ළතෙත් ආදර හැඟුම් ගංගා – 5

0
179

දරුවෙක් එක්ක මට මුලින්ම ජිවීතේට මූණ දෙන්න වෙච්ච අභියෝගෙ උනේ ගෙදරින් මේ හැමදේම හංගගෙන තියාගන්නේ කොහොමද කියන එක. මහ ලොකුවට බඩේ ලොකු වෙනසක් පේන්නෙ නැති කාලෙ ලඟ ලඟ ගෙදර ගිහින් එන්න ආව මම ඉන්පස්සෙ මාස ගණන් ගෙදර යන එක නොකර හිටියා. ගෙදර අයට සැකයක් නොහිතෙන්න එක එක ප්‍රොජෙක්ට්ස්, විභාග අරවා මේවා තියෙනවා කිය කියන ගෙදර යන එක මගෑරියා. අම්මලා කොලඹ එන එක මගෑරගන්න මම පුළු පුළුවන් හැම වෙලාවකම අම්මට වීඩියෝ කෝල් ගත්තා. 

හැබැයි ඒ හැමදෙයක් අස්සෙම මට කවදහරි මෙතනින් අස්වෙලා හැංගිලා වගේ යන්න වෙන විත්තිය මම දැනගෙන උන්නා. මොකෝ මට කවදාවත් ආපහු මෙහෙම දෙයක් කරගෙන අපේ අම්මලට මූණ දෙන්න බැරි බව මම දැනගෙන උන්න හන්දා. ඒක අම්මගෙ මූණ දකින්න බැරිකමටත් වඩා තමන්ව අම්මෙක් කරපු පලවෙනි දරුවා එයාගෙ ජිවිතේට මෙහෙම විනාසයක් කරගෙන කියන වේදනාව අම්මගෙ මූණෙන් දකින්න බැරිකම. 

මං කියන්නෙ මිනිස්සුන්ට ලැජ්ජ කරන, කරදර කරන කෙනෙක් විත්තිය මට තේරුණේ නිශානි බෝඩිමෙන් යනවා කියලා කිව්ව දවසෙ. ඇත්තටම නිශානි බෝඩිමෙන් යන විත්තිය මම දැනගත්තෙ නිශානි ඒක මට කිව්ව හන්දා නෙවෙයි බෝඩිමේ ආන්ටිගෙන් නිශානි යන විත්තිය මට දැනගන්න ලැබිච්ච හන්දා.

“පාඩම් කරන්න ලේසි වෙන්න තව යාලුවො කීප දෙනෙක් එක්ක වෙන බෝඩිමකට යනවා” කියලා ආන්ටි කියද්දි නිශානි ඇත්තටම යන්නෙ මං දැන් පාඩම් කරන්නෙ නැති හන්දත්, මුලු දවස තිස්සෙම මාව නලවන සනසන එක තමන්ගෙ උපාධියට, රිසල්ට්ස් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා හිතුව හන්දා බව තේරුම්ගන්න මට අමාරු උනේ නෑ. අනික් අතට මං දැන් හරිනම් කරන්න ඕන තවදුරටත් මෙතන ඉන්න මිනිස්සුන්ට වද දිදී මේ බෝඩිමක් අස්සෙ හිරවෙලා ඉන්නවට වඩා මට හැමෝගෙන්ම හැංගිලා ඉන්න පූළුවන් විදියෙ තැනකට පහුබහින එක කියලත් ඒ වෙලාවෙ මං තේරුම් ගත්තා. ඒ විදියට තමයි මම කාන්ති අක්කගෙ බෝඩිම හොයාගත්තෙ. කාන්ති අක්කගෙ බෝඩිම තිබ්බේ වනාතෙ පුංචිම පුංචි පාරක කෙලවරේම ගෙදරක. එහා පැත්තෙන් ගලාගෙන යන කුණු කාණුවෙ ගඳයි, නිතරම පාර අයිනට වෙලා ඕප දූප කියවන ගෑනු මිනිස්සුයි, සද්දෙ දාගෙන යන ටුක් ටුක් වල සද්දයි කියන්නෙ දරුවා ඉපදුනාට පස්සෙ ඒ දරුවට උස් මහත් වෙන්න හොඳ වටපිටාවක් නොවුනට මට හැංගිලා ඉන්න හොඳ තැනක් බව මම දැනගෙන උන්නා. අනික කාන්ති අක්කගෙ බෝඩිමේ ගාන මට දරාගන්න පුළුවන් ගාණක් උනා. ඒ ලඟපාතින්ම හොයාගත්ත කමියුනිකේශන් එකේ රස්සාව එක්ක “නාද්‍යා නම් කවදාවත් ඔය වගේ තැනක නතර වෙන්න යන්නෙ නෑ” කියලා මාව දන්න මිනිස්සු හිතාගෙන ඉන්නවා කියන විශ්වාසෙම මට එතන පැළවෙන්න ඕනවට වඩා ඉඩ හදලා දුන්නා.

කැම්පස් එක ලඟ බෝඩිමෙන් අස්වෙලා යද්දි නිශානිට කියන්න ඕන උනත් එයාගෙ මූන බලාගෙන ඒක කියන්න මට පුළුවන්කමක් තිබ්බෙ නැති හන්දම, කියන්නෝන හැමදෙයක්ම දිගම දිගට ලියලා වට්සැප් මැසේජ් කීපයක් විදියට යැව්ව මම ඒ සිම් එක කඩලා විසික් කරා. ගෙදරින් අරගෙන දීලා තිබ්බා අයි ෆෝන් ෆිෆ්ටීන් එක විකුනලා ඒ ලැබිච්ච සල්ලිවලින් අඩු ගානට පොඩි ෆෝන් එකක් අරගත්ත මං ඉතුරු සල්ලිවලින් කාන්ති අක්කගෙ බෝඩිමට ගෙව්වා. 

නාද්‍යා සොනාලි සල්වතුර කියන කෙල්ල “අම්මා” කියන චරිතෙ බාරගන්න ඇඟෙනුයි හිතෙනුයි දෙකෙන්ම රෙඩි උනේ වනාතෙ ඒ පුංචි ගෙදරදි.

“දරුවෙක් ලැබෙන්න ඉද්දි හොඳට කන්නෝන නංගි” කියාගෙන කාන්ති අක්කා පොලොස් අරවා මේවා උය උය කවද්දි “අම්මා ලඟ උන්නෙ නැතත් මෙහෙම මනුස්සයෙක් ලඟට එන්න පුලුවන් උනේ මගෙ වාසනාවටද එහෙම නැත්තම් ඉපදෙන්න ඉන්න දරුවගෙ වාසනාවටද?” කියලා හිතන්න තරම් ඒ වෙද්දි මම ඩිවලොප් වෙලා උන්නා. අනික මම දැනගෙන උන්නා “මම ඇබෝශන් කරන්නෙ නැතුව මේ ළමයව මේ ලෝකෙට අරගෙන ආවෙ මගෙ උවමනාවට මිසක්කා ඒ ළමයගෙ උවමනාවට නෙවෙයිනෙ, එහෙම එකේ මගෙ යුතුකමයි වගකීමයි තමයි මට පුළුවන් උපරිමෙන් ඒ දරුවව බලාගන්න” කියන එක. 

බඩ එන්න එන්න ලොකුවෙද්දි අම්මට කතාකරන්න, ගෙදර විස්තර අහන්න, අම්මා උයන බත් කන්න, ගයාන් ගැන, නිශානිලා ගැන මට මතක් උනා. ඒත් මම ඒව හොයන්න ගියේ නෑ, මොකෝ අල්ලගන්න බැරි තැන්වලින් අල්ලගන්න ගියාම වෙන්නෙ වේදනාව ඩබල් වෙන එක කියලා මම ඒ වෙද්දිත් දැනගෙන උන්න හන්දා.

“නංගිට හිතෙන්නෙ නැද්ද ගෙදර ගිහින් ආව නම් හොඳයි කියලා” කාන්ති අක්කා ඇහුවෙ ආන්න ඒ වගේ දවසක.

“ආසයි අක්කේ. ආස නෑ කියලා බොරු කියන්න ඕන නෑනෙ. සමහරවිට කැම්පස් එකේ යාලුවොන්ගෙන් අම්මලත් දැන දැනගෙන ඇති මට මොකද්ද උනේ කියන එක. මං දැන් ගියොත් ගහලා බැනලා හරි පිළිගන්න බව මම නොදන්නවා නෙවෙයි. මං නොයන්නෙ ඒ ගහාවි බණීවි කියන බයට නෙවෙයි අක්කේ. මං දන්නෙ නෑ මට මෙහෙම හිතෙන්නෙ මගෙ බඩේ දරුවෙක් ඉන්න හන්දද කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මම දැන් අම්මා කෙනෙක් වෙන්න යන හින්දද කියලා. ඒ උනාට මට බෑ අක්කෙ මං මෙහෙම ඉන්නවා දැක්කම අපෙ අම්මා දුක්වෙනවා දකින්නා. තමන්ගෙ දූ තාත්තෙක් නැති දරුවෙක් ඉන්න බඩක් උස්සන් අනාථ වෙලා කියන ඇත්ත අපෙ අම්මට දරාගන්න අමාරු වෙයි. ඊට වඩා මං අන්තරස්දාන වෙලා කියන එක දිරවගන්න එයාලට ලේසි වෙයි අක්කේ”

“නංගි එහෙම ලේසි වෙයි කියලා හිතුවට අම්මලගෙ හිත් වැඩ කරන්නෙ එහෙම නෙවෙයි නංගි. වේදනාව මැකෙනවා, නංගි. වෙන කිසිම කෙනෙක් සමාව නොදුන්නත් අම්මලා සමාව දෙනවා. සමහරවිට එයාලා ඔයා එනකම් බලන් ඇති, එහෙම එකේ නංගි වගේ කෙනෙක් මේ වගේ තැනක වැටිලා ඉන්නවට වඩා අඩුගානෙ මිනිස්සුන්ගෙන් මොන කතාව අහන්න උනත් තමන්ගෙ අම්මලා ලඟ වැටිලා ඉන්න පුළුවන් වෙනවා කියන එකම වටිනවා නේද?”

 “ඒ උනාට මට දැන් ඕන කාගෙවත් අනුකම්පාවක් නෙවෙයි අක්කේ. මං සෑහෙන සන්තෝසෙන්, ඕනවටත් වඩා සැප සම්පත් මැද්දෙ ජීවත්වෙච්ච මනුස්සයෙක් අක්කේ. ඒ හන්දම මම ඇවිද්දෙ පොළොවෙන් අඩි දෙක තුනක් උඩින්. මං හිතන්නෙ මේ බඩක් උස්සගන්න වෙච්ච එකෙන් උනේ පොළොවට අඩි කීපයක් උඩින් උන්න මාව පොළොවට වට්ටන්නේ නැතුව කෙළින්ම පාතාලෙකට වට්ටපු එක. මං දැන් මොන විදියකින් හරි පුරුදුවෙන්නෝන අක්කෙ ඒ පාතාලෙන් ගොඩ එන්න. මම ආපහු ගියොත් අපෙ අම්මලා මාව මොන විදියෙන් භාරගත්තත් අපෙ අම්මලයි සමාජෙ මිනිස්සුයි මේ දරුවව භාරගන්නෙ අවජාතකයෙක්, කාලකණ්ණියෙක් කියලනෙ. මට එතනට වැටෙන්නෝන නෑ අක්කේ. එහෙම කරනවට වඩා හොඳයි මං අර මනුස්සයා මගෙන් අහපු වෙලේ මේ දරුවව නැති කරන්න කැමති උනා නම්. මේක මං කරපු මොකක් හරි පවකට විඳින්න වෙච්ච දඬුවමක් වෙන්නැති අක්කේ”

““එහෙම කියන්න එපා. දරුවෙක් කියන්නේ දඬුවමක් නෙවෙයි නංගි. දවසක ඔයාට තේරෙයි ඒක. කවදහරි දවසක මේ දරුවාම වෙන්න පුළුවන් ඔයාට ආයෙත් නැගිටින්න හේතුව වෙන්නෙ. දැන් ඔයාට බරක් වගේ දැනෙන මේ දරුවාම වෙන්න පුළුවන් පස්සෙ ඔයාව උඩට උස්සන කෙනා.

“ ඒ උනාට මේ වෙලාවේ මට දැනෙන්නේ බය විතරයි අක්කේ. මිනිස්සුන්ට මූණ දෙන්න තියෙන බය, අනාගතේට මූණ දෙන්න තියෙන බය, මේ දරුවගෙ ඇස්වල එයාව මේ ලෝකෙට ගෙනාව කියන කලකිරීම දකින්න තියෙන බය. ඒ බර මම කොහොමද දරාගෙන ඉන්නේ? කියන එකයි අක්කෙ මට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

මං මේ දරුවව ජීවත් කරවන්නෝන කියල හිතපු එකම මේ දරුවට කවදහරි මාව එපාවෙන්න හේතුවක් වෙන එකක් නැද්ද කියන බය හැමතිස්සෙම මාව පුච්චලා දානවා අක්කේ” කියද්දිත් නාද්‍යා සොනාලි සල්වතුර කියන හැමෝටම ලොකු සීන් දාගෙන උන්න කෙල්ලෙක් වෙච්ච මම, මටත් නොදැනිම අම්මා කෙනෙක් වෙලා තිබුණා.

“කරුමයක්, කාලකණ්ණියෙක්, මාව විනාස කරන්න ආව සාපයක්” කියලා මම හිතාගෙන උන්න දේ “මගේ දරුවා” කියලා හිතන තරමට මම වෙනස් වෙලා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here