ළතෙත් ආදර හැඟුම් ගංගා – 24

*නාද්‍යා සොනාලි සල්වතුර*

“මහ පුදුම මනුස්සයෙක් නෙ නේද? කවුද අනේ හිතන්නෙ ඔහොම දෙයක් කියාවි කියලා ඔය මනුස්සයා” කියලා ආයෙ ආයෙ පුදුම වෙන ගමන් කාන්ති අක්කා උන්නේ රෑ එළියට යවන්නෝන කෑම පෙට්ටි ටික අහුරලා මංජුගෙ වීල් එකට පටෝලා අපිට කන්න බත් බෙදන ගමන්. රතු බත් වලට, බිත්තර බුල්සයි දාලායි. පොල් සම්බෝලයි, පරිප්පුයි. දැන් අපිට කඩෙන් බිත්තර ගන්න පුළුවන් අන්දමේ ආදායමක් තියෙන හන්දා මංජුට තවදුරටත් අපි වෙනුවෙන් අපේ ගෙයි දොරකඩ ඉස්සරහා බිත්තර දාන්න උනේ නෑ.

“මිනිහා ඔය හැමදාම අපිට බිත්තර ගෙනත් දෙන්නෙ කොහෙන්ද දන්නෙ නෑනේද? හොරකං කරන ඒවද දන්නෙත් නෑ අක්කෙ” කියලා මම දවසක් ඔය විත්තිය කන්ති අක්කට කිව්වම එයා නම් කිව්වේ,

“කොහෙන් ගෙනාවත් කද්දි ඉතින් ඕක බිත්තරයක් විතරනෙ අක්කෙ. මොකෝ හොරෙන් කන බිත්තරෙයි උපයලා කන බිත්තරෙයි කියලා ආය වෙනසක් තියෙනවය කියලා. අනික ඕක ඔය බිත්තර ගේන්නෙ නංගිට ගුන ල්දෙයක් කන්න බොන්න දෙන්නෝන කියලා සර්ධාවෙන්”

“සර්ධාවට වඩා මිනිහගෙ තියෙන කුකුල් කම තමා අප්පා” කියලා මං ආයෙ කියද්දි කාන්ති අක්කට ඒකට දෙන්න උත්තරේකුත් තිබ්බා.

“කුකුලෙක් උනත් මොකෝ නංගියෙ. බිත්තර දානවනෙ” කියලා. අක්කා බෙදලා දුන්න බත් එක බිත්තරයි අනික් වෑංජනයි එක්ක අනාගන්න ගමන් මං බැලුවෙ සාලෙ බිම පැදුරෙ දිගාවෙලා අත් උඩට උස්සගෙන එක එක මොන මොනවද කියො කියෝ ඉන්න අහස් දිහා.

සමහර වෙලාවට එයා පුංචි මුතු ඇටයක් වගේ නිදාගෙන ඉන්න දිහා බලන් ඉන්නකොට, මට හිතෙනවා, මට මෙච්චර අකටයුතුකම් කරපු ලෝකෙකින් මෙච්චර පිරිසිදු පුංචි මුතු ඇටයක් වගේ දරුවෙක් මං ළඟට ආවෙ කොහොමද කියලා. එයාගෙ මූණෙ සමහර අංග එයාගෙ තාත්තා වගේ කියලා තේරෙද්දි අපි අර කියනව සුරංගනා ලස්සන කතාවක වගේ “තාත්ත කියලා කෙනෙක් නැති මේ දරුවා මං වගේ විතරක් වෙනවනම් කොච්චර හොඳද?” කියලත් මට හිතෙනවා. අපි ඉස්කෝලෙ යන කාලෙ කියෙව්ව සමහර ලව් ස්ටෝරිස් වල කොල්ලගෙන් කරදර වෙල දරුවො ලැබෙන, එහෙම නැත්තම් නරක හස්බන්ඩ් කෙනෙක්ගෙන් ඩිවෝස් වෙලා දරුවෙක් එක්ක තනියෙන් ජීවත්වෙන අම්මලාගෙ දරුවො ඒ අම්මලා වගේම මිසක් එයාලගෙ තාත්තලගෙ පෙනුමවත් ගතිගුණවත් අබමල් රේණුවක තරමෙන්වත් ගෑවිලා නැති අය උනාට ඇත්ත ජීවිතේ ඒක එහෙම වෙන්නෙ නෑ කියන එක මං හොඳටම දැනගෙන හිටියා.මේ කිසිම දෙයක් දන්නෙ නැතුව අහස් එයාට තාම අම්මා තාත්තා කියලා කියන්නත් බැරි කාලෙදි එයාගෙ තාත්තා අපිව දාලා ගියා කියලා දන්නෙ නැති එකම එයාගෙ පුංචි හිතට අනාගතේදි අහන්න, දකින්න, දරාගන්න වෙන දුක් කන්දරා දහස් ගාණකින් පොඩි කාලෙකට හරි එයාව නිදහස් කරලා තියෙනවා කියන එක ගැන මම අම්මා කෙනෙක් විදියට සන්තෝස උනා. “මිනිහෙක් නැති ගෑනියෙක්” කියලා අහගන්නවට වඩා “අප්පෙක් නැති ළමේක්” කියලා අහගන්න එක මහ බරක්, දරාගන්න අමාරු බරක්, ලැජ්ජාවක් කියලා මම දැනං උන්නා. අනික එයා මේ කිසිම දෙයක් නොදන්න පොඩි කාලෙදි ඔහොම මං ළඟට වෙලා උන්නට ලොකු වෙලා යමක් කමක් තේරුම් යද්දි “මට තාත්තා කෙනෙක් නැති ළමේක් කියලා අහගන්න උනේ අම්මාගෙ වැරදි හන්දා” කියලා චෝදනාවක් අහන්න වෙයි කියන බය, ඒ චෝදනාව නිසාම එයා මගෙන් ඈත්වෙයි කියන බය මට තිබ්බා. මම එයාට දෙන, දෙන්න හදන හැම හිනාවකම මම ගිලින්නෙ නැතුව හංගපු කඳුළු සිය ගාණක් තියෙනවා කියලා අහස් දන්නෙ නෑ. සමහරවිට කවදාවත් දැනගන්න එකකුත් නෑ. එයාම කවදහරි මගෙන් “මගෙ තාත්තා කෝ” කියල අහන දවසක් එනකම් ඒ ගැන කිසිම දෙයක් නොකිය ඉන්නවා කියල මං හිතුවෙ මොකද එයාට තව පොඩ්ඩක් හරි ලස්සන ලෝකෙක ඉන්න අයිතියක් තියෙනවා කියන එක මං හිතුව නිසා. එයාට තාත්තෙක් ඉන්නෝන කියන අයිතිය මම නැතිකරලා දාපු එකේ පොඩි කාලෙකට හරි ලස්සන ලෝකෙක ඉන්න තියෙන අයිතියත් නැති කරලා දාන්න මට උවමනා උනේ නෑ. මම මගේ හිත ගලක් කරගත්තද මලක් වගේ දරුවෙක්ගෙ මල් පෙති හිතක් උඩට උණු වතුර වක්කරන්න උවමනාවක් මට තිබ්බෙ නෑ. මම මේ ඇත්ත තනියම දරාගෙන ඉන්නම්, මට පුළුවන් තාක් කල්, මොකද අම්මලා කරන්නෙ ඒක හන්දා කියලයි මං හිතුවෙ. දරුවන්ට හිතේ නිදහසෙන් හැදෙන්න දෙන්න, අම්මලා කොච්චර නම් කඳුළු ඇස් වලින් එළියට නොදා හිත අස්සෙ පුරවගෙන ඉන්නවද?

“ඇත්තටම ඇයි නංගියෙ ඒ මනුස්සයා එහෙම කිව්වේ?” කියලා කාන්ති අක්කා ආයෙ අහද්දි මෙච්චර වෙලා අහස් දිහා බලාගෙන උන්න ඇස් මම ආපහු සැරයක් කාන්ති අක්කා දිහාවට හැරෙව්වා. 

“අපිට තව මේ ගැන කතාකරන්න කිසිම දෙයක් නෑ” කියලා තාරානාත් දහම් වංශනායක කියද්දි මං එයා දිහා බලන් ඉඳියෙත් කාන්ති අක්කා වගේම ඇස් වල පුදුමයක් රන්දගෙන.

“එකපාරටම මං කියන දේ ගැන පොඩ්ඩක්වත් කන්සිඩර් කරන්නෙ නැතුව මිස්ට වංශනායක ඔහොම අදහසකට එන එක අපෙ පැත්තෙන් චුට්ටක් අසාධාරණයි නේද?” කියලා හරිම නිවිහැනහිල්ලෙ ඇහුවත් මගේ හිත තිබ්බෙ එහෙම නිවිහැනහිල්ලක නෙවෙයි. තාරානාත් කියන්නෙ උපතින්ම සල්ලිකාරයෙක්. රිදී හැන්ද කටේ ගහන් ආව කෙනෙක්. ඒත් මගේ දරුවා කියන්නෙ එහෙම කෙනෙක් නෙවෙයි. රිදී හැන්දක් තියා ඒ දරුවට ප්ලාස්ටික් හැන්දක්වත් අපි අරගත්තෙ අමාරුවෙන්. එහෙම එකේ තාරානාත් මේ කියන විදියට “මේ ගැන තව දුරටත් කතාකරලා වැඩක් නෑ” කියන එක මට එච්චර ලේසියෙන් දිරවගන්න පුළුවන් උනේ නෑ.

“නෑ නාද්‍යා මං කිව්වේ මේ” කියල තාරානාත් මොනවද කියන්න හදද්දි උනත් මං උන්නේ ඒ කිසිම දෙයක් අහන්නවත්, එයාට කිසිම දෙයක් කියන්නවත් ඉඩක් දෙන ඉස්පාසුවක නෙවෙයි.

“මං කියන දේත් චුට්ටක් අහන්න මිස්ට වංශනායක. මම මෙච්චර හරි දුරක් මේ ජීවිතේ ආවෙ ලේසියෙන් නෙවෙයි. මට සෑහෙන අමාරු කාලයක් පහු කරලා තමයි මම පහුගිය කාලෙ මේ බිස්නස් එක පොඩියට හරි බිල්ඩ් කරේ. එහෙම එකේ සර්ලා කියනවා වගේ ලේසියෙන් මට මේ වැඩේ අතාරින්න බෑ සර්. සර්ලට සමහරවිට මේ බිස්නස් එක නැති උනොත් වෙන දෙයක් පටන් ගන්න පුලුවන්කමක් ඇති. ඒත් මට එහෙම පුළුවන්කමක් නෑ සර්. වැටුණම ආයෙ වැටිච්ච තැන ඉඳන් නැගිටින්න කියලා කිව්වට මට තව වැටෙන්න කියලා තැනක් නෑ සර්. මේ මං මේ දැන් ඉන්නෙ මං වැටිච්ච තැන. එතනින් පල්ලෙහට මට වැටෙන්න තැනක් නෑ. ඒ හන්දා ප්ලීස් අපි මේක තව දුරටත් කතා කරල බලමු. අපි දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් පාඩු නොවෙන විදියකට වැඩේ කරගෙන යන්න පුළුවන් විදියක් බලමු”

“මට දැනටම වෙන්න තියෙන පාඩුව වෙලා ඉවරයි නාද්‍යා. ඔයා කිව්වට අපි දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් පාඩු නොවෙන විදියකට වැඩේ කරගෙන යන්න පුළුවන් විදියක් බලමු කියලා මට ඒක කරන්න විදියක් නැත්තෙ ඔයා ඔය කියන කිසිම හේතුවක් හන්දා නෙවෙයි. වෙන හේතුවක් හන්දා”

“මොකද්ද හේතුව?”

“කුසල් කෙලවලා ගියේ ඔයාලට විතරක් නෙවෙයි නාද්‍යා මටත් එක්ක. මිනිහාව අස්කරාටත් පස්සෙ තමයි මම දැනගත්තෙ මම අපේ තාත්තගෙ අසනීපෙ එක්ක බිසී වෙලා උන්න කාලෙ කුසල් අපේ බිස්නස් වල ලාබෙන් දෙකෙන් පංගුවකටත් වඩා මිනිහගෙ ප්‍රයෝජන වෙනුවෙන් අරගෙන කියන එක.

මට ඔයාට උදව් කරන්න විදියක් නැත්තෙ ඒ හන්දා”

“එතකොට සර් කියන්නේ අපිට අපේ බිස්නස් එක වහලා දාන්න කියලද?”

“එහෙම කරන්න ඕන වෙන එකක් නෑ නාද්‍යා”

“ඇයි ඒ?”

“මොකද මම මගේ බිස්නස් එක වහලා දැම්ම හන්දා”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles