අතිශය දුර්ලභ ගැබ්ගැනීමේ කතාව

“ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී

ඒ ජීවිතයට දිරි දී පණ දී

මා දැඩි කල අම්මා”

අම්මා ගැන වික්ටර් රත්නායකයන් කියන්නේ ඒ විදියට. 

ඇත්තටම අම්මා කෙනෙක් කියන්නෙ ජීවිතයෙන් ජීවිතයක් ගෙන දීලා ජීවිතයට දිරි දී පණ දෙන කෙනෙක්. හැම ගැහැනියකටම අම්මා කෙනෙක් වෙන්න ලේසි නෑ කියලා අපි කියන්නෙ ඒකයි. මොකද අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලොකු කැපකිරීමක්, ලොකු දරාගැනීමක් ඕන කරන දෙයක්.

උදේට එන ඔක්කාරය, ඇඟපත රිදෙන එක, නින්ද නොයන රාත්‍රීන් එක්ක මේ හැම වේදනාවක්ම අම්මා කෙනෙක් විඳ දරාගන්නේ තමන්ගේ පොඩි දරුවා අතට ගන්න බලාපොරොත්තුවෙන්. ආදරයෙන්.

හැබැයි, හිතාගන්නවත් බැරි විදියට මේ ගැබ් ගැනීමම ජීවිතයට තර්ජනයක් වුණොත්?

ඒක තමයි හරියටම උත්තර් ප්‍රදේශයේ බුලන්ද්ෂාර් කියන නගරයේ 35 හැවිරිදි සර්වේෂ්ට වුණෙත්. සර්වේෂ් කියන්නෙත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් උන්න කෙනෙක්. නිරන්තරයෙන් මේ කාලෙට එන ඔක්කාරයයි බඩේ වේදනාවයි කියන්නේ ගොඩක් අම්මලා “ආහ් මම ප්‍රෙග්නන්ට් නිසානෙ මේව වෙන්නේ” කියලා නොහිතන දේවල් නෙ.හැබැයි හිතුවෙ නැති විදියට  සර්වේෂ්ට දැනිච්ච මේ හැම වේදනාවක්ම ලෝකයේ තියෙන දුර්ලභම රෝගී තත්ත්වයන්ගෙන් එකක් බවට හැරිලා තිබුණා.

උත්තර ප්‍රදේශයේ බුලන්ද්ෂාර් දිස්ත්‍රික්කයේ ජීවත්වුණ සර්වේෂ්ට වයස අවුරුදු 35ක්.  දිගින් දිගටම ඔක්කාරය, වේදනාව සහ බර ගතියක් දැනෙන්න පටන් ගත්තම එයා මුලින් හිතුවේ ඒක ආමාශයේ ආසාදනයක් කියලා. හැබැයි මේ අමාරුව දවසින් දවස වැඩි වුණා.

ගොඩක් රෝගීන්ට වගේම, සර්වේෂ්ටත් එයාට තියෙන්නෙ ආමාශ ආසාදනයක් කියලා හිතලා ප්‍රතිජීවක බෙහෙත් දුන්නා. හැබැයි දවස් ගණන සති ගාණක් වුණා, සති ගණන මාස ගාණක් වුණා, හැබැයි කිසිම වෙනසක් උනේ නෑ. සර්වේෂ් එන්න එන්න දුර්වල වුණා. ඒත් කිසිම කෙනෙක් උන්නේ ඇත්තටම මේ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව.

“මට හැමවෙලේම අසනීප ගතියක් දැනුණා. ඔක්කාරය නතර වුණේ නැහැ. අමුතු වේදනාවක් තිබුණා. ඒක මොකක්ද කියලා මටවත් තේරුම් ගන්න බැරි වුණා,” සර්වේෂ් තමන්ගෙ එක ඉන්ටවිව් එකකදි මතක් කරනවා. මුලින් එයා හිතුවේ ඒක තාවකාලික ලෙඩක් කියලා. එයාගෙ ඩොක්ටර්ත් මුලින් හිතලා තියෙන්නේ මේක මේ එච්චර බරපතල දෙයක් නෙවෙයි කියලා.

මේක හරියන්නේ නෑ කියලා තේරිච්ච තැන තමයි සර්වේෂ්ගෙ ඩොක්ට යෝජනා කරේ තව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරන්න.

ආන්න එතනින් තමයි මේ කතාව හැමෝම කම්පනයට පත් කරන කතාවක් බවට හැරුණෙ.

ඇත්ත දැනගත්ත දොස්තරලා පුදුම වුණා.

කම්පනයට පත් කළ සොයා ගැනීම

ස්කෑන් එක කරනකොට, ඩොක්ටර්ලාට හරිම අසාමාන්‍ය දෙයක් දැකගන්න ලැබුණා. සති 12ක් විතර වයස කලලයක් වැඩෙමින් තිබුණ බව ඇත්ත.

සර්වේෂ් ආසාවෙන් බලාගෙන උන්න විදියට එයා ප්‍රෙග්නන්ට් වෙලා උන්න බව ඇත්ත. ඒත්  සර්වේෂ්ගෙ දරුවා, එහෙම නැත්තත් කලලය හිටියේ ගර්භාෂයේ නෙවෙයි. එයාගෙ අක්මාවෙ.

මේරට් නගරයේ අවුරුදු 20ක පළපුරුද්දක් තියෙන ජ්‍යෙෂ්ඨ විකිරණවේදියෙක් වන ආචාර්ය කේ. කේ. ගුප්තා මහත්මයා ඒ වෙලාවේ තමන්ට දැනුණු හැඟීම කිව්වෙ මෙන්න මෙහෙම.

“මුලින් මම හිතුවේ ඒක වැරදීමක් කියලා. මම ස්කෑන් එක ගොඩක් වතාවක්, විවිධ පැතිවලින් කරලා බැලුවා. හැබැයි ප්‍රතිඵල එකමයි.  කලලය සර්වේෂ්ගෙ අක්මාව ඇතුළට සම්බන්ධ වෙලා තිබ්බා. මගේ ජීවිතේ පළවෙනි වතාවටයි මං එහෙම දෙයක් දැක්කෙ.”

මේ තත්ත්වයට කියන්නේ “අසාමාන්‍ය ගැබ් ගැනීමක්” (ectopic pregnancy) කියලා. සාමාන්‍යයෙන්, ඩිම්බයක් සංසේචනය වුණාම, ඒක පැලෝපීය නාලය හරහා ගර්භාෂය තුළට ගිහින් එතැනට සම්බන්ධ වෙලා වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි, අසාමාන්‍ය ගැබ් ගැනීමකදී ඩිම්බය ගර්භාෂයෙන් පිටතට සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට මේක වෙන්නේ පැලෝපීය නාලය ඇතුළේමයි.

ඒත් සර්වේෂ්ගේ කතාවේදී, සංසේචනය වුණු ඩිම්බය කොහොම හරි එයාගෙ ශරීරයේ වැදගත්ම අවයවයක් වෙන අක්මාවට ගිහින් තිබුණා. 

අක්මාවේ ගැබ් ගැනීමක් වෙන්නෙ කොහොමද?

අසාමාන්‍ය ගැබ් ගැනීම් කියන්නේම අවදානම් සහ දුර්ලභ තත්ත්වයක්. ලෝකයේ සිද්ධ වෙන හැම ගැබ් ගැනීම් 100කින් එකක් විතර මේ විදියට වෙනවා. හැබැයි, මේ අසාමාන්‍ය ගැබ් ගැනීම් අතරින්, අක්මාව ඇතුළෙ ගැබ් ගැනීමක් ඇතිවෙනවා කියන්නේ එහෙමවත් ලේසියෙන් අහන්න වෙන දෙයක් නම් නෙවෙයි.

වර්ණාසී හින්දු විශ්වවිද්‍යාලයේ නාරිවේද විශේෂඥවරියක් වන මම්තා සිං මහත්මිය ඒ ගැන කියන්නෙ මෙන්න මෙහෙම.

“සාමාන්‍යයෙන්, අසාමාන්‍ය ගැබ් ගැනීමක් ඇති වෙන්නේ පැලෝපීය නාලය ඇතුළේ. හැබැයි ඉතාම කලාතුරකින්, කලලය වෙනත් අවයවයකට සම්බන්ධ වෙනවා. සර්වේෂ්ගේ කතාවේදී, අක්මාව කලලයට වැඩෙන්න පුලුවන් බේස් එකක් වගේ වැඩ කරලා තියෙනවා. අක්මාවට රුධිර සැපයුම හොඳ නිසා මුල් දවස්වල කලලයට එතැන ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අක්මාවට දිගු කාලීනව ගැබ් ගැනීමක් දරාගන්න බැහැ. අන්තිමට ඒ තත්ත්වය මවගේ ජීවිතයට පවා තර්ජනයක් වෙනවා.”

වෛද්‍ය වාර්තා අනුව, අක්මාවේ ගැබ් ගැනීම් 45ක් විතරයි ලෝකයේ දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉන්දියාවේ, සර්වේෂ්ට කලින් මේ වගේ සිද්ධි තුනක් විතරයි වාර්තා වෙලා තිබුණේ. දැනට වාර්තා වුණ පළමු සිද්ධිය වුණේ 2012 දී දිල්ලියේ ලේඩි හාර්ඩින්ජ් වෛද්‍ය විද්‍යාලයේදී.

පට්නා AIIMS හි ආචාර්ය මොනිකා ආනන්ද් ඒ ගැන කියන්නෙ මෙන්න මෙහෙම:

“සංඛ්‍යා ලේඛන අනුව, ගැබ් ගැනීම් මිලියන ගණනකින් එකක් විතරක් අක්මාවේ ඇති වෙන්න පුළුවන්. ඒක ඒ තරම්ම දුර්ලභයි. බොහෝ ඩොක්ටර්ස්ලාට මේ වගේ දෙයක් මුළු ජීවිත කාලෙටම අත්දකින්න ලැබෙන්නේ නැහැ.”

පවුලේ අයත් ලොකු අරගලයක් කරා

සර්වේෂ්ට නම් මේ සොයා ගැනීම හරිම බය හිතෙන දෙයක් වුණා. තමන්ගෙ අක්මාව ඇතුළේ තිබුණු කලලය අසාමාන්‍ය වගේම භයානක දෙයක් වෙන බව සර්වේෂ්ට නොතේරුණා නෙවෙයි. ගැබ් ගැනීම දිගටම තිබුණා නම්, අක්මාවේ රුධිර නාල පුපුරලා, අධික ලෙස අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වෙලා, සමහර විට තමන් මැරෙන්න පවා තිබුනා කියන එක සර්වේෂ්ට තේරුණා.

අන්න ඒ නිසාමයි ඩොක්ටර්ස්ලා වහාම සැත්කමක් කරන්න කියලා සර්වේෂ්ට නිර්දේශ කරේ. හැබැයි ඒ සැත්කම හරිම සංකීර්ණ එකක් බව සර්වේෂ් වගේම ඩොක්ටර්ස්ලත් දැනගෙන හිටියා. දිල්ලියේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට මේ වගේ සිද්ධීන් කරන්න හොඳ පහසුකම් තිබුණා. හැබැයි ඒක සර්වේෂ්ටයි, එයාගෙ සැමියාටයි දරාගන්න බැරි තරම් මිල අධික වුණා.

“අපි දුප්පත් මිනිස්සු. දිල්ලියට ගිහින් ඒ ප්‍රතිකාරවලට ගෙවන්න අපිට බැරි වුණා,” කියල කියන්නේ සර්වේෂ්ගෙ සැමියා වෙන පරම්වීර්.

ඉතින්, පවුලේ අය බලාගෙන හිටියා, යාඥා කළා. මාස තුනක් තිස්සේ සර්වේෂ් වේදනාව විඳගෙන, ඇඳට වෙලා හිටියා. එයාගෙ සැමියා එයාට උදව් කරන්න භාරගත්තා, ඇඳුම් අඳින්න, නාන්න, ගෙදර ඇතුළේ එහාට මෙහාට යන්න පවා උදව් කළා. 

මේ කාලෙ ඇතුළත සර්වේෂ් ශරීරෙන් වේදනා විඳිද්දි එයාගෙ පවුලෙ අයත් මානසිකව වගේම ආර්ථික වශයෙන් ලොකු අරගලයක් කරා.

සර්වේෂ්ව බේරගත්තු සැත්කම

අන්තිමේදී, මේරට් නගරයේ පුද්ගලික රෝහලක ඩොක්ටර්ස්ලා කණ්ඩායමක්, පවුලට ගෙවන්න පුළුවන් මිලකට සැත්කම කරන්න කැමති වුණා. 

ශල්‍ය වෛද්‍යවරුන් සාර්ථකව කලලය සර්වේෂ්ගේ අක්මාවෙන් ඉවත් කළා. ඒක වෛද්‍ය විද්‍යාවේ ජයග්‍රහණයක් වුණා, ඒත් ඊට වඩා වැදගත් දෙයක් තමයි, සර්වේෂ්ගෙ ජීවිතේ ඒකෙන් බේරගන්න පුළුවන් වෙච්ච එක.

සර්වේෂ්ට ශාරීරිකව වගේම මානසිකව මේ කැළඹීමෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් ගියා. ඇඳේ හාන්සි වෙලා තමන්ගෙ ශරීරය ආයෙම හයිය වෙනකම්,  සැත්කමට දාපු මැහුම් 21ක් තිබුණ බඩ වටේට ලොකු බැන්ඩේජ් එකක් දාගෙන සර්වේෂ් ඇඳටම වෙලා උන්නා. ඇඳුම් මාරු කරන එක, නැත්නම් වැසිකිළි යන එක වගේ පොඩි පොඩි වැඩවලට පවා එයාට උදව් කරේ පරම්වීර්.

ලෝක මට්ටමෙන් ගත්තම, පළමු ත්‍රෛමාසිකයේ මවුවරුන් මිය යන්න ප්‍රධානම හේතුවක් තමයි මේ අසාමාන්‍ය ගැබ් ගැනීම් කියන්නෙ. අක්මාවේ ගැබ් ගැනීම් හරිම දුර්ලභ වුණත්, මේ තත්ත්වය අහන්නවත් නැති දෙයක් කියලා කියන්නත් බෑ. ගැබ්ගැනීමේ මුල් අවධියේදී දිගින් දිගටම උදරයේ වේදනාව, ඔක්කාරය, නැත්නම් අසාමාන්‍ය ලේ ගැලීම් අත්විඳින කාන්තාවන්ට වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා නම් හොඳයි කියලා ඩොක්ටර්ස්ලා කියන්නෙ මෙන්න මේ හන්දා.

“මුලින්ම මේ වගේ තත්ත්වයන් අඳුනාගන්න එක ජීවිත බේරගන්නවා,” ආචාර්ය මම්තා සිං මහත්මිය කියනවා. “අල්ට්‍රා සවුන්ඩ් සහ MRI වගේ දියුණු ස්කෑන් ක්‍රම නිසා, ඩොක්ටර්ලාට අසාමාන්‍ය ගැබ් ගැනීම් කලින්ම හඳුනාගන්න පුළුවන්. හැබැයි රෝගින් මේ ගැන දැනගෙන ඉන්න එකත් හරි වැදගත්.”

ජීවිතය බේරගත්තාට පස්සේ

අද සර්වේෂ් ටිකෙන් ටික ආපහු එයාගෙ ශක්තිය හොයාගන්න ගමන් ඉන්නෙ. එයා තවමත් පරම්වීර්ගෙ උදව් උඩ ජීවිතේ ඉස්සරහට අරගෙන ගියත් නරකම කාලෙ දැන් ඉවරයි කියන එක සර්වේෂ් තේරුම් අරන් ඉන්නවා.

මේ වෙච්ච දේ නිසා ශරීරයට වගේම මනසට වෙච්ච තුවාල වල කැළැල් දීර්ඝ කාලයක් තිස්සෙ රැඳිලා තිබ්බත් තමන්ට අවසානෙ ජිවිතේ බේරගන්න පුලුවන් වෙච්ච එකම කොච්චර ලොකු දෙයක්ද කියලා සර්වේෂ් නිතරම මතක් කරනවා. 

“මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවද කියන එක මම දැනගෙන හිටියෙ නෑ. අනික මේ වගේ ඔපරේශන්ස් වලින් මිනිස්සුන්ව බේරගන්න පුලුවන් කියලා මම දැනගෙන උන්නෙත් නෑ. මට ඇත්තටම ඕන උනේ බේරෙන්න. ආයෙ ජීවත්වෙන්න. සාමාන්‍ය විදියට හුස්ම ගන්න.”

ඉතින් සර්වේෂ්ගෙ මේ කතාව අපිට ආයෙ ආයෙ මතක් කරලා දෙනවා මිනිස්සු ජීවත්වෙන එක වෙනුවෙන් කොච්චර ලොකු අරගල කරනවද කියලා. ඒක ශාරීරිකව වගේම මානසිකවත් කරන අරගලයක් වෙන්න පුලුවන්.

හැබැයි ඒ හැම අරගලයක් පිටිපස්සෙම බය, වේදනාව, බලාපොරොත්තුව කියන දේ හිත්වල දරාගෙන “හෙටත් මට සන්තෝසෙන් ජීවත්වෙන්න, නිදහසේ හුස්ම ගන්න පුලුවන් වෙයි” කියලා හිතන මිනිස්සු අපි අතරෙම ජීවත් වෙනවා කියලා මේ කතාව අපිට මතක් කරලා දේවි.

Related Articles

Don't Miss


Latest Articles