ප්‍රේමයේ අභිමන් -20

අපරාජිතා පසු වූයේ නින්දත් නො නින්දත් අතරේ ය. තවමත් ඈ සිටින්නේ මුළුමනින් සන්සුන් නොවූ ද විසල් කුණාටු පහ ව ගියා වූ ද අන්තර් අවධියක ය. නමුත් දවස පුරා වැඩකට අවධානය යොමු කළ නො හැකි වූයේ ය. හවස දේශිකා නික්ම ගිය පසු ඇය යළිත් තෝන්තු අවධියකට පත් වූවා ය. ගුවන් විදුලි නාලිකාවේ සතියේ පිටපත් ප්‍රමාණය තවමත් ලියා නො තිබී ද එවැන්නක් සඳහා හිත එක තැනකට ගන්නට තරම් තවමත් හැකියාවක් ලැබුණේ නැත. ඉතින් ඇය අඳුරු වැටී ගෙන එත්දී ම යහනට වැටුණා ය. පෙර දා ත් නිදි වැරූ කෙඩෙත්තුව ඈ අඩ පණ කොට තිබිණි ද එය සුව නින්දක් නොවේ.

දුරකතනය හැඬවෙන විට රාත්‍රී දහය පසු වී තිබිණ. ඇමතුම අරවින්දගෙන්  නිසා පිළිතුරු නොදී ඉන්නට ඇය මුලින් සිතුවා ය. නමුත් මේ රැයේ ඔහු කතා කරන්නේ කරදරයක් ද යන ගැස්ම මුසු සිතිවිල්ල පරණ විදිහට ම යටි හිතින් මතු ව ආවෙන් ඕ දුරකතන  සවනට ගත්තා ය.

“අපේ දුව ගැන මට ඉවසගන්න බැරි තරං දුකයි අපූ”

එසේ කියමින් අරවින්ද හඬන්නට පටන් ගත්තේ ය.

“මං එයාට කොච්චර ආදරේ කළාද කියල ඔයා දන්නව නේද අපූ…”

අපරාජිතා දෙතොල් තද කොට සපා ගනිමින් ඇස් පියා ගත්තා ය.

“ඔයා දන්නව. එයා ඉපදෙනකොට මං සල්ලිකාරයෙක් නෙවෙයි. එක එකා යටතෙ එක එක තැන් වල වැඩ කරපු අමාරුවෙන් ජීවත් වෙච්ච මිනිහෙක්. ඒත් ඔයා දන්නව…මං එයාවයි ඔයාවයි ආණ්ඩුවෙ ඉස්පිරිතාල පෝලිං වල දුක් විඳින්න ඇරියෙ නෑ. අනන්‍යාගෙ එක වැක්සින් එකක්වත් ගමේ ක්ලිනික් එකේ විදල නෑ. කොහොම හරි සල්ලි හොයාගෙන මං එයාව නයින්වෙල්ස් යැව්ව. තාත්තල දරුවන්ට ආදරේ කරන්නෙ අම්මල වගේ නෙවෙයි කියල ඔයා එයාට කියල නැද්ද අපූ…ඉඹ ඉඹ ආදරේ පෙන්නුවෙ නැති වුණාට ඔයා වගේම මං එයාට ආදරේ කළා. සමහර විට ඔයාට ඒ තරං එයාට ආදරේ කරන්න පුළුවන් වුණේ මං මහන්සි වෙලා හැම දේම ඔය දෙන්නගෙ කකුල් දෙක ළඟට දීපු නිසා. මට පුළුවන් වුණාට පස්සෙ මං ඔය දෙන්නව බස් එකක යවල නෑ. ඕනෙ කියපු දෙයක් නොදී ඉඳල නෑ. හරි..මගෙ අතින් වැරදි වුණා. මං නෑ කියන්නෙ නෑ. ඒත් මේ විදිහට මට රිද්දන එක හරිද අපූ…ඔයා දන්නව නේද මං එයාට ආදරෙයි කියල…කවදාවත් මට ඔය දෙන්නගෙං ඈත් වෙන්න ඕන වුන්නෑ කියල..අපිට මෙහෙම වුණා අපූ…මොකක් හරි කරුමයක් නිසා අපිට මෙහෙම වුණා. හැබැයි අනන්‍යා…එයා මෙහෙම කරපු එක වැරදියි…මං මලක් වගේ නේද එයාව හැදුවෙ අපූ…”

අපරාජිතා ගේ ඇස් පියන් වැසී තිබුණ ද ඒවා අතරින් මිරිකී කඳුළු පේළි දෙකක් පිටතට ගලා ගියේ ය. ළඟක සිටියා නම් ඇය අරවින්ද ගේ හිස සිය පපුවේ රුවා, හිස පිරිමදිමින් ඔහු සනසනු ඇත. ඔහු පැවසූ හැම දේම ඇත්ත බව ඇය තරම් වෙන කවුරුන්වත් දන්නේ නැත. අරවින්ද ගේ පණ ටික අනන්‍යා වූවා ය. ඇය මේ විදිහට ඇගේ සමනල් යෞවනය වවුල් හපයක් බවට පත් කර ගැනීම දෙමාපියන් වශයෙන් ඔවුන් දෙදෙනාට ම දරනු නො හැකි ය.

අරවින්ද ඒ වෙලාවේත් හිටියේ සමාජ ශාලාව තුළ මී විතෙන් පදම් වෙමිනි. ඔහු පමා නිසා රොෂෙල් දිගින් දිගට ම දුරකතන ඇමතුම් ගත්තා ය. නමුත් ඒ හැම වරෙක ම අරවින්ද වෙනත් ඇමතුමක ය. ඔහු යළි නිවසට පැමිණියේ මධ්‍යම රාත්‍රිය ද ඉක්ම ගියාට පසු ය. රොෂෙල් කේන්තියෙන් පුපුරු ගසමින් සිටියා ය. අරවින්ද නින්දට වැටුණ වහා ඇය කළේ ඔහු ගේ ජංගම දුරකතනය ගෙන, ඒ තරම් වෙලා ඔහු කතා කරමින් සිටි දුරකතන අංකය කුමක් දැයි විමසා බලන එකයි.

අරවින්ද සහග කතා බහ නිමා වූ ගමන් අපරාජිතා අනන්‍යා ට කතා කළා ය. සැබවින් ඒ වෙලාවේ ඇය පසු වූයේ දරුණු චිත්ත වේදනාවක් මැද්දේ ය. අරවින්ද කියනා දේවල් අසා උන්න ද ඔහු සමග වචන දෙක තුනකට වඩා කතා කරන්නට ඇය ට හැකි නොවිණි. මේ වාගේ සංතාපයක් ලොව කිසිදු ගැහැනියකට ඉහිලීමට සිදු විය යුතු නැතැයි ඇය දුරකතනය හැඬවෙන අතර වාරයේ සිතුවා ය.

“අම්මි”

අනන්‍යා ගේ හඬ ආදර බර විය.

“අම්මිට නින්ද යන්නැද්ද…දැන් එකොළහට විතර ඇති නේද…මං කිව්වනෙ අම්මි මුකුත් අනං මනං හිතන්නැතුව හිත සන්සුන්ව ලියන වැඩ කරගන්නයි කියල”

“තාත්ති කතා කළා දැන්”

සුසුමක් වා තලයට මුහු විය. අනන්‍යා මොහොතකට නිහඬ වූවා ය. 

“මට ඒ පින්තූරෙ එව්වත්…ඔයාට තිබුණෙ තාත්තිට ඒක යවන්නෙ නැතුව ඉන්න”

අපරාජිතා උගුර යටින් කියා ගත්තා ය. ඇයට තරම් දරා ගැනීමේ ශක්තියක් ඔහුට නොවන බව ඇය හොඳින් දැන සිටියා ය.

“තාත්ති හොඳටම හිත රිදෝගෙන. හොඳටම ඩ්‍රිංක්ස් අරං මට කතා කරල මෙච්චර වෙලා කියෙව්ව. පරණ දේවල් මතක් කර කර ඇඬුවත් එක්ක”

“අනේ ඔය බහුබූත නොස්ටැල්ජියා වලින් ඇති වැඩක් නෑ අම්මි. අපි වර්තමානයෙ ජීවත් වෙන්න ඕනෙ. තාත්තිගෙ බොරු වලට අම්මි තාමත් අහු වෙනව. ඇයි මං එයාට ඒ පින්තූරෙ යවන්නැතුව ඉන්නෙ…”

අනන්‍යා අභියෝග කළා ය. අපරාජිතා මොහොතක් නිහඬ ව සිටියා ය. බඩ ඇතුළේ තියා ගෙන සිට බිහි කළත්, දෑහේ මූණේ තියා ගෙන හැදුවත් දරුවන් උස් මහත් වූ විට වෙනස් වේ. ඇගේ පපුවේ කීරි ගැහෙන දුකක් විය. අනන්‍යා සදහට ම ඇයට අහිමි ව ගොස් තිබේ. ඇය ටික ටික ලොකු වෙත්දී දැනුණ සිහින් රිදුම මහා උදම් රළක් සේ අපරාජිතා ගේ ආත්මය යට කර ගන්නා ලදී.

“ඔයා කරපු දේ හරි කියල හිතන්න හදන්න එපා පුතා. ඒක හරි නෑ. ඇත්තටම…ඒක වැරදියි. තාත්තියි මායි අතරෙ ප්‍රශ්න තිබුණා තමයි. ඒ නිසා අපි වෙන් වුණාත් තමයි. එක වහළක් යට රණ්ඩු කර කර…දරුවො නිසා කිය කිය මානසික පීඩනයක් එක්ක ජීවත් වෙනවට වඩා… ඒ තීරණේ ගන්න තරං අපි අපිට රෙස්පෙක්ට් කරපු එක ගැන සැනසීමක් මටනං තියෙන්නෙ. ඔයාට ඒක මානසික ව වදයක් වෙන්න ඇති. ඒත් ඔයා දැං ලොකු ලමයෙක්නෙ පුතා. ඔයාට පුළුවන් බ්‍රෝඩ් විදිහට ලෝකෙ දකින්න.. ඔයා කාට හරි අදරේ කළානං ඒක වරදක් කියල හිතන්න තරං අම්මි නැරෝ මයින්ඩඩ් ගෑනියෙක් නෙවේ කියල ඔයා දන්නව. ඔයාට මැරි කරන්න ඕන කිව්වනං…ඒත් මායි තාත්තියි කතා කරල ලස්සනට ඒක කරල දෙනව”

එවර අනන්‍යා හඬ නගා හිනැහෙන්නට පටන් ගත්තා ය. අපරාජිතා ට දැනුණේ දියණිය ඇය ට සමච්චල් කරනු වස් එසේ හිනැහෙනවා වාගේ ය. නමුත් ඇය සිය රිදුම පෙන්වන්නට ගියේ නැත. තමාට කොයි තරම් රිදවූවත් අනන්‍යා අරවින්ද සමගින් ආදරයෙන් සිටිනවා නම් එය අපරාජිතා ට සැනසුමකි.

“අම්මිල වගේ මැරි කරල දරුවොත් හම්බුණාට පස්සෙ හරි යන්නෑ කියල ඩිවෝස් වෙන්නද..නෑ අම්මි. මටනං ඊට වැඩිය මේක හොඳයි. අපිට අපි හොඳයි කියල හිතෙනකල් එකට හිටිය..හරියන්නෑ කියල හිතුණොත් වෙන් වුණා. කරදර නෑ”

හදවත කීතු වලට ඉරී ලේ ගලනු දැනුණ ද අපරාජිතා නිහඬ වූවා ය. අමමලා ට තාත්තලා ට දරුවන් සිය ලෝකය වූවා ට දරුවන් ට එහෙම වන්නේ ඔවුන් සිය ළමා විය අත් හරින තුරු පමණකි!

පිදුරුතලාගල කන්ද තරම් බරක් අපරාජිතා ගේ ගැහැනු හද මඬල මත පැටවී තිබිණ. නමුත් කාටවත් දොස් කියනු වෙනුවට සියල්ල තමා තුළ දරා ගන්නා එක හිත සුව පිණිස හේතු වෙතැයි ඇය සිතුවා ය.

අළුයම් යාමයක් වන තුරුත් ඈ සිටියේ අවදියෙනි. යන්තම් ඇහැ පියවුණ ගමන් යළිත් දුරකතනය නාද වූයේ ය. ඒ රොෂෙල් ගේ අංකය බව දුටු අපරාජිතා තිගැස්සී ගියා ය. අරවින්ද ට කරදරයක් ද? පෙර දා රාත්‍රියේ කතා කරත්දී ඔහු සිටියේ බෙහෙවින් බීමත්ව බව ඇය ට දැනුණේ ය. නමුත් ඒ ගැන කිසිත් කතා කරන්නට ඇය උත්සුක වූයේ නැත. දැන් ඔහු ඇගේ දුවගේ තාත්තා පමණකි.

“හෙලෝ..”

“ලැජ්ජ නැද්ද ආ…අරවින්ද කියන්නෙ ඉස්සර ඔයාගෙ කවුරු වුණත් දැන් එයා මගෙ හස්බන්…එයත් එක්ක රෑ ජාමෙ ෆෝන් එකෙන් කියෝ කියෝ ඉන්නෙ…ශිහ්…ඔච්චර ආදරයක් තිබුණනං ඇයි ඩිවෝස් වුණේ…මට මෙච්චරයි කියන්න තියෙන්නෙ. තමුන්ගෙ පවුල කඩා ගත්ත වගේ මගෙ පවුලත් කඩල දාන්න හදන්න එපා”

එපමණකි. ඒ නම් බරපතලම චෝදනාවකි. හැඬෙන්නට තරම් දුකක් දැනී ද අපරාජිතා නො හඬා සිටියා ය. නමුත් ඇගේ හදවතෙහි දරුණු සීරුම් පහර ඇති වී ලේ බින්දු කාන්දු වී තිබුණේ ය. හැම කෙනෙක් ම චෝදනා කරන්නේ ඇයට ය. හැම කෙනෙක් ම දොස් කියන්නේ ද ඇයට ය. නමුත් ඈ කළ වරද කුමක් දැයි අපරාජිතා යහන මත හිඳ සිතුවා ය. දෙපා බදා ගෙන දෙදණහිස් මත නිකට තියා ගෙන ඇය බෝ වෙලාවක් කල්පනා කරමින් සිටියා ය. අවසන නැගිට ඒ පාන්දර ම දිය නා ගෙන නුගේගොඩ තෙත් බිම් උද්‍යානය වෙත ගියා ය. 

නිවීමක් අවශ්‍ය බව දැනේ. නමුත් යළි යළිත් සිදු වන්නේ පැරණි ගිනි අලුත් වීම ය. අළු යට තවමත් ගින්දර තියේ. 

ඇල දිය මත රිදී හිරු කිරණ වැද දිය රැලි රිදී රැලි සේ දිස් වේ. දිය කාවෙකු දිරා ගිය ගසක කඳක් මත හිඳ සිය තෙත් පිහාටු දිගැර වියළමින් සිටී. කොක් යුවලක් තනි කකුලෙන් නිදි කිරමින් සිටිනු දුටු අපරාජිතා ගේ මුව කොනක් සිනහවකින් ඇද වූයේ ය.

ඇය පසු කොට ඇවිද යමින් සිටි තරුණයා, පිටුපා උන් හුරු පුරුදු ස්ත්‍රී රුව දැක සිය වේගය බාල කළේ ය. ඒ ඇය ම බව නිසැක ව තීරණය කළ සසංක ඇවිදීම නවතා ඇය ට කතා කළේ ය.

“ගුඩ් මෝනිං”

හැරී බැලු අපරාජිතා ගේ මුහුණ ට කෝපි මල් සිනහවක් ආවේ ය.

“ගුඩ් මෝනිං…ඔයා මෙහෙට එනවද ජොගින් වලට…”

මීට පෙර මෙහිදී ඔහු ඇය දුටු බව ද ඇගේ සුවඳ නිසා ආපසු හැරී බලන්නට උපන් සිතිවිල්ල අසීරුවෙන් නතු කර ගත් බව ද සිහිව සසංක ට සිනහවක් නැගුණේ ය. කතා කර එකඟතාවයකට ආවා සේ ඊළඟ මොහොතේ ඔවුහු සමාන්තර ව ඇවිදිමින් සිටියහ. අපරාජිතා නිදි වර්ජිත ව ඉන්නට ඇති බව ඇගේ ඇස් සාක්ෂි දරයි. නමුත් සසංක ඒ සංවේදී ඉසව්වට අත නො තබා සිටින්නට වග බලා ගත්තේ ය. මඳ දුරක් ඇවිද ගිය ඔවුහු, සෙවනැති තුරු මුලක වූ සිමෙන්ති බංකුවක දෙකොනෙහි අසුන් ගත්හ. ටික වෙලාවක් ගෙවුණේ මුණිවතිනි. සැබවින් දොඩමලු වන්නට තරම් පොදු මාතෘකාවක් නැති ව මුව හිර වී ඇති බවක් සසංක ට දැනිණ. ඔවුන් ඉදිරියෙන් එක පවුලක් යයි සිතිය හැකි තරුණ යුවළක් ද පඩි පෙළ වාගේ ගැහැනු පිරිමි ළමයින් සිව් දෙනෙකු ද ඇවිදින මං තීරුවේ ඇවිද යන්නට වූයේ ඒ වෙලාවේ ය.. අපරාජිතා ඒ දරුවන් ගේ හුරුබුහුටි ඉරියව් දෙස බලා උන්නේ ආශාවෙනි. ඇයට නිතැතින් අනන්‍යා සිහි විය. ඊළඟට පපුව සුසුමකින් පිරී ගියේ ය.

“බඳිනව කියන්නෙ එක විදිහක කෝස් එකක් නේ…”

සසංක සිය උරහිස් හකුලමින් ප්‍රශ්න කළේ අර පවුල දෙස බලා ගෙන, අපරාජිතා ගෙන් නොව තමන්ට ම කියා ගන්නා සේ ය. ඇය සිනහවක් පෑවා ය. ඒ සිනහව ඇතුළේ අතරමං වන්නා සේ සසංක ට දැනිණ.

“ඔයා බැන්දෙ නැත්තෙ ඒකද…”

ඒ වූ කලී දඟකාර කෙල්ලකගේ හැඟීම් අවුස්සනා ස්වරයකින් නැගි පැණයක් හෝ අසංවර ස්ත්‍රියක ගේ යටිපෙළ අරුත් ඇති තානයකින් ඇසි පැනයක් හෝ නොවේ. ඉතා නිවුණු, සංවර හඬක දේවතා භාෂිතයක් සසංක අපරාජිතා වෙතින් අත් වින්දේ ය. ඒ මුව මඳහස ඔහු ට සිහි කළේ ම යශෝධරා ය. ඇයිදෝ මන්දා යශෝධරා කියන්නේ බාල වියේ පටන් සසංක ගේ කොලු හිතෙහි උත්තම තැනක ලැගුම් ගත්තා වූ ස්ත්‍රී චරිතයකි. ඒ ප්‍රතිරූපය, බුද්ධ සාහිත්‍යය විසින් ළමා සිත්හි ඇති කළා වූ නැඹුරුවක් බව වැඩිහිටි ඔහු පිළිගත්ත ද, පෙර කී ප්‍රතිරූපය හිතෙන් බැහැර කළ හැකි වූයේ නැත.

“බැඳෙන්න තරං කෙනෙක් හම්බුණේ නැති නිසා”

ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ මඳ වෙලාවකිනි. ඔහු දෙස බලා උන් අපරාජිතා ඒ පිළිතුරත් සමග ඉවත බැලුවේ ඒ මොහොතේ සසංක ගේ ඇස් වල වූ තියුණු බැල්ම, ලදල්ලක් සේ ඇගේ හිත මඳ පමණින් සැලූ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles