සින්දූපා ජංගම දුරකතනය ට පිළිතුරු නොදී සිටීමේ හිතුවක්කාර කම වටහා ගන්නට මනුජට නොහැකිවූයේ නැත. සති දෙකකටත් වැඩි කාලයක් තිස්සේ තමා ඇයව මඟ හැර දමා ඇත. ඒ නැතත් මෙවෙලෙහි ඇය සිටින මානසික පීඩාවේ තරම වටහා ගන්නට නොහැක්කේ නොවේ. රෝහල් අධිකාරිවරයා තමාගේ මිතුරකු බව පැවසූ වෙලේ පවා ඇයට ඔහු කෙරෙහි වූ උදාසීන ස්වරූපය මනුජ සිහිපත් කලාය.
” සින්දූපා ට මොකක් හරි කරදරයක්වත් තියෙනවාද ඩොක්ටර් සමරකෝන් පැත්තෙන් ..?”
මනුජට සැනින් එලෙසද සිතුණේය.
ඒ කුමක් වුවත්, මෙවෙලෙහි සින්දූපා සොයා ගැනීම ප්‍රමුඛ රාජකාරියය. ඔහු පොලිසිය අමතා සින්දූපා ගේ මෝටර් රියෙහි විස්තර පවසා එය සොයා දෙන මෙන් ඉල්ලුවේය. මෝටර් රියේ අංකය පවා තමාට මතකයේ තිබීම මනුජට පුදුමයක් වූයේ නැත. සාරතී නැන්දා ඇරලවන්නට සින්දූපා ගේ නවාතැනට ගිය වෙලෙහි ඇගේ මෝටර් රියෙහි අංකය සිතෙහි තදින් ඇඳ ගත් බව මතකය
විනාඩි දහයක් ඉක්ම යන්නට පෙර සින්දූපා ගේ මෝටර් රිය නවතා ඇති ස්ථානයේ ඉඟිය ලැබුණි.
” පුලුවන් නම් ඉන්ස්පෙක්ටර් … මම එතනට යනකල්, පොඩ්ඩක් ඇලර්ට් එකෙන් ඉන්න කියලා කිට්ටුව ඉන්න ඔෆිසර්ට ඉන්ෆෝර්ම් කරන්න පුලුවන් ද ? ප්ලීස් ..”
“නෝ වොරිස් කමාන්ඩර්.. ඕල් රෙඩි ඩන් …”
“තෑන්ක්ස්.. තෑන්ක්ස් අ ලොට්…”
“නෝ වොරීස්… ලෙට්ස් ටෝක් ලෙශර්ලි…”
මනුජ කැබ් රිය හරවාගත්තේය. ඇය සිටින්නේ නගරයෙන් කිලෝමීටර් අටක පමණ දුරකින් බව සිතියම පෙන්වයි.
මනුජ කලකට පසු හුරු පුරුදු වේගයෙන් කැබ් රිය ධාවනය කරමින් උන්නේය. පසුතැවීම හදවතෙහි නැතැයි කියන්නට නොහැක. එහෙත්, එය ඉක්මවනින් සින්දූපා දැක, ඇය තමා වෙතට අත් පත් කර ගැනීමේ උවමනාව සිත තුළ විය
මනුජ කැබ් රියෙන් බැස්සේය. ඔහු දුර තියාම සින්දූපා ගේ මෝටර් රිය හැඳින්නේය. යාබදව උන් පොලිස් නිළධාරීන් දෙදෙනාට මනුජගේ ස්තූතිය පල විය.
” ඇතුලේ මිස් කෙනෙක් ඉන්නවා කමාන්ඩර්…. අපි කතා කලා… නිදිමත නිසාටිකක් නවත්තගත්තා කිව්වා….”
මනුජ හිස සලමින්, වේගයෙන් ඇවිදද ගියේය. මෝටර් රිය පසුපසින් ගොස් , රියැදුරු අසුන අසලින් නැවී විදුරුවට තට්ටු කලේය
සින්දූපා උන්නේ අසුන පිටුපසට වන්නට කඩාගෙන ගත සැහැල්ලුව නිදහස් වන්නට ඉඩ හරිමිනි.
දියතලාව අතැර යන්නට ඕ තීරණය කර උන්නාය. ඒ තියා රජයේ වෛද්‍යවරියක ලෙසින් සේවය කිරීමද අතැර, තාත්තාගේ යෝජනාව පරිදි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂකවරිය ලෙසින් කටයුතු කරන්නට තීරණය කළාය. රෝහල් අධිකාරිවරයාගේ කෑදර දෑස් සිහිවෙත්ම සින්දූපා ගේ ගත වෙවුලා ගියාය. ඔහු දින කිහිපයක්ම තමා ස්පර්ශ කිරීමට දැරූ උත්සාහය සිහිවෙත්ම ඕ පිළිකුලෙන් ඇකිලුණාය
යළිත් කිසිවෙකු මෝටර් රිය අසල ට විත් බව හඬින් ඇසුණත්, ඕ දෑස් විවර නොකරම උන්නාය. පොලිසියට කරුණු පැහැදිළිව පැවසූ නිසා යළි පැමිණෙන අයට උත්තර දිය යුතු වන්නේ නැහැ නොවේදැයි ඕ සිතුවේ දෑස් විවර කර නොගෙනමය. එහෙත් වීදුරුවට දිගින් දිගටම තට්ටු කරමින් ඇති බව ඇසෙද්දී ඕ කෝපයෙන් දෑස් විවර කලාය.
වීදුරුව වෙත හැරුණාය.
ඉන්නේ කවුරුන්දැයි වටහා ගන්නට නොහැකිව දෑස් යළි පිසදා බැලුවාය. එම පුද්ගලයා තමාට දොර විවෘත කරන ලෙස පවසනවා පෙනි පෙනීත් , දෑත් දෙපා අවසඟව මෙන් ඔහේ උන්නාය.
මෝටර් රිය තුළ දෑස් පියාගෙන සිටින යුවතිය, එක්වරම තමා දෙස විමතියෙන් බලා සිටිනු දුටු මනුජගෙර් සිත තුළ යටපත්ව තිබූ සවයං පසුතැවීම උඩ මතු වූයේය. ඕනෑම අයෙකුට තවත් අයෙකු අතින් විය හැකි විශාලම වරද, නිවැරදි චරිතයක් ඝාතනය වීමය. හඬ ගා නොකීවදතමා අතින් සින්දූපා ට වූයෙර් එවැන්නක් බව මනුජ දනී.
“ඕපන් ද ඩෝර්…”
මනුජ එලෙස පවසමින් දොර විවෘත කරගන්නට උත්සාහ කලේය. එහෙත් ඕ බලා උන්නාම පමණි.
මනුජ මෝටර් රියේ වීදුරුවට වඩා හඬ නැගෙන සේ තට්ටි දැම්මේය.
සින්දූපා පියවි ලොවට පිවිසියාය.
ඕ හෙමින් දොරෙහි අඟුලු හැරියාය. මනුජ දෙස හෝ නොබලාම අසුනෙන් බැස්සාය. දොර වසා දැම්මේ මනුජය.
” විශ්වට කතා කරලා කියන්න … මගෙත් එක්ක ඉන්නේ කියලා ..”
සින්දූපා ට අණක් ලෙසින් නැඟුණු හඬ ඉක්මවා යන්නට හැකි වූයේ නැත.ඕ යලි මෝටර් රිය තුළට එබී ජංගම දුරකතනය ගත්තාය. මඟ හැරුණු ඇමතුම් දෙසිය විසි පහකි. ඉන් හැත්තෑ දෙකක්ම මනුජ නමිනි. ඕ යන්තමින් මනුජ දෙස බලා යලි ජංගම දුරකතනය දෙස බැලුවාය.
” විශ්ව අය්යා…”
සැනින් තිරයේ එලෙස වැටුණි.
” හෙලෝ …”
“අනේ ඩොක්ටර්.. මම සඳා මිස්…. සර් සර්ජරි එකකට ගියා… මට කිව්වා දිගටම බලන්න කියලා…”
“හරි සඳා මිස්… විශ්ව සර්ට කියන්න මම …. මම ….කමාන්ඩර් එක්ක ඉන්නේ කියලා….”
සින්දූපා මනුජ දෙස යන්තමින් වත් නොබලා එලෙස පවසා දුරකතනය විසන්ධි කලාය.
මනුජ උන්නේ සින්දූපා ට නිදහස් හුස්මක් ගන්නටවත් නොහැකි තරමට ඇයට ලංවය. සින්දූපා ඔහු දෙස නොබලා හෝ සිටින්නට පරෙස්සම් විය.
මනුජ කලිසම් සාක්කුවේ වූ ජංගම දුරකතනය ගෙන කිසිවෙකුට පණීවිඩයක් යැව්වේය.
අනතුරුව ඇමතුමක් ගත්තේය.
” ලොකේශන් එක එව්වා.. කී එක තියන ලොකේශන් එකත් එවන්නම්.. ඩීටේල්ස් දීලා තියන්නම් මම..කැබ් එක ගෙනියන්න කෑම්ප් එකට…”
එසේ කියා අවසන් වනවාත් සමඟම මනුජ සින්දූපා ගේ වැලමිටෙන් අල්ලාගෙන ඇය මෝටර් රිය ඉදිරියෙන් වන සේ ඇදගෙන ගොස් රියැදුරු අසුනට යාබද අසුනට තල්ලු කලේය. ඉන් පසුව දොර වසා දැමුවේය. පොලිස් නිළධාරීන් හමුවන්නට ගොස් යමක් පැවසුවේය
ඉන් පසුව මෝටර් රියට ගොඩ වූයේය.
සින්දූපා දෙස බැලුවාය. ඕ ඉන්නේ දෑත් උකුල මත පොඩි කරමිනි.
” මොකක්ද වුණේ ?’
මනුජ තවත් නිහඬ තත්පර කිහිපයකට පසු ඇසුවේය.
එහෙත් සින්දූපා කිසිවක් කීවේ නැත. රෝහල් අධිකාරිවරයා මනුජගේ මිතුරෙකු වග ඔහුම පැවසූ වග මතකය. එලෙස තිබියදී, ඔහුගේ නොමනාකම් මනුජ සමඟ පැවසීමම විකාරයකි. අනෙක් අතට, තමා තිරණයක් ගෙන අවසන් ය. ඒ තීරණයේ කොහෙකවත් මනුජ නැති බව සින්දූපා අවධාරණය කරගන්නට උත්සාහ කළාය. එහෙත් ඇයට පැහැදිළි පිළිතුරක් ලැබුනේ නැත.
” මං දෙයක් ඇහුවා…”
” ප්ලීස්… මට යන්න ඕනි …. ඔයාගේ කැබ් එකෙන් ඔයා යනවාද ?… මේක හැර්ස්මන්ට් එකක් …. මගේ අකමැත්තෙන් මගේ කාර් එකේ ඔහොම ……”
“ගහන්නේ කන පැලෙන්න හිතුවක්කාරකමකට කියවන්න ගත්තොත්…”
මනුජගේ ස්වරූපය සින්දූපා ට බියක් ගෙන ආවේ නැත. ඇය නොසෙල්වීම ඔහු දෙස බලා උන්නාය.
” පුලුවන් නම් අත උස්සන්න බලන්න …. එහෙම ගුටි කාලා කර බාගන්න ගෑණු ඇති වින්ග් කමාන්ඩර් මනුජ …. මම් ඒ ජාතියේ නෙවෙයි…”
මනුජ අසුනේ පිටුපසට හිස කිහිප වතාවක්ම ගසා ගත්තේය. තමා තුළ උන් ආදරණීය මිනිස මිය ගොසින් බවට සැක නැත.
” ඔකේ…සොරි… මං හොස්පිට්ල් එකෙන් දාන්නම් ….”
සින්දූපා ට කිසිවක් පවසන්නට හෝ නොදීම මනුජ මෝටර් රිය හරවාගත්තේය. සින්දූපා තමාගේ හැසිරීම පිළිබඳව ය්ලි යලි සිතුවාය.