සන්තාන සුසුම් සර – 44

0
426

යසස්වී වෙහෙරගොඩ පරම පවිත්‍ර දෙව්දුවක් සේ අස්විද සූරියබණ්ඩාර දුටුවේ ය. ඇය සුදු පැහැති මැක්සි ගවුමක් හැඳ කිරිගරුඬ පිළිමයක් සේ සිටියදී, ඇස් පිය සලනවාදැයි බලන්නට පවා ඔහු ට සිදු වූ තරමි.

‘ඔයා ඔහොම ගිලින්න වගේ බලං ඉන්නකොට බයත් හිතෙයි මේ ළමයට’

සෙනුරි සිනහවෙමින් කීවේ සිය රූපලාවන්‍ය උපකරණ සහිත ඇසිරුම ලකලැහැස්ති කරමිනි.

‘මං වොශ්රූම් ගිහිං එන්නං’

ඈ ලහි ලහියේ කාමරයෙන් නික්ම ගියේ අස්විද ට යසස්වි සමගින් මඳක් තනි වීමේ අවස්ථාවක් දෙන්නටත් එක්ක ය.

අස්විද, ප්‍රකට මල් සැකසුම් විශේෂයෙකු හට ඇනවුමක් දී සකසවා ගත් සුවිශේෂ මල් කළඹ යසස්වි අතට දුන්නා ය. ඈ ඒ අගනා මල් කළඹ දැක හුස්ම හෙළන්නට අමතක කොට බලා සිටින්නට වූවා ය. මේ මොහොත දෑසින් දකින්නට අස්විද ආශාවෙන් බලා සිටියේ ය. ඒරම් ලිලී හා සුදු පබළු වලින් නිම කරනා ලද මල් කළඹ ඇගේ දෑස් දීප්තියෙන් බබළවන බව ඔහු ඉඳුරා දනී.

‘අනේහ්… ඒකෙ ලස්සන’

‘මෙතන්ට එනකල් මාත් හිතුව ඒ මල් මාර ලස්සනයි කියල’

අස්විද ගේ ස්වරයෙහි ද බැල්මෙහි ද මුදු සරාගයක් තැවරී තිබිණ.

‘ඇයි ඉතිං ලස්සන නැද්ද…’

‘ඊට වැඩිය දහස් ගුණයක් ලස්සන කෙනෙක්ගෙ අතේ තියනකොට ඒකෙ ලොකූ ලස්සනක් පේන්නෑ’

‘අනේ යන්න අස්විදයිය. ඔයා හරි නරකයි’

ඔහු වඩාත් ඇගේ මුහුණට එබී දෑස් කවුළු වලින් ඇතුළට රිංගන්නට සේ බැලුවේ ය.

‘ලස්සනයි. ගොඩාක්…’

ඈ ඒ රෝස පෙති දෑස් පියන් පහළට හරවාගත්තා ය.

‘හීනයක් වගෙයි අයිය. මට තාම මුකුත් හිතාගන්න බෑ’

‘ඔයාට නෙවෙයි මටයි හීනයක් වගේ දැනෙන්නෙ. මං හිතුවෙ නෑ මං බඳී කියල’

ඇය දෑස් පුරා ඔහු දෙස බැලුවා ය. අස්විද සූරියබණ්ඩාර වූ කලී කොහොමත් කඩවසම් පුරුෂයෙකි. නමුත් අද ඇයට ඔහු වැඩියෙන් කඩවසම්ව පෙනේ.

‘දැන්නං මට ඔයා ළඟින් හෙල්ලෙන්නවත් හිතෙන එකක් නෑ. පිරිමියෙක් කසාද බඳින්න ඕනෙ නවාතැනක් වගේ ගෑනියෙක්ව යසස්වි. හැමදාම නතරවෙලා ළඟ ඉන්න පුළුවන් ගෑනියෙක්ව. මේ වෙලාවෙ මට දැනෙන මේ ස්ටැබ්ලිශ් ෆීලින් එක…ඒක ඇති ජීවිත දහයක් ජීවත් වෙන්න වුණත්…’

යසස්වි ගේ පපු කුහරය හුම්මානයක් සේ හැඟුමන් ඉහළ නංවමින් සිටියේ ය. වෙනදා වාගේ කිචි බිචි ගාන්නට වදන් ඇගේ මුවට එන්නේ නැත.

‘ඒත්… දවසක ඔයාට හිතෙයිද දන්නෑ ඉක්මන් තීරණයක් ගත්ත කියල’

‘පිස්සුද ආ…’

ඔහු මලක් සේ ඒ වත දෝතින් ගෙන පරිස්සමෙන් නළලත හාදුවක් තැබුවේ ය. යසස්වි ගේ දෑස් පියවිණ.

‘එහෙම වුණොත් මට කියන්න. චේතිය අයිය වගේ තනියම දුක් විඳගන්න එපා. ඔයා විඳෝනව කියල දැනගත්තොත්නං මට මැරෙන්න හිතෙයි’

‘එහෙම වුණොත් මාව අතෑරල යන්න පුළුවන්ද…’

‘මට බැරිනං ඔයාව සතුටෙන් තියන්න… යන එක තමයි මං කරන්න ඕන හොඳම දේ. ඊයෙ රෑ මං තනියම කල්පනා කරපු දෙයක් ඒක’

‘මෙච්චර කල් ගිහින් කෙල්ලෙක්ට කැමති වුණේ එහෙම වෙන්න නෙවෙයි’

‘මං දන්නව ඉතිං. ඒත් බයට එක එක දේවල් හිතෙනව’

‘වරෙල්ල වරෙල්ල පහළට. අරහෙ රෙජිස්ට්‍රාර් ඇවිත්. උඹල මෙහෙට වෙලා ලව් කරනව’

රයන් ගේ හඬින් යසස්වි සේ ම අස්විද ද මඳකට ගැස්සුණහ. ඊළඟ මොහොතේ ඔවුන් ගේ මුහුණු වලට වැඩියේ මඳහස් රැල්ලකි.

විවාහ ලියාපදිංචිය සිදු වූයේ තුසිතයෙහි ය. බරාඳයේ කුඩා මේසයක් දමා, රෙජිස්ට්‍රාර්වරයාට ද විවාහය ලියාපදිංචි කරනා මනාල යුවළට ද සාක්ෂිකරුවන් දෙදෙනා ට ද අසුන් පනවා තිබිණ. සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබනුයේ විජිත හා සාවිත්‍රි ය. යසස්විව තුසිතයට ගෙන ආ වජිරා ගේ ඉපැරණි මිතුරිය චාරුලතා මේ අවස්ථාවට පැමිණීම තුසිතයට සේ ම සාවිත්‍රි ට ද අස්වැසිල්ලක් විය. යසස්වී වෙනුවෙන් එහි වූයේ ඇගේ අම්මාත් ලොකු අම්මාත් පමණකි.  රෙජිස්ට්‍රාර්වරයා හැරුණු විට, තුසිතයට පිටස්තර කෙනෙකු ලෙස එහි වූයේ ඡායාරූප ශිල්පියා පමණකි.

මේ අවස්ථාව හදිසියේ තීරණය කොට හදිසියේ ම සූදානම් වූවකි. වැඩි ප්‍රසිද්ධියකින් තොර ව සියල්ල සිදු වූ අතර, යසස්වි ගේ හැඩගැන්වීම් කරන ලද්දේ, රූපලාවන්‍ය ශිල්පිනියක වූ රයන් ගේ බිරිඳ සෙනුරි විසිනි.

මනාල යුවළ පහළ මහළට පැමිණෙත්දී හැම නෙතක් ම දැල්වී තිබුණේ සතුටෙනි. නමුත් නිලූකා ගේ සිත් හි බලාපොරොත්තු සුන්වීමක සුන් බුන් විය. මූණෙහි සිනහවක් නො වූවත්, දැන් කිසිත් වෙනස් කළ නො හැකි බැව් ඇයට දැනේ. නිලූපා නික්ම ගියාට පස්සේ, පෙරදී තිබූ හයිය දැන් තුසිතයෙහි දැනෙන්නේ නැත. පෙර අත් නො විඳි තනිකමක් ඇය අත්විඳී. මේ වනතුරුත් කටේ බලයෙන් ඇය යමක් කරගන්නට තැත් කළා ය. දැන් ඉතින් ඒ කිසිවකින් පලක් නැත!

‘මගෙ කෙල්ලව ඇස් දෙක වගේ බලාගන්න පුතේ. මහත්තයගෙ ගෙදරදි මට දැනුණ තනිකම… මට දැනුණ අසරණකම… කවදාවත් මගෙ දුවට දැනෙන්න දෙන්නෙපා. මේ ජීවිතේදි මට ලැබෙන්න පුළුවන් එකම සතුට දුව සතුටෙන් කියල හිතන එක විතරයි’

විවාහ සහතිකය යසස්වි අතට ලැබීමෙන් පස්සේ අස්විද ගේ දෑත් අල්වා ගත් සාවිත්‍රි ඉකි බිඳ හැඬුවා ය. ඇය හඬන්නේ ඇයි කියා ඇයවත් දැන සිටියේ නැත. දියණියට ලොවෙහි වන හොඳ ම ගණයේ පිරිමියෙකු ස්වාමියා වෙනවා දැකීම, මෙලොව හැම අම්මා කෙනෙකු ගේ ම පැතුමයි. දස මසක් කුසෙහි දරා හිද බිහි කළ දරුවා, දශක දෙකකට වැඩි කාලයක් ඇස් දෙක සේ රැක බලා ගනිමින් ඇති දැඩි කළ දරුවා, ලෝකයේ නො දන්නා තැනකින් පැමිණි පුරුෂයෙකුට පවරා දෙනවා කියන්නේ පහසු වූවක් නොවේ. ඉනික්බිති ඇගේ ජීවිතය වන්නේ වෙනත් කෙනෙකු ගේ අතේ ය. තමන් සේ ඔහුත් ඇයව රකිනු ඇත් ද කියා දෙවියන්වත් දන්නවාදැයි නිශ්චිත කළ නො හැක. නමුත් මේ මොහොතේ දී අම්මා කෙනෙකු සිය දියණිය පවරා දෙන පුතණුවන් දෙවියෙකු සේ දකිනු රිසි ය. දෙවියෙකු සේ අදහනු රිසි ය.

‘අම්ම හැමදාම ඒ විශ්වාසෙන් ඉන්න. අම්ම ළඟ වගේම මං ළඟත් එයා පරිස්සං. ඒ ගෙදරදි වගේම මේ ගෙදරදිත් එයා සතුටෙන් ඉඳී. ඒක මං අම්මට දෙන පොරොන්දුවක්. මොන හේතුවක් නිසා හරි මට එහෙම කරගන්න බැරි දවසක් ආවොත්… මං එයාව මග අත්ඇරල දාන්නෑ. ආයෙ අම්මගෙ අතට ම ගෙනත් බාරදෙනව. ඒත් එහෙම දවසක් එන්නෑ කියල මට විශ්වාසයි’

අස්විද සාවිත්‍රි ව වැළඳගත්තේ ය.

යසස්වි විජිත හා වජිරා ගේ දෙපා නමැද ඔවුන් බදා වැළඳගත්තා ය. ඇස් වල කඳුළක තෙතමනයක් වූවාට ඈ හැඬුවේ නැත.

‘මෙහෙට ආපු දවසෙ ඉඳලම මට දැනුණ අප්ප… මේ කෙල්ල අපේ කියල’

විජිත ට ඒ අවංක සතුට හංගාගන්නට ඕනෑ වූයේ නැත. වජිරා නම් නිහඬව අලුත් දියණිය තුරුලු කරගෙන සිටියා ය. ඇගේ ඒ නිහඬ බව තුළ කතා දස දහස් ගණනක් ලියැවී තිබුණ බව යසස්වි ට නො දැනුණා නොවේ. කියන්නට තිබූ බොහෝ දෑ මේ වන විට ද ඈ සිය ලේලියට පවසා තිබේ!

විවාහ ලියාපදිංචියෙන් පස්සේ වජිරා කිරිබත් මේසයක් සූදානම් කොට තිබුණා ය. ඒ අතරේ නව යුවළ ගේ ඡායාරූප ගැනීම ද සිදු විය. දිල්නුක හැර තුසිතයෙහි සියල්ලෝ එදා ගෙදර රැඳී සිටියහ. දිල්නුක නැතිදැයි විමසූයේ අස්විද පමණකි.

‘අද මිස් කරන්න බැරි ලෙක්චර් එකක් තියනව කිව්වෙ’

කියමින් නිලූකා ලිස්සා ගියා ය.

එය පවුලේ කුඩා සාදයකි. අස්විද දිවා ආහාර ඇනවුම් කොට තිබිණ. මිදුලේ සව්දිය පුරනා සූදානමක් සිදු විය. ලෝකයට පේන්නට මංගල්ලයක් නොවුණාට, මංගල සිරියක් හැම හිතක ම විය. අස්විද උද්දාමයෙන් සිටියේ ය. හදිසියේ ම ජීවිතයෙහි විසල් විපර්යාසයක් සිදු වූ පරිවර්තිත මිනිසෙකු ගේ සාඩම්බරය ද සන්තුෂ්ටිය ද ඔහු ආත්මයෙන් ම අත්විඳිමින් සිටියේ ය.

‘ඔහොම හිනාවෙලා හිටියට අයියෙ… ඇත්තමනං අසා ටිකක් අවුල්’

ඔවුන් තිදෙනා පමණක් මිදුලේ තනි වූ වෙලාවක රයන් චේතිය ට ඇසක් ඉඟිමැරුවේ ය.

‘අවුල්… ඇයි…’

‘මොනා වුණත් පව් ආ. ළඟින් ම හිටිය යාළුව නිසා මං දන්නව. මූ මාර විදිහට සෆර් කරනව ඒ ගැන’

අස්විද නළල රැලි නංවාගෙන රයන් දෙස බලා සිටියේ ය. ඔහු ගේ විස්තරය නො පැහැදිලි වූ තැන චේතිය නො සන්සුන් වූයේ ය.

‘මොකද්ද බං… වැල් වටාරං නැතුව කියහංකො’

‘බැන්දට ඉතිං… හනිමූන් යාගන්න බැරි වුණානෙ මූට’

චේතිය හඬ නගා හිනැහෙන්නට ගති. අස්විද සිනහව යටපත් කරගනිමින් ඉවත බැලුවේ ය.

‘චුට්ටක් ඉවසල හිටපං ඉතිං. මොනා වුණත් චාරිත්‍ර කියල දෙයක් තියනවනෙ බං. උඹ ලෝයර් නිසා දන්නවනෙ. ලංකාවෙ නීතියෙන් බඳිනවට වැඩිය ඔය චාරිත්‍රානුකූල විවාහ උත්සවය කියන එකටනෙ බං සලකන්නෙ. පොඩි වෙඩින් එකක් ගන්නකං ඉවසපං හොඳේ’

‘අනේ අයියෙ මොකෙද්ද ඕයි මූ…’

රයන් ගේ හා චේතිය ගේ සිනහවෙන් තුසිතය පිරීතිරී ගියේ ය. රයන් අස්විද ට දුන් නවක වදය නිමා කරන්නට සිදු වූයේ සනුක සමගින් යසස්වි ඔවුන් වෙතට පැමිණුන නිසාවෙනි.

‘හැබැයි උඹට ඉස්සරහට මොනා වුණත් ඉක්මනට බැඳපු එකනං ලොකු දෙයක් අසා. නැත්තං උඹ බංකොලොත් වෙන්නෙ මේ සනුකයට කන්න අරං දීලමයි’

‘ආ හරි හරි… බලන්නකො මේ අපිට අහිංසක විදිහට කන්න අරං දුන්න එක ලේසි නැද්ද කියල ඉස්සරහට. අපේ බාප්ප කියන්නෙ අපිට හිටිය ළපටි කැකුළු නාඹර වස්ස. මේ යසස්වි නාස් ලනුව දාල කරත්තෙ බඳිනකොට අපි අර පල්ලෙහා ගෙදර ඉඳං හරි අත වනමු නේ තාත්තෙ…’

‘අනේ මට මැවිල පේනව බං යසස්වි නාස් ලනුවෙං අදිනකොට අස්විද දුවන හැටි’

සිනහව දෝරෙ ගැලුවේ ය.

‘හරි හොඳ නෑ අනේ ඕගොල්ලො. මං මොකටද නාස් ලණු දාන්නෙ…’

යසස්වි හුරතලයට නොක්කාඩු වූවා ය.

‘මූට සෙනුරි එහෙමනෙ කරන්නෙ යසස්වි. ඒක දන්න නිසා ඔය කියන්නෙ’

‘මේ… ජෝක් එකක් නෙවෙයි. උඹ ඉතිං මේ කෙල්ලත් එක්ක හවසට පොඩ්ඩක් එළි පහළියට ගිහිං වරෙං. නේද අයියෙ… යසස්වි ආස ඇතිනෙ උඹත් එක්ක පන්සලකටවත් යන්න… මේ ස්පෙශල් දවසෙ…’

රයන් ඉක්මනින් විහිළු නිම කොට මිතුරා වෙනුවෙන් පෙනී සිටියේ ය. සනුක මැද්දෙන් පැන්නේ ය.

‘ආ මේ මාර ලස්සන පන්සලක් තියන තැනක් මං දන්නව… ගලක…’

‘ආ… ඒ ගමන උඹත් පස්සෙං යන්නද… උං දෙන්න ගිහිං එයි. උඹ මෙන්න මේ ගෙදරට වෙලා හිටපං’

බීර වීදුරු වල රන්වන් පෙණ බුබුළු නැඟිණි. නව යුවළ වෙනුවෙන් සව්දිය පිරුණි. අස්විද ගේ දෑස් හි කාන්තියක් විය. ඒ  තරු ඇස් කැල්ම, වදනින් නොකී කතා සහසක් මුමුණනු යසස්වී ට දැනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here