ඉඩෝරයක මල් වැස්සක් – 04

0
1102

ඉසුරි නිවසින් පිටවීමට ප්‍රථමව අම්මා නිවසට පැමිණියාය. ඒ මුහුණෙහි වූයේ වෙහෙසකර බවකි. රාත්‍රිය පුරා නිදි වැරූ බවකි. යුවතිය  උන්නේ කාර්යාලයට යාම සඳහා තම බත් පත බෙදා ගනිමින්ය. හාල් මැස්සන් බැඳුමත්, පරිප්පු ව්‍යාංජනයක්, මුකුණු  වැන්නා කොළ මැල්ලුමත් ඕ සකස් කළේ කිරි අම්මාගේත් උදව් ඇතුවය. වැඩිපුර ටිකක් බෙදා ගත්තේත් සියල්ලෝම එක්ව ආහාර ගත් නිසාය.

නැගණිය පාසල් ගියේ මින් ටික වේලාවකට පෙරය. මල්ලී තවමත් කාමරය තුළය. පෙරදා රාත්‍රියේ ඔහු නිවසට පැමිණියේ දහයට පමණය. මේ ගැටුමක් ඇතිකර ගැනීමට හොඳ වේලාවක් නොවන නිසා ඉසුරි ඉවසා සිටියාය. එහෙත් ඒ සිත වූයේ සොයුරා ගැන කෝපයෙන්ය.

ඉසුරි සමග ඕනෑවට එපාවට වදනක් දෙකක් කතා කළ අම්මා කාමරයට රිංගා ගත්තේ ඇඟ සෝදා ගත්තාට පසුවය. යුවතිය  නිවසින් පිටවන විටත් ඈ උන්නේ දුරකථන ඇමතුමකය. මල්ලී ගැන කතා කරන්නට දෙතුන් වතාවක්ම තිරපට ඈත් කර කාමරයට එබී බැලුවත් ඒ සෑම වතාවකම අම්මා ඉසුරි දෙස බැලුවේ නොපහන් බැල්මකින්ය. කොහොමටත් තමා  දුරකථනයේ සිටී නම් කිසිවෙකු ඊට බාධා කරනවාට රේණුකා කැමති වූයේ නැත. එනිසාම ඈ “යන්නම්”යැයි පමණක් පවසා නික්ම ගියාය.

පෙරදා තරම් චකිතයක් කාර්යාලයට ඇතුළු වද්දී යුවතියට දැනුනේ නැත. පෙර දින සේම  වේලාසනින් පැමිණ සිටියේ ඇයය. 

“ගුඩ් මෝර්නින් සර්..”

යුවතිය සිය අසුනෙන් නැගිට පැවසූයේ කුලසේකර කාර්යාල කාමරයට ඇතුළු වද්දීය. 

“ගුඩ් මෝර්නින් ඉසුරි. උදෙන්ම ඇවිල්ලා ඒක හොඳයි. හොඳ පුරුද්දක්.”

ඔහු පැවසුවේ  මුව මත මදහසක් තබාගෙනය. එම අංශයේ සේවය කළ අනිත් අයත් කාරුණික අයවලුන් විය. එනිසාම ඉසුරිට අපහසුවක් වූයේ නැත. ඇගේ  ජංගම දුරකථනය නාද වූයේ පාරින්දගේ අංකය සටහන් කරමින්ය. ඕ වහවහා ඇමතුම මඟ හරින අතරේම “මම ඔෆිස් එකේ ඉන්නේ” යැයි සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යැව්වාය.

“ඇයි ඕක හිර  ගෙයක්ද කතා කරන්න බැරි”

එහා පසින් එවා තිබුණේ ඒ කෙටි පණිවිඩය යි. සුසුමක් මුදා හල ඉසුරි කිසිත් පවසන්නට නොගියාය. ලොකු නැන්දා ඊයේ නැගණිය හමුවේ තමාගේ රැකියාව බාල්දු කරමින් කතා කළ බව පැවසූයේ නැගණියමය. ඉසුරි දැන් මේ කිසිවකින් සිත රිදවා ගන්නේ නැත. 

“ඊයේ මල්ලි ගෙදර එද්දි රෑ වුනා නේද. ඌ ටවුන් එකේ රස්තියාදු ගගහා ඉන්නවා මගේ යාලුවෙක් දැකල තියෙනවා. අම්මට කියනවා ටිකක් අවවාද කරන්න කියලා.”

යළිත් ඒ කෙටි පණිවිඩය පැමිණියේ විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. 

“ලොකු අයියේ ඔයා කිව්වොත් ටිකක් අහයි. ටිකක් හෙවිල්ලෙන් ඉන්න.”

ඉසුරි එසේ පැවසුවත් එයට පිළිතුරු ලැබුණේ නැත. ඊයේ රාත්‍රියේත් ඔහු අසලින් ඇයට දැනුනේ සිගරට් සැරකි. මේ ඔහු සිටින්නේ නිතර සොයා බැලිය යුතු වයසකය.

බිනර පැමිණියේ පෙරදාටත් වඩා විනාඩි කිහිපයක් ප්‍රමාදවය. ඔහු ඇඳ උන්නේ මිල අධික කමිසයකි. ඔහු කාර්යාලයට එද්දී දැනුණු විලවුන් සුවඳ බොහෝ වේලාවක් යනතුරු ඒ කාර්යාල කුටිය පුරා පැතිර තිබිණ. තරුණයා මෙහි සේවයට පැමිණියත් යමක් කමක් ඇති පවුලක අයෙකුයැයි ඉසුරිට සිතුනේ එනිසාය. යුවතිය හෙමි හෙමින් කුලසේකර පැවසූ වැඩ කොටසට හුරු වෙමින් උන්නාය. ඇයට තිබුණේ පිට පළාත්වල වූ ශාඛාවලින් පැමිණෙන සේල්ස් රිපෝට් අධ්‍යනය කර අදාල අංශ වෙත යවන්නටය. 

බොහෝ වේලා ගතව ගිය පසු ඇය බිනර දෙස බැලුවේ පෙරදා සේම ඔහු අපහසුවෙන් එහෙටත් මෙහෙටත් ඇඹරෙද්දීය. 

“ඉවර නැද්ද..”

පෙරදා සේම ඇය ඇසුවේ මද හඬකින්ය.

ඔහු හිස වැනුවේ නැතැයි කියන්නටය. 

කුලසේකර සිටියේ අලුතින් සේවයට පැමිණි තමාත් ඔහුත් ගැන විමසිල්ලේ  බව ඉසුරි දැන උන්නාය. ඔහුගේ මේ ප්‍රමාදය සහ නොසැලකිල්ල නිසා සමහරවිට ඔහුට රැකියාව අහිමිව යන්නට පවා ඉඩ ඇතැයි ඇයට සිතුණේ එවේලෙහිය. දෙමාපියන්ගේ තරාතිරම කුමක් වුවත් ඔවුන් බිනරව මෙවන් තැනක රැකියාවට එවන්නට ඇත්තේ තරුණයෙකු ලෙස ඔහු ස්ථාවර විය යුතු බව දැන උන් නිසා විය යුතුය. මෙම රැකියාව ඔහුට කොතරම් වටීද යන්න පිළිබඳව ඇය දැන උන්නේ නැත. එහෙත් රැකියාවක් වඩා වටින්නේ පිරිමියෙකුට බව ඇය විශ්වාස කළාය. 

කාර්යාලයේ උන් සැවොම ප්‍රියමනාපය. නිරතුරුවම සියල්ලන්ගේම මුහුණුවල සිනහවක් රැකෙන්නේ ඔවුන් සතුටින් සිය රාජකාරිය ඉටුකරන නිසා වියය යුතුය. එනිසාම එකිනෙකාට උදව් කරගැනීම තම යුතුකමක්යැයි ඉසුරි විශ්වාස කළාය.

“කොතනද හිර වුණේ.”

යළිත් යුවතිය ඇසුවේ තත්පර කිහිපයක් ගෙවී ගියාට පසුවය. 

බිනර පිටරට විශ්ව විද්‍යාලයක උපාධිධාරී තරුණයෙකි. එය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියකි. පොතේ පතේ දැනුම තිබුණාට ඔහුට ආයතනයක වැඩ කර පළ පුරුද්දක් වූයේ නැත. තමා උගත් දේවල් වලට අනුව මේ ගිණුම් කටයුත්ත එතරම් දෙයක් නොවේ. එහෙත් තත්පර කිහිපයක් ඒ වෙනුවෙන් වෙහෙස වන්නට ඔහුට සිතුනේ නැත. සියල්ලටම වඩා ඔළුව එකතැනක වූයේ නැත.

“පටන් ගත්ත තැනම.”

“මේල් එකක් එවන්න මං හදලා දාන්නම්.”

අවසන ඇය පැවසූයේ අද දවසේත් ඔහුට උදව් කරමියැයි සිතමින්ය. ඉසුරිට තම රැකියාව ගැන බියක්ද විය. මේ සියලු තැන්වල සී සී ටී වී කැමරා සවිකර ඇති බව ඇය දනී. එනිසාම ඔහු හා කතා කර හැක්කේත් ඔහුට උදව් කල හැක්කේත් සීමා සහිතවය. ඔහු තමාගේ රාජකාරිය ඉටු කරන්නට යම් ප්‍රමාණයකින්වත් වෙහෙස නොවෙනවායැයි ඇයට සිතුණේ සිත තුළ උපන් අපැහැදීමක්ද සමගින්ය. 

අවසන ඇය ඔහුගේ රාජකාරියද ඉටු කළේ අඩ හෝරාවක් ගෙවී යන්නට මත්තෙන්ය. 

බිනර ඇයට ස්තුති කළේ ඇසක් ඉඟි මරමින්ය. ඒ බැල්ම යුවතියගේ සිත් නොගත්තාය.

අහස් නිල් පැහැ සාරි හැට්ටයකට සුදු පැහැයත් අහස් නිල් පැහැයත් සටහන් වූ බතික් මෝස්තරයේ සාරියක් ඇඳගත් හංසිකා ගිණුම් අංශයට පැමිණියේ එවේලෙහිය. කාර්යාල කාමරයෙහි දොර අරිද්දීම ඉසුරී ඇයව හඳුනා ගත්තාය. සම්මුඛ පරීක්ෂණයේ සිටි  ආයතන ප්‍රධානියාත්, කුලසේකර මහතාත් තවත් නිලධාරියෙකුත් අතර ඇය සිටියා ඉසුරිට මතකය. ඕ ඇයව දකිද්දීම නැගී සිටියේ එනිසාය. 

“කොහොමද ඉසුරි…”

කුලසේකර මහතා උන් කාර්යාල කාමරයට ඇතුළු  වන්නට ගිය ඇය යළි හැරී ඉසුරි දෙස බැලුවේ සිනහසීගෙනය. 

“හොඳයි මිස්.”

“මිස්ටර්  කුලසේකර ඔයාලට උදව් කරනව නේද.?”

“අනේ ඔව් මිස්.”

“වැඩ ටික කරගෙන යන්නකෝ මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් මට කතා කරන්න.” 

“හොඳයි මිස්..”

ඇය ඇසක් ඉඟිමරා බිනර දෙස බලන අයුරු ඉසුරි දුටුවේ නැත. ඕ යළිත් තම අසුනෙන් අසුන් ගත්තේ හංසිකා කුලසේකරගේ කාමරයට ඇතුළු වූවාට පසුවය.

“ඇයි ඔයා නැගිට්ටේ. එයා මහණ වෙච්ච කෙනෙක් නෙමෙයිනේ.”

ඉසුර් දෑස් විසල් කරගෙන බිනර දෙස බැලුවේ ඔහු එසේ අසද්දීය.

“එයා  මේ ඔෆිස් එකේ ප්‍රධාන තනතුරක් දරන කෙනෙක්. ඔයා දන් නැද්ද. ඊයේ සහන් කිව්වා එයා ජයවර්ධන සර්ගේ දුවෙක්ලු.”

“ඒක මාර වැඩක්නේ. ඔයා මෙතන කරන්නේ ජොබ් එකක්. අනිත් එක එහෙම බැලුවහම ඔයත් මෙතන ඒ ගොල්ලන්ට සේවයක්නෙ කරන්නේ. කවුරු උනත් මොකටද අමුතු ගෞරව”

“ගරු කරන්න ඕන මිනිස්සුන්ට ගරු කරන එකවත් පිදිය යුතු මිනිස්සුන්ට පුදන එකවත්  මදිකමක් කියලා හිතන්න එපා. ඒ ගොල්ලෝ මෙතන ආයතන ප්‍රධානීන් වගේම අපි මෙතන සේවකයෝ.” 

එවේලෙහි ඔහු අවඥා සහගත අයුරින් සිනහසෙනු  ඉසුරි දුටුවාය. 

“මට පේන විදිහට මෙයා නාහෙට අහන්නේ නැති කෙනෙක් වගේ.”

අවසන ඇය එසේ සිතුවේ නිහඩවය. තමා සමඟම අලුතින් සේවයට පැමිණි ඔහු හා එක්ව සේවය කරන්නට ලැබීම ඉසුරිට සැනසීමක් හා සතුටක් විය. ⁣ඒ දෙදෙනාම ආධුනික අයවලුන් වූ නිසාය. එහෙත් මේ දින දෙක තුළදී ඇයට ඔහුගේ යහපත් යැයි සිතන්නට කිසිවක් දුටුවේ නැත. එනිසාම ඔහු හා ඇසුර සීමා කළ යුතු යැයි ඇය විශ්වාස කළාය. මෙවන් අය තව කෙතරම් කාලයක් රැකියාවට පැමිණේදැයි යන්න පිළිබඳව පවා විශ්වාසයක් නොවේ. 

ඔහු කාර්යාලයෙන් පිටවූයේ දිවා විවේකයට පෙරය. යළි පැමිණියේ විවේකය  අවසන්වීත් හෝරාවක් පමණ ගෙවී යද්දීය. පුද්ගලිකව කුලසේකර ඔහුව කැඳවන අයුරුත් යමක් පවසන අයුරුත් ඉසුරි දුටුවාය. “හොඳ වැඩේ..” යැයි සිතුවිලි පැවසුවත් ඊළඟ තත්පරයේ ඔහුට රැකියාව අහිමිව යාවියැයි බියක් ඇයට ඇති විය.

“ටිකක් පරිස්සමට වැඩ කරන්න. අපරාදේ ජොබ් එක නැති උනොත් මෙතන කරදරේකුත් නැහැනෙ. මේ වගේ තැනක් ලේසියෙන් හොයා ගන්න හම්බවෙන්නේ නෑ. සමහරවිට  මේ ඔයා ආපු පළවෙනි තැන වෙන්න ඇති. හැබැයි මම ඉහේ කෙස් ගානට ඉන්ටර්විව් වලට  ගියපු නිසා ඒකෙ අමාරුව හොඳටම දන්නවා”

ඔහු යළි තම අසුනට පැමිණෙනතුරු බලා උන් ඇය පැවසූයේ එනිසාය. දෙබැම ඉහළ නංවාගෙන හිනැහුනා  මිස බිනර  කිසිවක් පැවසූයේ නැත. 

..කීව නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි.. යනුවෙන් අත්තම්මා නිතරම සොහොයුරාටත් සොහොයුරියටත් පවසන අයුරු ඉසුරිට සිහි වූයේ එවේලෙහිය. 

අවසන ඔහු දෙස නොබලාම ඈ තම වැඩ කොටස කරගෙන ගියාය. බිනර සවස් වරුවම ගතකළේ සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ක්‍රීඩාවක නිරතවී ගෙනය.

ඉසුරි තාත්තාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ රාත්‍රියේය. ඒ දින කිහිපයක්ම එසේ කරම්දෝ නොකරම්දෝ යනුවෙන් සිතා බැලුවාට පසුවය. මල්ලී එදිනත් නිවසට පැමිණියේ බොහෝ රෑ බෝ වූවාට පසුවය. අම්මා සේවයට ගියේ දහවල බව පැවසුවේ කිරි අම්මාය. සමහරවිට මධ්‍යම රාත්‍රියේ  ඇය නිවසට පැමිණෙන්නටත් නොපැමිණෙන්නටත් ඉඩ ඇත.

“කියන්න ඉසුරි..”

ඉසුරි ගන්නා දුරකථන ඇමතුමට ඔහු කවදාවත් “හලෝ” යැයි පවසන්නේ නැත. ඒ හඬෙහි ලෙන්ගතුකමක් තිබේද නොතිබේද යන්න පිළිබඳව ඉසුරි කිසිම විටෙක සිතා තිබුණේ නැත. ඉඳහිට යමක් තාත්තාගෙන් ඉල්ලූ විටක ඔහු ඒ යුතුකම පැහැර හැරියේත් නැත. තමාත් සොහොයුරියන් දෙදෙනාත් වෙනුවෙන් ඔහු නඩත්තු මුදල් ලෙස තිදෙනාගේ බැංකු ගිණුම් වලට රුපියල් පන්දහස  බැගින් තැන්පත් කරයි. එය පැහැර හැරියේත් නැත.

“උඹලයි තාත්තාගේ රුපියල් පන්දාහෙන්  ජීවත් වෙන්න හිටියනම් කන්න නෙමෙයි ලෙවකන්නයි වෙන්නේ.” 

අම්මා එසේ පැවසූ වාර ගණන කොපමණක්දැයි  ඉසුරිට මතකයක් නොවේ.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here