ළතෙත් ආදර හැඟුම් ගංගා – 30

*නාද්‍යා සොනාලි සල්වතුර*

කොච්චර හිත හයියයි කිව්වත් අම්මා කෙනෙක්ට බෑ හිත හයිය කරගෙන ඉන්න තමන්ගෙ දරුවෙක් ලෙඩ ඇඳට වැටිලා ඉන්නවා දකිද්දි. වැඩ කරලා ඇඟට දැනෙන මහන්සිය වගේම, දවාලෙ තාරානාත් ගෙ කටෙන් පිටවෙච්ච වචන හන්දා හිතට දැනිච්ච මහන්සිය අහස්ට කිරි දෙන අතරවාරෙම මාව නිදි කරවලා තිබ්බා. වැරදි විදියට කිරි බීපු හන්දා ඒ කිරි හිරවෙච්ච අහස් අඬද්දි ඇහැරිච්ච මං උන්නේ “දැන් මං මොකද්ද කරන්නෙ?” කියලා හිතාගන්න බැරුව. හුස්ම ගන්න බැරුව වගේ අහස් හුස්ම අල්ලද්දි, ගොර ගොර සද්දයක් උගුරෙන් එද්දි මට දැනුනෙ මගෙ මුලු ලෝකෙම එකම තැනක නතර වුනා වගේ කියලා.

“ගොඩක් වෙලාවට දරුවන්ට කිරි හිරවෙන්න හේතුවෙන්නෙ අම්මලා වැරදි ඉරියව්වෙන් දරුවන්ට කිරි දෙන්න යන එක.කිරි උරා බොද්දි පෙවෙන වාතය පිටවෙද්දි එහෙම නැත්තම් අපි කියනවා ගුඩුස් යද්දි ඒ වාතය එක්ක උඩට එන කිරි ස්වසන මාර්ගයට ඇතුළු වෙන හන්දා දරුවෙකුට අපි නොහිතන විදියෙ ලොකු ප්‍රශ්න උනත් ඇතිවෙන්න පුළුවන්. පැටියා නිදාගද්දී ඔලුව ඉහළට ඉස්සෙන විදියට කොට්ට තියන නිසාත් මේ දේ වෙන්න පුළුවන්” කියලා ළමා සායනේදි මිඩ් වයිෆ් කියපු දේවල් ආයෙ ආයෙ මතක් වෙද්දි මං උන්නේ හීන් සීරුවෙ නිදාගෙන ඉන්න අහස් දිහා බලාගෙන ඉන්න එක.

“මං මහ නරක අම්මා කෙනෙක්. ඔක්කොටම වඩා මං මගේ දෙමව්පියන්ට නරක දරුවෙක් උනා. අන්තිමේ මම සමාජෙට නරක ගෑනියෙක් උනා. දැන් මං මගේ දරුවට නරක අම්මා කෙනෙකුත් වෙලා” කියන ගමන් මම කාන්ති අක්කගෙ උරහිසට හේත්තු උනේ එක කඳුලු බිංදුවක්වත් මගෙ ඇස්වලින් බිමට වක්කරන්නෙ නැතුව.ඇත්තටම කිව්වොත් මගෙ ඇස්වලින් බිමට වැක්කෙරෙන්න කිසිම කඳුලක් තිබ්බෙ නෑ. මං උන්නේ හිඳිලා. හිත පත්ලටම හිඳිලා. 

“මෙහෙම දේවල් වෙනවා නංගියෙ දරුවො පොඩි කාලෙ. ඔයා විතරක් ය මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි මනුස්සයා. ඕන තරම් මේ වගේ දේවල් වෙනවා. ඔයා මේ හැටි කලබල වෙලා තියෙන්නෙ ඉතින් මේ ඔයාගෙ පලවෙනි වතාව හන්දනෙ. අනික ඉතින් මෙහෙම දෙයක් නොවී තියෙන්න ඔයා මොකෝ මීට කලින් ළමයි හදලා පුරුදු මනුස්සයෙක් ද? ඕවට මෙච්චර හිත කරදර කරගෙන හරියන්නෙ නැ? එහෙම දේවල් කරගෙන කොහොමද ළමයි බලන්නෙ. දැන් අනික දොස්තර මහත්තුරු උනත් බැන්නෙ නෑනෙ නංගියෙ. අපිට තව ටිකකින් ගෙදර යන්න පුලුවන් වෙයි දරුවත් එක්කරගෙන” කියලා කාන්ති අක්කා කිව්වට හිත අස්සෙ තිබිච්ච වේදනාව පොඩ්ඩක්වත් අඩු කරලා දාන්න ඒ වචන මට කිසිම විදියකින්  උදව්වක් උනේ නෑ.

මගෙ හිත තිබ්බෙ “උඹ නරක අම්මා කෙනෙක්. ගෙදෙට්ට වෙලා දරුවා බලාගන්නෙ නැතුව මහ ලොකුවට ගියා බිස්නස් කරන්න. මහ ලොකු ව්‍යවසායිකාව. අන්තිමේ වෙච්ච දේ පේනවා නේද?” කියලා බණින ගමන්. අනිත් පැත්තට ඒ හිතම තිබ්බේ “මෙහෙම දේවල් හරිම නෝමල් නාද්‍යා. ඔයා කරන්නෝන මේ වගේ වෙලාවක තව ස්ට්‍රෝන්ග් වෙන එක මිසක් මෙහෙම කඩා වැටෙන එක නෙවෙයි” කියලා කියන එක. මම උන්නෙ මං විශ්වාස කරන්න ඕන, සවන් දෙන්න ඕන හිතේ මොන පැත්තටද, හිතේ මොන පැත්ත කියන කතාවද කියලා විශ්වාස කරගන්න බැරුව.

අහස්ව බලපු ඩොක්ටර් මං දිහා බැලුවෙ හරිම සන්සුන් ඇස් වලින්.

 “බයවෙලා ද ඉන්නේ?.කියලා ඩොක්ටර් අහද්දි මම ඔලුව දෙපැත්තට වනලා “නෑ” කිව්වට ඩොක්ටර් ආයෙ හිනා උනේ “බය වෙලා නේ ඉන්නේ, බය වෙන්න එපා” කියලා.

 “ඔයාගෙ බබාට දැන් හොඳයි. කිරි හිරවීමක් තමයි මෙතන වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට බබා හාන්සි වෙලා හරි, ඉක්මනට හරි කිරි බොනකොට, කිරි වැරදි පැත්තෙන් ගිහින් හුස්ම යන තැනට යන්න පුළුවන් එහෙම දෙයක් තමයි මේ වෙලා තියෙන්නෙ”

මගේ අත් දෙක වෙව්ලද්දි, අඬල අඬලා දැවිල්ල අරගෙන තිබ්බ ඇස් වලින් බලාගෙන මම ඇහුවා “බබාට ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර්?” කියලා.

“දැන් දරුවට කිසිම ප්‍රශ්නයක් නෑ. හී ඊස් සේෆ්. හැබැයි පෙණහලුවලට කිරි ගොඩක් ගියොත් අනතුරුදායක වෙන්න පුළුවන්.” කියපු ඩොක්ටර් එයාගෙ පුටුවට පිටිපස්සෙ බිත්තියෙ අලවලා තිබිච්ච චිත්‍රයක් පෙන්නලා මට තව දේවල් එක්ස්ප්ලේන් කරන්න ගත්තත් මං උන්නෙ වෙන සිහියක.

“මං නරක අම්මා කෙනෙක්, උඹ නරක අම්මා කෙනෙක්, දරුවව මරාගන්න හැදුවෙ” කියලා හිත කියද්දි ඩොක්ටර් දිගටම කතා කර කර උන්නේ. “ඊළඟ පාර කිරි දෙනකොට, ඔළුව ඇඟට වඩා පොඩ්ඩක් උඩින් තියාගන්න. කිරි දීලා විනාඩි පහළොවක් විතර කෙළින් තියාගෙන, බර්ප් කරවලා නිදි කරවන්න. එතකොට ආපහු කිරි උඩට එන්නෙ නෑ.”

“ඔව් මං දන්නවා, අයෑම් සොරි ඩොක්ටර්. මං දන්නෙ නෑ මට කොහොමද එහෙම නින්ද ගියේ කියලා. මං මං මං…”

“හරී. මට තේරෙනවා. දැන් ඔයා දන්නවානෙ. ඔයා ඉගෙන ගන්නවානෙ, ඒක තමයි වැදගත්ම දේ.හැමදේම අපි දැනගෙන නෙවෙයිනෙ මේ ලෝකෙට එන්නෙ නේද. වෙන දේවල් වලින් තමයි අපි ඉගෙන ගන්නෙ. ඒකමනෙ අපි අම්මලව මෙච්චර උතුම් කියලා සලකන්නෙත්. කරදර මැද්දෙත් දරුවන්ගෙ දුක් වෙනුවෙන් තැවෙන හන්දනෙ” 

පපුවට තුරුලු කරගෙන ගෙදර එක්කරගෙන ආව අහස්ව ඇඳෙන් තියලා, ඇඳ ළඟ ඉඳගෙන, එයාගෙ පොඩි පපුව උස් පහත් වෙන දිහා බලාගෙන ඉද්දිත් මගෙ ඔලුවෙ වැඩ කරේ එක දෙයයි. 

“මං නරක අම්මා කෙනෙක්, උඹ නරක අම්මා කෙනෙක්, දරුවව මරාගන්න හැදුවෙ” ඒ වචන මම හිතුවට වඩා හිතට බරක් වුණා. අම්මා කෙනෙක් වෙන එකට කොච්චර ඉගෙන ගන්න වෙනවද කියලා කවුරුත් කියලා දෙන්නෙ නෑනේ. හැමෝම කතා කරන්නෙ ආදරේ ගැන, බබාව වඩාගන්නකොට දැනෙන සතුට ගැන, අම්මලා හයියයි කියන එක ගැන. ඒත් අපි කොච්චර බය වෙනවද කියලා කවුරුත් කියන්නෙ නෑ. ඒ වගකීම දරාගන්න හිතට අමාරුයි කියලා දැනෙද්දි “දෙයියනේ මොන මගුලකටද මම අම්මා කෙනෙක් උනේ” කියලා හිතෙන විත්තිය කවුරුවත් කියන්නෙ නෑ.

මම හිතුවා, මම අහස්ව මුලින්ම අතට ගත්ත වෙලාවෙ, අම්මා කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා මම දන්නවා ඇති කියලා. ඒක දැනෙන්නෝන මගෙ හිතට කියන එක. මම හිතුවෙ මම ස්ට්‍රෝන්ග් වෙලා ඉන්න ඕන එක,  කන්න දෙන එක, සනීපෙන් තියන එක, හිනස්සවන එක විතරයි අම්මා කෙනෙක් විදියට දරුවෙක්ව බලාගනිද්දි වැදගත් වෙන්නෙ කියලා. ඒත් ඒකට වඩා ගොඩක් දේවල් තියෙනවා කියන එක මහන්සි වුණත් ඉවසගෙන ඉන්න ඉගෙන ගන්න ඕන කියන එක, වැරදි කරලා, ඒවට අඬලා, ආයෙත් බය නැතුව ඉන්න උත්සාහ කරන්න හයිය හොයාගන්න ඕන කියන එක, එකපාරටම සිද්ධ වෙන දේවල් වලට කිසිම පොතකින්, යූටියුබ් එකෙන්වත් තියා වෙන අම්මා කෙනෙක් කියන දෙයක් හන්දවත් කලින් ලෑස්ති වෙලා ඉන්න බෑ කියලා තේරුම් ගන්න මට මෙච්චර මාස ගානක් ගියා නේද කියලා හිත කිව්වා. මට දැනුනෙ මං මේ ලෝකෙට අරගෙන ආව, මේ ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති දරුවෙක් මං හින්දා වේදනා විඳිනවා නේද කියන එක මට දරාගන්න පුළුවන් වෙච්ච ෆීලින් එකක් උනේ නෑ.

අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ හැමදේම හරියට කරන එක නෙවෙයි වැරදි වැරදි හරි ආය ආය ට්‍රයි කරනවා කියන එක මම ඉගෙන ගත්තෙ කාලෙ එක්ක. අම්ම කෙනෙක් වෙච්ච ජර්නි එකට හැඩගැහෙන එක, හැම වෙලාවෙම අමාරුම විදියට වුණත්, පාඩම් ඉගෙන ගන්න එක, හැම පොඩි බයක්ම, නිදි නැති හැම රැයක්ම, හැම කඳුළක්ම, හැම ස්ට්‍රගල් එකක්ම අපිට දෙයක් උගන්වනවා කියන එක මං ආයෙ ආයෙ මගෙ හිතට කිව්වෙ “මම හිතෙන් වැටුණොත් ආයෙ නැගිටින්න මට හයියක් වෙන්නෙ මං විතරයි” කියන එක වගේම “මං වැටුණොත් වැටෙන්නෙ තනියෙන් නෙවෙයි මගෙ දරුවත් එක්කමයි” කියන එක මතක් වෙච්ච හන්දා.

මම කඳුළු වලට පෙඟිච්ච අහස්ගෙ රෝස පාට කම්මුල් දිහා බලලා මිමුණුවා, “ඔයත් මට උදව් වෙනවා නේද හොඳ අම්මා කෙනෙක් වෙන්න?” කියලා. කිසිම දෙයක් වුණේ නැහැ වගේ එයා හරිම සන්සුන්ව නිදාගෙන හිටියා. අම්මලා නොදැන කරන වැරදි වලට සමහරවිට ළමයි සමාව දෙන්නෙ එහෙම වෙන්න ඇති කියලා මං හිතුවා.මං මගෙ හිත එහෙම කියලා සනසගත්තා.

දරුවෙක් ඉපදෙන මොහොතෙම, අම්මා කෙනෙක් ඉපදෙනවා කියලා, දෙන්නා එක්කහු වෙලා ජීවිතේ ගැන අලුතින් ඉගෙන ගන්නවා කියලා, මේ අලුත් ලෝකේ එකට ජීවත් වෙන්න ඉගෙන ගන්න හදනවා කියලා වගේම දරුවා හුස්ම ගන්න, කන්න, බලන්න ඉගෙන ගන්නවා වගේම අම්මා කෙනෙක් දරුවෙක්ව රකින්න, සැනසීම දෙන්න, බය අතාරින්න ඉගෙන ගන්නවා කියන එක මම උන්නෙත් හීන් සැරේ තේරුම් ගන්න ගමන්.

“අපි එකට ඉගෙන ගමු, මගෙ පුතේ මම හැමදේම දන්නෙ නැති වුණත්, මම උත්සාහ කරන එක නම් කවදාවත් නවත්වන්නෙ නෑ. ඔයාට ඉන්නෙ මම විතරනෙ. ඔයාට දෙන්න පුළුවන් හැම හොඳ දේම මම ඔයාට දෙනවා වගේම මට වෙන්න පුලුවන් හොඳම අම්මා වෙන්න මම හැම තප්පරේම මහන්සි වෙනවා”

කාන්ති අක්කා කාමරේට එබුණෙ අන්න ඒ වෙලාවෙ.

“නංගියෙ අර මහත්තයා ඇවිත්” කියලා එයා කියද්දි මං කල්පනා කරේ එක දෙයයි.

“මගෙ ජිවිතේ ඉන්න මහත්තුරු කවුද?” කියන එක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles