සන්තාන සුසුම් සර – 48

0
1275

යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ. ඇය මඳක් එසවී බැලුවා ය. රියදුරු තැන අසුන වෙත සැපත් ව හිඳී. ඊළඟ නිමේශයේ රිය පණ ගැන්විණ. කුසගින්න අමතක කොට යසස්වි අසුනේ හරි බරි ගැහුණා ය. ඊලඟට වතුර බෝතලය ගෙන ඉන් උගුරු කිහිපයක් බීවා ය. නගරාන්තර සුඛෝපභෝගී බස් රිය දැනෙන නො දැනෙන ගාණට ඉදිරියට චලනය වන්නට විය. අම්මා නමින් ඇගේ දුරකතනය හැඬවෙන්නට ගත්තේ ඒ මොහොතේ ය.

‘බස් එක තාම ස්ටෑන්ඩ් එකේද… අයිය දැනගෙන ඔයා ආව කියල. දැන් ටවුම පැත්තට ආව’

ඇගේ රහසිගත ස්වරය වෙව්ලනවා යසස්වි ට දැනිණ.

‘බස් එක ස්ටාට් කරල තියෙන්නෙ අම්ම. බය වෙන්නෙපා. හෙමීට ඉස්සරහට ගන්න ගමං’

‘සිරිමා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඕක ඉක්මනට යන්නෝනෙ’

‘දැන් ටිකක් හයියෙන් යනව. අම්ම බයවෙන්න එපා. මං කෝල් එකක් දෙන්නං ගිහිං’

බස් රිය ඉදිරියට යත්දී, අතුරු පාරක ඇදී එන යසස් ගේ යතුරුපැදිය ඇය හැඳිනගත්තා ය. ඒ වෙලාවේ බසය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබිණ. යසස්වි පිටුපස හැරී බැලුවා ය. අයියා බස් රිය යමින් සිටි දෙසට නොව බස් නැවතුම දෙසට යන බව පෙනිණ. ඇය අසුනේ හරි බරි ගැහී සැනසිල්ලේ ඇස් දෙක පියාගත්තා ය.

තුසිතය උදේ සිට ම තිගැස්සීගෙන ය. ඒ බිය පහ ව ගියේ යසස්වි යළි පැමිණෙමින් හිඳිනා බව සනුක විසින් දැනුම් දෙනු ලැබීමෙනි.

‘අනුංගෙ ගෑනුංව හොරකං කරගෙන දැං ඉතිං මුළු ජීවිතේම ගිනි පත්තුවෙලා තමයි ඉන්න වෙන්නෙ’

නිලූකා වජිරා ට ඇනුම්පද කීවා ය. නැන්දම්මා හා පොඩි ලේලිය අතරේ වන හිතමිතුරු බන්ධනය ගැන නිලූකා ට ඊරිසියා ය.

‘තව පොඩ්ඩෙන් නිලූකාගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා ඔයා නැන්දම්ම වුණානං එහෙම ඔයාටනෙ ඒ ගින්දර’

වජිරා එසේ කීවේ තරහවකින් හෝ ඇනුම්පදයක් ලෙස හෝ     නොවේ. සිනහවකින් විනෝදයට ය.

‘මට පිං ඉතිං… ඒ ගින්දර ඔයාට නොදී මට ගත්තට’

‘බලමුකො බලමුකො තව ඉස්සරහට’

‘මේ ලෝකෙ කොහොමත් කැරකෙනව නිලූකා. ඒක නවත්තන්න බෑ වගේම තමයි සිද්ද වෙන දේවල් නතර කරන්නත් අපිට බෑ. ඉපදිලා මැරිල යන ටිකට අපිට කරන්න පුළුවන් හොඳම දේ සතුටෙන් ජීවත් වෙන්න බලන එක විතරයි. මොකද ඉන්න ටික කාලෙ හැම දේම දිහා වෛරෙන් ද්වේශෙන් බලල අසතුටෙන් ජීවත් වෙනවට වැඩිය ඒක හරිම නිදහස්. අනිත් එක කවුරුහරි සතුටෙන් ඉන්නව දකින එකම මටනං සතුටක්’

වජිරා ගේ දේශනය නිලූකා ට වැටහුණේ නැත. ඈ ඒ වගේ දෙයක් තේරුම් ගන්නට උත්සාහ කරනා කෙනෙකු ද නොවේ. ඇනුම් පද කියන්නටත්, දොස් ම දකින්නටත්, වාසි ම ලබන්නටත් කාලයක් තිස්සේ පුහුණු කරන ලද සිතක සමාජයට සුවඳ සදන මලක් පීදේවියි බලාපොරොත්තු විය නො හැකි ය.

නගරාන්තර බස් රථය කොළඹට සේන්දු වන විටත් අස්විද එතැන ය. යසස්වි බසයෙන් බැසගත් ගමන් ඔහු ඇගේ බඳ පිටුපසින් අත තබා ඈ ඔහු වෙතට සමීප කොටගත්තේ හදවත පත්ලෙන් ම උපන් සැනසිල්ලකිනි. යසස්වි ට යන්න ම ඕනේ වූ නිසා එහෙම තනිවම යැව්වාට, ඒ ගමනෙහි අවදානමක් තිබිය හැකි බැව් ඔහු නො දැන සිටියා නොවේ. නමුත් සිදු වන ඕනෑ ම දේකට මූණ දීමට, දැන් ඈ ගැන වන නෛතික අයිතියක් ඔහු ට පැවරී තිබීම පමණක් එක ම ශක්තිය විය.

‘දැං ඉතිං ලෝකෙ පෙරළුණත් මට කමන්නෑ. ආයෙ මං ඔයා ළඟින් අඩියක්වත් හෙල්ලෙන්නෑ’

රියට ගොඩ වූ ගමන් යසස්වි අස්විද ගේ උර මඬලට හිස බර කොට ගත්තේ ඔහු ට නොව ඇයට ම ඒ පොරොන්දුව දෙමිනි. ඔහු ඇගේ උරහිස වටා අතක් යවමින් දෑස් කවුළු වලින් එබී බැලුවේ ය. ඇරඹුමේ පටන් ඔහු ට හමු වුණේ ආදරය පමණ ය.

‘ආයෙනං අඩියක්වත් හෙල්ලෙන්න දෙන්නෙත් නෑ’

‘මට මෙහෙම ඉන්න ඕන… හැමදාම…’

‘මොකද්ද කියන්න තියනව කිව්වෙ…’

ඔහු ඒ සිහිපත් කිරීම කළේ රිය පෙරට ගන්නා ගමන් ය. යසස්වි එහෙම ම සිය නිකට අස්විද ගේ උරහිස මත තබමින් ඔහු ගේ මූණ දෙස බැලුවා ය.

‘අපිට බැරිද ඉක්මනට චූටි වෙඩින් එකක් ගන්න…’

අස්විද නො දැනී ම රියෙහි තිරිංග තද විය. ඔහු යළිත් එහි ගමනට නිදහස දුන්නේ ය.

‘ගන්නනං පුළුවං. ඒත් ඇයි හදිස්සියෙ… මොකද්ද වුණේ…’

‘මුකුත් වුණාට නෙවේ. හදිස්සියක්මත් නෙවේ ඉතිං… ඒත් මට ඔයාගෙ ළඟින්ම ඉන්න ඕනෙ. මෙහෙම ළඟම ළඟින් ඉන්න ඕනෙ. බිත්තියකින් වෙන් වෙලා වෙනම කාමරේක නෙවෙයි… ඔයා ළඟින්ම ඉඳං… ඔයාගෙ පපුවෙං ඔළුව තියං දොයියන්න ඕනෙ. දැං මේ දුරත් දුර වැඩියි වගේ’

අස්විද ඇගේ මුව වෙතට හැරී නළලත සිපගත්තේ ය.

‘තාත්ත මාව අතෑරල. මට තාත්ත එක්ක තරහක් නෑ. ඒත් මට දුකයි. දැං මට මගේ කියන්න ඉන්නෙ ඔයා විතරයි. අම්ම වුණත් මං ළඟ නෑනෙ. ඒක නිසා මට තවත් දුරට වෙලා ඉන්න බෑ වගේ දැනෙනව’

‘මොන වෙඩින්ද අනේ… ඔයා එන්න මගෙ රූම් එකට’

අස්විද එසේ කීවේ ඇදෙස නො බලා මාර්ගය දෙස බලාගෙන ය. ඒ මොහොතේ ඔහු ගේ දෙතොල් මත නළියමින් තිබුණේ දඩබ්බර හසරැල්ලකි. යසස්වි ඔහු ගේ වමත සිය දෝතින් ම බදා වැළඳගත්තා ය.

‘මට දුවෙක් ඕනෙ…’

ඒ හඬ නැගුණේ ඔහු ගේ උගුර යටිනි. යසස්වි වහා හිස නගා බැලුවා ය.

‘ඔයා වගේම සිලිබිල්ලෙක් වගේ කියෝන දුවෙක්… කාලයක් තිස්සෙ තුසිතෙ තියන හිස්කමක් ඒ. අපිටත් අක්කෙක් නංගියෙක් හිටියෙ නෑ. අයියටත්     කොල්ලො දෙන්‍නෙක් ඉන්නෙ. ඔයා ආපු ගමං මුළු තුසිතෙම ඔයාට පිස්සු වැටුණෙ ඒ හිස්තැන නිසා වෙන්නත් ඇති’

‘අපිට පුතෙක් හොඳයි’

යසස්වි ළදරු හඬකින් හුරතල් වූවා ය.

‘නැත්තං ඔයා මට වැඩිය දුවට ආදරේ වෙයි’

අස්විද සිනහ වූයේ ය. ඒ වූ කලී තෘප්තිමත් පිරිමියෙකු ගේ මුවෙහි නිරායාසයෙන් මතු වෙන ආඩම්බරකාර සිනහවකි.

‘පිස්සු කෙල්ලෙක්’

ඒ සිනහව තුනී නොවී ම ඔහු ගේ දෙතොල් අතරෙහි නතර වී පැවතිණ.

‘ඔයා මගෙ හිතේ ඉන්න තැනට එන්න ආයෙ කවදාවත් වෙන කිසි ගෑනියෙකුට බෑ යසස්වි. මීට කලින් එහෙම කරන්න කාටවත් පුළුවං වුණෙත් නෑ. හිතේ ඒ තැන අයිති ඔයාට විතරයි. එතන ඉන්නෙ ඔයා විතරයි. ඒක මහ පුදුම දෙයක්. ඒ ගැන ඊට වැඩිය දෙයක් මට තේරෙන්නෑ’

ඔවුන් ගෙදර එනතුරු වජිරා හා විජිත පෙරමග බලා සිටියහ. යසස්වි දුටු විට එතෙක් හිතේ පැටවී තිබූ කළු ගලක් තරම් බරක් ඔවුන්ට බිමින් තබත හැකි විය. දුරකතනය ඔස්සේ කවරක් දැනුම් දුන්න ද ඒ හිත් බර තුනී වී ගියා නොවේ!

ඔවුන් දිය නාගෙන පැමිණෙන විට වජිරා තේ සූදානම් කරගෙන සිටියා ය. යසස්වි ගේ ගෙදර තොරතුරු කතා බහ කිරීමෙන් පස්සේ අස්විද හෙමිහිට උගුර සූදානම් කරගත්තේ ය.

‘තාත්තෙ මේ… මං හිතං ඉන්නෙ… අවශ්‍යම ටික දෙනෙකුට විතරක් ඉන්වයිට් කරල… අපි පොඩි වෙඩින් එකක් ගත්තොත් මොකද කියල’

විජිතත් වජිරාත් උනුන් ගේ මුහුණු බලාගත්හ. නැගී ආ සිනහව නො පෙනෙන සේ වජිරා අතැඟිලි වලින් මුව මුවහ කරගත්තා ය.

‘ඔව් ඒකෙ කිසි වැරැද්දක් නෑ. කොහොමටත් දෙන්න දැන් නීතියෙං විවාහ වෙලානෙ ඉන්නෙ. නමුත් ඉතිං ගෑනු ළමයෙක් විදිහට මේ දුවගෙ හිතේ ආසාවක් තියනව නැතෑ මනමාලියෙක් වෙලා දන්න කියන අය ඉස්සරහට ලස්සනට එන්න… නේද…’

‘අනේ අපි කොච්චර කාලයක් තිස්සෙ හීන දැක්කද චූටි පුතාගෙ වෙඩින් එක ගැන. හදිස්සි වෙලා ඉතිං…’

‘කවද කළත් ලොකූවට වෙඩින් ගන්නනං මගෙ බලාපොරොත්තුවක් නෑ අම්ම. පොඩියට කරනව කියල හිතුවෙත් යසස්වියි අම්මලයි දෙපැත්තම ගැන හිතල’

‘අපේ කිසී විරෝධයක් නෑ. පුතයි දුවයි කැමති විදිහට අපි ඒක කරල ඉවරයක් කරමු එහෙනං’

විජිත අවසාන තීන්දුව දුන්නේ සැනසීමෙනි. නමුත් ඊළඟ තත්පරයෙහි ගෙදර දුරකතනයට පැමිණි ඇමතුම, ඒ සතුට දෙදරවන එකක් විය.

වෙනදා ඔහු සිටින වෙලාවට රිසීවරය ඔසවන්නේ අස්විදයි. නමුත් ඔහු මේ ඇමතුමට නොයා සිටියේ ය.

‘මටනං මං නෑ කියන්න අම්ම. මහන්සියි අප්ප’

වජිරා දුරකතනය වෙත ගියේ එබැවිනි.

‘මේ දිල්නුක සූරියබණ්ඩාරගෙ ගෙදරද…’

ඒ ගොරෝසු හඬකි. වජිරා පිළිතුරු දුන්නේ කල්පනාකාරී විමසුමකිනි.

‘ඔව්…’

‘අපි පොලීසියෙං කතා කරන්නෙ. දිල්නුකගෙ පේරන්ට් කෙනෙක් දැන්ම පොලීසියට එන්න ඕනෙ’

‘අනේ… ඒ ඇයි සර්… දිල්නුකට මොකද්ද වෙලා තියෙන්නෙ…’

වජිරා ගේ හඬෙහි ගැස්මක් විය.

‘වෙලා තියෙන දේවලුයි කරල තියෙන දේවලුයි ඔක්කොම දැක බලාගන්න පුළුවං පොලීසියට ආවහම. මිනිහ අපි ළඟ ඉන්නව’

එපමණකි. වජිරා රිසීවරය දුරකතනය මතින් තැබුවේ කිසිත් සිතාගත නො හැකි වික්ෂිප්ත බවකිනි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here