අසෙනි වර්ෂා – අවසන් කොටස

ජීවිතය තුළ අහඹු හමුවීම් ද සැලසුම් සහගත හමුවීම් ද වේ. සහස්ගේ ආගමනය නිවස තුළ පැවති අඳුරු වටපිටාව මඳක් සමනය කළ බව භාග්‍යාට සිතිණ.මරණයක් දකින්නට අකමැති ඔහු ක්‍රියාව කරන්නේ කෙසේ දැයි අසන්නට තිබූ ප්‍රශ්නය නාසන්නට භාග්‍යා තීරණය කළා ය.ඔහු අකමැති සමීපතමයෙකු ගේ නිසල දේහය දකින්නට ය.

“දරුවා ලැබෙනකම් අසෙනි දූ මෙහෙ හිටපුවාවේ.එයාට ඔයාලගේ ගෙදර යන්න ඕන නම් විතරක් ගියාවේ.”

ජයවර්ධන මහත්මිය එසේ තීරණය කරද්දී අසෙනි තමන්ට අවශ්‍ය දෙනෙත්ගේ නිවසේ රැඳී සිටින්නට බව පැවසුවා ය.තාරුකීගෙන් අප්‍රමාණ හිරිහැර කරදර එල්ල වන්නට ඉඩ ඇති නිසා නැවත නිවසට යන්නට බල කරන්නට භාග්‍යාටත් අසෙනිගේ අම්මාටත් උවමනා විය.නමුත් අසෙනි රන් රුවක් බඳු පුතෙකුට ජීවය දෙන තුරුම දෙනෙත්ගේ නිවස තෝරා ගත්තා ය.

“මට මහ පුදුම වේදනාවක් දැනෙන්නෙ.”

අසෙනි දරුවා බිහි කරන තුරු ශල්‍යාගාරයෙන් පිටත රැඳී සිටිද්දී භාග්‍යා හර්ෂ සමග පැවසූයේ ශෝකයෙනි.පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරයේ ඇය සමඟ රැඳෙන්නට දෙනෙත් ජීවත් වූයේ නම් යන හැඟීම අමතක කරන්නට අසීරු ය.නමුත් ඔහු ගැන වචනයක් වත් සිහි නොකර ඉන්නට භාග්‍යා හදවත ගලක් කර ගත්තා ය.

“ඔයා මොකද මේ පැත්තෙ? තාත්තෙකුත් නැති ළමයෙකුට මල් පොකුරකුත් උස්සගෙන?”

සහස් රෝහල වෙත පැමිණියේ කුඩා බිළිඳා ඉපිද හෝරා කිහිපයක් ගෙවී යද්දී ය.පියෙක් නැති දරුවා සම්බන්ධ කතාවක් පැවසූ තාරුකී ට ජයවර්ධන මහත්මිය රවා බලද්දි පවා ඇය සහස්ගේ පැමිණීම ප්‍රශ්න කරමින් සිටියා ය.

“ඒ අපේ දරුවෙක්නෙ ඒ නිසා.”

සහස්ට තිබුණේ කෙටි පිළිතුරකි.කෙදිනකවත් විවාහ නොවන්නට පිළිණ දී තිබුණු ඔහු සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඉපදෙමින් තිබියදී භාග්‍යා ඔහු දෙස බලා හුන්නා ය.ඔහුගේ නැගණිය මෙතන හුන්නා නම් ඒ අදහස ගැන ඇය සමග සැබෑවටම කතා කරන්නට තිබුණා නොවේදැයි භාග්‍යා අනන්ත වාරයක් කල්පනා කළා ය.

දෙනෙත්ගේ මිය යාම කේන්දර අනාවැකි වලට පවරන්නට නොසිතූ ජයවර්ධන යුවල බීමත් ට්‍රක් රථ රියදුරා මත සියලුම වරද පැටවූහ. එනිසාම දෙනෙත් නික්ම ගියේ තමන්ගේ වරදින් නොවෙන වග තමන්ටම පැහැදිලි කරන්නට අසෙනි කාලයත් සමග තීරණය කළා ය.තාරුකී ගේ වචන රිදෙන්නට හෝ බිඳෙන්නට හේතුවක් නො කර ගන්නට තරම් ඇය පරිණත වෙමින් හුන්නා ය.

“චූටි පුතාගේ ගෙදර මේකනෙ එයාට පුළුවන් තාක් කාලයක් එයා මෙහේ ඉඳී.අසෙනි දුව ජීවිතේ ගැන තීරණයක් ගන්න හිතෙන දවස වෙනකම්ම එයා මෙහෙ ඉඳී.”

ජයවර්ධන මහත්මිය නිරන්තරයෙන් එසේ මිමිණුවා ය.නමුත් අසෙනිව නැවත ඇගේ නිවසට හැරලවන දිනයක් ජයවර්ධන මහත්මියට උදා විණ.ඇය ඒ දිනයට මුහුණ දුන්නේ හැඬු කඳුලින් ය. 

“දුව යන්නේ අපේම ගෙදරකට වෙච්ච කොට මට එයාව ඒ ලොකු අයියලගෙ ගෙදරට අපේ ගෙදර ඉඳලම ඇරලවන්න තිබුණ නම් හොඳයි.ඒ වුණාට දුව මෙහෙ එන්න ඕන කිව්වනෙ.”

අවසානයේ සහස්ගේ ආදරය පිළිගන්නට අසෙනි තීරණය කළා ය. එකම කාරණාවකට හිත රිදවා ගත් ඔහු තරමට තමන් තේරුම් ගන්නට කිසිවෙක්ට නොහැකි වන බව ඇය භාග්‍යාට පැවසූ දවසේ භාග්‍යා තරම් සතුටු වූ අයෙකු තවත් සිටියේ නැත.

“සහස් අයියගෙයි දෙනෙත්ගෙයි ලොකු වෙනසක් මට පේන්නෙත් නෑ අක්කා.”

අහිමි වූ ප්‍රේමය හිමි වූ ප්‍රේමය තුළින් දකින්නට අසෙනි උත්සාහ කළා ය.කුඩා පුතුගේ වාසගම පවා වෙනස් නොවීම ද ඔහුගේ ඥාතීන් ඔහුට අහිමි නොවීමද ගැන සතුටු වන්නට අසෙනි තීරණය කර තිබිණ.

“තාරුකී මොකද කියන්නෙ නංගි? ඔයා ආයෙත් ඒ පවුලත් එක්කම ඉන්නවට හර්ෂ නම් අකමැති උනේ තාරුකී ගැනම හිතල.තාරුකී ඔයාගෙ හිත ආයේ ආයේ පාරවන්න බැරි කමක් නෑ.”

සිදුවිය හැකි දේ සිදු නොවේයැයි සිහින දැකීම වෙනුවට යථාර්ථයට මුහුණ දීම සඳහා අසෙන් සූදානම් කරන්නට භාග්‍යාට උවමනා විය.ඇය එසේ කියද්දී සහස් තමන්ව ආරක්ෂා කරන බව අසෙනි පැවසූයේ සැනසීමකිනි.

“සහස් අයියගෙ නංගි ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකක ඉගෙන ගන්නේ අක්කා.එයා කීප පාරක් මාත් එක්ක ෆේස්බුක් එකෙනුයි ෆෝන් එකෙනුයි කතා කළා.සහස්ගෙ නංගිගෙ ගතිගුණ එයා ළඟ නම් පේන්න නැහැ.මට හිතෙනව ඔයා හොඳ ඇති.ඔයයි මායි තරම් ආදරෙන් ඉන්න බැරි උනත් එයා මා එක්ක හොඳින් ඉඳියි.”

ඇය විදේශයක ස්ථාවර වන්නට සිතා සිටින යුවතියක නම් ඇගෙන් බාධාවක් වන්නට නොහැකි බව  භාග්‍යා නැගණියට හෙළි කළේ සැනසීමෙනි.

“මට ඒ නංගි දෙනෙත්ගෙ ෆියුනරල් එකේදී මුණ ගැහුණා.ශෝක් කෙල්ලක්.”

මතකය ඇවිස්සුණු භාග්‍යා එසේ කියද්දී අවමංගල්‍යයට සහභාගි වූ කතාවක් ඒ යුවතිය නොපැවසූ බව අසෙනි පැවසුවා ය.අසෙනිගේ ජීවිතය ගැන මිස රිදෙන මතක අවුස්සන්නට තරම් ඇය නූගතියක නොවන බව ද අනතුරුව පැවසූයේ අසෙනි ය.කෙසේ හෝ තාරුකී මෙන් මුරණ්ඩු නෑනා කෙනෙකු නොලැබීම ගැන ඇයට දැනුණේ එක්තරා ආකාරයක සන්තෝෂයකි

කුඩා සාදය පවුලේ සෑම කෙනෙකුම සතුටින් පුරවා තිබිණ. දෙනෙත්ගේ වියෝව සිදුවී තවම දෙවසරක් වත් ගෙවී නොමැති නිසා විශාල උත්සවයක් ගැනීමට සහස් හෝ අසෙනි කැමති වූයේ නැත.ජයවර්ධන පවුලට මුණගැසුනු හොඳම ලේලිය පවුලෙන් ගිලිහී නොයාම නිසා දෙනෙත්ගේ අම්මා ද සහස්ගේ අම්මා ද සිටියේ සතුටිනි.නිවසේ තිබූ සාදයට සහභාගී වන අතර සහස්ගේ නැගණිය වූ සරනිගේ කාමරයේ තිබූ දෙයක් රැගෙන පහත මාලයට පැමිණෙන්නට භාග්‍යාටත් සරනිටත් ඉල්ලීමක් ආවේ සහස්ගේ අම්මාගෙනි.සරනි දුටු මුල්ම මොහොතේ ඇය ගැන පැහැදුන ද අසන්නට තවත් ප්‍රශ්නයක් තිබූ නිසා එය මේ මොහොතේ අසන්නට භාග්‍යා තීරණය කළා ය.මේ එදා දුටු සන්සුන් යුවතිය නොවේ. දඟකාර කටකාර කෙල්ලකි.දෙනෙත්ගේ වියෝවට පෙර ජීවත් වූ දඟකාර අසෙනිට සරනි හොඳින් ගැළපෙන බව සිතුණු මුත් ගැටළුව ඇති තැන විසඳාගන්නට භාග්‍යා තීරණය කළා ය.

“ඔයාගෙ අක්කා හරි නංගි හරි අනිත් ගර්ල් කෝ නංගි?”

භාග්‍යා එසේ අසද්දී සරණි ඇගේ කාමරයේ දොර විවෘත කළේ පුදුමයෙනි.දෙනෙත්ගේ අවමංගල්‍යය දා මුණ ගැහුණු තරුණිය ගැන සරනිට කියන්නට භාග්‍යා තීරණය කළා ය.

“අපේ කවුරුහරි කසින් කෙනෙක් ද දන්නෙ නැහැ අක්කි.අපේ පවුලෙත් ඉතින් හරියට කට්ටිය ඉන්නව.අයියට ඉන්නෙ මම විතරයි.ලොකු අයියාගේ ෆියුනරල් එකට මම ආවේ නෑ අක්කි.මට ඒක ගැන තාමත් හරිම දුකයි.ඇත්තටම තාරුට වඩා දෙනෙත් අයියා ආදරෙත් මට.”

සරනි කියවාගෙන යද්දී  භාග්‍යා ගල් ගැසී ගියා ය.මේ ඇය බව සහතික ය.භාග්‍යාගේ දෑස රැඳී ඇති තැන දුටු  සරනි ඇය වෙත ආවේ පශ්චත්තාපය සහිතව ය.

“මං කාලෙකින් ගෙදර ඇවිල්ලා තාම සතියක් වත් නෑනේ අක්කි.ඇත්තටම ඔය ෆොටෝ එක අයින් කරන්න හිත හදා ගන්න බැරි වුණා.ඔයයි අසෙනි අක්කියි ඉන්න තරම් ආදරෙන් අපි දෙන්නත් හිටිය.මට අසෙනි අක්කිට ආදරෙන් ඉන්න හිතෙන්නෙත් අපේ වර්ෂා අක්කි මතක් වෙනකොට තමයි.මේ වර්ෂා අක්කි.”

බිත්තියේ ඇති ඡායාරූපයට වී පිරී ගිය හිනාවකින් බලා හිඳින යුවතිය එදා තමන්ට මුණ ගැසුණු යුවතිය බව භාග්‍යාට සහතික ය. භීතියක් නොදැනෙන මුත් ඇය කියා ගන්නට නොතේරෙන සිතුවිලිවලින් ඒ දෙස බලා සිටියා ය.

“හොස්පිටල් එකේ ලෙඩ්ඩු එක්ක මොනවා කරගත්තත් අයියා ෆියුනරල් එකකට ගියේම නෑ.ඒත් ලොකු අයියා නැති වුණාට පස්සෙ වර්ෂා අක්කිට මල් තියන්න සොහොනට ගිහින් ඇවිත් අයියා ඒ ගමන්ම බාප්පලගෙ ගෙදර ගියාලු.මට හිතෙනව වර්ෂා අක්කා හීනෙකින්වත් කියන්න ඇති.අසෙනි අක්කිට එයාට තරමටම ආදරේ කරන්න අයියට පුළුවන් වෙයි කියලා.”

ඇය සිහිනයෙන් හෝ සැබැවින් පැමිණි බව භාග්‍යා දැන සිටියා ය.ඇය ඡායාරූපය සිටින සුන්දර යුවතියගේ වත මතින් ඇඟිලි තුඩු ගෙනගියේ ආදරෙනි.

“තෑන්ක් යූ ලස්සන කෙල්ලෙ.” 

තමන්ගේ ප්‍රාණසම සහෝදරිය වෙනුවෙන් ඡායාරූපයේ හිඳින සුන්දර යුවතියට එසේ මුමුණන්නට භාග්‍යාට සිතිණ.

(සමාප්තයි)

More Stories

Don't Miss


Latest Articles