දරුවා හා තමා නොසලකා මහණ වූ සැමියාට නඩු දැමූ බිරිඳකගේ සත්‍ය කතාවක්

(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

ඒ ගැහැනු දරුවන් හතර දෙනෙකුගේ පවුලක්. පළමුවැන්නිය ආබාධිත සහ ශ්‍රවණාබාධිත දැරියක්. දෙවැන්නිය  වෛද්‍යවරියක් වූ අයෙක්. තුන්වැන්නිය ඉතා හොඳින් අධ්‍යාපනය ලබමින් සිටි අතර හතරවැන්නිය ටොම් බෝයි පන්නයේ දැරියක්. ඔවුන්ගේ පියා දිගුකාලීනව විදෙස් රැකියාවක නිරත අයෙක් වන අතර අම්මා ඔවුන් සමඟ රැඳී සිටියා.

විවාහ යෝජනාවක් මත දෙවැන්නිය වූ නයනි විවාහ වනවා. නමුත් ඇයට සත්‍යය පැහැදිලි වන්නේ විවාහය සිදු කරගෙන විදේශයක පදිංචියට යාමෙන් අනතුරුවයි. ඇගේ සැමියා සමරිසි අයෙක්. ඔහු ඔහුගේ අනන්‍යතාව හෙළි කරමින් දික්කසාදය ඉල්ලා සිටිනවා. එවැන්නෙකු සමග ජීවිතය ඉදිරියට ගෙන යාමෙන් ඵලක් නොවන නිසා නයනි  දික්කසාදයට එකඟ වෙනවා. ඇගේ ඉරණම අනතුරුව ඇයව ඔසවා තබන්නේ අමුතුම තැනකටයි. ඇගේ සැමියාගේ සහකරුගේ මල්ලී ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආදරය අහම්බයක් ලෙස හමු විය හැකි නිසා ඇය ඒ යෝජනාවට එකඟ වී විවාහ වන්නට තීරණය කරනවා. නමුත් ඇය ඉන්පසු මව්බිමට පැමිණියේම නැති තරම්.

තුන්වැන්නිය වූ චලනිට පාසල් කාලයේම ආරම්භ කළ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. තාත්තාද ලංකාවේ නැති වීම නිසා බොහෝ අවස්ථාවල දී පවුලේ පිරිමියා බවට පත්වූයේ චලනිගේ පෙම්වතා වූ ලක්ෂාන්. ඒ වෙද්දී පවුලේ බාලයා වූ කසුනි සාමාන්‍ය පෙළ අවසන් කර හොකී ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියා.

මට ඔවුන්ට උපකාර කරන්නට සිදු වන්නේ හදිසියේ පවුලේ වැඩිමලිය වූ ලලනී ගර්භනී වීම නිසා. ඇගේ ගර්භනී භාවය හෙළි වන්නේ විශාල කාලයක් ගත වීමෙන් පසුවයි. ආබාධිත යුවතියක වීම නිසා සාමාන්‍ය තරබාරු සිරුරක් තිබීමත් තමන්ගේ ශාරීරික වෙනස්කම් පවසන්නට නොදැන සිටීමත් නිසා එය සහෝදරියන්ට රහසක් වී තිබුණා. දරුවා ලැබෙන්නට කලින්ම ලලනි සහ දරුවා ස්වභාවික මරණයකට ලක් වෙනවා. ඇය ගර්භනී වූයේ කෙසේදැයි කිසිවෙකුත් දැන සිටියේ නෑ.

ලලනී ලියන්නට පුරුදු වී සිටි අයෙක්. ඇගේ දිනපොතක් හමුවී එය කියවා බලන චලනී කම්පනයට පත් වෙනවා.

“ලක්ෂාන් අතින් මාව දූෂණයට ලක් වුණා.මේ ගැන කිව්වොත් පොඩි නංගිට ලොකු දුකක් ඇති වෙන්න පුලුවන්.”

මේ දිනපොත කියවා බැලූ චලනි ට හිස කැරකවිල්ල ඇති වෙනවා. නමුත් කරන්නට කිසිවක් ම නෑ. ඒ වෙද්දී ඇය විවාහ ලියාපදිංචිය  සිදු  කර අවසන්.වැඩි කලබලයක් නැතිව ඇගේ දික්කසාද ලබා ගන්නට අපට හැකි වෙනවා.තාත්තා ලංකාවට පැමිණෙන්නේ ඔය අතර.

“ඔයාල දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ වෙඩින් එකට මම වියදම් කරන්නම්.අනික් කෙනාට පුළුවන් ඉගෙන ගන්න වෙන රටකට යන්න.”

තාත්තා චලනිට සහ කසුනිට යෝජනාවක් කරනවා.

“ලක්ෂාන් අපරාදේ දැන දැනම මේ මිනිහා කසාද බඳින්න බැහැනේ අක්කේ.  ඔයා හිත හදාගන්නත් ඕනි. ඔයා ලංකාවෙන් යන්න. මං කසාදයක් කරගන්නම්.”

කසුනි අරුම පුදුම යෝජනාවක් කරන්නේ එක්වරම යි. අම්මා වහාම පුවත්පත්වල මංගල දැන්වීම් පළ කරමින් ඇයට සහකරුවෙක් සොයනවා. හොඳ රැකියාවක් කරන ඉසුරු ඒ අනුව ඇගේ සහකරු වන්නට තීන්දු වෙනවා. දීර්ඝකාලීන ප්‍රේම සම්බන්ධයක් නවතා දමා සිටින ඉසුරු කසුනි සමග විවාහයට කැමැති වන්නේ අම්මගේ දැඩි ඉල්ලීම මත. ඔහුට සිටින්නේ ජීවිතයට දැඩි ලෙස අත පෙවීම් කරන අම්මා කෙනෙක්. ඒ නිසා දස වසරක ප්‍රේම සම්බන්ධයේ නවතා දමන්නට ඔහුට සිදු වෙනවා. 

ඉසුරු සහ කසුනි අතර සාර්ථක විවාහ ජීවිතයක් නැහැ.ඔවුන්  අතර ලිංගික සම්බන්ධතා පවා ඇති නොවූ තරම්. නමුත් ඉඳහිට ඇතිවන සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස කසුනි ගැබ් ගන්නවා. මේ නිසා කසුනිව අම්මා සහ තාත්තා නිවසට රැගෙන එනවා. කසුනිට එතැන් පටන් සැබෑවටම ලැබෙන්නේ අම්මාගේ සහ තාත්තාගේ ශක්තිය පමණයි.ඉසුරුගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම් නිසාම ඇය සිඟිති පුතාව ඇගේ ලෝකය කරගන්නා අතර ඉසුරු ඔහුගේ කාලය ආගමට නැඹුරු වන්නට යොදා ගන්නවා. ඉන් අනතුරුව ආරාමයක කාලය ගත කරන්නට පුරුදු වෙන ඔහු පුතුට අවුරුදු අටක් වෙද්දි මහණ දිවියට ඇතුළත් වීමට තීරණය කරනවා. එයට පෙර ඉසුරුට දික්කසාදය ලබා දෙන්නට කසුනිට වුවමනා වෙනවා.

ද්වේශ සහගත හැරයාම යටතේ ඉසුරුට නඩු පවරන්නට සිදුවන්නේ ඔහු පවුල හැරගොස් මහණ ජීවිතයට ඇතුළත් වූ බව පවසමින්. පවුල් ජීවිතයට ඔහු අකමැති බව ඔප්පු කර දික්කසාද ලබා ගන්නට හැකි වෙනවා. මේ හිමි නමට දික්කසාද නෛසයි තීන්දුව පවා උපසම්පදාව සඳහා අවශ්‍ය වෙනවා. මේ වෙද්දී දරුවා පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. කසුනිට විවාහය නිසා අධ්‍යාපනය පවා මඟ නතර වී තිබුණා. මේ වෙද්දී නවසීලන්තයේ සිටින චලනි ඇයට වියදම් දරමින් සිටියා. උසස්පෙළ ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට පසු ඊට අවශ්‍ය වන්නේ ඔය කාලයේ දී. ඉතා මහන්සි වී අධ්‍යාපනය හැදෑරූ ඇය ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලබනවා. මේ වෙද්දී ඇය ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන සිසුවියක්. තමන්ගේ ජීවිතය කඩා වැටුණු මොහොතක නංගී තමන් වෙනුවෙන් කළ කැපකිරීම මතක තබා ගත් චලනි අදටත් කසුනිගේ සහ පුතුගේ වියදම් දරන්නට වගබලා ගන්නවා.

ඔබට ජීවිතය තුළ දෙවැනි අවස්ථා ඕනෑ තරමට ලැබෙනවා. ඒ සඳහා ඔබ කිසිසේත් ම ප්‍රමාද නැහැ. කසුනි උසස් පෙළ හදාරා අවුරුදු පහළොවකට පසුවයි දෙවැනි වතාවට විභාගයට පෙනී සිටියේ. නමුත් ඇය පරාද වුණේ නැහැ. ජීවිතය එහෙම එකක්. මේ වෙද්දී ඇය වසර කිහිපයක් බාල තරුණයෙක් සමඟ ප්‍රේමයකින් සතුටින් ජීවත් වෙනවා.

මොනතරමට කුණාටු පැමිණියත් ඇද වැටෙන්නට එපා. ඔබ බොහොම ශක්තිමත් ගැහැනියක්. 

Related Articles

Don't Miss


Latest Articles