දෑත දරා – 9

0
434

සීතල සුළඟ මනුජ  වටා පැතිරෙමින් තිබුණි. හදවතද එපරිද්දෙන්ම සීතලව යන බව ඔහුට දැනුනේය.  සියල්ලන්ගේම අවලාද  අද තමාට බව ඔහුට දැනේ.

 සියල්ලන්ගෙන්ම පලාගොස් තමා මෙතරම්  වියවුලක දැමුවාට ඇයට වෛර කරන්නටවත් , ඇගෙන් පළි ගන්නටවත් දැන් මනුජට අවශ්‍ය  නැත.   ඇය හා ගැටෙන්නටවත් ඇය කෙරෙහි තම දෙපාර්ශව නෑදෑ හිත මිතුරන්ගේ සිත් වල  වෛරයක් ගොඩ නංවා තමා නිර්දෝශී පුද්ගලයා වීමටවත් ඔහුට අවශ්‍ය නැත.   ඒ තියා ඇය නිසාවෙන් කිසිදු හැඟීමක් යළි යළිත් ඉපදෙන්න ඉපදී ඒවා නඩත්තුකරන්නටවත් තමාට  අවශ්‍ය  නොවේයැයි මනුජ සිතුවේය.

එහෙත් මේ දැනෙන හිස්කම පුරවා ගන්නට යමක් කළයුතුය. තමා තවම තිස් හත් වියැති මිනිසෙකි.  ජීවිතයේ තවත් අර්ධයකටත් වැඩි කාලයක් ඉතිරිව ඇත. තරු පළඳින වගකීම් දරන අයෙකි. ඔය කොයි ලෙසින්  කියනවාටත් වඩා සිව් හැවිරිදි දියණියකගේ අප්පච්චි කෙනෙක් යැයි කී විට එය  බරට දැනෙයි.  නිර්ධා හැර ගියාට පසුව , දියණිය කෙරෙහි තමා වෙතින් ලැබුණු අවධානය මදව ගියායැයි මේ දින දෙක පුරාවටම මනුජට සිය දහස් වාරයකට වැඩිය සිතුනේය. එහෙත් ඔහුට සියල්ල කලමණාකරණය කර ගැනීම වැටහෙන්නේ නැතිබවක්ද හැඟෙන්නේය.

මනුජ පසුදින දියණියද කැටුව කලපින් පිටත්ව  යන්නට සූදානම් වූයේ,  යළි දෙසතියකින් පමණ කොළඹ පැමිණෙන පොරොන්දුවෙනි.  අම්මාට අවශ්‍ය බෙහෙත් සහ ප්‍රතිකාර සමඟ ඉක්මනින් සුව වන්නට යැයි ඔහු යළි යළිත් ඉල්ලා සිටියේය. අම්මාගේ අසනීපය තම සිත තුළ මහා බරක්ව ඇති බව මනුජ නොපැවසුවා වුවද, ඔහුගේ දෑසින් ඒ කතාව කියැවුණි.

“තාත්තා මාව බලාගන්නව  ලොකූ .. අනෙක මෙහෙ කට්ටිය ඉන්නවානේ මොන හදිසියටත් …. ඔයා ලොකූ ,  කිරිසප්පයාව  ඇස් දෙක වගේ බලාගන්න…….”

මනුජ එයට හිස සැලුවා පමණි.

සාමාන්‍යයෙන් මෝටර් රිය ධාවනය කරද්දී මනුජ  ප්‍රිය කරන්නේ ඔහු සතු පෞද්ගලික ගීත එකතුවේ ගීතයක් වාදනය කරගෙන ඉතා වේගයෙන් මෝටර් රිය ධාවනය කිරීමය.   නිර්දා සිටියදී වුවද,  වෙන් වීමෙන් පසුවද ඔහුගේ එම ගමනේ වෙනසක් තිබුණේ නැත. ඇතැම් විට ඔහුගේ වේගය සීමාව ඉක්මවන තරමින් විය.

“ඔහොම පියාඹන්න එපා මනුජ ..”

නිර්දාගෙ හඬ අනිවාර්‍යෙන්ම නැඟෙන්නේය.

“මට මගේ ඩ්‍රයිවින් ෂුවර් බය නැතුව ඉන්නකෝ….”

දෙදෙනා සමග එක්ව යන හැම , ගමනක්ගේ හැම වතාවකම එක් වතාවක් හෝ එම දෙබස හුවමාරුවී ඇත.

එහෙත් අද මනුජගේ මෝටර් රිය තුලින් ඔහුගේ ප්‍රියතම ගීත වාදනය වන්නේ නැත. ඒ වෙනුවට ඔහුගේ ලෙයින් සැදුණු ගීතයක් ඔහේ කියවන්නීය.

“අප්පච්චී…, දොයි මතයි…”

පැයක්ම  ඉක්ම යන්නටත් ප්‍රථම දියණිය එලෙස පැවසූ පසු මනුජ  මෝටර් රිය පසෙකට කර ඉදිරි අසුන මඳක් පිටුපසට කඩා දියණියට සුවපහසු නින්දකට ඉඩ  සකසා දුන්නේය. ඇය දෙස බලා උන්නේය. අම්මා ඇයට අන්දවා ඇත්තේ රෝස පැහැති සමනල් ඇඳුමකි. ඉන් ඕ මලක් සෙයින් පිපී ඇති බව පෙනෙන්නේය මනුජ ඔහුගේ අසුන් පටිය ලෙහා මදක් දියණිය වෙත  නැවී ඇගේ රෝස පැහැ කොපුලක් ඉම්බේය. වාහනය තුළ වායුසමනය කර ඇති නිසාවෙන්දෝ කොපුල් වල වූයේ සීතලකි.

මනුජ පිටුපස අසුනේ වූ ඔහුගේ කුඩා බෑගයෙන් ගත් තුවායක් දියණිය වැසෙන සේ දැම්මේය. ඇය එය තුළම ගුලිව සුව නින්ද දිග් ගස්සාගන්නා අයුරු මනුජ නිසොල්මන්ගේ විනාඩි කිහිපයක්ම බලා උන්නේය. කාලය ගතව යනු දැනුනේ නැතත

මනුජ පියවි සිහියට එළඹුණේ ඇමතුමක හඬිනි. ඔහු යළි මෝටර් රිය පණ ගන්වා ගන්නා  විට දෑස් වල වූ තෙත් කඳුලු පටලය හදවත තෙක් කාන්දු වෙන්නට පටන්  ගෙන තිබුණි. මනුජ සාරතීට ඇමතුමක් ගත්තේය.

“නැන්දා…. මම මෙහෙමම කෑම්ප් එකට යන්න බලාගෙනයි  එන්නේ… . දැන් තියා ගෙදර ඇවිල්ලා ඉන්න.”

“මං ඇවිල්ලා ඉන්නේ  මහත්තයා …..  මහත්තයා  සිහි කල්පනාවෙන්් එන්න…”

මනුජ  ඔහුගේ  හුරු පුරුදු ඉතා වේගයෙන් වඩා  අපගමනය වී සාමාන්‍ය වේගයකින්  වාහනය ධාවනය කරමින් උන්නේය.

නිවසට පැමිණෙන විටත් දියණිය උන්නේ  තද  නින්දේය. මනුජ  දියණියවද රැගෙන යහන මතින් තැබුවේ සාරතීට  ඉඩ නොදෙමිනි.


ඉන් පසුව ගත දොවාගෙන සාරතී  සකසා දුන් කෝපි කෝප්පයද පානය කර රාජකාරී සඳහා වාර්තා කිරීමට පිටත් වූයේය.

“බබා දිහා ඇහැ ගහගෙන ඉන්න නැන්දේ …  ඔය අපි ගෙනල්ලා තියෙන  සෙල්ලම් බයිසිකලේ එළියේ පදින්න දෙන්න එපා……ගේ ඇතුලේ විතරක් පැද්දහම ඇති…මම ඉඩක් තියෙන වෙලාවක ඉස්සරහින් ටිකක් කොටු කරලා හදල දෙන්නම් එළිය බයිසිකල් පදින්න.. එතකල් එලියට එන්නවත් දෙන්න එපා .. ඔය බයිසිකලේ මිදුලට දාන්න වලි කාවි …”

“හරි එහෙම හොඳයි මහත්තයා”

“අපේ අම්මා බබාට කන්නේ කෑම  වගේකුත් හදලා දැම්මා …ඒ ටික බලලා සුදුසු නම්  ගලපලා කරලා තියන්න…….  සුදුසු විදිහට කන්න දෙන්න… සාරතී නැන්දට කියලත් මොනවාදෝ මොනවද දැම්මා…. බලලා අරගෙන  කන්න …….මං අද එද්දි කොහොමත් රෑ වේවි ….  හදිස්සියක් වුනොත් මට කෝල් එකක් දෙන්න..”

“හරි මහත්තයා.”

“අද රෑට සාරතී   නැන්දට ඉන්න පුළුවන්නේ ?”

“අද රෑට නං ඉන්න පුළුවන් මහත්තයා…. මහත්තයා  අර මහ ඉස්පී‍රිතාලෙට අලුතෙන් ආපු දොස්තර නෝනගේ තනිවට ඉන්නවා එන එන්න පුළුවන්ද කියල අපේ පල්ලෙහා ගෙදර අක්කා ඇහුවා. මෙච්චර කල් ඒ අය තමයි නෝනාගේ  තනියට ඉඳලා තියෙන්නේ.. දැන් එයැයිගේ ලොකු දූට බබෙක් හම්බෙන්න … ඉතින් එයැයිට  එහේ යන්න වෙලා.. ලබන සතියේ දිහාවට යාවි මයේ හිතේ…”

“හරි කොහොම හරි අද රෑට ඉන්න ……. දැන් ඔය කතාව කතා කරන්න වෙලාවක් නෑ…….ඕක පස්සේ කතා කරමු”

“හරි හරි  හොඳයි….. මහත්තයා  ඕක  හිතන්නේ නැතුව,  හිත කලබල කරගන්නේ  නැතුව ගිහිල්ලා වැඩ රාජකාර ටික කරගන්න…”

මනුජ නිවසින්  පිටත්ව ගියේ හිත යම් බරකින් පුරවාගෙනය.   සාරති  රාජකාරි දෙකක් පටලවා ගැනීම තුළ අනිවාර්යයෙන්ම ඇයට දියණිය මගහැරේ.  ඇයට වේලපහ පිටත්ව යෑමටද සිදුවේ. වැටුප වැඩිකර හෝ සාරතී  දියණිය බලා ගන්නා  කාර්යය සඳහා  පමණක්ම තබාගත යුතු යැයි මනුජ  තීරණය කළේය.

නවක ගුවන් හමුදා භටයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ශණ පැවතෙමින්  තිබුණි. මනුජ  එම කටයුතු අධීක්ෂණය සඳහා එක් වූයේය. වෙනදා වූ ඒකාග්‍රතාවය නොවන බව ඔහුට අතැම් විට දැනෙන්නේය. පසුගිය සති දෙකෙහි පවා  මෙවන් කලබලයක් දැනුනේ නැත. අම්මා සහ තාත්තා දියණිය වෙනුවෙන් දරන බරැත් හැඟීම තමාට නිසි ලෙස කාන්දු වූයේ මේ සති අන්තයේදැයි කියාද ඔහුට සිතෙන්නේය.

සවස හතරට පමණ මනුජ නිවසට ඇමතුමක් ගත්තේය.

නොසිතූ ලෙස ඇමතුමට පිළිතුරු දුන්නේ  දුන්නේේ දියණියය.

“අප්පච්චි එන ගමන්ද?..”

මනුජ  මොහොතකට ගල් ගැසුනේය.  ඒ නිකම්ම නිකන් වචන තුනක් නොව, සංසාරයටම ඇලෙන වචන තුනක් බව ඔහුට හැඟුණි. තම ලෙයින් මැවුණු කුඩා කිරිල්ලියක, තමා එන මඟ බලා සිටීමේ උත්කර්ෂය කොල්ලෙක් , පිරිමියෙක් එම නමින් පියා, තාත්තා, අප්පච්චි යන නම වෙත උස් කර තියන්නේය.

“අප්පච්ච තව ලේට් වෙනවනේ පුතේ.”

“හා එහෙනම්”

“පුතා බත් කාලද?”

” ඕ සාරතී ආච්චි ගොඩාක් බත් කැව්වා… සුදු අම්මා පොටැටෝ චිප්ස් දාල තිබුනානේ .. මං ඒව එක්ක ගොඩක් බත් කෑවා ..”

කෙල්ල මුව උල් කරමින් කියවන අයුරු මනුජගේ ඇස් ඉදිරියේ මැවුනේය.

සංසාරය තවත් දික් ගැස්සෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here