ළතෙත් ආදර හැඟුම් ගංගා – 32

*නාද්‍යා සොනාලි සල්වතුර*

මම කවදාවත් හිතුවේ නැති විදියට ඉපදිළා මාස කීපෙකට පස්සෙ අහස්ට තාත්තෙක් හම්බුනා. මං ඒක කට වචනෙට, මේ කතාව ලස්සන කරන්න කිව්වට ඇත්තටම තාරානාත් අහස්ට සැලකුවෙ තමන්ගෙම දරුවෙක්ට වගේ.

“මෙහෙ නිතර එන එක ගෙදර අය එහෙම දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි නේද?” කියලා මම ඇහුවෙ තාරානාත් අහස්ට කන්න බොන්න, අඳින්න පලඳින්න ඕන කරන දේවල් මහ ගොඩක් එක්කාසු කරගෙන අපේ ගෙදරට සතියට වතාවක් දෙකක් යන්න එන්න පටන් ගත්තයින් පස්සෙ.

“මටද ඔයාටද?”

“මොකද්ද?”

“ප්‍රශ්නයක් වෙන්නේ?”

“ඔයාට. මට නම් ඉතින් තව වෙන්න අමුතුවෙන් ප්‍රශ්න නෑනෙ. තාත්තෙක් නැති ළමයෙක් හදනවා කියන එකම ඇති මුළු ජිවීත කාලෙම ගෑනියෙක්ට හිත රිද්දගන්න නේද?” 

“මං තාම දන්නෙ නැති හන්දා මොකද්ද ඇත්තටම උනේ, මේ බබාගෙ තාත්තා කවුද, කොහොමද ඔයා ප්‍රෙග්නන්ට් උනේ කියලා මම ඔය කිසිම දේකට උත්තර දෙන්න යන්නෙ නෑ. හැබැයි මොන විදියකින් හරි ඔයා ලඟට ආපු දරුවව නැතිකරන්නෙ නැතුව තියාගන්න ඔයා තීරණේ කරපු හන්දා දැන් ඔයාට දුක්වෙන්න අයිතියක් නෑ නේද? ඔයා සන්තෝසෙන් ඉන්න ඕන දැන් දරුවා හන්දවත්”

“කියද්දි ඒක මාර ලේසියි වගේ දැනුණට කරද්දි තමයි අමාරු. අනික සල්ලි තියෙන තැන්වල අයට තරම් සමහර ප්‍රශ්න වලදිත් දුප්පත් අයට ජීවිතේ ලේසි නෑ”

“අන්න ඒක තමයි ලොකුම අවුල”

“මොකද්ද?”

“එහෙම හිතන එක?”

“කොහොම හිතන එකද?”

“සල්ලි තියෙන මිනිස්සුන්ට පුළුවන් කියලා සල්ලි වලින් ප්‍රශ්න විසඳගන්න”

“ඉතින් ඒක ඇත්තක් නෙවෙයිද?”

“එහෙම සල්ලිවලට ප්‍රශ්න විසඳන්න පුළුවන්කමක් තිබ්බා කියලා ඔයා හිතනවනම් අපේ තාත්තට තිබ්බනෙ නාද්‍යා සල්ලි දීලා මට අම්මා කෙනෙක්ව ගෙනත් දෙන්න. ඒ උනාට එහෙම කරන්න පුළුවන් කමක් නෑනෙ. දැන් මෙහෙම හිතන්නකො. ඔන්න ඔයාට ලොකූ සල්ලියක් හම්බෙනවා කියලා හිතන්නකො එකපාර. ලොතරැයියක් ඇදිලා වගේ. ඔයා මොකද්ද ඒ සල්ලි වලින් කරන්නෙ”

“ම්ම්ම් ගෙයක් ගන්නවා වෙන තැනකින්. පුතාට අනාගතේට කියලා සල්ලි ගොඩක් බැංකුවේ දානවා. බිස්නස් එක තව දියුණු කරන විදියක් බලනවා”

“ඒකනෙ, දැන් ඒ සල්ලිවලින් ඔයාට තිබ්බෙ නැද්ද බබාට තාත්තා කෙනෙක් හොයාගන්න? ඒ උනාට ඔයාට ඒක මතක් උනේවත් නෑනෙ. ඒ මොකද සල්ලිවලට සමහර ප්‍රශ්න විසඳන්න බෑ කියන එක අපි දන්න හන්දා. අනික් එක තමයි ඔයා හිතාගෙන උන්නට ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ අහස්ට තාත්තා කෙනෙක් නැති එක නෙවෙයි හන්දා” කියලා තාරානාත් කියද්දි ඇත්තටම ඒක එහෙම නෙවෙයිද කියන එක මට කල්පනා උනා. 

“ඔයා කැමති නම් ඔයා කිචන් එකට නෑවිත් ඉන්න. එතන ඉන්න අයට දැන් පුළුවන් නෙ වැඩ ටික බලාගන්න. ඔයා සුපුරුදු විදියට මෙනු එක හදලා වට්සැප් ගෘප් එකේ අදාල ටීම්ස් වල අයව මෙන්ශන් කරලා දාන්න”

“අපෝ එහෙම බෑ. අපි එහෙම පටන් ගත්ත මුල් කාලෙ වගේ උනන්දුවෙන් වැඩ බලන්නෙ නෑ කියලා තේරිච්ච ගමන් මිනිස්සු හොර කරන්න පටන් ගන්නවා. කෑම එකක් රස නැතුව, අපිරිසිදුව එලියට ගිහිල්ලා මොනා හරි ප්‍රශ්නයක් උනොත් මේ බිස්නස් එක වැටෙන්න ඒකත් හොඳටම ඇති කියලා දන්නවනෙ.

ඒ නිසා අක්කට බබාව බලාගන්න පුළුවන් මම වැඩට එන්නම්”

“එහෙනම් ඔයා එයාව අරගෙන එන්න” කියලා තාරානාත් කියද්දි මම තප්පරේකට ගැස්සුනා. තාරානාත් එහෙම කිව්වෙ ඇයි කියන එක අහන්න වගේ මම එයා දිහාවට ඇස් හරවද්දිත් එයා උන්නේ අහස් දිහා බලාගෙන අහස් එක මොන මොනවද කියන්න උත්සහ කරන ගමන්.

අනුන්ගෙ දරුවෙක්ට උනත් අම්මෙක් වෙන්න ගෑනියෙක්ට පුළුවන් කියලා කිව්වට අනුන්ගෙ දරුවෙක්ට තාත්තෙක් වගේ ආදරේ කරන්න තව පිරිමියෙක්ට පුළුවන්ද කියන සැකේ මගෙ හිතේ තිබ්බා. මේ ඉන්නෙ තමන්ගෙ දරුවා කියන එක හොඳටම දැනගෙනත් “නැතිකරලා දාන්න” කියන අමනුස්ස යෝජනාව කරන්න ගයාන්ට පුළුවන් වෙච්ච එකේ තමන්ට කිසිම නෑකමක් හිතවත්කමක් නැති අහස් වෙනුවෙන් මෙච්චර වියදම් කරලා දේවල් අරගෙන එන්න තරම් තාරානාත්ට තිබිච්ච හේතුව මොකද්ද කියන එක මට හිතාගන්න බැරි වුණා.

“මං හිතන්නෙ නංගියෙ ඒ සර් ඔයාට කැමතිද මන්දා” කියලා කාන්ති අක්කා රෑ අතට බත් එක දෙද්දිත් “ඒක එහෙම වෙන්න පුළුවන්ද?” කියන එක මං කල්පනා කරා. තාරානාත් වගේ සල්ලි තියෙන මනුස්සයෙක් මොකටද මං වගේ ගෑනියෙක්ට කරගහන්නෙ. කසාද බැන්දෙ නැති නිසා අවුරුදු තිස් ගානක් උනත් තාරානාත් කියන්නෙ කොල්ලෙක්. කසාද බඳින්නෙ නැතුවම ළමේක් ඉන්න මම කෙල්ලෙක් නෙවෙයි ගෑනියෙක්. අපි දෙන්නා අතර කිසිමාකාරෙක පෑහීමක් නැති තැනක මම කොහොමද හිනෙන්වත් එහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ? අනික ආදරේ කරපු මිනිහගෙන් රැවටිච්ච මම කොහොමද තව මිනිහෙක්ව විශ්වාස කරන්නේ?

“අහන්න නංගියේ… සමහර වෙලාවට බැඳීමක් පටන් ගන්නෙ ආදරේ කරන එකෙන් නෙවෙයි. ඒක පටන් ගන්නෙ හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන එකෙන්.

මිනිස්සු හිතනවානෙ ඔය ආදරේ කියන්නේ මල් ගෙනත් දෙන එක, අතෙන් අල්ලන් යන එක එහෙම කියලා. ඒත් ඕක නෙවෙයි මිනිස්සු දෙන්නෙක්ව ගලපලා තියන්නෙ. මිනිස්සුන්ව අල්ලගෙන ඉන්නෙ එහෙම මේ ඇස් දෙකට පේන දේකින් නෙවෙයි. අපිත් මේ මිනිස්සු එක්ක මේ වත්තෙම කොච්චර කල් ජීවත් උනාද. අර උඩහා ගෙදර සුදූගෙ කසාද මනුස්සයව දැක්ක වෙලේ නංගි ඇහුවනෙ මගෙන් ඒ අයියා බාලයි නේද කියලා සුදූට වඩා. මං කිව්වේ උන් දෙන්න අතර වයස් පරතරේ අවුරුදු දහයක්. ඔය කොල්ලා සුදූ පස්සෙ එද්දිත් ඒකිට අවුරුදු තිහ පැනලා. කොල්ලගෙ ගෙවල් වල උන් මරාගත්තා මෙතන ඇවිත් සුදූ එක්කලා. වත්තෙ උනුත් ඒ කාලෙ කොච්චර කතා කිව්වද? දැන් උන් කසාද බැඳලා ළමයි හදන් කොච්චරා කල්ද? තාම වත්තෙ උන් නිකන් අමුතු විදියට උන් දිහාව බැලුවට උන් දෙන්නට වගේ වගක් නෑ. මට ඇහිලා නෑ ඒ කොල්ලා සුදූට උඹ බං බොලං කියනවා රහසකින්වත්. 

නංගිගෙ හිතට දුක ඇති නංගි වගේ ළමේක්ට මෙහෙම වෙච්ච එක. ඒ හන්දම වෙන්නැති නංගි නිකන් තමන්ගෙ හිත ගල් කරගෙන ඉන්නේ හතරවටෙන් හිත වටේට බිත්ති බැඳගෙන. 

ඒ උනාට තව කල් යද්දි නංගිට තේරේවි මං කියන දේ වැරදි නැති විත්තිය. සමහර වෙලාවට නංගියෙ සන්තෝසෙන් ඉන්න අපිට කරන්න සිද්ද වෙනවා මේ කපේට අපි කරන්න හිතුවෙ නැති ජාතියේ දේවල්. ජිවීතේ එහෙම තමයි”

“ජීවිතේ එහෙම තමයි කිව්වට අක්කෙ මට ඇත්තටම හිතාගන්න අමාරුයි ඉස්සරහට මොනවා වෙයිද කියන එක. මොක උනත් අක්කම දන්නවනෙ මේ වත්තෙ ඉන්න දරුවන්ට ලැබිලා තියෙන දේවල් අනුව ඒ ළමයි ඉන්න තත්ත්වෙ මොකද්ද කියලා. අපි ජීවත්වෙන වටපිටාව අනුවනෙ අක්කෙ අපි හැඩ ගැහෙන්නේ. මට හරි බයයි අහස්ට මේ වත්තෙන් එහා ලෝකයක් තියේවිද නැද්ද කියන එක”

“තමන් හැඩගැහෙන්නෙ තමන් ජීවත්වෙන වටපිටාව අනුව කියන එක මං හිතන්නෙ නෑ සීයට සීයක් හරි කියලා”

“ඇයි?”

“ඒක එහෙම නම් නංගි වගේ වටපිටාවක උන්න කෙනෙක් අද මෙහෙම තැනකට වැටෙන්නෝන නෑ නේද?”

“මගේ කතාව වෙනස්නෙ අක්කෙ. ඒක කලාතුරකින් වෙන දෙයක්”

“ඉතින් එහෙනම් නංගියෙ මේ වත්තෙ අනික් ළමයි මොනවා කරත් නංගිට පුළුවන් නේද අහස්වත් ඒ වෙනස්, කලාතුරකින් වෙන දෙයක් විදියට හදාගන්න නේද?. අපි කරන දේවල්වල වගකීම තියෙන්නෙ ඉතින් අපෙ අතේනේ”

“ඒ උනාට මං හිතන්නෙ නෑ අක්කේ තාරානාත් සර් මෙහෙ එන්නෙ එහෙම බලාපොරොත්තුවකින් කියලා. බාගදා එයා දරුවන්ට ආදරේ ඇති. එයාගෙත් අම්මා නෑනෙ. ඒක වෙන්නැති. එහෙම බැලුවම අපි මේ නිකන් වචන නාස්ති කරනවා” කියලා මං අන්තිම බත් කට කටට දාගන්න ගමන් නැගිට්ටෙ කතාව අහවර කරන්න හිතාගෙන උනාට කාන්ති අක්කට තව කියන්න දෙයක් ඉතුරුවෙලා තිබ්බා.

“හරි, ඒක එහෙමමයි කියමුකො. ඒ උනාට ග්‍රහයො මාරු වෙලා ඒ මනුස්සයා නංගිට එහෙම යෝජනාවක් කරොත් නංගි මොකද කියන්නෙ?”

ඇත්තටම මං ගාව ඒ ප්‍රශ්නෙට උත්තරයක් තිබ්බේ නෑ.

ඇත්තටම මම මොකද කියන්නේ?

මම මොකද්ද කියන්න ඕන?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles