ඔබෙ ආදරෙන් මා දැවේ – 39

0
1012

“දැන් ඔයා ශෙහාරා එක්ක යාලුද?” කියා ජාන්වි තුරුණුගෙන් ඇසුවේ තවත් රහස් පරීක්ෂක වැඩ කරන්නට බැරිම තැන ය.  තුරුණු ශෙහාරා අතර සම්බන්ධයක් තිබේදැයි සැක හැර දැනගන්න එක හිත වඩ වඩාත් බර කරන්න හේතුවක් උනත් එය අහන එක හිත නිදහස් කරගන්න ඇත්තටම උදව් වේද කියන කුකුස ජාන්විට තිබුණාය.

“ඇයි එහෙම ඇහුවේ?” කියා තුරුණු ඇහුවෙ සුපුරුදු පරිදි තේ කෝප්පය ජාන්වි ඉදිරියෙන් තබා ය.

“නිකන් ඉතින් දැනගන්න ඇහුවෙ. ශෙහාරා ඉන්පස්සෙ මුකුත් කිව්වෙ නෑ. ඒ උනාට එයා වෙනදට වඩා හිනාවෙලා ඉන්නවා දැක්කම මට හිතුනා දෙන්නා සෙට් ද දන්නෙත් නෑ කියලා. අනික ඔයාත් වෙනදට වඩා ඔෆිස් එකට මාව හම්බෙන්න කියලා එන්නෙ එයාව බලන්න වෙන්නැති කියලත් මට හිතුනා”

“හ්ම්ම්ම්” කියා කිව්වා මිසක තුරුණු ඉන් එහා කිසිම හැඟීමක් වචන කරන්නට ගියේ නැත.

“ඇයි ඉතින් කියන්න අකමැතිද?” කියා ජාන්වි ආයෙ ආයෙ අහද්දී උනත් තුරුණු උන්නේ හිනාවකින් මිස වචනවලින් එයට උත්තර දෙන්න බලාගෙන නොවේ.

“ඔච්චර කියන්න අකමැති නම් ඉතින් කියන්නෝන නෑ. මං අර නිකන් ඇහුවෙ” කියා කිව්වයින් මිස ආය වතාවක් තුරුණුගෙන් ඒ ගැන අසා ලැජ්ජ වෙන්න ජාන්විට උවමනා උනේ නැත. 

“උඹ දැන් ඔය වෙන කෙල්ලෙක්ට කැමති කියලා පෙන්නන්න හදන නාඩගමේ අන්තිමට උඹ බලාපොරොත්තු වෙන්නෙ මොකක් කියලද කියලා මට හරියටම එක්ස්ප්ලේන් කරපංකො” කියා මධුර ඇහුවේ ආයෙම දවසක් බාර් එකේදි හම්බුනයින් පස්සේය. වෙනදා මෙන් තුරුණු දැන් දිනපතාම බොන්නෙ නැති නිසා තියෙන ඔක්කොම වැඩ රාජකාරි මග නතර කරවාගෙන බාර් ගානේ රිංගන රාජකාරියෙන් නිදහස් වෙන්න මධුරට ඉඩකඩ සැලසී තිබුණේය. එහෙත් ඒ ඉඩකඩ සැලසුණේ කොච්චර කාලයකටද කියා තුරුණුවත් දැනගෙන ඉන්නවාද කියා කුකුසක් මධුරගේ හිතෙ නොතිබුනා නොවේ.

“දවසක් ඒවි යළිත් අපි හීන වලට යාවි” කියා තුරුණු වෙනදාටත් වඩා සැහැල්ලුවෙන් සිංදුවක් කියද්දී කොල්ලා ඉන්නේ වෙනදා උන්නාට වඩා වෙනම අන්දමේ ආතල් එකක් ගන්න ගමන් බව මධුරට තේරුණේය. ඒත් ඔය ගන්න ආතල් කුඩුවෙන්න යන්නේ ආතල් ගන්න වෙලාවට වඩා හරිම අඩු වේලාවක් බව දන්න හන්දාම මධුර තුරුණු දෙස බැලුවේ විමර්ශනශීලී දෙනෙතකිනි.

“මොකද්ද දැන් උඹ ඔය කියන හීනේ? ජාන්විව ආයෙ සෙට් කරගන්න එකද?” කියා මධුර එක එල්ලේ ඇහුවද එයට එක එල්ලේ උත්තර දෙන්න තුරුණු කටයුතු කරේ නැත. එහෙත් තුරුණුගේ දෙතොල්වල ඇඳුණ සිනහව මධුර භාරගත්තේ “ඔව්” කියන පිළිතුර විදියටය.

“ඇත්තටම උඹට ලැජ්ජ නැද්ද බං?” කියා මධුර අහද්දී තුරුණු ඇස් උස්සා මධුර දිහාව බැලුවේ ප්‍රශ්නාර්තයක් තැවරුණ දෙනෙතකිනි.

“මොකටද ලැජ්ජ වෙන්නේ?”

“මොකටද ලැජ්ජ වෙන්නේ? යකෝ එක පාරක් තමන්ට නට්ටං වෙන්නම කෙලවල ගිය ගෑනියෙක් ආයෙ පුක බිම ඇණගෙන ආවම අනේ එන්න කියලා අත් දෙකම දික්කරලා භාරගන්න යන්නෙ උඹට ඇත්තටම ලැජ්ජ නැද්ද?” 

“ආදරේ කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ කියලා උඹම නේද මට වතාවක් කිව්වේ? එහෙම නම් මං මොකටද ලැජ්ජ වෙන්නෙ ජාන්විව භාරගන්න?”

“අන්න අන්න ඒක තමයි වචනෙ. උඹ ලැජ්ජ වෙන්න ඕන ඒකිට ආදරේ කරන්න නෙවෙයි ඒකිව භාරගන්න. යකෝ ගෑනියෙකුයි මිනිහෙකුයි අතර තියෙන සම්බන්ධකම් හරි සීමිත ගාණක්නෙ තියෙන්නෙ. එක්කො ඒක ආදරයක් බේස් කරගත්ත එකක්. එහෙම නැත්තම් යාලුකමක්, දැන ඇඳුනුම්කමක් බේස් කරගත්ත එකයි. එහෙමත් නැත්තම් නිදාගන්නවා වගෙ සීන් එකක්නෙ. එහෙම දෙයක් නැතුව, තමන්ව එක පාරක් රවට්ටලා ජිවීතේම විනාස කරලා දැම්ම, අන්තිමේ කරුමක්කාර කසාදයක් අස්සෙ හිරවෙලා ඉඳලා අන්තිමේ ඒකෙන් ගැලවෙන්න පිහිටක් ඉල්ලන් උඹේ ළඟට ආව එකියක්ව උඹ මොකටද භාරගන්න යන්නේ?

මොකෝ උඹම දන්නවා දැන් ඒකිට සෑහෙන දේවල් නැතිබංගස්තාන වෙලා තියෙන හන්දා ඒකි කොහොමත් කලින් වතාවට වඩා හොඳට උඹට සලකනවා කියන එක. ඒකි දන්නවා ඒකිට එල්ලෙන්න පුලුවන් පිදුරු ගහ තමයි උඹ කියන එක. 

ඒක උඹත් දන්නවනෙ නේද? ඒකනෙ උඹ ඔය ආදරේ කියන වචනෙ තියෙන තැනට භාරගන්නවා කියන වචනෙ රිප්ලේස් කරේ? එහෙම දැන දැනම මොකටද යකෝ ඒකි ඉස්සරහා පීචං වෙන්න යන්නෙ?” කියා මධුර කියද්දී ඒ ඇත්ත බව පිළිනොගෙන ඉන්න පුළුවන්කමක් තුරුණුට තිබ්බේ නැත. තමන් ජාන්වි දිහා ආයෙම වතාවක් ආදරය මුසු බැල්මකින් බලන්න පටන් ගත්තේ මේ වතාවේ ඇයට සියල්ල අහිමි වී ඇති බවත්, එහෙම අහිමිවීමක් සිදු වූ තැනක, මහා පරිමාණයෙන් හිත රිදුණ තැනක, එහෙම නොකරන ඔප්ශන් එකක් විදියට ජාන්වි තමන් දිහා බලන්න කටයුතු කරන බව දැන උන් නිසා වග තුරුණු හිතට එකඟව පිළිගත්තේය.

“උඹම දන්නවා බං ඒකි හිතෙන් හිතන විත්තිය තුරුණු කියන්නෙ මට තියෙන සේෆ් ඔප්ශන් එකක් කියලා. එහෙම කාගෙවත් ජීවිතේක ඔප්ශන් එකක් වෙන්න තරම් උඹ මේ නටන්නෙ මොකටද?

ඇත්තටම හොඳ නම් ඔය ඒකි කිව්ව කවුද අර ශෙහානිද ශෙහාරාද ඒකි එක්ක යාලුවෙයන්කො. හොඳ නම් හොඳයිනෙ” කියා මධුර කිව්වද එහෙම කරන එකත්, ජාන්විගෙ තමන්ගේ සිතුවිලිවලින්ද මතකයෙන්ද අතුගා දමන එක ලේසි පාසු දෙයක් නොවන බවත් දැන උන්නේ තුරුණුම පමණකි.

මලිත් ජාන්විගේ ගෙදර බලා ආවේ බ්‍රහස්පතින්දා දවසක හවස් වරුවේය. ජාන්වි වැඩකරන්නේ කොහේදැයි කියන එක මලිත් දැනගත්තේ ජාන්වි විසින් කාලයකට පස්සේ අප්ඩේට් කරන්නට යෙදුන ඇගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක තුළිනි.

ජාන්වි වැඩ කරන තැන වැඩ අවසන් වන්නේ හවස පහ මාරට බව දැනගෙනම මලිත් ජාන්විගේ නිවෙස වෙත හවස හයහමාර විතර වෙද්දී ඉන්නට පිටත් වුනේ ජාන්වි නැතුව ඇගේ මව් දෙමව්පියන් සමග කතා බස් කරන්නට දෙයක් තමන්ට නැති නිසාවෙනි. අනෙක් අතට අන්තිමට ජාන්වි හමුවන්නට ආ දවසේ තමන් ඇයගේ පවුලේ අය ඉදිරියේ පෙන්නන්නට වූ හයිරංකාරකම නිසාම මෙසේ ඔවුන් ඉදිරියට ගොස් මුහුණ දෙන එක ලේසි පාසු වැඩක් නොවන බව මලිත් දැනගෙන උන්නේය.

ජාන්වි එදත් ගෙදර ආවේ එක්තරා විදියක හිතේ බරකිනි. වෙනදා කාර්‍යාලය ළඟින් යද්දී කිසිත් සද්දයක් බද්දයක් නැතුව පිඹගෙන මෙන් බයිසිකලය පැදගෙන යන තුරුණු මෑතක සිට කාර්‍යාලය ලඟදී බයිසිකලය ස්ලෝ කර හෝන් එක ගසාගෙන යන එක තමන් වෙනුවෙන් කෙරෙන ක්‍රියාවලියක් නොවන බව තේරිච්ච තැන ජාන්වි ඕනවටත් වඩා වැඩියෙන් හිත රිද්ද ගත්තාය.

එහෙම හිත රිද්දගෙන ආ තැනක මලිත්ව ගෙදර මිදුලේ දකින්න ලැබෙද්දී ජාන්වි ඇත්තටම තිගැස්සුණාය.

“දැන්ද එන්නේ?” කියා මලිත් අහද්දී ඒ වෙනදා ඔහුගේ හඬේ තැවරුණ සමච්චල් සහගත බව නොවන බවත් ඊට එහා ගිය මෙයැයි කියා කියන්නට නොතේරෙන දෙයක් බවත් තේරෙද්දී ජාන්වි මග නතර වුණාය.

“ඔව්, ඔයා ආවෙ ඇයි? මෙහෙ?”

“මං ආවේ ටිකක් කතාකරන්න” කියා මලිත් කියද්දි තමන්ගෙ හිතට දැනිච්ච අමුත්ත ආයෙ ආයෙත් තහවරු වෙනවා ජාන්විට තේරුණාය

“මොනවා ගැනද?” කියා ඇසුවේ ඒ අමුත්තත් කුතුහලයත් හිතේ රැඳී තිබෙද්දිය. එහෙත් එයට උත්තර දෙනවාට පෙර මලිත් කරේ ගැඹුරු හුස්මක් හෙලන එකය. ඒ ගැඹුරු හුස්ම කෙලවරේ තමන් නොහිතන අන්දමේ කුණාටුවක් රැඳි ඉන්න බව තේරුණද ජාන්වි කරේ නිහඬ වෙන එකය.

සිත පෙරළි කර එක ඇත්තය.

එහෙත් දෙබසට වඩා මුණිවත හොඳ බව ජාන්වි ඉගෙන ගත්තේ අත්දැකීමෙනි.

“අපි ගැන” කියා මලිත් තමන් දෙස බලද්දී ජාන්වි කෙල ගුලියක් ගිල්ලාය. 

“අපි ගැන? අපි ගැන මොනවද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here