බිනර හංසිකාගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ දහවල ආහාරයෙන් පසුවය. වටපිට බලා ඔහු ඈ ඉදිරියෙන් අසුන් ගත්තේ ‘උදව්වක් ඕනේ හලෝ’ යනුවෙන් පවසමින්ය.
“මොකක්ද…”
“මට පනස් දාහක් ඕනේ..”
“සැලරි එකෙන්ද..”
හංසිකා ඇසුවේ ලැප්ටොප් පරිගණකයෙන් දෑස් මුදාගෙනය. සොහොයුරා මේ ඇයගෙන් යමක් ඉල්ලුවාමය.
“සැලරියකින් හරි මොකෙන් හරි කමක් නෑ. මට මේ වෙලාවේ ඕනේ සල්ලි.”
“මොකටද?”
“යාළුවෙක්ට පොඩි හදිසියක් වෙලා හලෝ. මං සල්ලි ටිකක් දෙන්න පොරොන්දු වුනා.”
කිසිවක් නොඇසූ හංසිකා පසෙක වූ අත් බෑගයෙහි තිබූ බැංකු කාඩ් පතක් ඔහු අත තැබුවේ ‘පින් නම්බර් එක’ මැසේජ් කරන්නම් යනුවෙන් පවසමින්ය.
“මේ ඔයාගේ සල්ලිනේ. මං අහන්නේ මෙහෙන් ගන්න බැරිද.?”
“ඒක වෙනම ප්‍රොසීටියර් එකක්නෙ. දැන් සල්ලි ඉල්ලන්න ගිහිල්ලා තාත්තා අවුල් කරන්න එපා. ඕකෙන් ඔයාට ඕන ගාන ගන්න. හැබැයි පරිස්සමෙන්. මතක තියා ගන්න සල්ලි කියන්නේ වටිනාකමක් තියෙන දෙයක්. ඒක උපය ගන්න ඕනම මනුස්සයෙක් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරනවා. ඒ නිසා අත්‍යාවශ්‍යම දේකට විතරක් වියදම් කරන්න
“කියවන්න එපා අනේ. ඔයත් වෙලාවකට සීය තාත්තා වගේ.”
“හරි හරි ඔයාගේ වැඩේ කරගන්නකෝ.”
හංසිකා එසේ පැවසූයේ මුව මත මදහසක් තබා ගෙනය. අම්මා තාත්තා පවසන්නා සේ ඔහුට තවමත් මුදලෙහි වටිනාකමක් නොවේ. හංසිකාට සොහොයුරාගේ පාසල් කාලය සිහි වූයේ ඔහු අසුනෙන් නැගිට යද්දීය. මුළු පන්තියටම කෑම ගෙනියන්නේ ඔහුය. මුදල් වියදම් කර යමක් පාසලේ සිදුවනවානම් ඊට මුල් තැන ගන්නේත් ඔහුය. මිතුරන්ගේ පන්ති සල්ලි ගෙවා දමන්නේත් ඔහුය. මළ ගෙදරකදී මඟුල් ගෙදරකදී දානයකදී අතපය දිගහැර තමාගේ සේ වියදම් කරන්නේත් ඔහුය. අදටත් මිතුරන් හමුවන කුඩා සාදවලදී වියදම ඔහුගෙන්ය.
“කොල්ලෝ මූව ගොනා කරගෙන ඇති..”
සීයා තාත්තා නිරතුරුවම පවසන්නේ එනිසාය. එහෙත් හංසිකා දකින්නේ වෙනමම පැත්තකි. ඔහුට වන්නේ උණු වන සිතකි. සංවේදී හදවතකි.
ඉසුරි දවසේම සිටියේ හිත් හොඳකින් නොවේ. දිවා විවේකයේදීත් ඈ තම බත් පත අත ගෑවා විනා කෑ බවක් බිනරගේ මතකයේ නොවේ. ඇය කිසියම් මුදල් ප්‍රශ්නයකින් පීඩා විඳිනවායැයි ඔහුට සිතුනේ උදෑසන පැවසූ කතා එකට ගොනු කරද්දීය. තමාට නිරතුරුවම රැකියාවේ අගය පහදන්නේත් පිටතින් කෑම නොගන්නා ලෙස පවසන්නේ ඇය බොහෝ අර පරිස්සමට මුදල් පරිහරණය කරන්නියක නිසා වන්නට ඇතැයි ඔහු සිතුවේය.
සොහොයුරියගේ බැංකු ගිණුමෙන් රුපියල් පනස් දහසක් ලබා ගත්තාට එය ඇයට ලබා දෙන්නේ කෙසේදැයි යන්න ඊළඟට ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නයය. තමා මුදලක් දිගු කළ පමණින් ඇය එය ලබා ගනීයැයි ඔහුට සිතෙන්නේ නැත. එනිසාම මුළු හවස් වරුවම බිනර ගත කළේ ඊට සුදුසු ක්‍රමයක් සොයමින්ය. අවසන පන්දහසේ නෝට්ටු දහය එකට එක්කර රබර් පටියක් දැමූ තරුණයා එය සාක්කුවේ දමා ගත්තේ ජයග්‍රාහී සිනහවක් මුව මත තබාගෙනය.
“ඔයා හෝල්ට් එකෙන් නේද බස් එකට නගින්නේ. මමත් එනවා”
බිනර හදිසියේ ඇසුවේ ඈ සවස සිය අත්බෑගය ගෙන පිටත් වන්නට සැරසෙද්දීය.
“ඇයි අද යාළුවා එනකං ඉන්නෙ නැද්ද?”
ඇය ඇසුවේ වෙනදා බිනර තමාව ගන්නට මිතුරෙකු එන බව පවසමින් කාර්යාලයේ රැඳී සිටි නිසාය.
“අද ඌ ඔෆිස් ඇවිල්ල නෑ.”
අවසන දෙදෙනාම කාර්යාල සංකීර්ණයෙන් පිට වූයේ එකටමය.
“අද දවසෙම ඔයා හිටියේ හොඳ මූඩ් එකක නෙමෙයි. මං හොඳම යාළුවෙක් කියලා හිතන්න. ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරන්න. මේ වගේ සැහැල්ලුවෙන් හිටියට මට කෙනෙක්ව තේරුම් ගන්න බැරි කමක් නෑ.”
“ මොන තරාතිරමක හිටියත් මිනිස්සුන්ගේ ජීවිතවලට ප්‍රශ්න කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. විශේෂයෙන් අපි වගේ අයගේ.”
“ඇයි ඔයා විශේෂයෙන් අපි වගේ අයගේ කියලා කියන්නේ.”
“මගේ තාත්තා අපිව දාල ගිහිල්ලා වෙන මැරේජ් එකක් කරගෙන බිනර. එයාල දෙන්න අතර ප්‍රශ්න තිබුණා. තාත්තා ගියාට පස්සේ ඒ ප්‍රශ්න ගොඩට තව ප්‍රශ්න කන්දරාවක් එකතු වුණා. එතන ඉඳලා පටන් ගත්ත ප්‍රශ්න වලට අපි තවමත් උත්තර හොයනවා. තාත්තා කෙනෙක් කියන්නේ ගෙදරක හැමදේම කියලා එදා මට තේරුනේ නැති උනත් අද මට තේරෙනවා. තාත්තා තමයි ගෙදරක හයියම අත්තිවාරම. අපේ ගෙදර ඒ අත්තිවාරම කැඩිලා බිඳිලා ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ වෙන්නේ ටිකින් ටික මුළුගේම පොළොවට සමතලා වෙන එක.”
“ඒ කියන්නේ ඔයාලගේ ගෙදර ප්‍රශ්නයක්. ඒක අපි කියන්නේ අර මොකක්ද සිංහලවල..ආ…ගරා වැටිලද…පරණ ගෙයක්ද. ඉතින් ඒකට මුකුත්ම සොලියුෂන් එකක් නැද්ද?”
යුවතිය සිනහසුනේ ඉවත බලාගෙනය. බිනරට මේ කිසිවක තේරුමක් නැති වග විශ්වාසය. ඔහු සැහැල්ලුවෙන්ය. සමහර සිංහල වචනවල තේරුම පවා ඔහු නොදනී.
“එහෙම එකක් නෙමෙයි බිනර. මම මේ කියන කිසිම දෙයක් සමහරවිට ඔයාට තේරෙන්නේ නැතුව ඇති. තුවාලේ වේදනාව දන්නේ ඒකට මුහුණ දෙන කෙනා. ඒක තියන කෙනා”
ඇත්තටම ඈ පවසන සමහර දේ බිනරට නොතේරුම් වූ තරම්ය. ඔහු සිටියේ යමක් ගැන කල්පනාවේය. පාරේ ගිය වාහනයකින් ඇයව රැක ගන්නට මෙන් ඉස්සර වූ බිනර ඔහුගේ කලිසම් සාක්කුවේ වූ මුදල් නෝට්ටු මිටිය ඇගේ දෙපා මුලට දැමුවේ ක්ෂණයකින්ය.
“ඉසුරි ඔය….”
ඉන්පසු ඔහුම අත දිගු කර එය ඇයට පෙන් වූයේ ඒ සැණින්මය.
“සල්ලි වගයක් නේද…?”
“ඔව්… ඇහිද ගන්න ඉතින්.”
“අනේ ඉතින් අපේ නෙමෙයිනේ.”
“කාගෙන් හරි වැටෙන්න ඇති. ඔයා ඕක ඇහිඳ ගත්තේ නැත්නම් වෙන කවුරුහරි ඇහිඳ ගනියි.”
“ඔයා ඇහිඳ ගන්න මට එපා.”
“පිස්සුද ඉසුරි. ඕක ඇහිඳ ගන්න. එහෙම දෙයක් දැක්කහම..ඔයා මාර ළමයෙක්නේ.”
මේ ඔහු බලාපොරොත්තු වූ පිළිවෙල නොවේ.
යුවතිය පහත් වී මුදල් නෝට්ටු කිහිපය අතට ගත්තේ බිනර එසේ පැවසුවාට පසුවය. ඇගේ දෑඟිලි වෙව්ලමින් තිබෙනවා ඔහු හොඳටම දුටුවේය.
“අනේ කාගෙද දන්නෙ නෑ නේද?”
“දන්නේ නෑ ඉතින්. පාරේ ගියපු කෙනෙක්ගෙන් හරි වාහනයක ගියපු කෙනෙක්ගෙන් හරි වැටෙන්න ඇති. එහෙම නැත්තං ඔයා ඔය කියන ප්‍රශ්න දිහා බලලා දෙයියො ගෙනත් තිබ්බද දන්නෙ නෑනේ.”
“විහිළු කරන්න එපා බිනර. කාගේ උනත් සල්ලිනේ. අනේ මනුස්සයෙක් මොන උවමනාවකට ගෙනියපු එකක්ද දන්නෙ නෑ. චුට්ටක් බලන්න බිනර පර්ස් එකක් හරි වැටිලා තියෙනවද කියලා. අපිට අයි ඩී එකක් හරි තිබුණොත් ඒ තැනකට ගිහිල්ලා හරි දෙන්න පුළුවන්නේ.”
බිනර වටපිට බැලුවේ ඈ මේසා මෝඩ යුවතියක්දැයි සිතමින්ය. ඔහු මිනිසුන් ගැන අසා තිබුනේ මීට වඩා වෙනස් කතාවකි.
“නෑ කිසි දෙයක් නෑ. සමහරවිට සල්ලි විතරයි වැටෙන්න ඇත්තේ.
“මාර ප්‍රශ්නයක්නේ අපි කොහෙටද මේක දෙන්නේ?.”
“කොහෙටද මේක දෙන්නේ කියලා අහන්නේ?”
එවර බිනර ඇසුවේ කෝපයෙන්ය.
“නෑ මං කිව්වේ ඒ මනුස්සයා ඇවිල්ලා හෙව්වොත් දෙන්න. අර අතන කඩයක් තියෙන්නේ අපි ඒකට දීලා යමුද.?”
“ඇත්තටම ඔයාට පිස්සු ඉසුරි. ඔයා ඕක දීලා ගියපු පලියට ඒ මනුස්සයා කවුරුහරි හොයන් ආවොත් ඒක දෙයි කියලා ඔයා හිතනවද. එච්චර පරාර්ථකාමී මිනිස්සු ඉන්නවද. හෙට කියයි අයිතිකාරය ආවා, මං ඒක දුන්නා කියලා. ඔයාටනම් ඇත්තටම පිස්සු.”
“අඩුගානේ මෙතන රුපියල් හතළිස්දාහක් පනස්දාහක්වත් ඇති. අනේ මනුස්සයෙක්ගෙ මාසෙක සැලරි එකද දන්නෙත් නෑ. අපි දන්නේ නෑනේ ඒ මිනිස්සු කොයි විදිහට දුක් විඳින මිනිස්සුද කියලා. බිනර මං කියන්නම් අපි මේක පොලිසියට දෙමුද?”
“ඇත්තටම චුට්ටක් හිතන්න මොළයක් නැද්ද ඉසුරි. පොලිසිය ගැන ඔයා දන්නේ නැද්ද. මරු තැනට දෙමු කියන්නේ”
“එහෙනම් අපි මොකද කරන්නේ.”
“ඕක ඔයාගේ බෑග් එකේ දාගන්න. කරන්න දෙයක් නෑ කවුරුහරි මනුස්සයෙක්ගෙන් වැටිලානම් අපි කොහොමද ඒ මනුස්සයව හොයා ගන්නේ. ඒක එයාට නැති වෙන්න ඔයාට හිමිවෙන්න මොකක් හරි දෙයක් වෙන්න ඇති. අර ඔයා කියන්නේ වාසනාව අවාසනාව කියලා. එහෙම දෙයක් වෙන්න ඇති. අපි යමුද ඉසුරි.”
ඔහුට ඕනෑ වූයේ ඇයව සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නටය. ඒ දෙතොල් පවා වෙව්ලමින් තිබිණ. තවමත් රුපියල් පනස් දහස ඈ අතේය. ඕ වටපිට බලන්නේ කලබලයෙන්ය.
“ඔයාට පරක්කු වෙනවනම් ඔයා යන්න. මම තව ටිකක් වෙලා මෙතනට වෙලා ඉන්නවා.”
“ඒ ඇයි…?”
“සමහරවිට සල්ලි වැටිච්ච කෙනෙක් ඒක හොය හොයා මේ පාරේ ඇවිදීවි. එහෙම කෙනෙක් ආවොත් මට දෙන්න පුළුවන්නේ.”
“එහෙනම් අපි දෙන්නම ටිකක් වෙලා ඉමු.”
අවසන දෙදෙනා පාරේ පසෙකට වූවේය.
“මමනම් කියන්නේ ඉසුරි මේ ඉන්න එක තේරුමක් නැති වැඩක්. සමහරවිට ගොඩක් දුර මනුස්සයෙක් නම් එයා ඕක හොයාගෙන ආපහු එන්නෙ නෑනේ. අනිත් එක ඉතින් පාරක වැටිච්ච දෙයක් එතන තියෙන්නෙ නෑ කියලා නොහිතන්න තරම් මෝඩ මිනිස්සු නෑ. මේ වෙලාවේ ඇත්තටම හිතන්න මේක ඔයාගේ ප්‍රශ්න වලට පිහිට වෙන්න දෙවියෝ දීපු එකක් කියලා. ඉසුරි ඔයා ඕක අරගෙන ඔයාගේ තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න. උදේ ඉඳලම ඔයා මමත් එක්ක කිය කිය හිටියෙත් සල්ලි ප්‍රශ්නයක් ගැනනේ.”
“මට තියෙන්නේ සල්ලි කෝටියක් හම්බ උනත් විසඳන්න පුළුවන් ප්‍රශ්න බිනර. ඒක අපි වටේ ඉන්න මිනිස්සුන්ගේ නොතේරුම්කම ගැන ප්‍රශ්නයක්.”
“අනේ මන්දා ඔයා කියන අර අන්ඩර දෙමළද මොනවද මට තේරෙන්නෙම නෑ.”
“ඔයා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ සැහැල්ලුව වෙලාවකට හරි ලස්සනයි කියලා හිතෙනවා. මටත් හිතෙනවා හැමදේම අමතක කරලා දාලා කිරිල්ලියක් වගේ පියාඹගෙන යන්න. සැහැල්ලුවෙන් හිනාවෙන්න. ඔයා වගේ”
“ඉතින් අපි හිනාවෙමු.”
“හිනා වෙන්න ඕන උනත් හිනාවෙන්න බයයි. කොයි වෙලාවේ කඳුලක් ඇවිල්ලා ඇස් ඉස්සරහ නතර වෙයිද කියලා.”
කාර්යාලීය වාහනයක උන් පිරිසක් ඔවුන් දෙස බලමින් ගියේ ඒ අතරතුරය. කුමක්දෝ කියවමින් උන් යුවතිය ඔවුන්ව දුටුවේ නැත. එසේ වූවානම් ඕ මීට වඩා කලබලවනු නියතය.
“ඉසුරි ඔෆිස් එකේ අය මෙතනින් ගියොත් අපි දෙන්න ගැන වැරදියට හිතන්න පුළුවන්. ඒ නිසා අපි යමුද? පැයක් විතර ගියා. කිසි කෙනෙක් ආවේ නෑනෙ.”
“අනේ එහෙනම් බිනර මේ සල්ලි හොයා ගන්න. මට මේක ලොකු බරක්”
“යමුකෝ…..”
“බිනර අපි මේක ජයවර්ධන සර්ට දෙමුද?”
ඈ යළිත් එසේ පැවසූයේ ඔහු හා සමාන්තරව ඇවිද යන ගමන්ය.
“දීලා..”
“සර් ගාව තියාගන්න කියලා කියමු. කවුරු හරි කෙනෙක් නැති වෙච්ච මුදලක් හොයනවා කියලා ආරංචියක් ලැබුණොත් සර්ට කියමු අපි ඒක දෙන්න කියලා.”
“ආරංචියක් නොලැබුණොත්. ඒක ජයවර්ධන පවුල සතු වෙයි. අනේ මේ..පිස්සු වැඩ කරන්න එපා. තමන්ට ලැබිච්ච දේ අනුන්ට පුදන්න ලෑස්ති වෙන්න එපා. මට මේ වෙලාවේ මුදල් වලින් විසඳන්න ප්‍රශ්න නෑ. ඉසුරි හොඳට මතක තියාගන්න. මේක දන්නෙ අපි දෙන්න විතරයි. මෙහෙම දෙයක් ඔයාට හම්බ උනෙත් නෑ දැක්කෙත් නෑ මම දන්නෙත් නෑ.”
.
“අනේ බිනර එහෙමනම් බෑ. මේක ඔයා ගාව තියා ගන්න.”
“එහෙමනම් එන්නකො. ගිහිල්ල අතන බිමට දාල එන්න. පාරේ එන කවුරුහරි ඇහිඳ ගනියිනේ. හැබැයි එයා ඔයා වගේ අයිතිකාරයා හොයන එකක් නෑ. වටපිට බලලා බෑග් එකට දාගෙන ගෙදර යයි. ඒකනේ ඔයාට කරගන්න ඕනේ.”
“ඔයා කේන්තියෙන්..”
“මෙන්න මෙහාට දෙන්න ඕක.”
අවසන එසේ පැවසූ තරුණයා යුවතිය අතින් මුදල් ගෙන ඇගේ අත් බෑගයේ පතුලට දැමුවේය.
“දැන් හරි. ඒ සල්ලි වල අයිතිකාරයා ඔයා. ඔයා යන්නේ මහරගම බස් එකේ කිව්ව නේද බස් එකක් එනවා..මීට පස්සේ අපි දෙන්නවත් මේ ගැන කතා කරන්නේ නෑ”
එසේ පැවසූ තරුණයා බස් රථයකට අත දිගු කළේ දැඩි හඬකින් පවසමින්ය. බස් නැවතුමේ නොවූ නිසා බස් රථය නවතාවියැයි විශ්වාසයේ නොවූවත් අවසන මඳක් ඉදිරියට ඇදී ගොස් එය නතර කළේය. බිනර යුවතියව ඊට නංවාලූයේ බලෙන් මෙන්ය. ඉන්පසු ආපසු හැරුනේ ජයග්‍රාහී සිනහවක් මුව මත තබාගෙනය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)