“ගයාන් එහෙම කිව්ව වෙලාවෙ මට ඒකට එකපාර කැමතිවෙන්න තිබ්බෙ බං. මං රණ්ඩුවෙච්ච හන්දනෙ දැන් එයා මගෙ කෝල් ආන්ස්වර් කරන්නෙත් නැත්තෙ” කියල නිශානි එක්ක කියන ගමන් මං කලේ හොටු පෙරන් අඬන එක. අදට මේ හැමදේම වෙලා සතියකටත් වැඩියි. එදා ගයාන්ට කතා කරලා විස්තරේ කියලා ගයාන්, “ඔය ළමයව නැති කරානම් ප්‍රශ්නෙ ඉවරනෙ. ළමේක් කිව්වට ඔතන තාම ළමේක් නෑනෙ. ඕක අස් කරලා දාමු. මං දන්න තැනක් තියෙනවා. මං එතනට කතාකරන්නම්” කිව්වට පස්සෙ මෙච්චර වෙලා කරුමයක් විදියට හිතුව බඩේ ඉන්න ළමයව “කොහොමද එහෙම මම නැති කරලා දාන්නෙ?” කියලා මට තප්පර ගාණකට හිතුනා. ඒත් ඒක ආදරේ එක්කහු වෙච්ච හැඟීමක් නෙවෙයි. අවුරුදු ගානක් තිස්සෙ පුළු පුලුවන් හැම වෙලාවකම අපිව පන්සලට දක්කගෙන ගිය අපේ අම්මලා තාත්තලයි ආගමයි එක්කහු වෙලා අපේ හිත අස්සෙ පැලපදියම් කරන්න හේතුවෙච්ච පවට තිබ්බ බයක් කියන එක.
අනික් අතට මට හිතිච්ච දෙයක් තමයි “ඇයි ගයාන් මට ළමයව නැති කරන්න කියන්නෙ, එයා තාරුකාව ඩිවෝස් කරන්න යන්නෙ තාරුකාට ළමයි නැති හන්දනම් එයාට පුළුවන් නෙ මාව කසාද බඳින්න. එතකොට අපිට මේ ළමයව හදාගන්න පුළුවන් නේ” කියලා. ඒත් ඒ වචන එහෙමම එළියට පිටකරගන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. මොකෝ මම හිතාගෙන උන්නා මං කියන්නෙ එහෙම ළමයෙක් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් ජාතියේ එකියක් නෙවෙයි කියන එක.
“මට බෑ ඒ වගේ තැනකට යන්න. අනික ඇබෝශන් කරන්න ගිහිල්ලා ඕන තරම් මිනිස්සු මැරෙනවා. අනික මං අහලා තියෙනවා ඇබොශන්ස් කරන එක මේ කියන තරම් ලේසි වැඩක් නෙවෙයි රිදෙනවා කියලා” මං කියද්දි ගයාන් උන්නෙ මල පන්නගෙන කියන එක මට තේරුණේ ඊලඟට අහන්න ලැබිච්ච එයාගෙ වචන වලින්.
“එහෙනම් ඉතින් තමුන්ට වෙන්නෙ තව මාස දහයකින් ඔය ළමයව කරපින්නගෙන කැම්පස් එක ඉස්සරහ හිඟා කන්න” කියලා ගයාන් කියද්දි තමන් මෙච්චර දවසක් ආදරේ කියලා රැවටිලා තියෙන බව මට තේරුම්ගන්න අමාරු උනේ නෑ. ඒ එක්කම ගයාන් මාව රැවැට්ටුවා, මම දැන් ළමයෙක් බඩේ තියාගෙන ජීවිතේට මුණ දෙන්න ඕන කියලා කල්පනා වෙද්දි ඇත්තටම මට අඬන්න ඕන උනා. හයියෙන් කෑගහලා, ලෝකෙටම ඇඬෙන්න මගේ වේදනාව කියලා ඉවර කරන්න උවමනා උනා. ඒත් සමහර වෙලාවට අපිට කොච්චර අඬන්න ඕන උනත් ඒ වේදනාවයි, දුකයි, කඳුලුයි හිත අස්සෙයි උගුර අස්සෙයි හිරවෙලා අපිව කතාකරගන්න බැරි ලෙවල් එකකට අරගෙන එනවා ඇරෙන්න ඇස් අස්සෙන් ඒ වේදනාවට දෝරෙ යන්න ඉඩ දෙන්නෙ නෑ. මට එදා උනෙත් එහෙම දෙයක්. ඉන්පස්සෙ දවස් ගාණක් යනකම්ම ගයාන් ආයෙ මට කෝල් කරාවි කියලා මම බලාගෙන හිටියට ගයාන් මට අරගත්තෙ නෑ.
වෙනදා “එයාට ඕන නම් එයා මට ගන්නෙ නැතෑ” කියලා ලොකු සීන් දාගෙන උන්න මම ගයාන්ට දිගට හරහට කෝල් ගත්තට ගයාන් ආන්ස්වර් කරෙත් නෑ. වරදින්න පුළුවන් හොඳම විදියකින් මට වැරදිලා කියලා හිත තේරුම්ගනිද්දි මට කැම්පස් එකේ ලෙක්චර්ස් වගේම මිඩ් එක්සෑම් එකකුත් මිස් වෙලා තිබ්බා.
“මිඩ් එක්සෑම් මිස් වෙච්ච එක වගේද බං මට දැන් මේ බඩක් හන්දා ඉස්සරහට මිස් වෙන්න යන දේවල්” කියලා මං නිශානිගෙන් ඇහුවෙ අන්න ඒ හන්දමයි.
“දැන් ගයාන් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැති එකෙන්ම අපිට තේරෙනවා නේද මිනිහා කර අරින්න හදන්නෙ කියලා?”
“මට දැන් තමයි හිතෙන්නෙ ගයාන්ව නැතිවෙන්න හරි කමක් නෑ කියලා ඇබෝශන් එකකට කැමති වෙන්න තිබුණෙ”
“ඒ උනාට රිස්ක් එකක් අරන් එහෙම දේකට කැමති උනාට වඩා මේක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?”
“මොකද්ද හොඳේ? මොකද්ද කියන්න මට වෙන හොඳේ. මෙතනින් එහාට මගෙ ජීවිතේ නතර වෙනවා නේද? මං කොහොමද ලෝකෙට මූන දෙන්නෙ? මං කොහොමද ආය කැම්පස් යන්නේ? මං මොනවද ගෙදරට කියන්නේ?” කියලා නිශානිගෙන් මං අහගෙන අහගෙන ගියාට මං ඇතිකරගත්ත ප්‍රශ්නවලට උත්තර නිශානි ළඟ කොහොමත් නෑනෙ කියලා මං නොදැන උන්නෙ නෑ.
“කොහොමහරි මං කැම්පස් ගියා කියන්නකො. ඒත් මං කොහොමද බං අපේ අම්මලට මෙහෙම දෙයක් උනා කියලා කියන්නෙ. අපෙ අම්මලා අඩුම මම පාට් ටයිම් ජොබ් එකක් කරනවා කියලවත් දන්නෙ නෑ. එහෙම එකේ මංකොහොමද මෙහෙම දෙයක් ඒ මිනිස්සුන්ට කියන්නේ?”
“මං මුලදිම කිව්වනෙ දිවානිලා ඔය මකර රස්සාවකට යන්න එන්න කියද්දි ගෙදරින් මෙච්චර හොඳට හැම සැප සම්පතක්මයි, අතට හොඳ ගාණකුයි දෙද්දි ශපාන් එකේ බෝඩිමට වෙලා ඉන්නෙ නැතුව රස්සාව කරන්නෙ කියලා. උඹ ඇහුවෙ නෑනෙ. මොඩ්ලින් කරන්න කියලා අර කවුද ගෑනියෙක්ගෙ මොඩ්ලින් ස්කූල් එකක් අස්සෙ රිංගද්දිත් මං කිව්වා ඔව්වා මොන වගේ තැන්ද දන්නෙ නෑ කියලා. ඒත් උඹ ඇහුවද? දැන් අන්තිමේ මෙතන මගෙන් ප්‍රශ්නවලට උත්තර ඇහුවට වැඩක් නෑ බං මොකෝ මට ඒවට දෙන්න උත්තර නෑ” කියලා නිශානි කිව්වෙ තරහෙන් විත්තිය මට නොතේරුනා නෙවෙයි. මොක උනත් මිඩ් එක්සෑම් අස්සෙයි, තව මාසෙකින් විතර එන සෙමෙස්ටර් එක්සෑම් අස්සෙයි හරිනම් මේ වෙලාවෙ තමන් කරන්නෝන මහන්සිවෙලා පාඩම් කරන්නෝන එක උනත්, බෝඩිමේ ඉන්න අනිත් එකා බඩක් උස්සගෙන අඬ අඬ ඉද්දි මනුස්සකමට හරි මවාපෑමට හරි පාඩම් කරන එක පැත්තක තියලා ඒකව පරක්කරන්න වෙච්ච එකත් එක්ක ඒ තරහා සාධාරණයි කියල මට හිතුනා.
“ගෙදරට කියන්න බෑ බං. අපේ අම්මා මාව මරලා එයත් මැරේවි” කියලා නිශානිට කියද්දිත් මට මතක් උනේ නිශානි කිව්ව වචන. ඇත්තටම දිවානි සෙට් කරලා දුන්නේ මට මකර රස්සාවක්ද එහෙම නැත්තම් දිවානිලා පරිස්සමට කරගෙන ගිය රස්සාව මං මර උගුලක් කරගත්තද කියලා මං උන්නෙ හිතාගන්න බැරුව.
“ඔයා මොඩ්ලින් වලට ආසාවෙන් ඉන්නවා කියල මට දැනගන්න ලැබුණා” කියලා දිවානි කියද්දි මං ඔලුව හෙල්ලුවෙ ඔව් කියන්න.
“මම වැඩ කරන්නෙ මොඩ්ලින් ස්කූල් එකක. ඔයා කැමති නම් එන්න කියන්න ආවෙ. මෙහෙමයි මුලදිම රෑම්ප් එහෙම යන්න බෑ. ඔය පොඩි පොඩි මොඩ්ලින් වැඩ තමයි මුලින්ම තියෙන්නෙ. ටික දවසක් ගියාම තමයි කැට් වෝක් එහෙම කියලා දීලා රෑම්ප් වලට යන්නේ” කියලා දිවානි කියද්දි මේක හොඳ චාන්ස් එකක් කියලා මං ඇත්තටම හිතුවා.
“මොනවද පොඩි පොඩි වැඩ කියලා කිව්වෙ කරන්න තියෙන්නෙ?” කියලා මං ඒ ප්‍රශ්නෙ ඇහුවම දිවානි චුට්ටක් කල්පනා කරේ එක අතකින් තමන්ගෙම තොල් අල්ලගෙන.
“පොඩි පොඩි ප්‍රමෝශනල් වැඩවලට යන්න තියෙනවා. ඒ කිව්වේ ඔය බ්‍රෑන්ඩ්ස්වලින් කරන ඇක්ටිවේශන් වලට වගේ එහෙම යන්න තියෙනවා. ඒවා තමයි ලොකුවටම තියෙන්නෙ. ඔයා කොහොමත් ලස්සනට ඉන්න නිසා හොඳ බ්‍රෑන්ඩ්ස්වල වැඩ සෙට් කරගන්න පුළුවන් වෙයි” දිවානි කියද්දි කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හා කියන්නෙ නැතුව එවෙලෙ මට ඒ ගැන තව හිතන්න තිබ්බා කියන එක තේරුණේ දිවානි කිව්ව “ප්‍රමෝශනල් වැඩයි ඇක්ටිවේශන්” වැඩයි මොනවද කියලා ඇත්තටම මට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් උනයින් පස්සෙ.
සමහර වෙලාවට අපි අමාරුවේ වැටෙන්නේ දැන දැනමයි.
ඒකට හේතුව අපි අනතුර දකින්නේ නැති නිසා නෙවෙයි. අපේ හිතේ පොඩි කොටසක් ඒ අවදානම, ඒ වේදනාව අත්විඳින්න ආස කරන හන්දා.
ඒක හරියට, අපි තාමත් ජීවතුන් අතර කියලා, අපිට තාමත් හැඟීම් තියෙනවා කියලා අපිටම මතක් කරගන්න හිතාමතාම කඩා වැටීමක් තෝරගන්නවා වගේ දෙයක්.