනාට  යම් පුදුමයක් ගෙන දෙන්නටත් එක්කය. 

මෙවන් සොඳුරු අවස්තා ජීවිතවලට කෙලෙසකින්ම හෝ  සොයා ගත යුතුය.

“අප්පච්ච චූ බරයි……” 

කොළඹ නිවසට ළඟා වෙන්නට පැය භාගයක පමණ දුරක් තිබියදී දියණිය එලෙසින් පවසද්දී මනුජ කුමක් පැවසිය යුතුදැයි සිතාගන්නට නොහැකිව මෙන් දියණිය දෙස බැලුවේය

වහා සාරතීට ඇමතුමක් ගත්තේය

“මහත්තයා”

” බබාට වොශ් රූම් යන්න ඕනේ කියනවා. පැම්පස් දාලා නැද්ද…”

“බබාගේ කකුල් වල දාඩිය කුෂ්ඨ දාලා තිබුණ නිසා මං පැම්පස්  ඇන්දුදුවේ නෑ මහත්තයා… වැඩිය වතුර බිව්වෙත් නැති නිසා මං හිතුවේ නෑ යන මග ඒ උවමනාව එයි කියල…”

“හරි එකට කමක් නෑ මං බලන්නම්……..”

මනුජ  වහා ජංගම දුරකථන යෙදවුමකින්  ළඟ පහත ඇති නවාතැන් පිළිබඳව බැලුවේය. මද දුරකින් වූ නවාතැනක කාමරයක් වෙන් කරවා ගත් මනුජ  දියණියව වැසිකිලියට රැගෙන ගොස් අදාළ කාර්යයන් ඉටු කරගන්නට ඇයට සහාය වූයේය. නුහුරු බව තිබුණේ මනුජ පසින් වූ නිසා  ගමන පැය භාගයක් පමණම ප්‍රමාද විය

දියණියකගේ රැකවරණය සැලසීම එහෙන් මෙහෙන් කළ නොහැක්කක් බව මනුජට යළි යළිත් වැටහෙමින් තිබුණේය.

අවසානයේ නිවසට  ළඟා වූ මනුජ සහ දියණියව මනුජගේ දෙමාපියන් විසින් පිළිගත්තේ දෑස් නළලේ තබා  ගනිමිනි. තාත්තා මනුජට සති අන්තයේ පැමිණෙන ලෙස කීවාට මනුජ ඒ ගමන ස්ථිර කර තිබුණේ නැති නිසාම ඔවුන් මනුජලාගේ පැමිණීම  බලාපොරොත්තුවෙන් උන්නේම නැත.  

නිවසේ අත් උදව්වට මනුජ නවත්වා ගිය කාන්තාවගේ මුව මතද වූයේ සිනහ ගඟකි

“මගේ දෙයියනේ මහත්තයයි බබායි එන බව කිව්වා නම්, මං තව මොනවා මොනවා හරි ජාති ටිකක් හදනවනේ. එහෙනම් මං ආයෙ කෑමට මොනවා හරි හදන්නම් … බබාට සැර වැඩී මෙව්වා…”

ඇය මනුජගේ  පිළිතුරක් බලාපොරොත්තු නොවීම යළි කුස්සිය දෙසට දිව ගියාය

මනුජගේ  මව උන්නේ දියණිය ඇගේ උකුලෙහි තබාගෙන සිප ගනිමිනි.

“දැන් සුදු ආච්චට  සනීපයිද තාම ඌවාද ?  තාම බේත්ත් විදිනවද…?…”

දියණිය අතොරක් නැතිව ඇගෙන් ප්‍රශ්න අසමින් උන්නාය

“තාම සුදු ආච්චිට  සනීප නෑනේ.. ඒකනේ තාම ඔය බෙඩ් එකට වෙලා ඉන්නේ.. ඔය බේත් තියෙන්නේ කැබින් එකේ උඩ …”

මනුජගේ පියා  මනුජගේ  මව වෙනුවෙන් දියණියට පිළිතුරු දුන්නේය.

“එහෙනම් සුදු ආච්චියි අප්පච්චී සීයයි  අපිත් එක්ක අප්පච්චිගේ ගෙදර යමු …. එහේ ඉන්න පුළුවන් කට්ටියටම …  එහේ  ලොකුයි , කාමර ගොඩක් තියෙනවා…… සාරතී ආච්චී රෑට ඉන්නෙත් නෑනේ. එතකොට සුදු ආච්චිටයු,  අප්පච්චී සීයටයි ඉන්නත් කාමර තියෙනවා….. ලොකූ කාමර …”

දියණිය ගෙවුන සති  දෙක පුරාවටම ඇගේ ජීවිතයේ තිබූ හිස් තැනක් වෙනුවෙන් එලෙස ඉල්ලීම් කරන්නට සූදානම් වෙමින් උන්නාය. මනුජ ඒ දෙස බලා උන්නේ අසරණ වෙමිනි.

“එතකොට අප එතකොට සුදු ආච්චිගේ  ගෙදර කවුරුත් නැති වෙනවනේ රත්තරන් ..  ජිමී බලාගන්න ඕනි ..ජිමීට හබුං දෙන්නත් ඕනි නේ …”

මනුජගෙ  මව එලෙසින් පැවසුවේ එම යෝජනාව තමා අද මින් පෙර ඉදිරිපත් කර තිබියදී මනුජ  එක හෙලාම එයට විරුද්ධව උන් නිසාය.

” මේ වගේ සිටුවේශන් එකකදි ක්ලයිමට් එක ඒ තරම් චේන්ජ් එකක් වෙන එක ඇඟට දරාගන්න බැහැ අම්මේ…..  ඒ නිසා ඔය කතාව ආයෙ කියන්න එපා. මම අම්මට මුලදිම කිව්වා ළමයවත් අරගෙන එහෙ එන්න කියලා. ඒත් අම්මා ඒකට කැමති වුණේ නැහැනේ. ඒ නිසා දැන් ඕක කීයටවත් කරන්න බැහැ.  අනිත් එක ඩොක්ටත් කිව්වා හුරු පුරුදු පරිසරෙන් එහෙට මෙහෙට කරන්න තරම් සුදුසු තත්ත්වයක් නෙමෙයි මේ වෙලාවේ අම්මගේ  ඇඟේ තියෙන්නේ කියලා….”

මනුජගේ  අම්මාට මනුජගේ ඒ  ඒ දැඩි වදන් සිහිවිය.

” හරි හරි දැන් මගේ පුතා අප්පච්ච සියා එක්ක  ගිහින් වොශ්  එකක් දාගෙන තිබුන ලෑස්තිති වෙන්නකෝ… මම නිර්මලා ආච්චිට කියලා පුතාට කුක්කු පිටි එකක් හදලා පෙණ එන්න නිවලා තියන්නම් …”

මනුජ අම්මාගේ උකුලෙන් බැස පියාගේ අතේ එල්ලුණු දියණිය කාමරයෙන් පිටව යන තුරුම බලා උන්නේය. ඔහුගේ කල්පනාව බිඳ වැටුනේ අම්මාගේ හඬිනි.

” කෙල්ල ඇදිලා ගිහිල්ලා….”

අම්මාගේ හඬ තුල ඇති වේදනාව වැටහුණා වුවද, මනුජ කෝපයක් මවාගත්තේය.

“අම්මට විකාර … ඔය අම්මගේ හිතේ සැකේට පේන ඒවා.. ළමයා කාලා බීලා ඉන්නේ …”

” පිට ගෑණු කවන පොවන එක හරියට කරන්නේ නෑ ..”

“සාරතී  එහෙම සල්ලි බලාගෙන ළමයි බලන ගෑණියෙක් නෙවෙයි අම්මේ… එයා දරුවා ගැන හොඳටම කන්සර්න්…”

“අප්පෙක් වෙලා උඹ කොහොමද  මනුජ පිට ගෑණු  ගැන ඔහොම රෙකමදාරු දෙන්නේ ?? “

අම්මගේ හඬ යලි  බිඳී ගියේ තමාගැන වේදනාවෙන්ද, එලෙස නොමැතිනම්, දියණිය ගැන වේදනාවෙන්ද කියා මනුජට වැටහුනේ නැත.

එහෙත් ඉන් එහා අම්මා සමඟ එම මාතෘකාව පිළිබඳව දොඬමලු වෙන්නට ඔහු උත්සාහ කලේද නැත. ඒ වෙනුවට ඇගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසුවේය. ඇගේ ඖෂධ භාවිතය පිළිබඳව විමසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here