මෞර්යා මහ හඬින් හඬා වැටුණේ හැකි වෙර යොදා ආදිත්‍යව තරයේම වැළඳ ගෙනය.චන්දිකත් නිල්මිණීත් ඒ දෙස බලා උන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟුම් වලින් පිරුණු දෑස් වලිනි. DNA පර්යේෂණය ප්‍රතිඵල පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි දේවපුර පවුලත් චන්දික මෙන්ම නිල්මිණීත් තදින් වැළඳගෙන හඬන මෞර්යා සහ ආදිත්‍යයට හඬා ඉවර කරන්නට හැර නිහඬව බලා සිටියෝය.
පර්යේෂණයේ ප්‍රතිඵල ඇතුලත් ලිය කියවිල්ල ලබා ගැනීම සඳහා දේවක නීතිඥවරයාගේ කාර්යාලය වෙතට පිටත්ව ගියේ මීට පැය දෙකකට පමණ පෙරය. ඒ අතරතුර කාලය බලා සිටිය නොහැකිව අශිකා විසින් අභිමන්ව කාර්යාලයේ සිට නිවසට ගෙන්වා ගෙන ඔහු සමග දේවපුර නිවසට ගියේ ඒ වන විට ආදිත්‍යද මෞර්යා මුණගැසීමට එහි ගොස් සිටි බැවිනි.
පරීක්ෂණයේ ප්‍රතිඵල නීතිඥවරයා ගෙන් දැන ගත් දේවක අෂිකා ඇතුළු පිරිස චන්දික ගේ නිවසට ගිය බව දැන ගෙන ඒ දෙසට වාහනය පැදවූයේ සිතුවිල්ලේය. මින් ඉදිරියට සියලු දෙනාගේම ජීවිත වෙනස් වනු ඇත. විවාහ වූ දිනයේ සිට තමා හා අශිකා අතර වූ බැඳීම තමාගේ නොසැලකිල්ල සහ හිතුවක්කාරකම් නිසා පළුදු වී තිබුණද ඉදිරියට එය එසේ විය යුතු නැතැයි දේවක තමා හටම පොරොන්දුවක් දුන්නේ චන්දික ගේ නිවස පෙනෙන මානයේදීය. තමා සහ අශිකා අතර කුමනාකාරයේ මත භේදයන් අශිකා යනු තම ආදරය අමතක කර තමාගේ බිරිඳ වූ ගැහැණියය. අතීතයේදී ඇය ජීවත් වූයේ කෙසේ වුවද මින් ඉදිරියටවත් ඇයට සැනසීමෙන් ජීවත් වීමට තමා ඉඩ සැලසිය යුතුය.
දේවක වාහනයෙන් බැස චන්දික ගේ නිවසට ඇතුළු වන විට සියලු දෙනාම උන්නේ සාලයේය. දේවක නිවසට ඇතුළු වන බව දුටු විටම අශිකා ඔහු ඉදිරියට පැමිණ ඔහුගේ දෑතින්ම අල්ලා ගත්තේ හැඬුම් පාලනය කර ගනිමිනි. මේ මොහොත සියලු දෙනා ගේම ජීවිත වල අමතක නොවන සහ අතිශයින්ම පීඩාකාරීම මොහොත වන බව නිල්මිණී සිතුවේ නොසන්සුන් වී බලා සිටින චන්දිකගේ මුහුණ දෙස බලන අතරේය.
” අනේ මොකද වුනේ දේවක? ”
අශිකා ඇසුවේ දේවක ගේ ඇඟේ එල්ලෙමිනි.තරප්පු පේළිය පාමුල සිට බලා හිඳිනා මෞර්යාත් ආදිත්‍යයත් උන්නේද ඒ ආකාරයෙන්ම නොසන්සුන්වය. දේවක ලියකියවිල්ල ඇතුළත් ලිපි ගොනුව අත තබා ගෙන සියලු දෙනා දෙසම බැලුවේ තවත් තත්පර ගණනාවක් ඇතුළතය.
” ආදිත්‍යය කියන්නේ මගේ පුතා ”
දේවක කීවේය. හුස්මක ශබ්දයක් පවා ඇසෙන තරමේ නිහඬියාවක හිඳ සියල්ලෝම දේවක දෙසම බලාහුන් අතර දේවක තවත් යමක් කියන්නට මුව විවර කළේය.
” ආදිත්‍යයව අපට හම්බ වෙන්න ආවෙ බැඳපු මුල් කාලෙම නිසා තමයි අශිකාට හිතෙන්න ඇත්තේ එයා චන්දික ගේ කියලා. එයා චන්දිකට හුඟක් ආදරය කරපු නිසා සමහර විට ඒ ෆැන්ටසි එක එයාට පොඩි හරි සැනසීමක් ගේන්න ඇති. ඒත් ඇත්තටම චන්දික කියන්නේ ආදිත්‍යගෙ තාත්තා නෙමෙයි. මමයි ආදිත්‍ය ගේ තාත්තා ”
මෞර්යා ආදිත්‍යයව වැළඳ ගෙන මහ හඬින් හඬන්නට පටන් ගත්තේ අනතුරුවය. අශිකා එතනම සෝෆාවේ වාඩි වී දෑත් වලින් මුහුණ වසා ගෙන හඬන්නට පටන් ගත් අතර අභිමන් ගොස් ඇය අසලින් වාඩි වී ඇයව අස්වසන්නට උත්සාහ කළාය.
මෞර්යා බොහෝ වේලාවක් හැඬුවේ තමා හඬන්නේ මේ සතුටට දැයි නැත හොත් දුකකට දැයි කියා වත් හිතා ගත නොහැකිවය. මේ තරම් දිනයක් තිස්සේ දරා හුන් මානසික පීඩනය දෙපා මුල දියවී යනවාක් වැනි හැඟීමක් මෞර්යා හට දැනුණි. ආදිත්‍යය උන්නේද ඊට නොදෙවෙනි සැනසීමක් අත්විඳිමිනි. දින ගණනාවක් පුරාවට දැනුණු අවිනිශ්චිත හැඟීම මේ වන විට සහමුලින්ම පහව ගොස් ඇත. මෞර්යාට සහ තමාට විවාහ වීමට දැන් කිසිදු බාධාවක් නොමැති බව සිතමින් ආදිත්‍යය හඬා වැටෙන මෞර්යාව තව තවත් ලයට තුරුළු කර ගත්තේය.
” මෙච්චර දවසක් මේ හැමදේම ඉවසීමෙන් බලාගෙන හිටියට නිල්මිනීටයි දේවකටයි පින් සිද්ධ වෙන්න ඕනේ. තරුණ කාලෙදි අශිකයි මායි කොහොම හිටියත් අපි වෙන් වෙනකොට අපේ ජීවිත වලට ආයේ අත දාන්නේ නෑ කියලත් , කිසිම විදිහකින් බාධාවක් වෙන්නෙ නෑ කියලත් පොරොන්දු වුණා.එහෙම තියෙද්දි මේ උනේ අපි හීනෙකින්වත් හිතපු නැති දෙයක්.ආදිත්‍යය කියන්නේ මගේ දරුවා කියලා අශිකා අවුරුදු 35ක් හිතාගෙන එයා දිහා එහෙම බැලුවනං අද ඉඳන් වත් අෂිකාට පුළුවන් එයාව දේවක ගේ දරුවෙක් විදිහට බලන්න. මං නිසා ඔය දෙන්නගේ පවුල් ජීවිතේට පොඩි හරි ප්‍රශ්නයක් වුණා නම් ඇත්තටම මට සමාවෙන්න දේවක ”
චන්දික කීවේ පසුතැවීමෙනි. දේවක ඉදිරියට පැමිණ චන්දික ඉදිරියෙන් සිට ගත්තේ මදහසක් මුවේ රඳවා ගෙනය.
” මමයි ඔයාට සමාවෙන්න කියන්න ඕනේ චන්දික. ඔයා හිත හදාගෙන අශිකාගෙන් අයින් වුනේ මම එයාව හොඳට බලාගනියි කියලා විශ්වාස කරලා.ඒත් මට ඒක කරන්න බැරි උනා. මට අවුරුදු තිස් පහක් තිස්සේ කරන්න බැරි වෙච්ච දේ මං මිං ඉදිරියට කරනවා කරනවා චන්දික. මගේ පුතාව බලා ගන්න පුළුවන් තරමේ ගුණ යහපත් කෙල්ලෙක් හැදුවට ඔය දෙන්නටත් පින් ”
දේවක අනතුරුව ආදිත්‍යය වැළඳගෙන හඬා වැටෙන මෞර්යා දෙසට හැරුනේය.
” ආදිත්‍යය කියන්නේ ජීවිතේ එක පාරක් වැරදිච්ච දරුවෙක් මෞර්යා.ඒ වැරැද්දට ලොකුම හේතුවත් මම. හැබැයි මං හිතනවා ඔයා ආදිත්‍යව ජීවිත කාලෙම ආදරෙන් බලා ගනියි කියලා. මොකද මේ දවස් ටිකට මම දැක්කා ඔයා එයාට කොච්චර ආදරෙයිද කියල. ආදිත්‍යය කියන්නේ හරිම අහිංසක දරුවෙක්. මං ඔයාට ආදිත්‍යයව බාර දෙන්නෙම ලොකු විශ්වාසයකින්.ඒ විශ්වාසෙ ඔයා කඩ කරන එකක් නෑ කියලා මං හිතනවා ”
මෞර්යා ආදිත්‍යය ගෙන් මිදී දේවක වෙත ආවේ කම්මුල් වල රැඳුනු කඳුළු පිස දමන අතරේය.දේවක මෞර්යාව වැළඳ ගත්තේ හදවත තුළ තිබූ සැබෑම පිය සෙනෙහසිනි.
අභිමන් මේ සියල්ල දෙස බලා උන්නේ මැදහත් වූ සිතිණි. ජීවිතයේ පළමු වතාවට ප්‍රේමයක් දැනුනා නම් දැනුනේ ඒ මෞර්යා පිළිබඳවය. විවාහයක් වැනි බරපතළ බැඳීමක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු එක් රැස් කළේද මෞර්යා සමගය. එහෙත් ඒ වන විටත් මෞර්යා තම සහෝදරයාටම ආදරය කිරීමට පටන් ගෙන තිබීම තරමක වේදනාවක් ගෙන දුන්නද දෛවය විසින් එකිනෙකාගේ ආදර සැලසුම් ගොඩ නගා ඇති ආකාරය වෙනස් කළ නොහැකි නිසා අභිමන් ඒ සත්‍යයට මුහුණ දෙන්නට හිත හදා ගෙන උන්නේය.
දේවපුර පවුලේ සියලු දෙනාම එදින රාත්‍රියේදී චන්දික, නිල්මිණී සහ මෞර්යා සමග ඒ නිවසේ රැඳී රාත්‍රී ආහාරය ගැනීමට සැලසුම් කළ අතර ඒ සඳහ චන්දික විසින් පිටතින් ආහාර ඇනවුම් කර තිබුණි. චන්දිකට සහ දේවකට කතාබහ කිරීමට බොහෝ දේවල් තිබුණු අතර ඒ හා සමානවම නිල්මිණීට සහ අශිකාටද කතා කිරීමට බොහෝ දේවල් ඉතිරිව තිබිණි. නිල්මිණී ගේ හදවත තුළ අශිකා පිළිබඳව කිසිදු කහටක් ඉතිරි නොවී තිබීම චන්දික හට බොහෝ සැනසීමක් ගෙන දුන් අතර වැඩිහිටි සියලු දෙනාම අතර වූ අන්‍යෝන්‍ය අවබෝධය එදින රාත්‍රිය බොහෝ ආදරණීය රාත්‍රියක් බවට පත් කළේය.
මිදුලේ නතර කර තිබූ මෞර්යාගේ වාහනයට හේත්තු වී ආදිත්‍යයත් මෞර්යාත් දෑත් පටලා ගෙන උන්නේ පහන් වූ හැඟීමකිනි. ජීවිතය තමාටත් මෞර්යාටත් අසීරුම දින ගණනාවක් ගෙවන්නට දී ජීවිත කාලයටම සැනසීම උරුම කළ ආකාරය ආදිත්‍යයට කල්පනා කළේය.වැරදීමකින් හෝ DNA පර්යේෂණයේ ප්‍රතිඵලය අන් යමක් වූවා මේ සැනසීම අද තමා සතු නොවනු ඇතැයි ද සිතමින් ආදිත්‍යය මෞර්යාගේ දෑත තවත් තදින් අල්ලා ගත්තේය.
” අපි දෙන්නා හම්බ වුණ හැටි පුදුමයි නේද ආදිත්‍යය ? ”
මෞර්යා ඇසුවේ සිහින් හඬිනි. දින ගණනාවක් ඇය තුළ අසන්නට තිබූ හැඬුම්බර හඬ දැන් සම්පූර්ණයෙන්ම පලා ගොස් ඇත. ඒ වෙනුවට ඇය නැවතත් මුල් දිනයේ දක්නට තිබූ සුන්දර සිනහව ආරූඪ කර ගෙන සිටි අතර ඇගේ වත වෙනදාටත් වඩා සතුටින් දිලිසෙමින් තිබුණි.
” මේ හැමදේම මෙච්චර අමාරු වෙන්න ඇත්තේ අපි දෙන්න අපි දෙන්නට කොච්චර ආදරෙයිද කියලා අපිටම තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න වෙන්න ඇති මෞර්යා ”
ආදිත්‍යය නැවතත් මෞර්යා දෙසට හැරී ඇයව තදින් ලයට තුරුළු කර ගත්තේ එසේ කියමිනි.
……………………………………………………………………
කොටස් අසූවක් පුරාවට ඔබ ඉතා ආදරයෙන් වැළඳ ගත් ” ආදර සැලසුම් ” අදින් අවසන් වනවා. මෙතෙක් දිනක් ඔබ සියලු දෙනාගේම ප්‍රතිචාර සියල්ලක්ම මා කියවූයේ ඉතාම ආදරයෙන්. එය මෙම නවකතාව මේ තාක් දුර ගෙන ඒමට මට විශාල ශක්තියක් ගෙන දුන්නා.අදත් ඔබේ ආදරය මෙහි තබා යන ලෙස මා ආදරයෙන් මතක් කරනවා. තවත් කතාවකින් හමුවෙමු.
ඉතින් ස්තූතියි !