ආදර සැලසුම් – 68

0
244

තරප්පු පේළිය පාමුල හුන් දේවක උන්නේ සියල්ලම අසා ගෙනය. හඬක් නොනැඟෙන සේ තරප්පු පේළිය නැග පැමිණි දේවක අශිකා සහ අභිමන් ඉදිරියෙහි පෙනී සිටියේය. ඔහුව මුලින්ම දුටුවේ අභිමන්ය.

” තාත්තා “

අභිමන් හට කියවිණි. අශිකා හැරී බැලුවේ දෑතින්ම මුව වසා ගනිමිනි.

” දෙයියනේ ” 

දේවක බලා උන්නේය. මෙය වසර 35 ක් තිස්සේ තමා නොදැන සිටි දෙයකි. අශිකා ගේ පෙර පැවති ප්‍රේම සම්බන්ධය පිළිබඳවත් ,එය බොහෝ දුරදිග ගිය එකක් බවත් අශිකා තමා හා විවාහ වීමට එකඟ වූයේ මවුපියන්ගේ කීමට බවත් දැන සිටියද වැඩිමහල් පුත්‍රයා ගේ පියා තමා නොවන බව දැන ගත්තේ දැන්ය.

” එතකොට මේකද අශිකා ප්‍රශ්නෙ ? ” 

දේවක ඇසුවේ බොහෝ සන්සුන්වය.ඔහු තුළ පෙර පැවති කලබලකාරී ගතිය පහව ගොස් තිබිණි. අශිකා තවත් බියට පත් වූයේ ඒ සන්සුන් බව කොයි මොහොතක හෝ පුපුරා යතැයි කියාය. 

” අනේ මට සමාවෙන්න දේවක ” 

අශිකා දේවක ඉදිරියේ හඬා වැටුණාය. මෙය සමාව දිය නොහැකි තරමේ වරදකි. වසර 35 ක්  පුරාවට තමා දේවක ගෙන් සැඟ වූ කාරණාවද මෙයය. දේවක කිසි දිනක ඒ සඳහා තමා හට සමාවක් නොදෙනු ඇත.

” එක අතකට ඔයා මොනවා කරන්නද අශිකා. මම ඔයාව කසාද බැන්දේ බලෙන් නේ ” 

දේවක කීවේ කම්පාව මුසු කලකිරීමෙනි. ආදිත්‍ය උපන් දිනය , ඔහුව දෝතට ගත් පළමු මොහොත දේවක ගේ සිහියට ආවේය. 

” ඒත් මම පිළිගන්නේ නැහැ ආදිත්‍යය කියන්නේ මගේ පුතා නෙමෙයි කියලා ” 

දේවක මිමිනුවේය. මෙය පිළිගත හැකි කාරණාවක් නොවන බව දේවක යළි යළිත් සිතුවේ තමා ඉදිරියේ හඬා වැටෙන අශිකා දෙස බලාගෙනය.

” දරුවෙක් ගෙ නියම අම්මා තාත්තා හොයා ගන්න පුළුවන් තරම් මේ ලෝකෙ දියුණු වෙලා තියෙද්දි ඔයා මේ වගේ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ඒ දරුවට කියපු එක වැරදියි අශිකා ” 

දේවක පවසන්නේ සත්‍යය. තමාට තිබූයේ වසර තිස් පහක් පුරාවට තමා තුළ තිබූ සැකය තහවුරු කර ගෙන ඉන් පසුව පියවරක් ගැනීමය. හැඟීම් ඉස්සර කර ගෙන අනුවණ ලෙස හැසිරුණු ආකාරය පිළිබඳව අශිකා පසුතැවුණාය. අවසානයේ දී එයින් සිදු වූයේ තම වැඩිමහල් පුත්‍රයා තමාට අහිමිව යාම පමණි.

” මොනා කරන්නත් අපි දැන් ආදිත්‍යය කෝ කියල හොයා ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන්නේ ඔය ගෑණු ළමයගෙ තාත්තට කතා කරලා මේ කතාව ඇත්තක්ද කියලා හරි විදිහට හොයලා බලන්න ” 

තමා සහ දේවක අතර ඇති වූ ගැටලු වලදී පවා දේවක මේ ආකාරයෙන් හැසිරී නැත. මේ මොහොතේ දී ඔහු හැසිරෙන්නේ සහ ක්‍රියා කරන්නේ තමාට වඩා දස දහස් ගුණයකින් නුවණැති ආකාරයටය. මෙවැනි හැසිරීමක් දේවක මින් පෙර පෙන්නුම් කළා නම් තම පවුල් ජීවිතයේ මොන තරම් යහපත් එකක් වනු ඇති දැයි කල්පනා අශිකා හැඬුම් මධ්‍යයේ පොලිසියට යාමට සූදානම් වූවාය.

කාර්යාලයෙන් පිටතට පැමිණි මෞර්යා චන්දිකට ඇමතුමක් ගත්තාය. චන්දික ඇමතුමට සම්බන්ධ වනතුරු මෞර්යා උන්නේ දැවෙමිණි.ජීවිතයේ ප්‍රථම වතාවට ආදරය කරන්නට පෙලඹුණු පුද්ගලයා හදිසියේම අතුරුදහන් වීම දරා ගත නොහැකි තැනක මෞර්යා උන්නාය.

” හෙලෝ ” 

චන්දික ඇමතුමට සම්බන්ධ වූයේ මෞර්යා  කිහිප වරක්ම ඇමතුම් ගැනීමෙන් පසුවය. ඒ වන විට මෞර්යා උන්නේ දරා ගැනීමෙ සීමාවෙහි කෙළවරකය.

” තාත්තා ” 

චන්දික ගේ හඬ ඇසුණු විගස මෞර්යා ගේ හඬ හැඬුම් බර විය. 

” සොරි පුතේ මම මීටින් එකක හිටියේ ” 

චන්දික පිළිතුරු දුන්නේ සමාව අයදින ස්වරයෙනි. මෞර්යා හඬන්නට පටන් ගත්තේ ඊළඟ මොහොතේදීය. තරුණියක වුවද තරුණයෙකුගේ ගති පැවැතුම් ඇති එතරම් ශක්තිමත් හිතක් ඇති තම එකම දියණිය මෙසේ හඬා වැටීම චන්දිකව බොහෝ කලබලයට පත් කළේය

” මගේ පුතේ ඇයි මේ ? ” 

” අනේ තාත්තා මාව ඔෆිස් එකෙන් එක්කන් යන්න එන්නකෝ ” 

මෞර්යා නැවත හැඬුවේ බැගෑපත් වෙමිනි. කාර්යාලයේ කුමක් හෝ ගැටලුවක් ඇති වී මෞර්යා එයින් කලබලයට පත් වී ඇතැයි සිතමින් චන්දික දුරකථන ඇමතුම අවසන් කර කාර්යාලයෙන් පිටතට පැමිණ වාහනයට නැග්ගේය. 

පාන්දර දෙකයි තිහට පමණ ආදිත්‍යය නිවසින් පිට වී යන ආරක්ෂිත කැමරා දර්ශන ද සමග දේවක , අභිමන් සහ අශිකා පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පොලිස් ස්ථානාධිපතිවරයා සමග කිට්ටු සම්බන්ධතාවයක් තිබීම හේතුවෙන් ආදිත්‍ය පිළිබඳව හෝඩුවාවක් හෝ සොයා ගැනීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවට ස්ථානාධිපතිවරයා විසින් දේවක හට පොරොන්දුවක් දී තිබිණි.

දින භාගයක නිවාඩුවක් අනුමත කර ගත් මෞර්යා චන්දික පැමිණි විගසම කාර්යාලයෙන් පිට වී කාර්යාලය අසල නවතා තිබුණු ඔහුගේ රථයට නැග්ගේ ඇයගේ රථය පසුව පැමිණ රැගෙන යන අදහසිනි. වාහනයට නැගුණු විගස මෞර්යා මහා හඬින් හඬා වැටෙන්නට පටන් ගත්තාය

” මොකද පුතේ මේ කවදාවත් නැතුව ? office එකේ මොනව හරි ප්‍රශ්නයක්ද? ” 

මෞර්යා චන්දික වෙත නැඹුරු වී ඔහුට තුරුළු වූවාය. ඕනෑම ගැටලුවක් දෙස උපේක්ෂාවෙන් බලා එය විසඳා ගැනීමට හැකියාවක් තිබූ මෞර්යා මේ ආකාරයෙන් හඬා වැටීමට තිබිය හැක්කේ එසේ මෙසේ හේතුවක් නොවන බව චන්දික අනුමාන කළේ මෞර්යා නොනවත්වාම විනාඩි ගණනාවක්ම ඉකි ගසමින් හඬා වැටුණු බැවිනි.

” තාත්තා ආදිත්‍යය අතුරුදහන් වෙලා ” 

මෞර්යා හැඬුම අතරින් කීවාය.

” ආදිත්‍යය කිව්වේ ? ” 

මෞර්යා හැඬුම නතර කලේ එවිටය. තමා හා ආදිත්‍යය අතර ඇති බැඳීම මේ වන තුරුත් තම පියා දන්නේ නැත. එය ඔහු හට පැවසීමට දැන් මොහොත එළඹ ඇත්තේය.

මෞර්යා එක හුස්මට සියලුම විස්තර චන්දික හා පැවසුවාය. චන්දික සාවදානව සියල්ල අසා උන්නේ තම දියණිය පිළිබඳව මෙන්ම අශිකා මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය පිළිබඳවද උපන් කම්පාවෙනි.

” මම දැන් මොකක්ද කරන්නේ තාත්තා ? ආදිත්‍ය ගැන කිසිම ආරංචියක් නැහැ. උනේ මොකක්ද කියලා අෂිකා මැඩම් තාම කියලත් නැහැ ” 

” එයාලගේ තාත්තා ඇවිල්ල නං එයා බලල මොනව හරිම කරයිනේ පුතේ.අපි කොහොමද මේ වෙලාවේ ඕකට මැදිහත් වෙන්නේ ?ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙලා අශිකාත් අමාරුවේ වැටෙන එක.අපි තව ටික වෙලාවක් බලලා හෙමින් සැරේ අභිමන්ට කෝල් එකක් දීල බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.සමහර විට මේ වෙද්දි ආදිත්‍යය ගැන තොරතුරක් හොයා ගෙනත් ඇති පුතේ “

චන්දික උත්සහ කළේ තව දුරටත් හඬා වැටෙන මෞර්යා ව අස්වසාලීමටය. එහෙත් එය කෙසේ වත් පහසු වූයේ නැත. මෞර්යා උන්නේ තම එකම ප්‍රේමය අහිමි වේ යැයි බියෙනි

” ආදිත්‍යය කියන්නේ මෝඩ ළමයෙක් නෙමෙයිනේ පුතේ. එයාට මෙහෙම කරන්න මොකක්ම හරි හේතුවක් ඇති. අපි බලාගෙන ඉමු මොකද්ද කරන්න පුළුවන් කියලා ” 

චන්දික පාර අයිනට කර වාහනය නතර කළේය.  මේ ආකාරයෙන් මෞර්යාව නිවසට කැටුව යා නොහැක. එයින් සිදු වන්නේ ප්‍රශ්නය තවත් නරක අතට හැරීම පමණි. නිල්මිණී ගේ අතොරක් නැති ගැටලු වලට පිළිතුරු දීමටද දෙදෙනාටම සිදු වනු ඇත.

මෞර්යා වාහනයේ අසුනට හිස බර කර ගෙන මාර්ගය දෙස ඔහේ බලා උන්නාය. චන්දික ඇය ගේ හිස අත ගාමින් බොහෝ දේ කීවේ ඇය ගේ හිත හදන්නටය. එහෙත් ඒ එකදු වචනයකට හෝ ආදිත්‍යය ගේ අතුරුදහන් වීම නිසා කම්පාවට පත්ව තිබූ මෞර්යා ගේ සිත සනසන්නට හැකි වූයේ නැත.

තවත් පැය බාගයක් පමණ නිහඬව ගෙවී ගිය අතර මෞර්යා ඒ පැය භාගයද ගෙවා ගත්තේ බොහෝ අසීරුවෙනි.ජීවිතයේ තමා ගෙවූ දීර්ඝතම පැය භාගය එය බව මෞර්යා සිතද්දී චන්දික සහ මෞර්යා අතර වූ නිහඬතාවය බිඳිමින් මෞර්යාගේ දුරකථනය නාද විය. ඇමතුම පැමිණෙමින් තිබූයේ අභිමන් ගෙනි.

” මිස්ටර් අභිමන් ගන්නවා තාත්තා ” 

” කතා කරල බලන්න පුතේ. සමහරවිට මොකක් හරි තොරතුරක් කියයි ” 

චන්දික පැවසූ අතර මෞර්යා දුරකථනය අතට ගෙන ඇමතුම ක්‍රියාත්මක කළාය.

” හෙලෝ මෞර්යා. අපි දැන් පොලිසියට ගිහින් ආවේ ” 

අභිමන් කීවේය.

” මොකද උනේ මිස්ටර් අභිමන් ? ” 

” ඊට කලින් මට කියන්නකෝ ඔයා හදිසියේම හාෆ්ඩේ එකක් දාලා කොහෙද ගියේ කියලා ? මට නෙහාරා කිව්වා ඔයා ගියා කියලා ” 

” මං තාත්තා එක්ක ඉන්නෙ මිස්ටර් අභිමන් ” 

අභිමන් තප්පර කිහිපයකට නිහඬ වූයේය.

” මෞර්යා එහෙනම් මට ඔයාවයි තාත්තාවයි හම්බ වෙන්න පුළුවන්ද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here