දළදාව බේරගන්න දිවි පරදුවට තැබූ අපේ කාලයේ වීරවරිය

දළදාව ලංකාවට ගෙනාවේ හේමමාලා කුමරිය තමන්ගේ හිසකෙස් වල සඟවාගෙන.

“උදේනි රජ දූ මාලි කුමරියන්

කෙස් කළඹේ සඟවා හිසින් ගෙන

උත්තම මුනි දළදා වඩම්මන

මොක්පුර රන් නෞකා

බලන් සකි සත් සමුදුරු ගැඹරේ…” කියලා අපි කියන්නේ අන්න ඒකයි.

ඉතින් අද කතාවත් දළදාව ආරක්ෂා කරගන්න හේමමාලා කුමරිය වගේම කැපකිරීමක් කරපු, තමන්ගේ ජීවිතේම පරදුවට තිබ්බ තව කාන්තාවක් ගැන.

ඇය, ගීතානි ජයවර්ධන

අදටත් දළදා සමිඳුන් වන්දනාමාන කරනකොට, ඒ උතුම් ධාතූන් වහන්සේ ආරක්ෂා කරපු රජවරුන්වත්, භික්ෂූන් වහන්සේලාවත් විතරක් නෙවෙයි, ඊටත් වඩා ධෛර්යයෙන් ඒ වෙනුවෙන් පෙනී හිටපු කාන්තාවන් අපිට මතක් වෙනවා. 

දළදා වහන්සේ මුහුදෙන් එහා ඉඳන් මේ රටට ගෙනාපු හේමා මාලා කුමරිය ඉඳලා, 1998 අවුරුද්දේදී දොරටුව ළඟට ඇවිත් මරණයට මුහුණ දීපු ගීතානි ජයවර්ධන දක්වා ඒ නිර්භීත කාන්තාවන්, දළදා වහන්සේ වෙනුවෙන් කරපු විශාල කැපකිරීම් අපිට මතක් කරලා දෙනවා.

ඒ 1998 ජනවාරි 25 වැනිදා.

 එදා දවස ලංකාවම හෙල්ලුම් කන්න හේතුවෙච්ච දවසක්. ඒ කිලෝ 400කට වඩා වැඩි බලසම්පන්න පුපුරණ ද්‍රව්‍ය පුරවගත්ත ට්‍රක් එකක් මහනුවර 

දළදා මාලිගාවේ දොරටුව ළඟටම ඇවිත් පුපුරුවා හරින්න හේතුවෙච්ච සිදුවීම. ඒක, අවුරුදු 30ක් පුරා තිබුණු ත්‍රස්තවාදී යුද්ධයේදී එකවර පුපුරුවා හැරපු විශාලම බෝම්බ ප්‍රහාරවලින් එකක්. නිදහස ලැබිලා අවුරුදු 50ක් පිරුණු 1998 අවුරුද්දේ ජාතික නිදහස් උත්සවය තියන්න සූදානම් කරලා තිබුණේ මහනුවර. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමයි මේ උත්සවයේ ප්‍රධානත්වය ගත්තේ. මාස ගාණක ඉඳන් මහනුවර නගරය ඒ වෙනුවෙන් සූදානම් කරමින් තිබුණා. දළදා මාලිගාවේ අලුත්වැඩියා වැඩත් ඒ අතරේ සිද්ධ වුණා. මේ සිද්ධිය වුණ ජනවාරි 25 වෙනිදා වෙනකොට නිදහස් උත්සවයට ඉතුරු වෙලා තිබුණේ දවස් 10ක් විතරයි.

දළදා මාලිගාවේ උදේ පූජාව පටන් ගත්ත විතරයි. කිරි ආහාරත් අරගෙන බැතිමතුන් හිතේ ලොකු භක්තියක් තියාගෙන මාලිගාවට ඇතුළු වෙමින් හිටියා.

හැබැයි බැතිබර බව නැතිවෙන්න ගියේ තප්පර ගාණක පොඩිම පොඩි වේලාවක්. ඊතලයක් වගේ වේගයෙන් ලොරියක් රජ වීදිය දිගේ දළදා මාලිගාව පැත්තට ආවේ පාරේ හිටපු බැතිමතුන් කීපදෙනෙක්වත් යට කරගෙන. මොකක්ද වෙන්නේ කියලා හිතාගන්නත් බැරි තරම් පුංචි වෙලාවකදි හුඟක් වේගයෙන් ආපු ඒ ලොරිය සඳකඩ පහන ළඟ පඩිපෙළත් කුඩු කරගෙන 

ගේට්ටුව ළඟ නතර වුණා.  හැමෝම උන්නෙ තිගැස්සිලා බලාගෙන. දැන් මොනා වෙයිද දැන් මොනා වෙයිද කියලා හිත හිත.

ඒ ප්‍රහාරයෙන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම මාලිගාවේ පිටත කොටස්වලටයි, අවට පරිසරයටයි විශාල හානියක් වුණා. ඒ පිපිරීම කොච්චර විසාල එකක්ද කියනවා නම් මහනුවර ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈතින් තියෙන ගම්පොළට පවා ඒ සද්දෙ ඇහුණා කියන එක අදටත් මිනිස්සු කතාවෙනවා.

හැබැයි හානිය මේකට වඩා දහස් ගුණයක් වැඩි වෙන්න තිබුණා. ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම වුණේ බෝම්බය පුපුරුවා හරින එක විතරක් නෙවෙයි. මාලිගාව ඇතුළට ආයුධ අරගෙන ගිහින් උපරිම ජීවිත හානි කරලා, දළදා වහන්සේටත් හානි කරන එක.

හැබැයි ඒ විනාසෙ වෙන්න දෙන්නෙ නැතුව තමන්ගෙ රට, ජාතිය, ආගම ඉස්සරහා තමන්ගෙ ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා හිතලා, ජීවිතේ පරදුවට තබපු ගීතානි ජයවර්ධන තමන්ගෙ අඩිය ඉස්සරහට තියනවා.

“ඒ වෙද්දි මං රාජකාරි කරමින් හිටියේ මහනුවර දළදා මාලිගාවේ පොලිස් මුරපොළට අනුයුක්තව. එදත් සුපුරුදු විදියට මං උදේ 5.55ට විතර රාජකාරියට ගියා. මගේ රාජකාරිය වුණේ ප්‍රධාන වාහල්කඩ ගාව ඉඳන් මාලිගාවට එන බැතිමතුන්ව පරික්ෂා කරන එකයි. ඒ වෙලාවේ තේවාවත් පටන් අරගෙනයි තිබුණේ. ඔය අතරේ මං දැක්කා විෂ්ණු දේවාලේ පැත්තෙන් ලයිට් දාගත්ත ලොකු ලොරියක් කඩාගෙන බිඳගෙන ඉස්සරහට එනවා. එතකොට වෙලාව 6.10යි. ඒ වෙලාවේ මාත් එක්ක රාජකාරි කරමින් හිටියේ පොලිස් කොස්තාපල් ජයසිංහ බණ්ඩාර මහත්‍තයා. මං එයාටත් ඒ ලොරිය පෙන්නුවා. එතකොට මාලිගාවට බඩු අරගෙන එන ලොරියක් වෙන්න ඇති කියලයි එයා කිව්වේ. ඒ කියලා කටගන්න ලැබුණේ නෑ ආපු වේගෙටම ඒක සඳකඩපහන දිහාට නවලා හරවලා එතැන පඩිපෙළේ වාහනේ වැද්දුවා. ඒ වෙලාවේ එතැන හිටපු දෙතුන්දෙනෙක් වාහනේට යටවුණා. කොටි ත්‍රස්තවාදීන් වාහනවල නැත්නම් ඇඟේ බෝම්බ බැඳගෙන ඇවිල්ලා සෙනඟ ඉන්න තැන්වලදි ඒවා පුපුරවා ගන්නවා කියලා අපිව කලින් දැනුවත් කරලයි තිබුණේ. ඒ නිසා ඒ වාහනය දැකපුවාම අපිට ලොකු සැකයක් ආවා.”

ඒ බිහිසුණු ප්‍රහාරයට මොහොතකට කලින් නිල් පාට ලොරියක් වේගයෙන් ඇවිත් 

මාලිගාව ඉදිරිපිටින් නැවැත්තුවා. ඒකෙන් බැහැපු සන්නද්ධ ත්‍රස්තවාදියෙක් වෙඩි තියන්න පටන් ගත්තා. ගේට්ටුව ළඟ හිටපු පොලිස් කොස්තාපල් ජයසිංහ බණ්ඩාර වහාම ඇතුළට දුවලා ගියේ 

අනිත් අයට අනතුරු අඟවන්න.

ඒ තීරණාත්මක මොහොතේ, 23 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරියක් වුණ ගීතානි ජයවර්ධන තේරුම් ගත්තා මේ වෙන්න යන විනාශය ගැන. තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුවම ගේට්ටුවෙන් එහා පැත්තට පැනලා, ත්‍රස්තවාදීන්ට ඇතුල් වෙන්න කලින් ඒක තදින් වහලා, අගුලු දාන්න ගත්ත ඒ ක්ෂණික ක්‍රියාවෙන් ත්‍රස්තවාදීන්ගේ මුළු සැලැස්මම බිඳ වැටුණා.  

ඇතුළට ඇවිත් විනාශයක් කරනවා වෙනුවට, ත්‍රස්තවාදීන්ට සිද්ධ වුණා එයාලගෙ ඒ මහා බෝම්බය ගේට්ටුවෙන් එළියෙදිම පුපුරුවා හරින්න.

පිපිරීමෙන් මුළු  නුවරම දෙදරලා ගියා. 

උදේ පාන්දර පූජාවට ආපු අහිංසක බැතිමතුන්ගේ සිරුරු කැබලිවලට විසිරිලා ගියා. හැබැයි ගීතානි බේරුණේ, ගේට්ටුවේ උඩ තිබුණු බර පිත්තල තහඩුවක් කඩා වැටිලා එයාව ඒකට වැහිච්ච නිසා. බිහිසුණු පිපිරීමෙන් ඇගේ ශරීරයට කිසිම හානියක් සිදු වුණේ නෑ. සමහරවිට ඒ දළදා වහන්සේ ගෙ අනුහස ගීතානි ජීවිතේ පරදුවට තියලා තමන්ව බේරගන්න කරපු කැපකිරීම දැක්ක නිසා වෙන්න ඇති. කම්පනයට බිහිරි වුන ගීතානි බිම ඇදගෙන වැටෙනවා.

ගීතානි ඒ මොහොතේ එතැන හිටියේ නැත්නම්, ඒ විදිහට ක්ෂණිකව ක්‍රියා කළේ නැත්නම්, ත්‍රස්තවාදීන් මාලිගාවට කඩා වැදිලා හාමුදුරුවරුන්, බැතිමතුන් මරා දමලා, සමහරවිට දළදා වහන්සේටත් හානි කරන්න ඉඩ තිබුණා කියන එක අපිට පිළිගන්නම වෙනවා. ඇගේ නිර්භීතකමෙන් බේරුණේ දළදා මාලිගාව විතරක් නෙවෙයි, අහිංසක මිනිසුන් කීප දෙනෙක්ගේ ජීවිත කියන එකත් අපිට අදටත් අමතක කරන්න බෑ. 

මොහොතකින් ඒ බිහිසුණු සද්දේ අඩු වුණාට පස්සේ  තහඩුව යට හිටපු ගීතානි අමාරුවෙන් බඩගාගෙන එළියට ආවා. ඒ වෙලාවේ එයා දැක්ක දේ දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

දුමාරයෙන් වැහිලා ගිය විශාල සුන්බුන් ගොඩක් මැද තැන තැන මැරිලා වැටිලා හිටියෙ දලදාව වැඳ පුදාගන්න ආව බැතිමත්තු.

“මට මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. මම බඩගාගෙන පොලිස් පොයින්ට් එක දිහාවට ගියා. ඒ වෙලාවේ මාත් හුඟක් අමාරුවෙන් හිටියේ. ඒත් මම අමාරුවෙන් පොලිස් පොයින්ට් එක ඇතුළට ගියා. එතැනට ගියා විතරයි මට සිහිය නැති වුණා.”

සිහිය එනකොට ගීතානි හිටියේ රෝහලේ. බෝම්බයත් එක්ක ආපු කම්පනය එයාගෙ මතකයට ලොකු බලපෑමක් කරලා තිබුණා. ඒ වෙලාවෙත් ඇගේ කන් අගුළු වැටිලා තිබුණා. අනතුරෙන් අත්පය හොඳටම තුවාල වෙලා තිබුනා. ඒ වගේම මේ සිද්ධිය ගීතානිගේ ගෙදරට ආරංචි වෙලා තිබුණේ මාලිගාවේ බෝම්බයෙන් ගීතානි මැරිලා කියලා. එහෙම මැරිලා කියලා හිතන් උන්න තමන්ගෙ ආදරණීයයා රෝහලේ ඇඳක ඉන්නවා දැක්කම හැමෝම ඇයව බදාගෙන ඇඬුවෙ දුකට නෙවෙයි සතුටට.

ගීතානිව බලන්න එවකට රටේ ජනාධිපතිනිය වෙලා උන්නු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් රෝහලට එනවා.එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයා වුණු අනුරුද්ධ රත්වත්තේ මහතාත්, යුද හමුදාපතිතුමාත් එනවා. ඊට අමතරව රටේ ප්‍රසිද්ධ තව බොහෝ අයව ගීතානිව බලන්න එනවා. 

රෝහලෙන් ගෙදර ගියාට පස්සේ ඈ මාස කීපයක්ම සේවයට ගියේ නෑ. ඒ එයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා. එයාව බලන්න කවුරු හරි ගෙදර ආවොත් ගීතානි කළේ කාමරේට ගිහින් දොර වහගන්න එක. කොහේ හරි ලොරියක් දැක්කත් එයා බය වෙලා ආපස්සට දිව්වා. බෝම්බ කම්පනය අඩු වෙලා එයා යථා තත්ත්වයට පත් වුණේ මාස හයකට විතර පස්සේ. ඊට පස්සේ ගීතානි ආයෙත් පොලිස් සේවයට ආවා.

“එදා දළදා මාලිගාවේ එච්චර දෙයක් වෙලත් ඒක උඩ තට්ටුවට ඇහිලා නෑ. ඒ හින්දා තේවාව දිගටම කරලා. ඒ මරාගෙන මැරෙන කොටි තුන්දෙනා ආපු ලොරියේ අධිපුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 – 400ක් විතර තිබිලා තියෙනවා. ඒ අයගේ ඉලක්කය වුණේ දළදා හාමුදුරුවෝ. ඒත් අපි ගේට්ටුව වහපු නිසා ඒක කරගන්න බැරිවුණා. නොබියව එදා ඒ කරපු දේට පොලිස් දෙපාර්තමේන්තුවෙන් මාව අගය කළා.”

දළදා වහන්සේව ආරක්ෂා කරන්න නොබියව ඉස්සරහට ආපු නිසා උන්වහන්සේ ඇගේ ජීවිතය බේරගත්තා කියලයි ගීතානි විශ්වාස කරන්නෙ.

අවුරුදු 23දී මේ සිද්ධියට මුහුණ දුන්නු ගීතානිට දැන් වයස 50කට කිට්ටුයි. මේ වෙද්දි ගීතානි කෑගල්ල මූලස්ථාන පොලීසියේ සේවය කරනවා. ඒ වගේම එයා  දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත්, අදටත් ගීතානි හුඟක් සතුටු වෙන එක දෙයක් තියෙනවා.

“එදා දළදා හාමුදුරුවන්ට කිසිම හානියක් වුණේ නෑ කියන එක ගැන මම අදටත් සතුටු වෙනවා. ඇත්තටම මගේ ජීවිතේ බේරුණාටත් වඩා මට වටින්නේ ඒක. මම එදා ජීවත් වුණේ දළදා හාමුදුරුවෝ නිසා. මම මගේ රාජකාරිය විශ්වාසයෙන් කළා. 

මම විශ්වාස කරනවා, උන්වහන්සේ මගේ දිහා කරුණාවෙන් බැලුවා කියලා. 

අදටත් පුළුවන් හැම වෙලාවකම මම මහනුවරට ගිහින් වඳිනවා. මගේ ජීවිතය බේරාදුන්නට මම උන්වහන්සේට ණයයි. මේ හැම අවුරුද්දකට පස්සෙත් මට හුඟක්ම සතුටක් දැනෙන්නේ දළදා වහන්සේට කිසිම හානියක් නොවු එක ගැන. මගේ ජීවිතය බේරුණු එකත් ගැන සතුටුයි, හැබැයි ඒක එච්චර වැදගත් නෑ. 

දළදා හාමුදුරුවන්ට කිසිම හානියක් නොවුණු එක තමයි මම හැමදේටම වඩා වටින්නේ.”

Related Articles

Don't Miss


Latest Articles