ඉඩෝරයක මල් වැස්සක් – 39

මිතුරෙකු සමග යතුරු පැදියේ නැගී පැමිණි පාරින්ද ගේට්ටුවෙන් ඇතුළු වද්දීම රාජිනී නැගිට ගෙතුළට ගියේ ඔහුට මුහුණ නොදෙමින්ය. උස් අඹ ගසේ අත්තක එල්ලා තිබූ ටෙනිස් බෝලයට බැට් එකෙන් පහර දෙමින් උන් ඉසුරු ඒ කාර්යය නවතාලූයේ පාරින්ද ඔහු අසලටම පැමිණියාට පසුවය. 

“ඇත්තටම ලොකු අයියා අපේ අක්කට ආදරේ නෑ හලෝ. ආදරේ නම් ඔහොම සලකන්නේ නෑ. ඉස්පිරිතාලෙට ගියපු වෙලාවෙත් කට්ටිය එකතු වෙලා අපේ අක්කට අනම් මනං කිව්වලු.”

ඉසුරුට ඊයේ රාත්‍රියේ පැවසූයේ පොඩි අක්කාය. 

“තමුසෙට කවුද කිව්වේ…”

කිරි අම්මයි, අම්මයි කතා වෙනවා මං අහගෙන. තේරෙන්නේ නැද්ද හලෝ.. මේ  එයා බලන්නේ අපේ අක්කගේ වැරැද්දක් හොයන්නමනේ.”

පොඩි අක්කා එසේ පැවසූ වේලේ සිට ඉසුරු සිටියේ පාරින්ද ගැන කෝපයෙන්ය. ඉසුරුත්, ඉසුරිත් රණ්ඩු වූ වාර ගණන අනන්තය. විටෙක ලොකු අක්කාගේ ගුරුහරුකම් අවවාද අනුශාසනා ඔහුට රුස්සන්නේම නැත. එහෙත් කවුරුන් හෝ වේවා ඇගේ සිත දශමයකින් හෝ රිද්දනවාට ඉසුරු කැමති වූයේම නැත. රණ්ඩු කර ගත්තාට ඇනුම් පද කියා ගත්තාට ඔහුගේ සිතෙහි ඇය සිටින්නේ මුදුනේමය. එය අම්මාටවත් තාත්තාටවත් නැති තැනකි. 

“අක්ක කෝ?”

“දන් නෑ”

ඉසුරු නොසැලකිල්ලෙන් එසේ පැවසූයේ පාරින්ද සොයුරිය සොයද්දීය. 

“ඇය තමුසෙ ගෙදර නෙමෙයිද හිටියේ.”

“මං නැගිටින්න කලින් එයා ගිහින්.”

“කවුරුත් දන්  නෑ එයා ගියේ කොහෙද කියලා.”

“ඇයි ඔයාට කියලා ගියේ නැද්ද?”

“තමුසෙගෙ දැන් කට වැඩියි ආ… හිතන් ඉන්නේ මහ ලොකු එකෙක් කියලද?”

“ඔය අනිත් අයගේ වගේ ලොකුකං ලොකු පාට් මගේ ළඟ නෑ.”

“අනම් මනං වලින් මට වැඩක් නෑ. කියනවකෝ අක්කා කොහෙද කියලා?”

“ඔෆිස්  එකේ කට්ටියක් එක්ක දානෙ ගෙදරක ගිහිල්ලා.”

“එහෙනං තමුසෙ කිව්වේ දන්නේ නෑ කියලා.”

“අම්මා තමයි කිව්වේ.”

“දානෙ ගෙදරක ගියා නං ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ.”

“දාන ගෙවල් වල ගිහිල්ලා ෆෝන් එක ඔන් කරගෙන ඉන්න ඕනෙ කියල නීතියක් නෑනේ.” 

“මොකක්ද තමුසෙ කිව්වේ.”

“දානෙ ගෙදරක ගිහිල්ලා ෆෝන් එක ඔන් කරගෙන ඉන්න ඕනෙ කියල නීතියක් නෑනේ.”

“කන්න එපා මගෙන් හරිද.”

“ඔය කාල තියෙන්නේ. මේ ලොකු අයියේ, අපේ අක්කා ඔයාට බය වෙන්න පුළුවන්. හැබැයි මං ඔයාට බය නෑ. ඔයාගේ සද්ද වලට යටත් වෙන්නෙත් නෑ.”

“එහෙමද…බලාගමු එහෙනම්.”

“පාරින්ද කෝපයෙන් පවසමින් වටපිට බැලුවේ නිවසේ තවත් කවුරුන් හෝ පෙනී සිටීදැයි සොයන්නටය. රාජිනී  යාන්තමට ජනෙල් තිර මෑත් කරමින් මිදුල දෙස බලා සිටින අයුරු ඔහු දුටුවේ එවේලෙහිය. කුමක්දෝ අහේතුවකට ඇය දුටුවත් ඔහුගේ සිතෙහි උපදින්නේ කෝපයකි.”

පාරිනද  ආපසු හැරුනේ ඒ කෝපයෙන්මය. එහෙත් අඩි දෙක තුනක් ඉදිරියට තැබූ ඔහු යළිත් ඉසුරු දෙසට හැරුනේය. 

“ඒකිට කියපන් ඉන්න තැනක ඉඳලා ෆෝන් එක ඔන්  කරගන්න කියලා. ආයෙ මං  නරක මිනිහයි කියලා කියන්න එපා කියපන්.”

“ඒක මට කියන්නේ, ඔයාම කියාගත්තනම් හරි නේ.”

වෙනදා ලොකු අයියා යමක් පැවසුවහොත් ඉසුරු එය නෑසුණාක් මෙන් තම කාමරයට යන්නේ කරබාගෙනය. එහෙත් මෙවේලෙහි එසේ කිරීමට තරම් සිතක් ඔහුට වූයේ නැත. කාලයක් තිස්සේ සිත තුළ වූ අපැහැදීම බුරබුරා උඩට නගිමින් සිටියේ පොඩි අක්කා ඊයේ රාත්‍රියේ පැවසූ වදන් ද සමඟය. මෙවේලෙහි ඉසුරු ඉවසා සිටියේත් අසීරුවෙන්ය. 

“කට වහ ගනින් හරිද. මතක තියාගනින් උඹ කාටද කතා කරන්නේ කියලා. හම්බ වෙන්න එපා මට මගකදී එහෙම.”

“ඇයි ඔයා ග්‍රාමසේවකද..එහෙම කට වහගෙන ගෞරවයෙන් ඉන්න තිබුණා තමන්ගේ හැසිරීමත් එහෙම වුණා නම්. කට හින්දනේ කාල තිබුනේ.”

බැට් එක වේගයෙන් අසල වූ පඳුරක් මතට දමා ගැසූ ඉසුරු නිවස තුලට පැමිණියේ දත්මිටි කමින්ය. ආලින්දයට පැමිණෙමින් සිටි කිරි අම්මාගේත් ඇගේ හැපුණු තරුණයා කාමරයට රිංගා ගත්තේ ඒ කෝපයෙන්මය. නිදා උන් ඇයව ඇහැරවා එවන්නට ඇත්තේ අම්මා විය යුතුය. 

පෙර දිනක සිදුවූ පහරදීමත් සමග තමා පොඩි එවුන් අසලත් දෙකේ කොළයට වැටුණායැයි පාරින්ද සිතුවේ මිතුරාගේ යතුරුපැදියේ පසුපස ආසනයට නැග ගන්නා ගමන්ය. එය ඔහු මවාගෙන උන් අභිමානයට මහත් පහරක් විය. ඉසුරු සේම ගමේ අනිත් අයත් තමා දෙස අවඥ සහගත අයුරින් බලනවා ඇතැයි ඔහුට සිතුණේ යතුරු පැදියේ  යද්දි කිහිප දෙනෙකුම හැරී බලනු දුටු නිසාය. සැබවින්ම පාරින්ද වූයේ කෝපයෙන් දත්මිටි කමින්ය. 

                              ****************

කාලය ගෙවී යනවා නොදැනුණු තරම්ය. ගෙවී ගිය සෑම තත්පරයකම ඉතා ඕනෑකමින්  බිනර යුවතිය ගැන සොයා බැලුවේය. නිදහසේ ඇයට හැසිරෙන්නට ඉඩ දී ඔහු බලා සිටියේය. ඇගේ පුද්ගලික අවශ්‍යතාවයන් ගැන පවා සැලකිලිමත් විය. 

“මං මේ තරම් සැහැල්ලුවෙන් සතුටින් හිටියේ ජීවිතයේ පළවෙනි වතාවට වෙන්න ඇති.”

“බිනර දෙස බලා ඉසුරි  පැවසූයේ බම්බලපිටියේ මුහුදු වෙරළ ආසන්නයේම පිහිටි හෝටලයකට රාත්‍රී කෑම සඳහා ගිය වේලේය.”

“සතුට කියන එක තාවකාලික එකක් කරගන්න එපා. ඒ සතුට හැමදාම තියාගන්නනම් තමන් කරන හැම දෙයක් ගැනම දෙපාරක් හිතන්න වෙනවා.”

බිනර තවමත් සිංහල භාෂාව හසුරවන්නේ අමුතු හුරුවකටය. ගෙවී ගිය වසර කිහිපය පුරාවටම ඔහු සිංහල කතා කළේ නිවසේ අයගේ දුරකථන සංවාදයකදී පමණි. යුවතිය අසලදී ඔහු වැඩිපුරම කතා කලේ සිංහල භාෂාවෙන්ය. කතා කරන භාෂාවේ සමහරක් වචන දැන් ඔහුට මතකයේ නැති තරම්ය. එනිසාම සමහර තැන්වලදී භාවිතා වූයේ ලියන භාෂාවේ වචනය. 

“සතුට කියන දේ සාපේක්ෂයි ඉසුරි. ඒක තමන්ගේ ජීවන ක්‍රමය අනුව ලැබෙන දෙයක්. ජීවත්වන ක්‍රමය නේද හරි වචනය..”

“ඔයා කතා කරනකොට හරි ලස්සනයි. අහන් ඉන්න ආසයි.”

“එහෙනම් මං වැඩිපුර කතා කරන්නම්. හැබැයි මම ආස මම කතා කරනවට වඩා ඔයා කතා කරන දේවල් අහගෙන ඉන්න.”

“කොහොමත් ඔයාට ඒක තමයි කරන්න වෙන්නේ. මං හිතන්නේ මම අවුරුදු ගානක් එකතු කරගෙන ඉඳපු දේවල් ඔයාගේ ළඟදි කතා කරනවා. ගෙදර ගිහිල්ලා ආපස්සට කල්පනා කරලා බලද්දි මට මං ගැන ලැජ්ජ හිතෙනවා. අනේ මං එහෙම කතා කරපු කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට මට හිතෙනවා ඔයාට මාව කරදරයක් ඇති කියලා. එහෙම හිතුනෙම නැද්ද කවදාවත්.”

“අනේ නෑ…”

“තාත්තාගේ සමහර දේවල් වගේම ලොකු අයියගේ හැසිරීමත් එක්ක මම හිතාගෙන හිටියේ පිරිමි කියන්නේ ඉවසීමක් නැති අය කියලා.”

“හැම කෙනෙක්ම එහෙම නෑ. හැබැයි මම දැකපු ගොඩක් අය ළඟ ඒ ඉවසීම තිබුනා. විශේෂයෙන් මගේ සීය ළඟ, තාත්තා ලඟ. මමත් එක්ක ඉන්න යාළුවො ළඟ..”

“එතකොට හරි ලස්සනයි ජීවිතේ නේද?” 

“අපි වටේ ඉන්න අය සතුටින් ඉන්නේ අපි අනිත් අයට ඇහුම්කන් දෙන තරමට. ගොඩක් අයට කියන්න විතරයි පුළුවන්. ඇහුම්කන් දෙන්න අමාරුයි.”

දෙදෙනා උන්නේ යාන්තමට වෙරළ සිප ගන්නා රැල්ල මත ඇවිද යමින්ය. එහෙත් නොසිතූ මොහොතක වේගයෙන් පැමිණි රැල්ලක් දෙදෙනාගේම දණ හිසෙන් පහළ කොටස යම් තරමකින් තෙමා දමන්නට සමත් විය. ඉසුරි බිනර දෙසට හැරුණේ රැල්ලෙන් බේරෙන්නටය. එහෙත් නොසිතූ මොහොත එහා පසට හැරීමත් සමඟම යුවතියගේ දෙපා වාරුව අහිමි විය. එනිසාම බිනරට සිදුවූයේ ඇයව තම සිරුරට වත්තම් කර ගනිමින් බේරා ගන්නට. මුහුදු වෙරළ සිප ගත් රළ ආපසු හැරී ගියත් එකිනෙකාගේ හුස්ම වල පහස දැනෙන තරමට තමාට සමීපව උන් යුවතිය අතහැර දමන්නට බිනරට සිතුනේ නැත. ඉසුරිටත් ඒ උණුසුමෙන් මිදී යාමට වුවමනාවක් නොවූ තරම්ය. මින් පෙර කෙදිනකවත් නොවිඳි අයුරේ රැකවරණයක් බිනරගේ දෑත් වලට මැදිව උන් යුවතියට දැනෙන්නට විය. එනිසාම ඇයට දැනුනේ ලොබකි. 

“අනේ මට තව චුට්ටක් මෙහෙම ඉන්න දෙන්නේ…..”

අවසන යුවතිය පැවසූයේ විනාඩි කිහිපයකට පසුව බිනර තම දෑත්වල ග්‍රහණය යාන්තමින් බුරුලු කරද්දීය. තරුණයාගේ මුව මත සටහන් වූයේ පෙම්වත් සිනහවකි. යුවතිය තම සිරුරෙන් මුදා හරිනු වෙනුවට ඔහු තව තවත් ඒ ග්‍රහණය දැඩි කළේය. ඉසුරි සැක බිය මුදාහැර තරුණයාගේ පපුවට හිස තබා ගත්තේ ජීවිතයේ කිසිදා අත් නොවිඳි සැහැල්ලුවක් සිය සිරුර පුරා විහිද යද්දීය. 

(හමුවෙමු ආදරයෙන්.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles