අලුයම තුන පමණ වනතුරුත් නින්ද අභිමන් කරා පැමිණියේ නැත. ජීවිතය බිඳෙන් බිඳ සංකීර්ණ වන ආකාරය දරා ගත නොහැක.ඊටත් වඩා ජීවිතයේ ප්‍රථම වතාවට තම සිතෙහි නතර වූ තරුණිය ද ආදරය කරන්නේ තම එකම සහෝදරයාට බැව් දැන ගැනීම අතිශය වේදනාවකි.
” මෞර්යාව හම්බ උන පළවෙනි දවසෙම එයා මම කාගේ කවුද මොනවද කරන්නේ කියලවත් නොදැන මට උදව් කරපු විදිහ මගේ හිතේ තදින්ම තිබ්බා මල්ලි. ජොගින් ට්‍රැක් එකක් අයිනේ අසනීප වෙලා වාඩි වෙලා ඉන්න මනුස්සයෙක්ව තමන්ගේම වාහනේ hospital එකටත් අරන් ගිහින් බෙහෙත් අරන් දීලා ගෙදරටත් ඇරලවන්න තරම් එයා ගාව මහ පුදුමාකාර මනුස්සකමක් තිබුණා. ඉතින් එහෙම කෙනෙක්ව අපේ කම්පනි එකට ගන්න එකේ පාඩුවක් නෑ කියල හිතලාා තමයි එදා interview ඇවිල්ලා තිබ්බ අය ගෙන් මං එයාව තෝර ගත්තේ. මගේ තිබ්බ පර්සනල් ප්‍රශ්න නිසා හරියට ඔෆිස් එන්න බැරි උන එකෙන් මෞර්යා සෑහෙන දවසක් යනකන් දැන ගෙන හිටියේ නැහැ එයාගේ අනිත් බොස් මම කියලා. ඒ අතරතුර මට කීප සැරයක් එයාව යන එන ගමන් හම්බ උනත් මං එයාට ඒ බවක් ඇඟෙව්වෙත් නැහැ ”
අභිමන් මේ කතාව අසා උන්නේ සිතට දැනෙන නොසන්සුන් බව පාලනය කර ගැනීමට උත්සාහ කරමිනි. කාලයක් ගත වී හෝ මෞර්යා තමාගේ ආදරය පිළිගැනීමේ යැයි බලාපොරොත්තුවකින් සිටියද දැන් එය එසේ නොවන බව ස්ථිරය.එයද තම එකම සහෝදරයා නිසාය.
” ඒක දැනගත්තට පස්සේ මෞර්යා මොකද කළේ? “
අභිමන් හට උවමනා වූයේ තමා නොදැන සිදු වූ සියල්ල ආදිත්‍ය ගෙන්ම අසා දැන ගැනීමටය.ආදිත්‍යයට වුවමනා වූයේද අභිමන් හට කිසිවක් නොසඟවා පැවසීමටය.
” එයා ඒක දැන ගත්තට පස්සේ ඒක එයාට shock එකක් වෙයි කියලා හිතුවට එහෙම ලොකු දෙයක් උනේ නෑ මල්ලි. මොකද ඔයා මං ගැන කියපු සමහර දේවල් නිසයි , මං එයා එක්ක කියපු සමහර දේවල් නිසයි එයා ඒ වෙලාවෙ ගෙස් කරලා තිබුණා ඒ මම කියලා. ”
” එතකොට ? ”
” එතනින් එහාටත් එයා හරිම හොඳ යාලුවෙක් වගේ මාත් එක්ක හිටියා. කොහොමත් මට මෞර්යාට ළං වෙන්න ලොකු බයක් තිබුනා.එකක් මම ඒ වෙද්දි මැරීඩ් නිසා. අනිත් එක මෞර්යා මට වඩා අවුරුදු දහයක් බාල නිසා. යාළුවෙක් හැටියට වත් මම ලංවෙලා එයාගේ නමට ඩැමේජ් එකක් වෙනවට මං කැමති වුණේ නැහැ ”
අභිමන් බලා උන්නේ තවමත් මේ කතාවේ අගක් මුලක් ගලපා ගත නොහැකිවය. තම එකම සහෝදරයා තමා හට වරදක් කරන්නේ නැති බව සහතිකය. එහෙත් මෙය හදවතේ ඇති වන හැඟීම් පිළිබඳව වූ කාරණාවකි.
” ඔයා එයාට ප්‍රපෝස් කරපු කතාව එයා මාත් එක කිව්වමත් මම ඇහුවේ ඔයාගේ තියෙන අඩුපාඩුව මොකක්ද කියලා.ඇත්තටම මමත් කැමතියි මෞර්යා වගේ කෙල්ලෙක් ඔයාට ලැබෙනවට. මොකද මෞර්යා කියන්නේ මනුස්සයෙක් විදිහට මාරම කොලිටීස් තියෙන කෙනෙක්. අද කාලේ කෙල්ලෙක් ළඟ ඒ වගේ කොලිටිස් හරි අඩුයි මල්ලි ”
අභිමන්ට දැනුනේ හදවත සීරී යන බවකි. මෞර්යා යනු දුර්ලභ ගණයේ යහපත් හදවතක් ඇති තරුණියක බව සැබෑය. එවන් තරුණියක් තමාට මේ හමුවුනාමය. එහෙත් ඇයව අහිමිවීද අවසානය.
” ඒ වෙලාවේ තමයි මම දැන ගත්තේ මෞර්යා ගේ හිතේ කාලෙක ඉඳලා මං ගැන අදහසක් තියෙනවා කියලා ”
තමා ඉදිරිපිට සිටින්නේ තම එකම සහෝදරයා වුවද ඔහු පිට කරන වචනයක් පාසාම අභිමන්ගේ හදවත කඩා වැටුණේය. එතරම්ම මෙය අසා සිටින්නට අපහසු කතන්දරයකි.
” අයිය කැමති වුණාද ඉතින් ? ”
අභිමන් ගෙන් ඒ වදන් පිට වූයේ නිරායාසයෙනි.
” බැඳපු මනුස්සයෙක් වෙච්චි කොට මං කොහොමද මල්ලි හිත හදා ගෙන කැමති වෙන්නේ ? ඒත් මෞර්යාට ඕන වුනේ මට උදව් කරන්න. මං හිටපු තැනින් මාව ගොඩ ගන්න.මට හයියක් වෙන්න ”
තව දුරටත් සිත රිදවා ගන්නවා දැයි එසේත් නැතිනම් නොසිතා අත හරිනවා දැයි සිතා ගන්නට නොහැකිව අභිමන් දෙගිඩියාවෙන් පසු වූයේය. ඔහුට මැවී පෙනුනේ මෞර්යා ගේ පැහැබර සිනහවය.මග බලා උන්නේ ඒ සිනහවේ සදාකාලික හිමිකරු වීමට වුවත් ඒ අවස්ථාව තමා ගෙන් ගිලිහී ගොස් ඇත.
” මෞර්යා මොනම වෙලාවක වත් මට ස්ට්‍රෙස් එකක් වුණේ නැහැ. මේ ඩිවෝස් එක ඉවර වෙනකන් එයා හරිම ඉවසීමෙන් හිටියා. එයාට වැදගත් වුණේ ඒකෙන් මට කොච්චර රිදෙනවද , ඊට පස්සේ මගේ හිත හදන්නේ කොහොමද කියලා මිසක් මගේ නඩුව ඉවර වෙන්නේ කවදද කියල වත් ,මං ෂෙහාරා ගෙන් ගැලවිලා එන්නේ කවද්ද කියල වත් නෙමෙයි මල්ලි. අනික ආදරේ කියන දේ මිනිසුන් ගේ හිත් වල ඇති වෙන්නේ හරි පුදුම විදිහට. ඔයා මෞර්යාට ආදරේ වෙද්දි ,මෞර්යා මට ආදරේ වෙච්ච එකත් ඒ වගේ “
ආදිත්‍ය අභිමන් දෙස බැලුවේය. ඔහු ගේ මුහුණෙහි වූයේ බලාපොරොත්තු බිඳී ගිය හිස් බවකි.
” මේ ටික ඔයාට කියා ගන්නේ කොහොමද කියලා මං හුඟාක් දවස් කල්පනා කළා මල්ලි.ඔයා මෞර්යා ගැන හිතනවා කියලා දැන දැන මං එයාට ළං වෙලා කළේ වැරැද්දක් කියලා මට සිය දහස් වාරයක් හිතිලා තියෙනවා “
ආදිත්‍ය කීවේ පසුතැවීමෙනි. මෞර්යා පිළිබඳව ඇති හැඟීම පසුතැවීමට කාරණාවක් නොවූවත් මේ මොහොතේ තම සහෝදරයා ගැන සිතා බලන විට ආදිත්‍ය හට දැනුණේ ඒ හා සමාන හැඟීමකි. සියල්ල අභිමන් හා පැවසීම සිතූ තරම් අසීරු නොවුනද එතනින් එහා ඔහු දේවල් පිළිබඳව සිතනා ආකාරය සිතා ගත නොහැකිය.
” ඔයා කලේ වැරැද්දක් නෙමෙයි අයියා. හැබැයි… ”
අභිමන් කියන්නට ගිය දෙය නවතා ගෙන මොහොතකට නතර වූයේය. මේ මොහොතේ වචනයක් හෝ පිට කළ යුත්තේ ඉතා කල්පනාවෙනි. අනෙක් අතට මෙය ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු මොහොතකි.
” කියන්න ගිය දේ කියන්න මල්ලි ”
” මට තේරෙන්නේ නෑ අයියා. ඒත් මෞර්යාට මට කියන්න තිබුණා ”
” මෞර්යා ගැන වරදක් හිතන්න එපා.සමහර විට මං වගේම එයාටත් මේක ඔයාට කියන්න විදිහක් තියෙන්නෙ නැතුව ඇති. අනිත් එක තමයි එයා ගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා ”
අභිමන් කිසිවක් සිතා ගත නොහැකි තත්ත්වයක උන්නේ මෙය කිසිසේත්ම අපේක්‍ෂා නොකළ දෙයක් නිසාය. මෞර්යා හා තම සහෝදරයා එක්ව තමාව රැවටුවාද එසේත් නැති නම් තමාගේ සිත රිදවීමට නොහැකි කම නිසා සත්‍ය වසන් කර ගෙන සිටියාද යනුවෙන් තෝරා ගත නොහැකිව අභිමන් ඔහේ බලා උන්නේය. මෞර්යා කෙසේ වුවද තම සහෝදරයා යනු හිතා මතාම කිසිවෙකු ගේ හිත රිදවන ආකාරයේ කෙනෙකු නොවේ. ඔහු මේ තාක් කල් මෞර්යාට ආදරය කරන බව සඟවා ගෙන ඉන්නට ඇත්තේ තමා කෙරෙහි ඇති ආදරය නිසා බව සිතන්නට අභිමන් උත්සාහ කළේය.
” ඔයා මාත් එක්ක තරහෙන්ද මල්ලි ? ”
ආදිත්‍ය ඇසුවේ අසරණවය. තමා මෞර්යාට ආදරය කිරීමට පටන් ගත්තේ මෙවැනි අවස්ථාවකට කෙදිනක හෝ මුහුණ දෙන්නට සිදු වන බව දැන දැනම වුවත් අභිමන් මේ මොහොතෙහි සිටිනා විලාසය දුටු විට සිතෙන්නේ ඒ තීරණය නොගෙන සිටියා නම් කියාය.
” මං කොහොමද අයියා ඔයා එක්ක තරහ වෙන්නේ ? ඔයාට වෙච්ච දේවල් එක්ක බලද්දි ඔයාට ඇත්තටම ගැලපෙන්නේ මෞර්යා වගේ ගර්ල් කෙනෙක් තමයි. මෞර්යා කියන්නේ කෙනෙක් ගෙ හිතක් හොඳට තේරුම් ගන්න පුළුවන් ජාතියේ කෙනෙක්. අනිත් එක ඔයා වගේ තත්වෙක ඉන්න කෙනෙක්ට ට්‍රීට් කරන්න ඕනේ කොහොමද කියලත් එයා හොඳටම දන්නවා. අනිත් එක ඔයා උනත් මෙච්චර ඉක්මනට රිකවර් වෙන්න පටන් ගත්තේ එයා නිසා කියලා මට දැන් තේරෙනවා.එහෙම එකේ මං කොහොමද අයියා ඔයාගෙ සතුටට එපා කියන්නේ ? ”
ආදිත්‍ය අඩියට දෙකට අභිමන් අසලට පැමිණ ඔහුව වැළඳ ගත්තේය. සහෝදරකම යනු ඒ තරම් ප්‍රබල කාරණාවකි.
” මේ ගැන අම්මට කියනවද අයියා ? ”