පලායාම 

” නිකන් කකා බිබී ඉන්නෙකේ ගෙදර ට කීයක් හරි දුන්නට මොකක් වෙනවද ?”

මගේ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන අම්මා එහෙමයි කිව්වේ. අම්මා එහෙම කියන්නේ පෙරේදා  පඩි අරගෙන මම ගෙදර ට ගෙනාපු බඩු මළු වල බර අමතක කරලා.  මම අම්මට මුකුත් නොකියා පර්ස් එක වහලා පැත්තකින් තිව්වා.  අම්මාගේ ඇණුම්පද වලට හේතුවක් හිතාගන්න බැරුව  හවස් වෙනකොට  ඔලුව පුපුරලා යන්න ගානට රිදෙන්නත් ගත්තා. 

“ඔන්න ඉතින් .ගෑණු ළමිස්සි… කීයද වෙලාව…නිදි..නිදි…”

ලොකු අම්මලා හදිසියේම ඇවිල්ලා. අම්මා ඒ ඇණුම්පද කියවන්නේ ලොකු අම්මා එක්කල. මම කොණ්ඩේ හදාගෙන සාලේට ආවා.

“ආහ් . මෙන්න අපේ බිස්නස්කාරි…”

ලොකු අම්මගේ මූණේ හිනාව එකයි.  මම අම්මා දිහා බැලුවා. අම්මා නම් වගේ වගක් නැතුව ඉන්නවා.  මම ලොකු අම්මා වාඩි වෙලා හිටපු සෙටියේ ඒ ළඟම වාඩි වුණා.

ලොකු අම්මා මගේ අත් දෙකම අල්ලගෙන අල්ල පිරිමැද්දා. හරියට මම වෙහෙසෙන තරම දන්නවා වගේ. 

“මේ අත් දෙකට තව තව හය්ය හක්තිය ලැබෙන්න ඕනා…”

ලොකු අම්ම්ම එහෙම කියලා අත් දෙකම ඉම්බා. අම්මා නම් හිටියේ ගානක් නැතිව.

“මේ  කාමර අස්සේ රිංගගෙන මැටි තලන්න හය් හක්තිය.. පුහ්…”

අම්මා එහෙම කියාගෙනම කුස්සියට ගියා. මට මං ගැනම දැනෙන වේදනාව හංගගෙන මං ලොකු අම්මා දිහා බැලුවා.

“සරණි… ලොකු අක්කලා ලබන සතියේ ඉඳන් අලුත් ගෙදර යනවා.. පුතා යමු එහෙ..ලොකු අක්කමයි කිව්වේ…. මං අම්මට කියන්නම්…  මේ නෝක්කාඩු අස්සේ ඉඳගෙන ඔය වැඩේ හිතේ නිදහසෙන් කරන්න බෑ…”

ලොකු අම්මා එහෙම කියනකොට මට වචනවලින් කියන්න බැරි තරමේ සැනසීමක් දැණුනා. ඒත් මං ගෙදරින් යන එක ගැන අම්මා සතුටින් ඉන්න හැටි දැක්කම ඒ සැනසීම කුඩුපට්ටම් වෙලා ගියා. 

සතියකට පස්සේ මම වැලිගම, ලොකු අම්මලාගේ ගෙදර ආවා. ලොකු අම්මයි, ලොකු තාත්තයි, මල්ලියි, ලොකු තාත්තා ගේ අම්මයි විතරයි එහේ. තරමක ලොකු තට්ටු  ගෙයක්. ලොකු අක්කගේ කාමරේ එහෙමම මට වෙන් කරලා තිබුණා. ඒකටම අල්ලපු නාන කාමරේකුත්. මගේ වැඩ වලට ලේසි වෙන්න  කාමරෙන් එලියේ කොටසක රාක්ක ගහලා හදලා තියෙන්නේ මල්ලියි ලොකු තාත්තායි කියලා ලොකු අම්මා කියනකොට මට ඇඬුණා. මගේ අම්මවත්, තාත්තාවත් මල්ලිවත් කවදාවත් මං වෙනුවෙන් එහෙම දෙයක් හිතලාවත් නෑ.

“ඔන්න ඔන්න ඉතින් සරණිට මෙහෙ අඬන කුමාරි වෙන්න බෑ…”

ලොකු තාත්තා නාට්‍යානුසාරයෙන් කියනකොට මට ආයෙම හිනා ගියා. හවස් වරුවම කලේ ගෙනාව බඩු අඩුක් කරපු එක.  කරාබු හදන වැඩ වලට මගේ සල්ලි වලින්ම ගත්තු  පොඩි අවන්  එක අරගෙන ආවත්, ලොකු අක්කා එයාගේ ලොකු අවන් එක මට තියලා ගිහින්.

” දැන් බල්ක් ඕර්ඩර් වලට වැඩ කරනකොට පොඩි අවන් එක මදි…”

මම ඇමතුමක් ගත්තාම ලොකු අක්කා එහෙම කිව්වා. අවුරුදු විසි දෙකක් තිස්සේ අකාරුණික බිත්ති හතරක් ඇතුලේ ජීවත් වුන මට මේ දයාර්ද්‍ර බව දරාගන්න හරි අමාරුයි. 

මම ආවා කියන්න අම්මට ගත්ත ඇමතුමටවත් පිළිතුරු ලැබුණෙ නැති නිසා මම මල්ලිට පණිවිඩයක් තිව්ව.

“හරි..”

පිළිතුරු ලැබුණා.

පහුවෙනිදා මම ලොකු අම්මා එක්ක මාතර බෝධියට ගියා.  ඒ එන ගමන් ගෙදර තිබුණ අඩුපාඩු වලට කඩෙන් බඩු ටිකක් බලෙන්ම වගේ ගත්තා. ලොකු අම්මා ගෙදර එනකල් බැණ බැණ ආවේ. ඒත් මගේ හිත හරිම සැහැල්ලුවෙන් පිරිලා.

එදා රෑ මම මගේ ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, ටික්ටොක් වෙළඳ ගිණුම් වල මේ නැවුම් බව ගැන විස්තර ලිව්වා. අලුත් ඇණවුම් වෙනුවෙන් සුදානම් බවත් ලිව්වා. 

ඊට පස්සේ අතරමැද නැවතිලා තිබුණ ඕර්ඩර් කිහිපයක් ආයෙම අලුතින් පටන් ගත්තා. 

මාසයක් විතර යනකොට දවසට ඕර්ඩර් දහයක් පහලොවක් ලැබෙම තත්වයට මම අන්තර්ජාලය හරහාම ව්‍යාපාරය පතුරවාගත්තා.  ප්‍රමාද නොවී අදාල දවසටම ඒ ඇණවුම් බාරදෙන වගවීම ස්වයංවම හදාගෙන වෙහෙසුණා.

ලොකු අම්මාගේ මඟ පෙන්වීම එක්ක වෘත්තීය පුහුණු ආයතනයේ ඩිප්ලෝමාවකුත් පටන් ගත්තා.

අම්මාලා , ගෙදර ගැන කරදර නොවී ඉන්න කොච්චරක් උත්සාහ කලත්, තමන්ගේ දරුවන්ව ඇස් දෙක වගේ බලාගන්න අම්මල්ල දැක්කම මට මගේ අම්මලාට වෛර නොකර ඉන්න නම් පුලුවන් වුණේ නැහැ. 

කාලය හෙමින් යන්න ඇති.

දවසක් මම පහලට යන්න ගියේ හෙට උදෙන්ම කූරියර් එකට යවන්න තිබුණ පාර්සල් කිහිපයක් මල්ලිට දීලා එන්න. ඒත් එකපාරටම ඇහුණ  ලොකු අම්මාගේ හඬ මට ඉන් එහා යන්න දුන්නේ නෑ. 

” ඒක හරි..ඒත්  ඒ කෙල්ල  ඔය මොකවත් දන්නවද? අපේ එකී අරූගේ අස්සේ ගිහින් ළමයෙක් හදාගත්තා මිසෙක , සරණි ඒකිගේ බඩට ආවා නෙවෙයි නෙහ්… නිලන්ත ඉතින් හොඳ එකා.. කොච්චර වුණත් මේකිට කන්න බොන්න දීලා වහලක් දුන්නනේ…”

“හ්ම්ම්..”

” දැන් කෙල්ල එතන දුක් විඳින්න ඕනි නෑ. අනෙක මේකිට සෝලි තිය තියා ඉඳලා අපේ චමරිත් නිකන් පවු පුරෝගන්නවා…”

” අපිට වැඩි නෑනේ.. සරණි මෙහෙ උන්න දෙන්.. ඉස්සරහට දෙවල් ඉස්සරහට නෙහ්…”

මම එහෙමම උඩට දිව්වා. අම්මා මට ඒ තරමට වෛර කරන්නේ ඒ නිසා බව මට දැන් වැටහෙනවා. අනියම් ඇසුරක දරුවෙක්… ඒ වරද අම්මගේ ජීවිතේ හදන්න බැරි කැළලක් වෙන්න ඇති. ඉතින් එච්චරට රිදුම් දෙන කැලලක් හදපු මට අම්මා කොහොමද මට ආදරේ කරන්නේ.

මම පහුවෙනිදා නැගිට්ටේ අලුත් සරණි කෙනෙක් වෙලා. ජීවිතේ අලු පාට පරිච්ඡේදයක් ඉවර කරලා දේදුණු පාටට යනා සූදානම් වෙලා. මෙච්චරක් කල් අම්මට වෛර කර කර මං ගැන අනුකම්පා කර කර හිටපු සිතුවිලි වලට අදාල නියුරෝන අදින් මැරෙනවා. අම්මගේ ජීවිතේට අම්මාම මාව ඉල්ලුවොත් ඇරෙන්න, ඒ ජීවිතේ ගෑවෙන අයිතියත් මම මට අහිමි කලා. ඒත් ඒ අහිමිවීම අස්සේ පළායාමේ සැනසිම මට දැනුණා.

ඉතින් , එහෙමයි, සමහර ප්‍රශ්න වලින් පැනලාම යන්න ඕනි…!!!

| අපේක්ෂා ගුණරත්න | පලායාම 

More Stories

Don't Miss


Latest Articles