දෙහිතක කතාවක් 07

“ප්ලීස් කැළුමිණී මම බීල එන්නෙ මට දරාගන්න බැරි තරමෙ රැවටීමක්, දුකක් හිතේ තියෙන හන්දා. මට ඔයාට සමාව දෙන්න හිත හදාගන්න අමාරුයි. සමාව දුන්නත් ආපහු ඔයා එක්ක එකට ඉන්න පුලුවන්ද කියල මට හිතාගන්නවත්, මේ වෙලාවෙ ඒකට හරියට උත්තරයක් දෙන්නවත් අමාරුයි. ඒත් ප්ලීස් මට සිහිය නැති වෙලාවට මට ලංවෙලා මාව ආයෙ රවට්ටගන්න හදන්න එපා.

ඔයාටම තමයි රැවටෙන්න වෙන්නේ”

ප්‍රභාත් විසින් සවන් මත තවරා ගිය ඒ වදන් වල වූ සීතල ස්වභාවය සිත ගල් කර තිබුනි. උදෑසනම අවදි වී කෑම සකසා තැබුවද ප්‍රභාත් නිවසින් පිටව ගියේ කෑම එකද අමතක කරය.නොඑසේනම් හිතා මතාම මග හැරය. උදෑසනම සිතට ආ වේදනාව මුලු දවසම අඩපණ කරවන්නක් වුවද කැළුමිණී උන්නේ මාසය අවසාන වන්නට පෙරාතුව භාර දිය යුතු වැඩ කන්දරාවක ගිලීය. ඒ වැඩ කන්දරාව හැකි ඉක්මනින් අවසන් කරන්නට හැකි වුවහොත් සතියක පමණ සැනසීමකින් හිඳින්නට හැකි වන බව දැන හුන් නිසාවෙන් සිත කෙතරම් වේදනාවක ගීලී හුන්නද කැළුමිණී උන්නේ ෆ්‍රීලාන්ස් වැඩ කන්දේ මැදක ගිලීය.

වැඩ කන්ද අඩුවන්නට අඩුවන්නට සිත තුල තිබෙන වේදනාව වැඩිවන බව කැළුමිණී දැන උන්නද එකී වේදනාවේ ගිලී හිඳීම සිතට සැනසුමකි.

“එහෙම කියන්න එපා ප්‍රභාත්. මම ඔයාව රවට්ටල ඔයා එක්ක ඉන්න හදන්නෙ නෑ. මට එහෙම ඔයාව රවට්ටල ඔයාගේ ආදරේවත් වෙන කිසිම දෙයක් අරගන්නවත් ඕන නැ. අනේ මට ඔහොම කතාකරන්න එපා ප්‍රභාත්. ඇයි මට මෙහෙම සලකන්නේ? මම ඔයාගෙන් එක දෙයක් හංගපු බව ඇත්ත, ඒ උනාට මම අපේ මැරේජ් එක ඇතුලෙ කිසිම දවසක ඔයාට කිසිම බොරුවක් කියල නෑ කියල ඔයා දන්නවනේ”

කැළුමිණී උන්නේ ඉකිලමිනි. කඳුලු බිඳු වැගිරී රත් පැහැ වී තිබුන දෙනෙතත්, නැහැය දෙපසත් සිත මත කැළුමිණී ගැන වේදනාවෙන් බොඳ වුන සිතුවමක් අඳින්නට වුවද ප්‍රභාත් එකම එක සිතුවිල්ලකින් ඒ සිතුවමක් මකා දැමුවේය. 

කැළුමිණී යනු අනුකම්පාව ලැබිය යුතු අයෙකු නොවේ. පිරිමින්ව රවටන ගැහැණුන්ට අනුකම්පා කල යුතු නොවේ. එකී සිතුවිල්ල ප්‍රභාත්ගේ හදවතේ කොහේ හෝ තැනක ආදරයේ අංශු මාත්‍රයක් හෝ තිබුනානම් එය බිඳ වට්ටන්නට හේතු කාරණාවක් විය.  

“ඒ උනාට මට හිත හදාගන්න බෑ. මට හිත හදාගන්න කියන්නත් එපා. මට ඒක කරන්නත් බෑ. සමාව දෙන එක නෙවෙයි කැළුමිණී මට තියෙන ප්‍රශ්නෙ මට ආයෙ ඔයාව විශ්වාස කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ. මට ඒක කරන්න බෑ. ඒ නිසා මට මුලු ජීවිත කාලෙම නොකරපු වරදකට විඳවන්නත් බෑ”

එසේ පවසා ප්‍රභාත් නික්මුණේ කැළුමිණී උදෑසන අවදි වී ආදරයෙන් සැකසූ කෑම පාර්සලය පවා අමතක කරලමිනි. ඊයේ රාත්‍රියේ බීමතින් හෝ පැමිණ ප්‍රභාත් තමා සමග හිඳීමෙන් පසුව “මේ ඔක්කොම ප්‍රශ්න අද රැයෙන් ඉවරයි” කියා සිතා හුන් සිතුවිල්ල සිතුවිල්ලකටම සීමා කරන්නට වීම ගැන කැළුමිණීට දැනුනේ පුදුමාකාර පශ්චත්තාපයකි. මේ වනාහී තමා විසින් පෙර ආත්මයක කරන ලද විශාල අකුසල කර්මයක් පටිසන් දීමකයි කියා සිතනු හැරෙන්නට සිතාගත හැකි වෙන යම් හේතුවක් කැළුමිණීට තිබුනේ නැත.

ප්‍රභාත් කිසිදිනක තමාට සමු නොදෙන බව තේරුම් යමින් වුවද තමා මේ බැඳීමේම එල්ලී හිඳින්නට උත්සහ කරන්නේ ඇයිද යන ගැටලුව කැළුමිණීට නොතිබුනා නොවේ.

කැළුමිණී තරමටම ප්‍රභාත් උන්නේද වේදනාවකිනි. තමා ගැනම තරහවකිනි. කැළුමිණී හිඳිනා තැන කෙතරම් රලු පරලු ලෙස හැසිරුණද කඳුලින් බර ඇයගේ මුහුණ මතක් වෙන වාරයක් පාසා ප්‍රභාත්ට තම සිත දැවෙනු දැනේ.

“ඇයි කෝසල උඹ මටම මෙහෙම දෙයක් කරේ?” කියා අසන්නට නොහැකි බව ඇත්තකි. එහෙත් ඒ අසා නොඉඳින්නටද බැරි පැනයකි. 

දිවා ආහාරය නොගෙනා බැවින් කාර්‍යාල ආපන ශාලාවට ගොසින් යමක් ආහාරයට ගන්නට ප්‍රභාත් නික්මුනේ ඉවසා හිඳින්නට බැරි තරමේ බඩගින්නක් ආ නිසාවෙනි. ඒ වනවෛටත් වේලාව දෙකහමාටත් ලං වී තිබුණ අතර ආපන ශාලාව පුරාම පැතිරී තිබුනේ පුදුමාකාර නිහඬ බවකි. එහෙත් ඒ නිහඬ බව සැනසුමක් ලෙස ප්‍රභාත් දුටුවේ වචනයෙන් කුමක් කීවද තම මුහුණින් තමා සිත තුලින් විඳවන වේදනාව පිටතට විද්‍යාමාන වන බව දන්නා නිසාවෙනි.

“මොකක්හරි අවුලක් ද බං? කැළුමිණී අසනීපෙන්ද?” කියා පසුගිය දින කිහිපයේම බොහෝ අය ඇසුවේ එකී හේතුව නිසා බව ප්‍රභාත් නොදන්නවා නොවේ.

ඉතින් මේ නිහඬ බව සැනසුමකි.

ගෝලීය ආයතනයට ශ්‍රී ලාංකේය සමාගම ලෙස කටයුතු කරන බැවින් කොයි මොහොතක ගියද කිසිවක් කෑමට නොමැති වීමට ඇති ඉඩකඩ අවමය. මනාව නඩත්තු කරන ආපන ශාලාවේ ආහාරවල තත්ත්වයද සමාගමේ ගුණාත්මක බව මොනවට කියාපාන්නකි.

කන්නට හිතට පිරියක් නොතිබුනද බඩ කෑගසන්නේ වෙන යමක් පවසමිනි. කෑම පිඟාන අතට ගෙන කෙලවරක මේසයක් වෙත ගිය ප්‍රභාත් කෑම පිඟානට නැඹුරු වී දුරකතනය මත නෙතු අලවා ගත්තේ කැළුමිණීගේ පැරණි පෙම්වතා වන නිම්න ගේ මුහුණු පොත පිරික්සමිනි. මිතුරෙකු නොවුනද කැළුමිණී පවසා තිබීම  නිසාම නිම්න වර්ණකුල ලෙස නම සර්ච් කර ඔහුව සොයාගන්නට ප්‍රභාත් අපහසුතාවයක් වූයේ නැත. අනෙක් අතට පසුගිය දින කිහිපයේම ඔහු ගැන මුහුණු පොත ඔස්සේ විස්තර සොයා ගන්නට උත්සහ කල නිසාවෙන් දැන් ඔහුගේ නම සර්ච් බාරයේ ඉහලින්ම පෙන්වයි.

සිනාමුසු මුහුණකින් පෙනෙන්නට හිඳිනා ඒ තරුණයා තමාට පෙර කැළුමිණීව සිපගෙන, එයටත් එහා දුර ගොසින් ඇතැයි යන සිතුවිල්ල පවා ප්‍රභාත්ට වේදනාකාරී වුවත් ඒ වේදනාවේ ගිලි හිඳීම සැනසුමක් ව දැනෙන්නේ ඇයිදැයි තේරුම් ගන්නට අපහසුය.

ඔහුගේ මුහුණු පොතේ විදේශ රටකට වී ඔහු ගෙවන සුඛෝපභෝගී ජීවිතය මොනවට කියාපාන ජායාරූපවලින් පිරී ඉතීරී ගොසිනි. 

“කනවට වඩා කාලෙ කනවා නේද?”

කෑම පෙට්ටිය අතින් ගෙන තමා අසල හිටගෙන සිනාසෙමින් හුන් අමීශාගේන් හඬින් ප්‍රභාත් මෙලොවට එන්නට පාර සොයාගත්තේය. එහෙත් අමීශාගේ සිනහවට එක්වන්නට එකවරම ප්‍රභාත්ට හැකි වුයේ නැත. තමා විසින් කරමින් හුන් දෙය ගැන, නොඑසේනම් තමා මුහුණ පා සිටින පැනය ගැන අමීශාට තේරුණාද යන පැනය සිතට ගෙන ආවේ බරකි. එහෙත් අපහසුවෙන් සිනහවක් මුව මත ඇඳගන්නට ප්‍රභාත්ට හැකිවිය.

“කම්මැලිකමට ෆෝන් එක බැලුවෙ”

“මම මෙතනින් වාඩිඋනාට කමක් නැද්ද?”

කෑම පෙට්ටිය රැගෙන මේසය වටෙන් තමා ඉදිරියට එන ගමන් අමීශා ඇසුවාය.

“කමක් නෑ. අද කන්න පරක්කු වුනාද?”

“ඔව් අනේ අර ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් තිබුනා. හොඳටම බඩගින්නෙ හිටියෙ. තේකක් විතරයි හම්බුනේ. මම මාර බඩගින්නක හිටියේ”

ප්‍රභාත් සිනාසුනේ එසේ නොකර හිඳීම නොහොබිනා යැයි සිතුන නිසාවෙන් මිසක් අමීශාගේ කතා බහට හිත ඇදීයාම නිසාවෙන් නොවේ. 

“අද ගෙදරින් නෙවෙයිද කෑම ගෙනාවේ?”

 අමීශාගේ කුතුහලය රැඳි නෙත පලමුව කෑම බඳුන දෙසටත් අනතුරුව තමාගේ මුහුණ මතත් රැඳෙනු ප්‍රභාත්ට දැනේ. ඒ බැල්ම අපහසුවකි. එහෙත් කල හැකි දෙයක් නොවේ.

“ඔව්” කියන පිලිතුර මුවින් නික්මුනේ කෙඳිරුමකිනි. ඒ කෙඳිරුම ඔස්සේ බොහෝ දේ සිතාගන්නට අමීශාට අපහසු වූයේ නැත. වෙනදා ඉතා පිලිවෙලට හැඳ පැලඳ සිනාමුසු මුහුණින් කාර්‍යාලයට එන ප්‍රභාත් පසුගිය දින කිහිපයකම උන්නේ අඳුරු කරගත් මුහුණකින් වෙනස්ම විදියකින් බව අමීශාගේ නෙතට යොමු නොවුනා නොවේ. එහෙත් ප්‍රභාත්ගෙන් එයට හේතුව අසන්නට උවමනාවක් තිබුනේ නැත. අනෙක් අතට අනුන්ගේ පෞද්ගලික ජීවිත ගැන සොයා බලන්නට තමාට කිසිත් අවශ්‍යතාවයක් නැත.

එහෙත් මේ මොහොතේ අමීශාට සිතුනේ ප්‍රභාත්ගෙන් ඒ ගැන ඇසිය යුතුය යන හැඟීමකි. එයට හේතුව මෙය යැයි පහදන්නට හැකියාවක් තිබූ හැඟීමක් නොවේ. හිතවතෙකු වේදනාවෙන් හිඳිද්දී නොඅසා හිඳින්නට බැරිකමකි. මිනිසත්කමකි. ගැහැණු ඉවකි.

“මම දෙයක් අහන්නම ඉඳියෙ”

අමීශා විසින් ඒ අසන්නට යන්නේ තීරණාත්මක දෙයක් බව නොදැනුනා නොවේ. යටිපතුලේ සිට ගලා ආ යම් කිසි සීතල හැඟීමක් නහර ඔස්සේ මොලයට ගොසින් මුලු ගතම අඩපණ කරනු දැනුනද ප්‍රභාත් උන්නේ පුදුමාකාර දරාගැනීමකිනි. 

මේ වේදනාවන් කිසිවෙකු හා බෙදාගන්නට තිබුනා නම් හොඳය. එහෙත් ඒ බෙදාගත යුත්තේ අමීශා සමගද?

“ආ යූ ඕකේ ප්‍රභාත්?”

නිවසේ සිට සකසාගෙන ආ මිහිරි සුවඳැති සොසේජ් මිශ්‍ර කල එලවලු බත් එකට ගැරැප්පුවෙන් අනමින් අමීශා තම දෙනෙත් දෙස බලා ඉද්දී ඒ පැනයට පිළිතුරක් සොයන්නට ප්‍රභාත් අපමණ වෙහෙසක් ගත්තේය.  අමිශා විසින් ඇසුවේ බොහෝ සරල පැනයක් වුවද ඒ යට බොහෝ වේදනාබර කතාවල ගිනි පුපුරු සැඟවී ඇති බව දැන උන්නේ තමා පමණකි.

මේ ඒ ගිනි පුපුරුවලට මහා ගින්නක්ව දැවෙන්නට ඉඩ දිය යුතු හෝරාවද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles