කාන්තාවකට බැරිද තනියෙන් ජීවත් වෙන්න?
මම මේ ප්‍රශ්නයට උත්තර දෙන්න කලින්, මම ඔයාලාගෙන් අහන්න කැමතියි, “ඇයි අපි මේ ප්රශ්නය අහන්නේ?” කියලා.
ඇයි අපිට තනියෙන් ඉන්න පිරිමියෙක් දැක්කම, එයා ගැන ප්‍රශ්නයක් නැත්තේ, ඒත් තනියෙන් ඉන්න කාන්තාවක් දැක්කම අපේ ඇස්වල අමුතු question mark එකක් මතු වෙන්නේ?
ඒකට හේතුව, අපේ සමාජය තාමත් හැදිලා තියෙන්නේ පරණ සිතුවිලි වලින් නිසා. හරියට කූඩුවක ඉන්න කුරුල්ලෙක්ව දැකලා, “මේ කූඩුවෙන් එලියට ගියොත් කුරුල්ලට පියාඹන්න බැරිද?” කියලා අහනවා වගේ. ඒත්, ඒ කුරුල්ලාට පියාඹන්න පුළුවන්. ඒක එක්කො අපි දකින්නෙ නෑ, එහෙම නැත්තම් දැක්කත් ඒක පිළිගන්න අපි කැමති නෑ.
අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය දෙකම එක්කහු වෙලා හදලා තියෙනවා පිරිමියෙක් සහ ගැහැනියක් ඉන්න කූඩුවක්. පිරිමියා දඩයම් කරලා ගේනකොට, කාන්තාව දරුවෝ බලාගෙන, ගෙදර දොරේ වැඩ කළා. මේක පරම්පරා ගාණක් ආපු පුරුද්දක්. ඒකයි, තනියෙන් ජීවත් වෙන කාන්තාවක් දැක්කම අපේ හිතට එන්නේ, එයා අසම්පූර්ණයි, එයා දුර්වලයි, එයාට රැකවරණයක් ඕන කියන අදහස. මේ අදහස තමයි ගොඩක් ගැහැනුන්ගේ හීන මරලා දාන්නේ.
කතාවක් කියන්නද? පොඩ්ඩක් අහන්නකො.

ඔන්න එක ගමක ගෑණු ළමයෙක් හිටියා, එයා අවුරුදු ගාණක් එයාගේ සැමියා එක්ක ජීවත් වුණා. Social Media වල තමන්ගෙ ලස්සන පවුල් ජීවිතේ විස්තර එයා ශෙයා කරා. උදේම නැගිටලා, ගේ අස් කරන විදිය, කෑම හදන විදිය, ප්‍රේමණීය හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක ගැන කතන්දර එයා හැමෝටම බලන්න share කරා. “එයාට තියෙන්නෙ මලක් වගේ ලස්සන ජීවිතයක්” කියලා කට්ටිය කිව්ව බව ඇත්ත. ඒත් ඒ මල ඇතුළේ තමන්ව හිර කරන, තමන්ගෙ හීන හිරකරන හිරවීමක් තිබ්බා කියන එක දැනන් උන්නේ මේ ගෑනු ළමයා විතරයි. එයාගේ සැමියා එයාට වචනයෙන් වගේම, ක්‍රියාවෙන් වද දුන්නා. හැමදේම ඉවසගෙන ගෑණු ළමයා එළියට පෙන්නුවේ හරිම ලස්සන ආදර කතාවක් තමන්ට තියෙනවා කියන එක. ඒත් එයාට රෑට නිදාගන්නවත් බැරි වුණා. එහෙම දවස් ගානකට පස්සෙ ආව දවසක එයා ඒ ජීවිතයෙන් එළියට ආවා. තනියම ජීවත් වෙන්න තීරණය කළා.
මෙච්චර දවසක් “ඔයා මොකටද දුක් විඳගෙන ඉන්නේ?” කියලා අහපු එයාගෙ කතාව දැනගෙන උන්න අය පවා එදා සමාජෙ අනිත් මිනිස්සු එක්ක එක්කහු වෙලා “ඔයාට පිස්සුද? කොහොමද තනියෙන් ජීවත් වෙන්නේ?” කියලා ඇහුවා.
දැන් මේ කෙල්ල දිහා බලන්නකො. එයා දුර්වලද? නෑ. එයා හරිම ශක්තිමත්. එයා දුක් වින්දාද? ඔව්, ඒත් ඒ දුක එයාට තවත් ශක්තියක් වුණා. ඒක හරියට මුං ඇටයක් වගේ. මුං ඇටයක් නිකන් කොහේ හරි වතුර තියෙන, අව්ව වැටෙන තැනකට වැට්ටොත් පැළවෙනවා. හැබැයි අපි ඒක තව මුං ඇට තියෙන මුට්ටියකට දැම්මොත්, ඒක හැමදාම අනිත් මුං ඇට අස්සෙ හැංගිලා තියෙනවා කිසිම කැපී පෙනෙන වෙනසක් නැතුව.
ඇත්තටම අපේ අම්මලා, ආච්චිලා අම්මලා තනියෙන් නොහිටියා වුණත්, එයාලා කොච්චර දේවල් තනියම කළාද කියලා මිනිස්සුන්ට මතක නැති තරම්. ගෙදර දොරේ වැඩ, දරුවෝ බලාගන්න එක, කෑම උයන එක, මේ හැමදේම කරලා, අන්තිමට අහන්න වෙච්ච එක කතාවක්නෙ තිබ්බෙ. ඒ තමයි ගෑනියෙක්ට තනියම ජීවත් වෙන්න බෑ කියන ලේබල් එක.
මේක අපි සංස්කෘතියෙන්ම වරද්ද ගත්ත එකක් නෙ. මොකද හැමදාම ගෑණියෙක්ගේ ජීවිතේ විස්තර කළේ මිනිහෙක්ගේ නමට පිටිපස්සෙන් නෙ. “ආ, මේ අරයගෙ දුව, මේ අරයගේ වයිෆ්, මේ අරයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්, මේ අරයගේ අම්මා” කියලා. අනුලා රැජින වගේ චරිත, නැත්නම් කුවේණි වගේ චරිත ගැන කතා කළත්, සමාජය එයාලාව හොඳ කෙනෙක් විදිහට පෙන්නුවේ නෑ. මොකද ඒ අය තනියම හිටියා. තනියම හිටියොත්, ඒක සමාජයට හරි අමුතු දෙයක්නේ. ඒක හරියට බල්ලෙක් කෑගහනකොට, “අනේ, මේ බල්ලා කෑගහනවා, හරි අමුතුයිනේ” කියලා කියනවා වගේ දෙයක්. ඉතින් අනුලා ගැන කිව්වෙ මොකද්ද “ජරා ගෑනි, පිරිමි අමාරුවෙ දැම්මා” කියලා. කුවේණි ගැන මොකද කිව්වේ “මිනිහෙක් වෙනුවෙන් තමන්ගෙ පරපුරම පාවලා දුන්න ගෑණි” කියලා.
පුංචි කාලේ ඉඳන්ම කෙල්ලන්ට උගන්වන්නේ නිදහසේ ජීවත් වෙන්න නෙවෙයි. හීන දකින්න දෙන්නෙත් “කසාද බැන්දට පස්සේ ලස්සනට ඉන්න” කියලා. පිරිමියෙක් නැතුව ජීවත් වෙනවා කියන්නේ අනාරක්ෂිතයි, තනිකම එයාලව විනාස කරලා දායි, ස්වාධීනත්වය කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් කියලා තමයි එදා ඉඳන් උගන්නලා තියෙන්නේ. මේ බය, එයාලා කොච්චර ලොකු වුණත්, එයාලගේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා.
අද ලෝකේ වෙනස් වෙලා. කාන්තාවකට තමන්ගේම පඩියෙන් ගෙවල් ගන්න, කාර් ගන්න, ලෝකේ වටේම ට්‍රැවල් කරන්න පුළුවන්. ඒත් සමාජය තාමත් ඉන්නේ අතීතයේ. “කාන්තාවකට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්ද?” කියලා අහන එකෙන් පේන්නේ, එයාලට තාම අලුත් ලෝකය තේරුම් ගන්න බැරි වුණා කියලා. ඒක හරිම දුක හිතෙන දෙයක්. එහෙම අහන අය දිහා බලලා හිනා වෙන්න විතරයි තියෙන්නේ. මොකද, තනියෙන් ඉන්න කාන්තාවක් වීක් නෑ. එයා කැඩිලා බිඳිලා ගිය කෙනෙක් නෙවෙයි. එයා ඉන්කම්ප්ලීට් කෙනෙකුත් නෙවෙයි. එයා නිදහස තෝරගත්ත කෙනෙක් විතරයි. ඒකට අපි කරන්න ඕන ජජ් කරන එක නෙවෙයි, රෙස්පෙක්ට් කරන එක. හැබැයි සමහර අයට ඒක තේරුම් ගන්න බෑ.
නැත්තම් තේරුම් ගත්තත් ඒක පිළිගන්න කැමති නෑ.
ඉතින්, කාන්තාවකට තනියෙන් ජීවත් වෙන්න බැරිද?
මම කියනවා, පුළුවන්. ඇයි බැරි? අද කාන්තාවකට පුළුවන් තමන්ගේම සල්ලි හම්බ කරන්න. තමන්ට ඕන ගෙයක් හදාගන්න. වාහනයක් ගන්න. තනියම ලෝකය වටේ යන්න. ඒකෙන් ලැබෙන නිදහස, තමන්ගේ හීනවලට පියාපත් ලැබෙන හැටි, ඒක වචනයෙන් විස්තර කරන්න බෑ. ඒක හරියට තමන්ගේම හිත අස්සෙ තිබිච්ච වහල් බැම්මකින් නිදහස් වෙනවා වගේ දෙයක්.
මම දන්නවා අපේ සමාජයේ ඉන්න සමහර අය කියයි, “මොනවා වුණත් කාන්තාවකට පිරිමියෙක්ගේ රැකවරණය ඕන” කියලා. ඒත් මම අහනවා, ඒ රැකවරණය මොකක්ද? ඒක ඇත්ත ආදරයක්ද? නැත්නම් ඒක හිරගෙයක්ද? ආදරය කියන්නේ අපිට හයියක් වෙන, අපේ හීනවලට පියාපත් දෙන දෙයක්. ඒක අපේ ජීවිතය සීමා කරන දෙයක් නෙවෙයි. ඉතින්, කාන්තාවකට තනියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක එයාගේ තේරීම. ඒක එයාගේ ශක්තිය. අපි හැමෝටම තියෙන්නේ, ඒකට ඉඩ දෙන එකයි. එයාට වරදක් නොකර, එයාට තනියම ජීවත් වෙන්න ඉඩ දෙන එකයි.
“Because history might have changed if women were the writers!”











