ඔබ දකින තුරා 30

ඒ වෙලාවේ අමාරසී සිටියේ සිය මිතුරියන් දෙදෙනා හිඳ උන් සෝෆාවේ පිටුපස හිටගෙන ය. කේෂි ව දැකීමෙන් මුළුමනින් වියළී ගියා සේ දැනෙත්දී ඕ ළඟ වූ බිත්තියට හේත්තු වී සෝෆාවේ කොනක් තදින් අල්ලා ගත්තා ය. සුවාසු දහසක් වාර ගණනක වේගයෙන් ඇගේ හදවත ගැහෙමින් තිබිණ.

“අද ඔෆිස් නැති නිසා මං ඇනෙක්ස් එකට ගියා. එතනත් නැති නිසයි මෙහෙ ඇති කියල හිතං ආවෙ. මොකද්ද දිසත් ඔයා මේ කරන වැඩේ තේරුම…”

කේෂි කතා කරන්නට පටන් ගත්තේ සිය සිතේ වන අවංක හැඟීම් යටපත් කර ගෙන ය. ඒ ඊර්ෂ්‍යාව වචන වල නො දැවටෙන්නට ඕ වග බලා ගත්තා ය. ඒ කෝපය වචන ලෙස පිට නො කරන්නට ද ඕ ප්‍රවේසම් වූවා ය. මේ මොහොතේ ඇය ක්‍රියා කරනු ලැබුවේ කපටි ගැහැනු ඉවක් විසින් ලබා දෙන ලද ඉඟි වලට අනුව ය.

“ඇයි ඕගොල්ලොත් මෙහෙම කරන්නෙ..මෙයා මැරි කරපු කෙනෙක් කියල දන්නවනෙ. ඉතිං ඇයි මේ විදිහට ගෙන්න ගන්නෙ..අපේ සතුට නැති වෙලා ගියේ..මෙයාට හදිස්සියෙම ඩිවෝස් වෙන්න ඕන වුණේ…ඒ හැම දේම පිටිපස්සෙ තියෙන්නෙ මේ හේතුව…”

ඇය දෙස බලා උන්, ඇය කියන දේ අසා උන් හැම හදවතක් ම තිබුණේ විශ්මයෙන් ඇලලී ගොස් ය. දිසත් ට තව දුරටත් මුව පියා නිහඬ ව සිටිය නො හැකි වූයේ ය.

“නිකං බොරුවට ඇක්ට් කරන්න එපා කේෂි”

“මොකද්ද ඇක්ට් කරනව කියන්නෙ…ඔයා මේ විදිහට තව ගර්ල්  කෙනෙක්ව ආශ්‍රය කරද්දි මට සද්ද නැතුව නිකං බලං ඉන්නද කියන්නෙ..ඇයි දිසත් මට මෙහෙම කරන්නෙ..මං මොන වරදක් කළාටද..”

දිසත් නො සන්සුන් ව සිටියේ ය. දිලිනි නැගිට විත් අමාරසී ගේ අතක් අල්ලා ගත්තා ය. ඇය වෙව්ලමින් සිටියා ය. ‘බය වෙන්නැතුව ඉන්න’ වාගේ බැල්මකින් දිලිනි ඇගේ උරහිස ද පිරිමැද්දාය. නමුත් අමාරසී හිටියේ ගල් ගැහී වාගේ ය.

“කේෂි. රඟපාන්න එපා. ඔයා මේ වගේ තර්ඩ් ක්ලාස් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් කියලනං මං හිතුවෙම නෑ. මොනාද දෙයියනේ මගෙං ඉල්ලන්නෙ…ඇයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැතුව පස්සෙං පන්න පන්න මෙහෙම වද දෙන්නෙ…”

“ඔයා වෙනස් වුණේ ඔය ඔෆිස් එකට ගියාට පස්සෙ”

එසේ කියූ කේෂි අජිත් හා නිර්මලා දෙසට යොමු වූවා ය.

“ඔය දෙන්නටත් ඉන්නෙ මගෙ වයසෙම වගේ දුවෙක් නේද…ඒක නිසා මේ වගේ දේවල් කරන්න එපා. දිසත් වගේ බැඳපු කෙනෙක්ව මෙහෙම ගෙන්න ගන්න එක ලොකු වැරැද්දක්. ඔයගොල්ලංගෙ දුවට කසාදයක් කරල දෙන්න යන්නෙ තව කෙනෙක්ගෙ පවුල කඩලද…හොඳක් සිද්ද වෙන්නෑ මේ කරන දේට..”

ඇය පණ නැති ව යනවා සේ අමාරසී ට දැනිණ. ඇගේ අත සීතල වී යන හැටි දිලිනි ගේ අතට දැනිණ. මේ අවසාන තත්පරයේ දිසත් කෝපාවිෂ්ඨ ව කෑ ගැසුවේ ය.

“කේෂි මෙතනිං යනව යන්න බොරුවට රඟන්නෙ නැතුව. තමුන් එක්ක ජීවත් වෙන්න මං කොයි තරං දුකක් වින්දද තමුන් මොනාද කළේ කියල දැන ගත්තොත් මේ මිනිස්සු මගෙං අහයි මේ වගේ ගෑනියෙක් එක්ක මෙච්චර කල් හිටියෙ මොන හරක් කමකටද කියල. මගෙ මනුස්ස කමත් එක්ක සෙල්ලං කරන්න හදන්නනං එපා”

ඇගේ මුවට අවඥා සහගත සිනහවක් ආවේ ය. ඒ සමගින් ම ගිනි පිටවෙන දෑසකින් අමාරසී දෙස බැලූ ඕ හැරී නික්ම ගියා ය.

කාටත් හුස්මක් වැටුණේ ඉන් පසුව විය යුතු ය.

“අයිම් සොරි. මට සමා වෙන්න අංකල්. එයා ඔය කළේ ලොකු රඟපෑමක්. මට තේරෙන්නෑ..මට තේරෙන්නෑ මේ මනුස්සය…සොරි අමා…ඔයාගෙ දවස..”

ඒකට කමක් නෑ කියනා මඳහසකින් අමා හිස දෙපසට සැලුවා ය. මොනවා හෝ ඔහු සැනසෙන යමක් කියන්නට ඕන වුණත් ඇගේ උගුරේ පේෂින් ක්‍රියා කළේ නැත. ස්වරාලයේ ස්වර තන්ත්‍ර කම්පනය වූයේ නැත. ඒ වෙනුවට මුළු මහත් ඇය ම කම්පනය වී ගෙන සිටියා ය.

“මට තේරෙන්නැත්තෙ ඇයි එයා මට ඩිවෝස් එක නොදී මෙහෙම කරන්නෙ  කියලයි”

අජිත් විත් දිසත් ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය. ඔහු ගේ ඇස් වල කඳුළු දිළිසෙන හැටි අජිත් ට දැකිය හැකි විය.

“පුතා කලබල නොවී ඉන්න. මිනිස්සු හරි පුදුමයි. ඒව එහෙම තමයි”

“අඩු ම ගානෙ එයා මෙහෙම කැත වැඩ කරන්නැතුව ඉන්නවනං අංකල්..”

තවත් කතා කර ගත නො හැකි ව සේ දිසත් සිය අතකින් දෑස් මුල පිසිමින් බිම බලා ගත්තේ ය. අමාරසී ට ඕනෑ වූයේ ඔහු ට තුරුලු ව ඉකි බිඳිමින් හඬන්නට ය. මේ මොහොතේ ඔහු ගේ පිරිමි පපුවෙහි ඇවිළෙන ගින්දර ගැනත්, ලෝකයට පෙන්විය නො හැකි ව ඒ ඇස් කෙවෙනි වල හිර වී ඇති කඳුළු ගැනත් ඇය ට මැනවින් දැනිණි. නමුත් ඇය කඳුළු දරා ගෙන සිටියා ය. තව දුරටත් ඔහු අසරණ කළ යුතු නැත!

“අපි දන්නවනෙ…මමනෙ පුතාට ඉන්වයිට් කළේ…”

තාත්තා ව බදා ගන්නට තරම් ඔහු ගැන ස්නේහයකින් අමා ගේ පපුව පිරිණි. මේ වගේ නිමේශ වල දරුවන්ට ඕනෑ වන්නේ එහෙම අවබෝධයකින් කටයුතු කළ හැකි පිය වරුන් ය. මවු වරුන් ය. “ඒ වුණාට පුතා වැඩිපුර මෙහෙ එන්න එපා. මොනා වුණත් රසීට ඒක හොඳ නෑනෙ” යි කියා ගන්නට නිර්මලා ගේ දිව නලියෑවේ ය. නමුත් ඇගේ කුළුණුබර හිත ඊට ඉඩ දුන්නේ නැත. කිව යුතු වී ද මේ ඊට නිසි වෙලාව නොවේ යයි ඇය සිතුවා ය. හදවතක් කියන්නේ උඩ පැන පැන තැළිය යුතු යමක් නොවන බව, ඒ තරම් දුරට පොත පත ඉගෙන නො ගත්ත ද ඇය දැන සිටියා ය.

තවත් ටික වෙලාවක් අජිත් සමගින් කතා කරමින් සිටි දිසත් නික්ම ගියේ සමු ගත්දී දෙන්නට හිතා උන් උපන් දින හාදුව හෝ අමාරසී ට නොදී ම ය.

ඇය කඳුළු වලට ඉඩ දුන්නේ ඔහු නික්ම ගිය පසුව ය. යහනේ මුණින්තලා වැටුණු ඕ කොට්ටයට කඳුළු උරා ගන්නට හැරියා ය.

“හාපෝ..මහ චීප් ගෑනියෙක්. එයා හිතන්න ඇති අර විදිහට බබා වගේ කතා කළහම අපි ඔක්කොමල එයා හරි හොඳයි දිසත් තමයි වැරදි කියල හිතයි කියල. අපි බත් කන හරක් නෙවෙයිනෙ. එයාට ඔය තරං ආදරෙං දිසත්ට තේරුං කරල දෙන්න ඕන වුණානං ඒක කරන්න තිබුණෙ දිසත් ගෙදරට එනකල් ඉඳලනෙ. මේ විදිහට රහස් පොලිස්සියෙං වගේ අනුංගෙ ගෙවල් වලට පැනල කිඹුල් කඳුළු හලන්න ඕන නෑනෙ. මහ ජරාම ගෑනියෙක්. ගෑනු කමටත් නින්දා කරන”

දිලිනිත් තරුෂිත් මේ වෙලාවේ කේෂි ගේ රංගනය වටහා ගැනීම හා ඇය ව ප්‍රතික්ෂේප කිරීම අමාරසී ට සැනසීමක් විය. යම් හෙයකින් ඔවුන් ද අම්මා ද කේෂි ට රැවටී ඇය ට අනුකම්පා කරාවිද යන බිය ටික වෙලාවක සිට අමාරසී තුළ විය. එහෙම වුණොත් සියල්ල වඩා දුෂ්කර වනු ඇත.

“මට කමක් නෑ මට මොනා කිව්වත්. ඒත් එයාට තිබුණෙ අම්මටයි තාත්තටයි අර විදිහට කතා නොකර ඉන්න. ඒ දෙන්න කොයි තරං අපහසුතාවෙකට පත් වුණාද කියල මං එයාලගෙ මූණු වලින් දැක්ක දිල්. ඒක කොච්චර අසරණ හැඟීමක් ද තරූ. මේ ලෝකෙ කිසිම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දුවෙක් නිසා එහෙම අසරණ වෙන්න ඕන නෑ. දුවෙක් කවදාවත් එයාගෙ දෙමව්පියො එහෙම අසරණ වෙන දෙයක් කරන්නත් හොඳ නෑ…”

“ඔයාට ම දොස් කියා ගන්න එපා”

දිලිනිත් තරුෂිත් යෙහෙළිය සැනසීමට උත්සාහ කළහ.

“ඕන කෙනෙකුට අයිතිය තියෙනව තමන්ට ආදරේ දැනෙන කෙනාට ආදරේ කරන්න. කේෂිට බැරි වුණාට එයාගෙ ගෙදර එයාගෙ කාමරේ එයාගෙ ඇඳේම හිටිය මිනිහව එයාගෙ ජීවිතේ රඳෝ ගන්න…ඒක ඔයාගෙවත් දිසත්ගෙවත් වරදක් නෙවෙයි”

අමාරසී හඬා හෙම්බත් ව සිටියා ය. යෙහෙළියන් දෙදෙන නික්ම ගිය පසුත් ඇය කාමරයෙන් පිටතට ආවේ නැත. නිර්මලා පෙරැත්ත කළ ද ඇය රෑ කෑම කෑවේ නැත. මේ තරම් හඬන්නේ මන්ද කියා හෝ ඇතැම් විට ඇය ට නො දැනිණි. යටි හිතේ වන බයක් විසින් ඇය තැති ගන්වනු ලැබ තිබිණි. දිසත් මුලින් ම දිවැසින් දැක වාගේ මේ ඇත්ත කීවේ ය. ඇය ට නින්දා විඳින්නට විය හැකි බව කීවේ ය.

ලෝකයා ආදරය තේරුම් ගන්නේ නැත්තේ ඇයි? කේෂි මේ විදිහට ලෝකය අභිමුව ශුද්ධවන්ත පාද පරිචාරිකාව ගේ භූමිකාව රඟ දක්වනු ඇත. එතකොට කිසිවෙකු ඇගේ දොස් දකින්නේ නැත. ඇය අවිහිංසක බිරිඳ ය. අසරණ බිරිඳ ය. ඇගේ සැමියා ව කපටි වංචනික ගැහැනියක විසින් රවටා ගෙන තිබේ. ඇය අනියම් බිරිඳ නම් වන්නී ය. ප්‍රේමය අනියම් වන්නේ කෙසේ දැයි සිතන්නට අමාරසී ට උවමනා විය. ඈ මොනවා හිතුවත් ලෝකයා සිතනයුරු වෙනස් කළ නො හැකි ය. ඇය පව්කාර ගැහැනිය වනු ඇත. පවුලක් කඩා බිඳ ගැහැනියක අසරණ කළ දුෂ්ට ගැහැනිය වනු ඇත.

දිසත් කුළී නිවසට යන ගමන් රිය නවතා ගෙන කේෂි ට ඇමතුමක් ගත්තේ ය. ඇය පිළිතුරු දුන්නේ ජයග්‍රාහී සතුටකිනි.

“තරහ ගිහිං ඇත්තෙ නේ..”

“ජරා වැඩ කරන්නෙපා මනුස්සයො..”

“දිසත්…මේක තේරුං ගන්න. මගෙ එක කඳුළකට පුළුවන් මුළු ලෝකෙ ඉස්සරහම ඔයාව අන්තිම වැරදිකාරයෙක් කරන්න”

“ඉතිං කරනව. ඕන දෙයක් කරනව. මොනා කළත් මං ආයෙ තමුන්ගෙ කසාද මිනිහ නෙවෙයි. අන්න ඒකත් මතක තියා ගන්නව. තමුං මගෙ ඉවසීම නැත්තටම නැති කළා. ආයෙත් මගෙං කිසිම සමාවක්වක් අනුකම්පාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා”

ඔහු එහෙම ම ගියේ සිය මිතුරු නීතීඥවරයෙකු වෙත ය. ඒ දික්කසාද නඩුව ගොනු කරවා ගැනීමට ය.

අමාරසී යහනට වැටී සිටියා ය. නමුත් වෙනදා සේ ඇය දත් මැද පිරිසිඳු වී රෑ ඇඳුම ඇඳ ගෙන තබා කාමරයේ දොර වසා ගෙන හෝ නැතිව ය නිදන්නට සූදානම් වූයේ. කාමරයේ දොරකඩ ට ආ නිර්මලා බලා සිටියේ පපුව පැලෙන්නට එන වේදනාවකිනි. අම්මා කෙනෙකු ට තමන් ගේ දියණිය එවන් අවමානයකට පාත්‍ර වෙන හැටි බලා සිටීම පහසු නැත.  විවාහයකට කැමති වී ත් ඇය යළි එය ප්‍රතික්ෂේප කළේ මෙහෙව් ගින්දරක් උරුම වන්නට නියමිත ව තිබි නිසා වන්නට ඇතැයි නිර්මලා සිතුවා ය. ඇගේ හදවතින් ගිළිහුණු සුසුම කෙතරම් උණුහුම් දැයි, ඒ වෙලාවේ එතැනට පැමිණි අජිත් ට දැනුණේ ය. ඔහු සිය බිරිය ගේ කටී පෙදෙස යන්තම් පිරිමදිමින් දියණිය දෙස මඳ වෙලාවක් බලා සිටියේ ය. ඊළඟට කාමරයේ දොර හෙමිහිට වසා දැමුවේ ය.

“ඔයා කිව්වෙ ඇත්ත”

නිර්මලා මුණිවත රැක්කා ය.

“ඇති යන්තං මං කියපු දෙයක් ඇත්ත වුණා”

කියා විහිළුවක් කරන්නට හෝ සවියක් ඇගේ හිතේ වූයේ නැත. සිවිලිම දෙස බලා ගෙන හිටියා මිස ඔවුන් දෙදෙනා වෙත ම නින්ද ළඟ පාතක තිබී නො පැමිනුණි.

“අපි කෙල්ලව අත් අරින්න නරකයි නිර්මලා. අපි එයා එක්ක ඉන්න ඕන. අපි එයාට චෝදනා කරන්න නරකයි. මේක හැම කෙනෙක්ම එයාව අත් අරින වෙලාව වෙයි. හැමෝම එයාට මහ නින්දිත විදිහට දොස් කියන වෙලාව වෙයි. හැමෝම එක පාටක කණ්ණාඩියකින් එයා දිහා බලන වෙලාව වෙයි. එයාට මැරෙන්න හිතෙයි. මේ ලෝකෙං පැනල දුවන්න හිතෙයි. අඬාගෙන ගෙදර එයි. ඒත් ඒ හැම වෙලාවෙම අම්මයි තාත්තයි විදිහට අපි එයාව තුරුල් කර ගන්න බලන් ඉන්න ඕන. අපේ දුවව මොන තත්වෙං වුණත් කොන්දේසි නැතුව පිළිගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක එයාට දැනුණ දාට මැරෙන්න ඕන කියල එයා හිතන එකක් නෑ. කවුරු අවිශ්වාස කළත් අම්මයි තාත්තයි එයාව විශ්වාස කරනකොට…කොතනින් ප්‍රතික්ෂේප වුණත් ආදරෙං එයාව පිළිගන්න ගෙදරක් තියනකොට..ලෝකෙම එකතු වෙලා නින්දා කළත් අපේ දුවට ජීවත් වුණා ඇති කියල හිතෙන එකක් නෑ”

නිර්මලා උඩුකුරු ව සිටිමින් ම සිය දකුණත පපුව මතින් ගෙන අජිත් ගේ දකුණු අත් ගොබය තද කොට අල්ලා ගත්තා ය. මේ වෙලාවේ දුවට පමණකුදු නොව අම්මා ට ද ඔහු ගේ හයිය අවැසි වී තිබිණි.

“ඒ දෙන්න ආදරේ කරනව කියල මට හිතෙනව. සමහර විට තාම ඒ දෙන්නම ඒක දන්නෙත් නැතුව වෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලංගෙ හිත් දැනටමත් ආදරේ කරන්න පටන් අරං ඉවරයි අජී. මේ වෙන දේවල් නිසා…ඒගොල්ලන්ට ඒක තදින් දැනෙයි”

අජිත් සිය වමතින්, ඔහු ගේ දකුණත් බාහුව අල්ලා ගෙන සිටි නිර්මලා ගේ අත තද කොට ග්‍රහණය කර ගත්තේ ය..

“මට බයයි අජී..”

“අපි මේකට මූණ දෙමු නිර්මලා”

නින්ද ගියේ කොයි වෙලාවක ද කියා කිසිවෙකු දන්නේ නැත. උදෑසන අරුණැල්ලත් එක්ක අවදි වූ අමාරසී අත පත ගා යහන මත වූ දුරකතනය සොයා ගෙන දිසත් ට ඇමතුමක් ගත්තා ය.

“මං…අද එන්නෙ නෑ”

ඇගේ හඬ බිඳී ගියේ ය. මෙහෙම දුකක් උහුලනවාට වඩා මැරෙන එක පහසු විය හැකැයි ඇය ට සිතිණි.

“මං කොහොමද මැණික ඔයා දකින්නැතුව ඉන්නෙ..”

“මටත් බෑ ඉතිං…”

කඳුළු පිසිමින් නැගිට ගත් ඕ කාර්යාලයට යන්නට සූදානම් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles