“ඇත්තටම මම ආවේ මිස්ට තාරානාත් මේ දවස්වල ලංකාවෙ නෑ. අපේ ලොකු සර්, තාරානාත් සර්ගෙ තාත්තගෙ මෙඩිකල් වැඩ වගේකට සිංගපූ ගිහින්” කියලා ඒ ආව මනුස්සයා තමන්ව අඳුන්නලා දෙන්න කලින් හෙන පට්ටන්දරයක් දෙසාබාද්දි මමයි, මංජුයි, කාන්ති අක්කයි තුන් දෙනාම කරේ නිකන් හෙනම වැරදිකාරයෙක් දිහා බලන් ඉන්න පොලිසියෙ මහත්තුරු තුන්දෙනෙක් වගේ එක දිගටම ඒ මනුස්සය දිහාව බලාගෙන ඉන්න එක.
ඒ වෙද්දිත් කාන්ති අක්කා අතටම වඩම්මපු කිරි තේ එක අතේ තියාගෙන උන්න ඒ මනුස්සයා කිරි තේ එක බොන්න කලින් කෝප්පෙ දාරෙ ඇඟිල්ල යවලා පිහදැම්මෙ හරියට වත්තෙ මිනිස්සු තේ බොන්නෙ හෝදපු නැති කෝප්ප වල කියලා හිතලද දන්නෙ නෑ උනාට මොකෝ ඒක ඒ වෙලාවෙ වචන කරන්න බැරි හන්දා මං කිසි සද්දයක් නැතුව උන්නා.
“මං තමයි ගුඩ් ෆුඩ්ස් එකේ මාකටින් මැනේජර්” කියලා මිනිහා තේ උගුරක් බොන්න කතාව නතර කරපු තප්පර ගාණට මගෙ හිත තිබ්බෙ එක එක උපකල්පන ගොඩ නගාගෙන ඕවර් තින්කින් ප්‍රෝ මැක්ස් ලෙවල් එකක.
“මගෙ නම කුසල්” කියලා කිව්වට මට නම් ඒ මිනිහගෙ කිසිම කුසලස්ස උපසම්පදා ලුක් එකක් පෙනුනෙ නෑ අකුසල් පාටක් ඇරෙන්න.
“පිං මාලු වලේද?” කියලා මංජු කෝචෝක් එකක් දැම්මෙ ආන් එවෙලෙ. අර යකාගේ කට නිකන් නාහෙ ළඟින් බෙට්ටක් ගිය එකෙක්ගෙ වගේ ඇඹුල් වෙද්දි කාන්ති අක්කායි මායි නම් උන්නේ හිනාව හංග ගන්න විදියක් හොය හොය. ඒ උනාට කුසල් හාමි මංජුගෙ ඒ කතාන්දරේට නම් එච්චර ලොකු ඇටෙන්ශන් එකක් දුන්නෙ නැති පාටයි. එක උගුරට තේ ඔක්කොම ටික බීපු මිනිහා හිස් කෝප්පේ පුංචි මේසෙ උඩින් තිබ්බා.
“මං ඇත්තටම ආවෙ අපි දැන් මාස ගානක් තිස්සෙ ඔයාලගෙ ලන්ච් ක්ලබ් බිස්නස් එක මොනිටර් කරන ගමන් හිටියෙ” කියලා මිනිහා කියද්දි තමා මං කට ඇරියෙ.
“මං මේ ඇහුවමයි වෙන බිස්නස් ඕනර්ස්ලා තව බිස්නස් මොනිටර් කරනවා” කියලා මං කිව්ව එක මං වගේ වත්තක ජීවත්වෙන ගෑනියෙක් ගෙන් භාරගන්න බෑ නේද කියලා හිතලා වගේ තමයි කුසල් හාමි මං දිහාව බලන් උන්නෙ. මිනිහව නොදන්නවා උනාට මාකටින් මං හොඳටම දන්නවා කියන එක හන්දම මට නම් පුළුවන් උනා මිනිහා දිහාව කෙලින්ම වගේ බලාගෙන ඉන්න එක එල්ලේ.
“නැතුව කොහොමද මිස්…” කියලා මිනිහා කතාව නතර කරේ මගෙ නම අහගන්න. හරිනම් දරුවෙක් ඉන්න අම්මෙක් වෙච්ච මම මිසිස් වෙන්නෝන උනාට මට එවෙලෙ මිනිහට මිසිස් සල්වතුර කියලා කියන්න විදියක් තිබ්බෙ නෑ. මොකෝ මිසිස් සල්වතුර කියන්නෙ අපෙ අම්මානෙ. ඒ හන්දා මම නිකන්ම “නාද්‍යා” කියලා කිව්වා.
“මං කිව්වෙ මිස් නාද්‍යා, ඕනම කම්පනි එකක් තමන්ගෙ කම්පිටිටර්ස්ලව ඇනලයිස් කරන්නෝන. නැත්තම් කොහොමද අපි අපේ ග්රෝව්ත් එක, ස්ට්රෙන්ත්ස්, ත්‍රෙට්ස් වගේ ඒවා චෙක් කරගන්නෙ?” කියලා මිනිහා නිකන් මේ ලන්ච් ක්ලබ් සිස්ට්ම එක ලෝකෙට හඳුන්වල දුන්න ලන්ච් ක්ලබ් පියා වගෙ කතාකරද්දි මට මගේ ඇඟෙන්ම හිනා ගියා.
“මං කියන්නෝන කතාවක් නේද ඔබතුමා ඔය මට කියන්නෙ? මං කරන්නෝන දෙයක් තමයි ඔයාලා කරලා තියෙන්නෙ” කියලා මං කිව්වෙ ආන් ඒ හිනාව කන්ට්‍රෝල් කරගන්න උපරිම ට්‍රයි එක දෙන ගමන්.
“ඒ කිව්වේ?”
“හරිනම් මම කියන්නෝන දේවල් තමයි මිස්ට කුසල් ඔය මට කියන්නේ. ලන්ච් ක්ලබ් කියන සිස්ටම් එක මං හිතන්නෙ සර්ලා පටන් ගන්න කලින් තමයි මම පටන්ගත්තේ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මේ ඒක මම ඉන්වෙන්ට් කරපු අදහසක් කියලා. හැබැයි මට නම් හොඳටම ශුවර් සර්ලට කලින් නම් මම ඒක පටන් ගත්තා කියලා” ඇස් කොනෙන් බලද්දි කාන්ති අක්කයි මංජුයිත් උන්නේ ඒකට එකඟ වෙන්න වගේ ඔලුව හොල්ල හොල්ල.
“මෙහෙමයි ඉතින් මාකටින් වලදි බර අත්ත දිනනවා. මං හිතන්නෙ එතනට ආව එක හොඳයි අපිට ඇත්තටම ඕන උනේ නාද්‍යා එක්ක ඒ ගැන කතාකරන්න” කියලා කුසල් හාමි මෙච්චර වෙලා නමට ඉස්සරහින් දාපු මිස් කෑල්ලත් අයින් කරද්දි මිනිහා මේ අයිසින් දාගෙන එන්නෙ පුස් වෙච්ච කේක් කෑල්ලක් මට කවන්න කියන එක මට තේරුණේ නැත්තෙ නෑ.
“අපි අද ඊයෙක මේ කෑම බිස්නස් එකට ආව අය නෙවෙයි නාද්‍යා. අපේ මේ බිස්නස් එක පටන් අරගෙන තියෙන්නෙ තාරානාත් සර්ගෙ තාත්තගෙත් සීයා. ඉන්පස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආව මේ බිස්නස් එකට පොඩ්ඩක් කේස් උනා ඔය කොරෝනා, අරගල ඒවා මේවා එක්ක. අපිට උන්න කෑම උයන මිනිස්සු එහෙම ඒ කාලෙ වෙන වෙන රස්සා වලට ගියයින් තමයි අපිට ඇත්තටම බිස්නස් එක ස්කේල් ඩව්න් කරන්න සිද්ද උනේ.
ඒක අපිට දරාගන්න බැරිවෙච්ච ලොකු පාඩුවක් හැබැයි ස්ටිල් අපි තාම ඔයාලට වඩා නම් ලොකු බිස්නස් එකක් නාද්‍යා” කියලා කුසල් හාමි කියද්දි මේ ගේම් එක ප්ලේ කරන්න නම් මම මගේ කාඩ්ස් හරියට අඳුරගන්න ඕන කියන එක මට ඒ වෙලාවෙ තමයි තේරුණේ.
“දැන් ඔය කතාව මට කියලා මිස්ට කුසල් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද?” කියලා මං කෙලින්ම ඇහුවෙ අන්න ඒකයි.
“මෙහෙමයි මම ඇත්තම කියන්නම් නාද්‍යා.අපිට ඇත්තටම ඔයාලා ත්‍රෙට් එකක් බව ඇත්ත. හැබැයි එහෙමයි කියලා මං හිතන්නෙ අපිට මෙතන අමතක කරන්න බෑ ගුඩ් ෆුඩ්ස් එක ලොකුයි සහ අපෙ කැපෑසිටි එක වැඩියි කියලා ඔයාලට වඩා. මේ වගේ ප්ලේස් එකක ඉඳගෙන තමයි ඔයාලා මිනිස්සුන්ට කන්න කෑම එහෙම හදලා එවන්නෙ කියල දැනගත්තොත් සමහරවිට මිනිස්සු ඔයාලගෙ කෑම කන එකකුත් නැතිවෙන්න පුළුවන්. යු නෝ වට් අයි මීන් නේද?” කියලා කුසල් හාමි මං දිහාව බලලා අහද්දි මිනිහා ඒ ඇඟෙව්වෙ “මේ වත්තෙ හැටි බලන්න, මේ මිනිස්සුන්ගෙ හැටි බලන්න. අනික ඉතින් ඔයාට ළමේකුත් ඉන්නවලු නේද? හස්බන්ඩ් කෙනෙකුත් නැතුව බිස්නස් කරන එක ගෑනුන්ට එච්චර ලේසි වැඩක් නෙවෙයිනෙ. යූ නෝ වට් අයි මීන් නේද?” කියන කාරණා බව මට නොතේරුණා නෙවෙයි. අනික කුසල් හාමි කිව්ව කතාවෙ බොරුවක් තිබ්බෙ නෑ. අපි කොච්චර හොඳට ක්ලීන් විදියට, හයිජිනික් විදියට වැඩේ කරත් ඕනම කෙනෙක් පොත ජජ් කරන්නෙ කවරෙ බලලා හන්දා කුසල් හාමි කිව්ව කතාව ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එකත් මට තේරුණා.
ඒත් අපි මිනිස්සු විදියට හැමදාම ඇත්තට වඩා ඉඩ දුන්නෙ අපේ කමට නේද? අන්න ඒ නිසාමයි මම දුම්මල වරම අතට අරගෙන වගේ කුසල් හාමිට කතා කරේ.
“මෙහෙමයි මිස්ට, තැන්ක්යු වෙරි මච් අපේ තැනට ඇවිල්ල මේ අපිවම පල්ලෙහට දාලා කතාකරනවට. තමුන් අරගෙන ආව ඔෆර් එක කොච්චර ලොකු උනත් සොරි අපිට ඒක භාරගන්න කිසිම උවමනාවක් නෑ. ඒ වගේම තමයි අපිව තමුන්ට ත්‍රෙට් එකක් කියලා පේනවනම් ඒක ඔයාලගෙ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඒ හන්දා ඒක ඔයාලා විසඳගන්න අපිව ගාවගන්නෙ නැතුව. අනික මම හිතන්නෙ නෑ මේ අපි කන්න බොන්න දෙන පණහක හැටක මිනිස්සු හන්දා ඔයාලා වගේ ඔය මහ ලොකු, අවුරුදු ගාණක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන කම්පනියක් බිමට කඩං වැටෙයි කියලා.
මං කෑම උයන විදියෙ කොලිටි එකේ ඉන්ස්පෙක්ශන් එකක් කරන්නෝන නම් අනේ කිසි ප්‍රශ්නයක් නෑ.කරන්නකො. ඇවිත් බලලා යන්න. අනික ළමයා මගේ නම්, ළමයා ඉන්නෙ මං ළඟ නම් ඔය මහත්තයට ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනෙ? මට පුළුවන් හන්දා තමයි මම මේක කරන්නෙ.
අනික හස්බන්ඩ් කෙනෙකුත් නැතුව බිස්නස් කරන එක ගෑනුන්ට එච්චර ලේසි වැඩක් නෙවෙයිනෙ කිව්වට දැන් එහෙම ගෑනියෙක් කරන බිස්නස් එකක් නේද සර්ලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත්?”