ඉඩෝරයක මල් වැස්සක් – 15

බිනර උන්නේ යුවතිය ගැන නිරීක්ෂණයෙන්ය. විශේෂයෙන් යමක් ඕ කතා කළා නම් ඒ පෙර දින ලැබුණු මුදල් ගැන පමණි.

“මං ඒක කවරෙක දාලා එහෙමම අරන් තිබ්බ බිනර. අනුන්ගේ කියලා ඉදිකට්ටක්වත් ගන්න මං කැමති නෑ. කවුරුම හරි කෙනෙක් තමන්ගේ සල්ලි නැතිවෙලා හොයනවා කියන ආරංචිය අපිට ආවොත් අපි විස්තර අහල බලලා ඒක දෙමු. එතකල් ඒක පරිස්සමට එහෙම තියෙයි.”

ඕ එසේ පවසද්දීත් බිනර බලා සිටියේ දෑස් විසල් කරගෙනය.

“ඔන්න අද මං නියමම මෙනු එකට යෙලෝ රයිස් ගෙනාවා….”

අශිකා විසින් පෙරදා  රාත්‍රියේ සතර දෙනාටම දහවල කෑම ගෙන එන බව පවසා කෙටි පණිවිඩයක් ඒවා තිබූ බව ඉසුරිට සිහි වූයේ එවේලෙහිය. ඒ වන විටත් ඇය අල බැදුමකුත් කිරට ඉවූ බණ්ඩක්කා ව්‍යාජනයකුත් වූ බත්මුල  මේසය  මතින් තබා අවසන්ය. 

“ඔයා ඉසුරිට මැසේජ් කලේ  නැද්ද.”

එසේ ඇසුවේ සහන්ය.

“ඒක තමයි මමත් මේ බැලුවේ. එයාට තමයි මං ඉස්සෙල්ලම මැසේජ් එක යැව්වේ. ඒක සීන් කරලා තැන්ක් යූ කියලත් තිබුණා. ඇයි ඉසුරි ඔයා මගේ කෑම කන්න අකමැතිද?”

“අනේ නෑ. ඇත්තමයි මට දැන් තමයි මතක් උනේ ඔයා එහෙම මැසේජ් එකක් එව්වා නේද කියලා. වෙනද පුරුද්දට නංගිටයි මල්ලිටයි කෑම බෙදන ගමන් මං මගේ බත් එකත් බැඳ ගත්තා. අපි මේක කාට හරි දෙමු.”

ඉසුරිගේ සිතට දැනුනේ පසුතැවීමකි. අශිකා තමා ගැන කුමක් සිතනවාදැයි ඕ සිතුවේ මේසය  මත වූ බත් මුල පසෙකට කරනා ගමන්ය. ඇය වෙන වෙනම කෑම පාර්සල් ඔතාගෙනවිත් තිබිණ. එහි කහ බතක්, කුකුල් මස් බැදුමක්, කජුත්  ග්‍රීන්පීස්  එක්කර සාදන ලද ව්‍යංජනයක්, තම්බා බැදගත් බිත්තරයක් හා වම්බුටු මෝජුවක් විය. සැබැවින්ම එය කලකට පසු ගත් රසවත්ම කෑම වේලකි. 

“ඇත්තටම මාර රසයි.”

මුලින්ම එසේ පැවසූයේ සහන්ය. බිනර හිස වැනුවේ ඔහුව අනුමත කරමින්ය. 

“ඇත්තටම රසයි.”

ඉසුරි තවත් තත්පර කිහිපයකට පසුව පැවසුවාය. එහෙත් ඇය උන්නේ කල්පනාවේය. 

අම්මා හදිසියේ එවන් තීරණයක් ගත්තේ මන්දැයි ඇයට නොතේරේ. තවමත් මේ රිදවීම්වල නිමාවක් නොවේ. වෙනදා සේ ගෙදර වැඩ කටයුතු වලට හවුල් නොවුනාට ඇය නිවසේ සිටීම සිතට හයියකි. 

“ඔයා කාලා නෑනේ ඉසුරි. අපරාදේ මේ කෑම එක කන්න කැමති නැත්තං ඔයාට තිබුණා ඔයාගේ කෑම එක කන්න.” 

අශිකා යළිත් වරක් එසේ පැවසූයේ ඉසුරි කල්පනා කරමින් සිටියදීය. ඈ  මඳ සිනහවක් පෑවා පමණි.  සිතෙහි වන සියල්ල නිවැරදිව ගලපා පැවසීමට යුවතිය දැන උන්නේ නැත. එසේ දැන උන්නත් සිත තුළම මිය යා යුතු දුක් කන්දරාවල් එලෙසම තිබිය යුතුය. 

“අනේ නෑ….මං ඇත්තටමයි රසයි කියලා කිව්වේ…”

අශිකාගේ මුව මත අවඥා සහගත සිනහවක් සටහන් වන අයුරු ඉසුරි බලාගෙනය. ඊයේ පෙරේදා සිට ඕ කුමක් පැවසුවත් ඊට විරුද්ධව යමක් පවසන්නට ඈ උත්සහ දරනා අයුරු ඉසුරිට දැණින. මෙසේ එක්ව සිටියාට අශිකා යමක් කතා කරන්නේ කුමක් හෝ අප්‍රසාදයක් සිතෙහි දරාගෙන බව විශ්වාසය. එහෙත් යුවතිය ඊට හේතු සොයන්නට නොගියාය.

“ඉසුරි ඔයාගේ ප්‍රශ්නේ  තවමත් විසඳිලා නැද්ද..?”

බිනර එසේ ඇසුවේ ගිණුම් අංශයට ඇතුළු වූවාට පසුවය. ජුවතියගේ දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඇමතුම පාරින්දගෙන්ය. එහා පස උන් තරුණයාට පිළිතුරක් නොදුන් යුවතිය දුරකථනය කන තබා ගත්තේ මේ දිවා විවේකය වන නිසාය.

“කෑවද?”

“ඔව් අද යාළුවෙක් අපි හැමෝටම ලන්ච් එක ගෙනත් තිබ්බා.”

“අම්ම හදිස්සියේ අපේ අම්මගෙන් හඳහන් ඉල්ලලා තිබුනේ.”

“ඔව්. අම්මා මමත් එක්ක ඒ ගැන කතා කළා. අම්මා කියනවා අපේ එන්ගේඡ්මන්ට් එක ඉක්මන් කරන්න කියලා”

“ඇයි එච්චර හදිසියක්…..”

“ඔයා අපේ ගෙදරට යන එන එක ගැන මිනිස්සු දන්නවනේ. අම්මා කියනවා ඒක එච්චර හොඳ නෑ කියල.”

“අප්පා…..ඒ උපාසකම්මා කවද ඉඳලද මිනිස්සු කියන කරන දේවල් ගැන හිතන්න පටන් අරගෙන තියෙන්නේ.”

එහා පසින් ඇසුනේ උස් සිනහ හඬකි.

“පාරින්ද අයියේ මොකක්ද ඔයා අපේ අම්ම එක්ක තියෙන තරහා. අඩු ගානේ තාත්තවත් ඔහොම කතා කරන්නේ නෑ එයාට.”

“අනේ මේ ඉසුරි. මගේ කට අවුස්ස ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා හරියට මේ කතා කරන්නේ අද ගමට ඇවිල්ලා වගේනේ. අම්මට ගමේ මිනිස්සු කියන දේවල් ඔයා දන්නේ නැද්ද. එයා මේ ඔයාලා ඉස්සරහ පත්තිනි අම්මා උනාට නටන්න ඕන නාඩගං ඔක්කොම නටලා ඉන්නේ. එහෙම කෙනා කොහොමද ඉසුරි ඔයාට හැදෙන කයි කතන්දර ගැන හිතන්නේ. මටත් මිනිස්සු කියනවා කවද හරි දවසක ඔයත් අම්මා වගේ වෙයිද දන්නෙ නෑ කියලා. කොල්ලෝ කියන්නේ මං කර ගැහුවට ජීවිතේට ඔය ගෙදර කෙල්ලෙකුට වෙන කෙනෙක් කර ගහන්නේ  නෑ කියලා.”

බිනර උන්නේ යුවතියගේ  කතා බහට සවන් දීගෙනය. තත්පර කිහිපයක් නිහඬව  උන් ඇගේ දෑස් වලින් කඳුලක් රූරා වැටෙන අයුරු බලා උන් ඔහු දෑස් විසල් කර ගත්තේය.

“ඔයාට මාව මැරි කරන්න කියලා කවුරුවත් බල කරල නෑ පාරින්ද අයියේ. මගේ අම්මගේ අසරණකම ඔයාලට තේරෙන්නෙත් නෑ. ඔයා හොඳට මතක් කරන්න තාත්තා අපිව දාල යද්දි අපි හරි පුංචි ළමයි. හැමදේම හරිම විදිහට ලැබුනේ නෑ තමයි. ඒත් අපේ අම්මා කොහොම හරි ඒ අභියෝගෙ බාරගෙන අපි තුන්දෙනෙක් උස්මහත් කළා. මිනිස්සුන්ට කතන්දර කියන්න හරි ලේසියි. ඒ උනාට මිනිස්සු කවදාවත් ඒ  ජීවිත වල ඇතුලාන්තයට එබිලා බලන්නේ නෑ. එහෙම උනානම් ඔය කතන්දර කියන මිනිස්සුන්ගේ ඇස්වලින් කඳුළු එළියට පනිනවා අයියේ. එහෙම අනුකම්පා කරලා මාව මැරි කරනවට වඩා ජීවිත කාලෙ පුරාම මට තනියම ඉන්න එක සැපයි.” 

යුවතිය දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. ඒ බිනරට ඇසෙන නෑසෙන තරම් මද හඬකින්ය. ඒ හා සමගම නැඟී සිටි ඈ කාර්යාල කාමරයෙන් පිටව ගියේ දෑස් සඟවන්නට බව විශ්වාසය. 

“එන්ගේජ්මන්ට්  එකක්…..එයාගේ…එතකොට ඒ කතා කළ එයාගේ බෝයි ප්‍රෙන්ඩ්ද?”

බිනර දිගු සුසුමක් මුදා හරිමින් පවසා ගත්තේ තමාටමය. පුදුමය. සිහින් රිදුමක්  පපුවට දැනෙමින් තිබිණ. මුහුණ සෝදාගෙන පැමිණි යුවතිය යළි තම අසුනෙහි අසුන්ගෙන කිසිවක් නොවූ සේ පරිගණකයට එබෙද්දීත් බිනර උන්නේ ඒ නොසන්සුන් හැඟීමෙන්ය. පපුවට දැනුණ රිදුම ඉවසා ගනිමින්ය. 

“ඔයා ප්‍රශ්නෙකද?

අනතුරුව ඔහු ඇසුවේ විනාඩි කිහිපයක් ගෙවී ගියාට පසුවය.

“නෑ මං හොඳින්..ඔයාට කුලසේකර සර් වැඩක් දුන්නා නේද. ඒක කරලා ඉවර කරන්න වෙයි. අපහසුනම් මට මේල් එකක් දාන්න.”

එසේ පැවසුවත් යුවතියගේ වදන් වෙනදාටත් වඩා කලබලය. 

ඒ හා සමගම ඕ යළිත් පරිගණකය දෙසට හැරුණාය. 

“මට පොඩි හදිසියක් මම ටිකක් එලියට ගිහිල්ලා එන්නම්.”

බිනර එසේ පැවසූයේ නොසන්සුන් ලීලාවෙන් ගත කළ තවත් විනාඩි ගණනාවකට පසුවය. ඔහුට මෙවේලෙහි  සන්සුන්ව එක තැනක සිටීමේ හැකියාවක් කොහොමටවත් වූයේ නැත. 

සොහොයුරියට කෙටි පණිවිඩයක් තබා ඔහු කාර්යාලයෙන් පිටවූයේ මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුවය. අඩි දහයක්වත් පයින් යාමට අපහසු වූ තරුණයාට කාර්යාලයේ සිට බොහෝ දුරක් තමා ඇවිදගෙන පැමිණ සිටින බව වැටහුම් වූයේ ගත පුරා දහඩිය වැගිරෙද්දීය. අවසන ඔහු පාරේ යන ත්‍රී රෝද රථයකට අත දිගු කළාය. මිතුරාගේ දුරකථන අලෙවි සැල වෙත යන විටත් ඔහු උන්නේ ඒ වෙහෙසෙන්මය.

“මොකද බං උඹ මීටර් සීය දුවලා වගේ හති දාන්නේ. මේ බලහං උඹේ ඔලුවෙන් දාඩිය බේරෙනවා.”

“මට මාර ටයර්ඩ් බං. උඹ බිසීද…..”

“ලොකුවට නෑ. වරෙන් ඔෆිස් රූම් එකට යමු.”

බිනර මිතුරා පසු පසින් ඇවිද ගියේ තමාට මේ කුමක් සිදුවන්නේදැයි සිතමින්ය. සිතෙහි වූ සැහැල්ලුව කොහේදෝ පාව ගොස් තිබිණ.

“මොකක්ද අවුල තාත්තා කෑ ගැහුවද?”

බිනර කාර්යාලයට යන්නේ අකමැත්තෙන් බව දැන උන් සංදේශ් ඇසුවේ සිනහමුසුවය.

“නෑ බං එහෙම අවුලක් නෙමෙයි.”

“අවුල මොකක් උනත් උඹ හොඳටම අවුල් වෙලා. අම්මා අසනීපෙන්ද ආපහු.”

“නෑ මචං එහෙම දේකුත් නෙමෙයි.”

“එහෙනම් ඉතින් මොන මගුලක්ද?  ඉස්සරවෙලා කතා කරල ඉඳපන්. දැන් උඹ මේ තකහනියේ  කතා කරලා මාව මීට් වෙන්න ඕනෙ කියලා කිව්වේ ටයිම් පාස් කරන්න නෙමෙයිනේ.”

“මට කියහන්කෝ මොකක්ද බං ගෙයක් ටික ටික කඩන් වැටෙනවා කියලා කියන්නේ හයියම අත්තිවාරමක් බිඳිලා ඉවරයි කියලා කියන්නේ. මං දන්නවා අත්තිවාරම කියන්නේ ෆවුන්ඩේෂන්  එකට. මචං ෆවුන්ඩේෂන්  එකක් නැති උනහම ගෙයක් කඩාගෙන වැටෙනවා තමයි. එතකොට මොකක්ද කරන්න ඕනේ.”

බිනරගේ සිංහල දැනුම දුර්වල බව දන්නා සංදේශ්ගේ මුවෙහි වූයේ සිනහවකි.

“ෆවුන්ඩේෂන් එකක් නැතුව ගෙයක් හැදෙන්නේ නෑනේ බං. මොනවා හරි ආපදාවක් වෙලා ගෙයි බිත්ති කඩන් වැටුනත් ෆවුන්ඩේශන් එකක් කඩන් වැටෙන්නේ කොහොමද. මට තේරෙන්නේ නෑ උඹ මොකද්ද කියන කතාව කියලා. මට කියහන්කෝ ඉස්සර වෙලා කවුද ඔය කතාව උඹට කිව්වේ කියලා…”

“එයා කියනවා බං තාත්තා ගියාට පස්සේ ගෙදර ෆවුන්ඩ්ඩේෂන් එක කඩන් වැටුනලු.”

“තාත්ත කොහෙද ගිහින් තියෙන්නේ.”

“ඒ මනුස්සයා වෙන මැරේජ් එකක් කරගෙන.”

“ඉතිං හරිනේ බං. තාත්තා කෙනෙක් එහෙම පිටවෙලා ගියාට පස්සේ ගෙදර අත්තිවාරම කඩන් වැටුනා වගේ තමයි. ඒ කියන්නේ බං ආදරය, සැනසීම, රැකවරණය,  ආර්ථිකය විතරක් නෙමෙයි ගෙදරක හැමදේම කණපිට පෙරලෙනවා බං. උඹ  හිතහංකො උඹලගේ ගෙදර තාත්ත නැති උනානම් තත්ත්වය මොකක්ද කියලා.”

බිනර හිස වැනුවේ මිතුරාට එකඟවය. 

( යළිත් හමුවෙමු ආදරයෙන්……)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles