“ඔයා අම්මට කිව්වද මං ඔයා ගැන ඒ තරම් හොයලා බලන්නේ නෑ කියලා.”
පාරින්ද එවා තිබූ කෙටි පණිවිඩයෙන් පසුව හන්දියේ බලා උන් ඉසුරි වෙත ඔහු කඩා පැන්නේ උදේ පාන්දරමය. කිසිවක් නොකියාම ඉසුරි ඔහු දිගු කළ හිස් වැසුම පලදාගෙන යතුරු පැදියට නැගුනාය.
“ඔයාට කතා කරන්න දෙයක් තියෙනවනම් ඒක මමත් එක කතා කරන්න. අම්මට කේලම් කියන්න එපා.”
ඉසුරි දැනුනේ සිය පපුව කඩා වැටෙන්නට තරම් අසරණකමකි. ඇය නැන්දා පවසන්නකට පිළිතුරු දුන්නා විනා පාරින්ද පිළිබඳව අමුතුවෙන් කේලම් කියන්නට නොගියාය.
“අයියට ඉතින් යාළුවොම තමයි. වෙලාවකට මටත් දුක හිතෙනවා නැන්දා. කෝල් එකක් ගත්තත් විනාඩියයි දෙකයි ඉක්මනින් තියෙනවා. ඒ වෙලාවට මට හිතෙනවා අපි හරි දුරයි කියලා.”
අවසන ඈ නැන්දා හා පැවසූයේ ඉන් පාරිනන්ද කෝප ගනීයැයි සිතාගෙන නොවේ. ඒත් සිනහමුසුවය.
“නැද්දා තමයි ඇහුවේ ඔයා මොනවද කියන්නේ කියලා. නැන්දා කිව්වා ඔයා නිවාඩු දවසකවත් ගෙදර ඉන්නේ නෑ කියලා. සමහරවිට නැද්දා හිතනවද දන්නෙ නැහැ ඔයා නිවාඩු දවස ගතකරන්නේ මමත් එක්ක කියලා. ඒ නිසයි මං එහෙමම කිව්වේ. එහෙම නැතුව ඔයාව රිද්දන්න හිතාගෙනවත් නැන්දට කියලා ඔයාට බන්නවන්න හිතාගෙනවත් නෙමෙයි.”
අවසන ඉසුරි පැවසූයේ පාරින්ද දහසක් දේ පවසද්දීය. සමහර තැනක නිහඬව සිටීමෙන් සිදුවන්නේ අවාසියක් පමණකැයි ඕ උගත්තේ පාරින්දගෙන්මය.
පාරින්ද යතුරුපැදියේ වේගය වැඩි කලේ කෝපයෙන්ය. ඉසුරි තමා සමග එකට එක පවසාගෙන එනවාටවත් කට ගසනවාටවත් ඔහු කැමති වූයේ නැත. ගැහැණුන් සිටිය යුත්තේ සීමාවේයැයි ඔහු විශ්වාස කළේය.
“අම්මා වගේ වෙන්න යනවද…?”
අවසන ඔහු ඇසුවේ වේගයෙන් පැමිණි යතුරුපැදිය තිරිංග තද කොට එකවර නතර කරමින්ය. මේ ඉසුරිගේ සිත රිදවන කතාවමය. සිතුවිලි කෝප ගන්වන කතාවමය. මදක් ඉදිරියට ඇදී ගිය යතුරු පැදියෙන් වැටෙන්නට ගිය ඉසුරි බේරුනේ ඔහුගේ ඉඟ දෙපස තදින් අල්ලා ගත් නිසාය.
“මොනවද ලොකු අයියේ ඔයාට වෙලා තියෙන්නේ. ඕන දේටයි එපා දේටයි හැම දේකටම කේන්ති ගන්නවා. මෙහෙම කේන්ති ගන්න තරම් දෙයක් එතන වුණේ නැහැ. මං දන්නෙ නැහැ නැන්දා ඔයාට මොනවා කිව්වද කියලා. මමත් ආසයි නිවාඩු දවසක චුට්ටක් ඔයාගෙ ළඟට වෙලා ඉන්න. ඔයා එක්ක කොහේ හරි ඇවිදින්න යන්න. ඔයාගේ පපුවට ඔලුව තියාගෙන මගේ හිතේ තියෙන හැම දෙයක්ම ඔයාට කියන්න. මහා බරක් වෙලා මගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ඔයා එකින් එක අහල විසඳුම් දෙනවා බලන්න. ජීවිතය කියන්නේ මේක නෙමෙයි ලොකු අයියේ. ආදරේ කියන්නේ මෙහෙම තහංචි දාන එකටවත් අනිත් කෙනා පාගගෙන හිත රිද්දන එකටවත් නෙමෙයි.”
“ආදරය ගැන හොඳ ලෙක්චර් එකක් කවුරු හරි දීලා වගෙයි.”
පාරින්ද පැවසූයේ ඉවත බලාගෙන අවඥාවෙන් හිනැහෙමින්ය.
“අයියේ අපි අපි ගැන හිතන්න ඕනේ. අපේ ජීවිතේ ගැන හිතන්න ඕන. දෙන්නෙක් එකතු වෙන්නේ හැමදාම ප්‍රශ්න ගොඩක් එක්ක දුකින් ඉන්න නෙමෙයි. සතුටින් ඉන්න බලාගෙන. ඔයා ඔයාගෙම හිතින් අහල බලන්න ඔයාගේ හිතේ මට තියෙන ඉඩ කොච්චරක්ද කියලා. අයියේ හැම තිස්සෙම අපි දෙන්නා එකිනෙකාට ආදරෙයි කියලා කියාගත්තේ නැති උනාට මං ඔයාට පොරොන්දු දීලා ඔයා මට පොරොන්දු දීලා දැන් අවුරුදු හතරකට වැඩියි. මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වලදි ඔයා මහා හයියක් වෙලා මගේ ළඟ හිටියේ නෑ කියන්න බෑ. ඒත් එදා ඉඳපු ඒ ලොකු අයියා අද නෑ. එකම එක පොරොන්දුවකින් විතරක් අපිට ජීවිතේ ඉස්සරහට යන්න බෑ අයියේ. මං ඔයාගෙනම් ඔයාගේ හැමදේම මගේ. මගේ හැමදේම ඔයාගේ. අපේ ජීවිතවල කාටවත් හංගන්න දේවල් නෑ. ඔයා ගැන මමත් මං ගැන ඔයත් හොඳටම දන්නවා. ඇයි අයියේ අපිට මීට වඩා ආදරෙන් ජීවත් වෙන්නන බැරි.”
බොහෝ කාලයක් පුරා සිත තුළ සිරකරගෙන උන් වේදනාව පිටව ගියේ කඳුලක් ලෙසය. අන් කවරදාටත් වඩා පැහැදිලිව ඕ යමක් කතා කළාය.
පුදුමය. පාරින්ද සිටියේ නිහඬ වීගෙනය. එහෙත් කොපුල්වල නලියන මස් පිඬුත්, මුවින් පිටවෙන ගිණියම් සුසුමුත් රතුව තිබූ දෑසත් ඔහු කෝපයෙන් බව පසක් කරන්නට විය. අවසන අත් බෑගය තුළ තිබූ ලේන්සුව ගෙන ඕ දෑස් පිස දා ගත්තේ යතුරු පැදියේම පැති කන්නාඩියට එබී ගෙනය.
“මේ බනිනවවත් ඔයාට කට ගහනවවත් චෝදනා කරනවාවත් නෙමෙයි ලොකු අයියේ. මං හිතන්නේ ඔයාගේ ඉස්සරහ මං කවදාවත් එහෙම කතා කරලා නැතුව ඇති. සමහර දේවල් දිහා බලාගෙන ඉඳිද්දි මට හරි දුක හිතෙනවා. දුක කියන්නවත්, අඬන්නවත් හිනා වෙන්නවත් ජීවිතය ගලපන්නවත් මට ඔයා ඇරෙන්න වෙන කවුරුත් නෑ ලොකු අයියේ. අම්මටයි තාත්තටයි වැරදුනු තැන අපි දෙන්න වරද්දගන්න ඕනෙත් නෑ. දවසක් දෙකක් නෙමෙයි ලොකු කාලයක් අරගෙන හරි හොඳට හිතන්න ලොකු අයියේ. ඔයා වගේම මමත් දුක දැනෙන, වේදනාව දැනෙන, තරහ දැනෙන මනුස්සයෙක්. ඔයා දන්නවා මගේ ජීවිතේ වැඩිම හරියක් තිබුණේ සතුටට වඩා දුක. ඉතින් මගේ ජීවිතේ මං හැමදේම හොයන්නේ ඔයාගෙන්. හැමදේම පතන්නෙ ඔයාගෙන්. අපි මෙහෙම දුරස් නොවී ඉමු ලොකු අයියේ.”
අවසන ඇය පැවසූයේ ඔහුගේ දකුණතින් අල්ලාගෙනය.
“ඔය කඳුළු පිහිදා ගන්නවා. පාරේ යන මිනිස්සු බල බල යනවා.”
තත්පර කිහිපයක් නිහඬව සිටියාට පසුව ඔහු පැවසූයේ මද හඬකින්ය. ඉන්පසු අත් ඔරලෝසුවට එබුණේ නොසන්සුන් බවක් මවාගෙනය. එතැන් සිට දෙදෙනා යා යුතු වූයේ දෙපසකටය. කිසිවක් නොකියාම පාරේ යන ත්‍රීරෝද රථයක් නතර කළ පාරින්ද ඉසුරිට නඟින්නයැයි පැවසූයේ ඒ මුහුණ දෙස කෙලින් නොබලමින්ය. රියදුරා අතට මුදල් දුන්නේත් ඔහුය. තවමත් දෑස් වලින් වැටෙන කඳුළු එහෙමමය. ඔහු උන්නේ අත් ලේසුවෙන් දෑස් තද කරගෙනය. එහෙත් වෙනදා නොවිඳි සැහැල්ලුවක් මේ හදවතට දැනෙමින් තිබිණ.
ඉසුරි කාර්යාල සංකීර්ණයට ඇතුළු වද්දී වෙනදාට වඩා විනාඩි කිහිපයක් ප්‍රමාද වී තිබිණ. ඕ කුලසේකරට “ගුඩ් මෝර්නින්”යැයි පැවසූයේත් ඉවත බලාගෙනය. හඬන විට ඉක්මනින් රතු වන කොපුලත්, දෑසත් ඔවුන්ගෙන් සඟවා ගන්නට ඉසුරි මහත් වෑයමක් දරමින් උන්නාය. බිනරගේ මේසය මත වූ පරිගණකය ක්‍රියාත්මක වී තිබුණත් ඔහු උන්නේ ජංගම දුරකථනය දෙස බලාගෙනය.
“ගුඩ් මෝර්නින්…අද මොකද පරක්කු වෙලා.”
ඔහු ඇසුවේ දුරකථනයෙන් හිස නො ඔසවාමය. පෙරළා ඔහුට සුභ දවසක් ප්‍රාර්ථනා කළ ඈ තම පරිගණකය ක්‍රියාත්මක කළේ ගැහෙන ඇඟිලි තුඩුවලින්ය. වෙනදා සේ මේ සියල්ල සිතේ සිර කරගෙන නොසිට ඔහු හා පැවසීම මෝඩකමක්යැයි ඉසුරිට සිතුනේ එවේලෙහිය. එසේ නොවූවානම් හඬන්නට හේතු කාරණාා නොවේ. මේසා දෑස් සඟවන්නට ද හේතු කාරණා නොවේ.
“බ්‍රෙක්ෆස්ට් ගත්තද..?”
ඔහු ඇසුවේ තවත් විනාඩි කිහිපයකට පසුවය. ඉසුරි හිස වැනුවේ නැතැයි කියන්නටය.
“ගෙනාවෙත් නැද්ද?”
යළිත් ඕ “නෑ” යැයි පවසමින් හිස වැනුවාය.
ඔහු පුටුවෙන් නැගී සිටියේ මද වේලාවක් ඉසුරි දෙස බලා සිටියාට පසුවය. දුරකථනයෙන් කිසිවෙකුට යමක් පැවසූ ඔහු වීදුරු දොර ඇරගෙන කාර්යාල කාමරයෙන් පිටව යන අයුරු බලා සිටි යුවතිය දිගු සුසුමක් මුදා හැරියාය. ඒ මෙතෙක් වේලා ඔහු සඟවාගෙන සිතෙහි දරා උන් වේදනාවය.
“ඇයි ඔයා බ්‍රෙක්ෆස්ට් වලට ආවෙ නැත්තේ. මම බලාගෙන හිටියා. අද එන්න පරක්කු උනාද?”
දුරකථනයට ක්ලික් හඬ නංවමින් කෙටි පණිවිඩයක් පැමිණියේ එවේලෙහිය. ඒ සහන්ගෙන්ය. ඔහුට පිළිතුරු නොයැවූ ඇය ගිණුම් වාර්තාවක් සකස් කිරීම සඳහා යතුරු පුවරුව මත ඇඟිලි තුඩු දිවෙව්වේ වේගයෙන්ය.
ප්‍රසිද්ධ අවන්හලක නමක් සඳහන් කළ ගුරු පැහැති කඩදාසි බෑගයක් රැගෙන බිනර කාර්යාල කාමරයට ඇතුළු වූයේ එවේලෙහිය.
“තව විනාඩි පහයි තියෙන්නේ බ්‍රෙක්ෆස්ට් ටයිම් එක පහුවෙන්න ඉක්මනට යමු. කමු.”
තවදුරටත් ඔහුගෙන් මුහුණ සඟවාගෙන සිටීමට හැකි කමක් ඇයට වූයේ නැත. යුවතිය හිස ඔසවද්දීත් ඒවායෙහි පිරී තිබුණේ කඳුළුය. බිනර තිගැස්සෙන අයුරු ඇය හොඳටම දුටුවාය.
“මං ඔයාටත් එක්ක ගෙනාවේ එන්නකෝ…”
විමතියෙන් දෑස් විසල් කර ගත් තරුණයා එසේ පැවසූයේ ඉසුරිගේ දෑස් දෙසම බලාගෙනය. මේ උදෑසන ඒ දෑස් වලට කඳුළු පිරුණේ අහේතුකවම නොවන බව විශ්වාසය.
අවසන ඇයට සිදුවූයේ කිසිවක් නොකියාම ඔහු පසු පසින් ඇවිද යන්නටය. බිනර දෙතුන් වරක් පෙරැත්ත කරද්දී කාර්යාලයේ සැමගේම දෑස් ඔවුන් වෙත යොමුවන අයුරු ඉසුරි බලාගෙනය. මේ සියල්ල පුද්ගලික ප්‍රශ්නය.
“මොකද උනේ..ඔයා අඬල නේද? මාත් එක්ක කියන්න බැරි දෙයක්නම් කමක් නෑ. නොකා නොබී ඉඳලා කලන්තෙ හදා ගන්නනම් එපා. මොකද එහා පැත්තේ ඉන්නේ මමනේ. මට උස්සන් දුවන්න බෑ.”
ඔහු එසේ පැවසූයේ කෙටි කෑම වර්ග කිහිපයක්ම බෑගය තුළින් ගෙන ඇය වෙත දිගු කරමින්ය. ඉසුරි පේස්ට්‍රී එකක් පමණක් අතට ගත්තාය. බිනර තවත් මොන මොනවාදෝ පැවසුවක් ඒ කිසිවක් ඇගේ මුවමත සිනවක් තබන්නට සමත් වූයේ නැත.
“අනේ සොරි මම බ්‍රෙක්ෆස්ට් ගෙනාවා. ඒත් මට කන්න ඒ තරම් පිරියක් තිබුණේ නැහැ. අපරාදේ මේවා ගෙනාවේ ඔයාට ඒක කන්න තිබුණා.”
“කමක් නෑ අද වෙනසකටත් එක්ක මේවා කමු. ඔයාගේ කෑම එක සිරිපාල අංකල්ට දෙන්න. ඇස් වල කඳුළු පිරෙන්න තරම් මොනවද උදේ වුණේ?. බස් එකේදි කවුරුහරි කරදර කලාද. එහෙම නැත්තං ගෙදර මොනවා හරි ප්‍රශ්නයක්ද.”
“එහෙමම නෙමෙයි බිනර. සමහර වෙලාවට ඇස් වල කඳුළු පිරෙන්න කාගෙන්වත් වරදක් වෙන්න ඕනම නෑ. අපිම හේතු හදාගෙන අපි මේ හේතු වලට විසඳුම් හොයන්න ගිහිල්ලා අපිම කඳුළු පුරවා ගන්නවා.”
“ඒක මාර කතාවක්. අත ගගා ඉන්නෙ නැතුව කන්න. මේ ඔක්කොම ගෙනාවේ මට කන්න නෙමෙයි.”
සැබවින්ම ඔහු ගෙනැවිත් තිබුනේ දෙදෙනෙකුට වැඩි වන්නට තරම් ආහාරය. එය නිරපරාද වියදමක්යැයි ඉසුරිට සිතුනේ බෑගය දිගාරිද්දීමය
“මේ විදිහට සල්ලි වියදම් කරන්න එපා. සල්ලි ඔයාට කොච්චර වටිනවද කියන්න මම දන්නේ නැහැ. ඒත් ගොඩක් මිනිස්සු අසරණ වෙන්නේ මුදල් ඉස්සරහා. තමන්ට නොලැබුණු දේවල් ඉස්සරහා. හැබැයි ඔය හැම ප්‍රශ්නයක්ම ඇතුලට හාරගෙන ගිහිල්ලා බලද්දි කොතනක හරි කෙලවරක තියෙන්නේ සල්ලි. අද ඔයාට උවමනාවක් නැති උනාට කවද හරි දවසක ඔයාට ඒ දේවල් උවමනා වෙයි.”
යුවතිය පැවසූයේ මේසය දෙස බලාගෙනය. ඈ කතා කරන්නේ වේදනාවෙන්ය. ඒ කතාවෙහි එක් කෙළවරක වූයේ තරහකි. බිනර කිසිවක් නොකියාම ඇය දෙස බලා උන්නේ ඒ තරහව කුමක්දැයි තෝරා බේරා ගනු නොහැකිවය.
( යළත් හමු වෙමු ආදරයෙන්)