“The Silence of the Lambs” චිත්‍රපටයේ ඉන්න වෛද්‍ය හැනිබල් ලෙක්ටර් (Dr. Hannibal Lecter) කියන්නේ ලෝකෙම ප්‍රේක්ෂකයෝ බයෙන් හිරිවට්ටපු Serial Killer කෙනෙක්.
එයා මිනිස් මස් කන කෙනෙක් කියලා ප්‍රසිද්ධ වුණත්, කතා කරන විදිය, ඇඳ පැළඳ ඉන්න විදිය සහ අසාමාන්‍ය බුද්ධිය නිසාම මේ චරිතය හරිම සිත් ඇදගන්නාසුළුයි. එයා කවදාවත් නොමැරෙන චරිතයක්. හැබැයි, මං ඔයාලට කිව්වොත් හැනිබල් ලෙක්ටර් වගේ කෙනෙක් ඇත්තටම හිටියා කියලා, ඒක නම් පොඩ්ඩක් බය හිතෙන කතාවක් නේද?
මේ චරිතය නිර්මාණය කරපු ලේඛකයා වන තෝමස් හැරිස් (Thomas Harris), තමන්ට මෙක්සිකෝවේදී මුණගැහුණු සැබෑ ඝාතකයෙක්ගෙන් තමයි ලෙක්ටර්ගේ චරිතයට ප්‍රධානම අදහස ගත්තේ. ඒ සැබෑ මිනිසා තමයි, බුද්ධිමත්, ආචාරශීලී, නමුත් Killer mindset එකක් තිබුණු ඇල්ෆ්‍රෙඩෝ බල්ලී ට්රෙවීනෝ (Alfredo Ballí Treviño).
මේ කතාව පටන් ගන්නේ 1960 ගණන්වල මුල් කාලෙදී. තෝමස් හැරිස් කියන්නේ ඒ වෙනකොට හිටිය හරිම තරුණ Journalist කෙනෙක්. එයා ඇමරිකානු සිරකරුවෙක් ගැන ලිපියක් ලියන්න මෙක්සිකෝවේ නුයෙවෝ ලියොන් ප්‍රාන්ත බන්ධනාගාරයට යනවා.
එතනදී තමයි හැරිස්ට “වෛද්‍ය සලාසාර්” කියන අමුතු චරිතය මුණගැහෙන්නේ. මේ වෛද්‍යවරයා පොඩි සිරුරක් තිබුණ කෙනෙක්. එයා හරිම සන්සුන්, හොඳට ඇඳ පැළඳ ඉන්න, ආචාරශීලී කෙනෙක්. තෝමස්ට අවස්ථාව හම්බෙනවා මේ වෛද්‍යවරයා එක්ක කතකරන්න. දෙන්නා කතා කරද්දී, හැරිස් පුදුම වෙනවා. මොකද මේ වෛද්‍යවරයා කතා කරන්නේ බෙහෙත් ගැනවත්, ලෙඩ රෝග ගැනවත් නෙවෙයි. එයා ප්‍රශ්න කරන්නේ “මිනිස්සුන්ට වේදනාව දැනෙන විදිය”, “බය වෙන විදිය” සහ “වධ හිංසා කරන විදිය” කියන්නේ මොනවද කියලා. හැරිස්ගේ විස්තරයට අනුව, එයා හරිම ගැඹුරු, ඒත් dark humour එකක් තිබුණු කෙනෙක්.
හැරිස් මුලින්ම හිතන්නේ, එයා සිරගෙදර සේවය කරන දක්ෂ මනෝ විද්‍යාඥයෙක් වෙන්න ඇති කියලා. හැබැයි එදා දවස අවසානයේදී එයාට සිරගෙදර ආරක්ෂක නිලධාරියෙක් ඇත්ත කියනවා.
“එයා ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. මෙහේ හිරකාරයෙක්, මිනීමරුවෙක්” කියලා.
අන්න එතකොට තමයි හැරිස්ට ඇඟේ මයිල් කෙළින් වෙන්නේ. ඒ නිලධාරියා වැඩිදුරටත් කියනවා, එයාට පුළුවන් “තමන් මරණ කෙනාව පුදුම හිතෙන තරම් පොඩි පෙට්ටියක වගේ තැනක උනත් හංගලා තියන්න” කියලා. මේ හමුවීම හැරිස්ගේ හිතට තදින්ම කාවැදෙන්නෙ ඔන්න ඔය වචන එක්ක.
වසර ගණනාවකට පස්සේ තමයි හෙළිවන්නේ, මේ “වෛද්‍ය සලාසාර්” කියන්නේ ඇත්තටම මෙක්සිකානු ශල්‍ය වෛද්‍යවරයෙක් වෙච්ච ඇල්ෆ්‍රෙඩෝ බල්ලී ට්රෙවීනෝ කියන එක. එයා හොඳ ධනවත් පවුලක ඉපදිච්ච කෙනෙක්.
1959 දී ට්රෙවීනෝ තමන්ගේ පෙම්වතා සහ සගයා වෙච්ච වෛද්‍ය ජේසුස් කැස්ටිලෝ රන්ගල්ව මරලා දානවා. එයාගේ ඝාතන විලාසය තමයි හැනිබල් ලෙක්ටර්ගේ චරිතයට පුදුම විදියට සමාන වෙන්නේ.
ට්රෙවීනෝ මුලින්ම ක්ලෝරෝෆෝම් පොඟවපු තුවායක් පාවිච්චි කරලා රන්ගල්ව සිහිය නැති කරනවා.
ඊට පස්සේ, ශල්‍ය වෛද්‍යවරයෙක් විදියට තමන්ගේ දැනුම පාවිච්චි කරගෙන, එයා රන්ගල්ගේ බෙල්ල කපලා, ඇඟේ ලේ සම්පූර්ණයෙන්ම අයින් කරලා, පසුව සිරුර පුංචි කෑලිවලට කපනවා.
ඒ කෑලි පෙට්ටියක දාලා මිහිදන් කරන්න එයා හදනවා.
මේ හොඳට ප්ලෑන් කරපු වැඩේ, ලෙක්ටර්ගේ චරිතයේ තිබෙන බිහිසුණු Discipline එක සහ විද්‍යාත්මක ක්‍රමවේදය පෙන්නන්න හැරිස්ට උදව් වෙනවා. ට්රෙවීනෝට 1961 දී මරණ දඬුවම නියම වුණත් පස්සෙ ඒක ලිහිල් කරනවා.
ට්රෙවීනෝගේ කතාවේ පුදුමම හිතෙන කාරණය තමයි එයාගේ dual personality එක.
එයා හිටියේ ඝාතකයෙක් විදියට.
හැබැයි, සිරගෙදර ඇතුළේ පවා එයා වෛද්‍යවරයෙක් විදියට දිගටම වැඩ කළා. එයා සිරකරුවන්ට බෙහෙත් කළා. සිරගෙදර ගේට්ටුව ළඟට ආපු දුප්පත් ගම්වාසීන්ට පවා නොමිලේ ප්‍රතිකාර දුන්නා.
හැමෝම එයාට සැලකුවේ කාරුණික සහ බුද්ධිමත් කෙනෙක් විදියට.
හැනිබල් ලෙක්ටර්ගේ චරිතයට මේ ගතිගුණ අතිශයින්ම වැදගත් වුණා. ඒ කියන්නේ, බාහිරින් හරිම ආචාරශීලී, උගත්, සහ මිනිස්සුන්ට උදව් කරන කෙනෙකුට වුණත්, ඇතුළතින් අතිශයින්ම සීතල සහ භයානක මිනීමරුවෙක් වෙන්න පුළුවන් කියන අදහස හැරිස්ට ලැබුණේ මේ ඇල්ෆ්‍රෙඩෝ බල්ලී ට්රෙවීනෝ නිසයි.
තෝමස් හැරිස් වසර ගණනාවකට පස්සේ “Red Dragon” සහ “The Silence of the Lambs” ලියද්දී, එයාගේ මතකයට ආවේ මෙක්සිකෝවේ සිරගෙදරදී මුණගැහුණු මේ අමුතු වෛද්‍යවරයාව.
හැරිස් පස්සේ අවසාන වශයෙන් තහවුරු කළා, ලෙක්ටර් කියන්නේ ට්රෙවීනෝ නොවෙයි වුණත්, එයාට ලෙක්ටර්ගේ චරිතය හඳුනාගන්න පුළුවන් වුණේ ට්රෙවීනෝ නිසයි කියලා.
“මගේ රහස් පරීක්ෂකවරයාට අපරාධකාරී මනසක් පිළිබඳ සුවිශේෂී අවබෝධයක් තියෙන කෙනෙකු සමඟ කතා කිරීමට අවශ්‍ය වුණා… ඒ සිරකුටියේ මා එනතුරු සිටියේ කවුරුන් යැයි ඔබ සිතනවාද? ඒ වෛද්‍ය සලාසාර් නෙවෙයි. නමුත් වෛද්‍ය සලාසාර් නිසාම, මට ඔහුගේ සගයා සහ සෙසු වෘත්තිකයා වූ හැනිබල් ලෙක්ටර් හඳුනා ගැනීමට හැකි වුණා.”
මේ අනුව, සිනමාවේ බිහිසුණුම, ආකර්ශනීයම චරිතයක් වන හැනිබල් ලෙක්ටර්ගේ කතාවට පදනම වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේ ඉතිහාසයක් කියන එක දැන් අපි දන්නවා.