පලමුවෙන් නිවසට ඇතුලු වූයේ සාරතී සහ මනුජය. මනුජගේ අම්මා සාරතී අතෙහි උන් දියණිය ඇය අතට ගත්තේ රාත්‍රී ගමන් පිළිබඳව මනුජට බැණ වඳිමිනි. මනුජගේ පියා මිදුලට එබුණේ පැමිණියේ වෑන් රථයකින්දැයි විමසමිනි. එහෙත් පෝටිකෝවට එබෙද්දීම එහි සිටින පිරිස දුටු මනුජගේ පියා විමතියෙන් කෑ ගැසුවේය.
” දෙය්යනේ …. මේං මේගොල්ලෝ …”
” කවුද අපේ මහත්තයා…?”
” කලබල නොවී ඇවිල්ලා බලන්නකෝ…”
මනුජ අම්මා අතේ උන් දියණිය අතට ගෙන අම්මාට මනුර්‍යා වෙත යන්නට ඉඩ හැදුවේය.
” පොඩී… පුතේ…. අනේ.. බලන්නකෝ…නොකියාම ඇවිල්ලානේ… සතියක් කතා කරන්නවෙන එකක් නෑ කිව්වා…. කඳු නඟින්න යනවා කිව්වා.. ඒත් මැසේජ් දාලා තිබුණා හොරා වගේ.. අනේ…අනේ…”
අම්මා හඬමින් පවසද්දී, මනුර්‍යාගේ වේදනාව ඇයට දරාගන්නට නොහැකි සීමාවේ වූවත් ඕ සිනාසෙමින් ඉන්නට උත්සාහ කලාය. විමුක්ති උන්නේද පීඩනයෙනි. ඊළඟ තත්පරය කිනම් අතකට වේදැයි සිතාගන්නට නොහැක.
” ගෙට එන්න ගෙට එන්න … විශ්ව … දොස්තර මහත්තයට දැන් සනීපද ?..”
“දැන් හොදයි අංකල්… තවම ලීව් ඉන්නේ…”
“ඒක හරි ඒක හරි.. අම්මා ත් තවම මේ විවේකෙන් නේ ඉන්නේ….”
මනුර්‍යා අම්මා සමඟ නිවසට ඇතුලුවූවාය. විශ්ව සහ බිරිඳ ඉන් පසුව ඇතුලුවෙද්දී, දියනිය යහනේ තබා ආ මනුජ සින්දූපා වෙත එබී නිවසට එන ලෙස කීවේය.
“රෑට කාලා නෙවෙයි නේද අපේ මහත්තයා…. අපි සුටුස් ගාලා මුකුත් හදන්නම් ?”
නිවසේ අත් උදව්වට සිටින කාන්තාව ද නිදි පැදුරෙන් නැගිට ආවාය.
” නෑ නෑ.. අපි කාලා… තේ මොනාහරි බොමු.. මහන්සී..”
සින්දූපා මනුජ දෙස බැලුවාය. ඔහු කෙරෙන් කිසිඳු පීඩනයක් පෙනෙන්නේ නැත. විමුක්ති සැලසුම් හැදුවාට ඔහු ඉන්නේ යම් පැටලීමක බව පෙනේ.
“එතකොට මේ ජෝඩුව කවුද ?…”
මනුජගේ අම්මා විමසුවේ මනුර්‍යා සහ මනුජගෙන් පොදුවේය. මනුජ සිනාසෙමින් එම පැනයේ බර හැකි තරම් අඩු කරන්නට උත්සාහ කලේය.
” අම්මා නිකමට කියන්න බලන්න කවුරු වෙන්න පුලුවන් ද කියලා…”
” විමුක්ති පුතාව නම් ඉතින් අපි දෙන්නා දන්නවා.. මේ දෝණිව නම් මතකයක් නෑ…”
අම්මා එකපාරටම එලෙසින් පවසද්දී, මනුජ ඊළඟ වචනය කියාගන්නට නොහැකිව ගල් ගැසුනේය. මනුර්‍යා අම්මා දෙස බැලුවේ සැබැවින්ම තමාට ඇසුනේ එයද සිතාගන්නට නොහැකිවය.
” මොකෝ ….?”
අම්මා මනුර්‍යාගෙන් විමසුවේ, සිනාසෙමින් මය. මනුර්‍යා මනුජ දෙස බැලුවේ, කුමක් පවසන්නටදැයි සිතා ගන්නට නොහැකි ස්වරූපය මුව මත රඳවාගෙනය. මනුජ ඉන්නේද එවන්ම තත්වයක බව වැටහෙද්දී , ඕ විමුක්ති දෙස බැලුවාය. විමුක්ති අසීරුවෙන් සිනහවක් මවා ගන්නට උත්සාහ කරමින් උන්නාය.
” අම්මා.. විමුක්ති ව දන්නවාද ?…”
මනුජ අවසානයේ විමසුවේය.
” හ්ම්ම්ම්..ග්‍රේටා ඇන්ටිගේ දුව එහෙට විස්තර කියලා.. මෙහෙටත් විස්තර කිව්වා…. දෙන්නා යන්නේ එන්නේ එකට කියලා… නම විමුක්ති .. එකම කැම්පස් එකේ කියලා කිව්වේ…. “
මනුජ ඉන් පසුව කේලම්කාරියන්ට බැණ වැදීම ඇරඹුවේය. මනුර්‍යා උන්නේ පීඩනයේ ඉහලම තැනකට වෙමිනි. අම්මලා සිදුවීමේ දන්නේ ඉතා සාමාන්‍ය ලෙසින් බව ඇයට පැහැදිලිය. එහෙත් මෙය තවත් දිනකට ඉතිරි කිරීම තේරුමක් නැත. සියලු දෙනාම මේ මොහොතින් මේ පීඩනයෙන් නිදහස් කල යුතුය.
” ආවේ ගියේ එකට වගේම තමා අම්මේ… මම.. විමුක්ති එක්ක හැමදාම .. එකට ඉන්නේ…”
මනුර්‍යා අම්මාගේ දෑතින්ම අල්ලගත්තාය. අම්මා සිනාසුණාය. දියනියගේ තෝරාගැනීම් ගැන ඇයට සැක නැත. ඇය මනුජ මෙන් කලබලකාරියක නොවේය. එනිසාම ඇගේ තීරණය වෙනුවෙන් වටපිටාව සකස් කිරිම තමන් දෙදෙනාගේ වගකීමය.
” ඔය දෙන්නම දැන් දැනුම් තේරුම් තියෙන ළමයි නේ…. අපි දෙන්නා ඒක තේරුම් අරගෙන ඉන්නේ.. ඒ වුනත් මේක වෙන්න ඕනි පිළිවෙලක් තියෙනවානේ… අපි මේ දරුවාගේ ගෙදර අය එක්ක කතා බහ කරලා බලමූ.. දැන් මේ ලංජවට ආව එකේ දෙන්නා එකතු වෙලා ඒක සැලසුම් කරගන්න …. ඊළඟට කරන්න තියෙන්න දේ ඊළඟට බලන්න පුලුවන් …”
“මනුර්‍යා අම්මා දෙස හොඳින්ම බැලුවාය. ක්ල පිඬක් ගිල්ලාය. දෙආ පොළවට තදින් වැදී තිබෙම සේ තද කරගත්තාය.
“අම්මේ… අපි දෙන්නා මෙහෙට ඇවිල්ලා බැන්දා ??…”
ඉදිකටුවක් බිමට වැටුනත් ඇසෙන තරමේ නිහැඬියාවක් සාලය පුරා පැතිරුණේය. විමුක්ති අසුනෙන් නැගිට්ටේය. මනුජ ඔහුට සන්සුන්ව සිටින මෙන් ඉඟි කලේය.
ඉන් පසුව ගුගුරා යමින් ඇසුණේ මනුජගේ පියාගේ හඬය.
” මොකක් ??”.
” අම්මේ…අහන්නකෝ…කලබල වෙන්න එපා…ප්ලීස් …දැන් මේ දෙන්නා ඒ තීරනේ අරගෙන ඉවරයි නේ.. ඊළඟට වෙන්න ඕනි දේ බලලා කරලා දෙමු..”
” මනුජ මේ… උඹ තෝල්ක මුදලිකම් නොකර හිටපං.. අම්මා තාත්තා මැරුණා කියලා හිතාගෙන ඔක්කොම කරලා උඹලා මේ දැන් ඇවිල්ලා තියෙන්නේ මොකටද ?.”
” තාත්තේ… අනේ..”
මනුර්‍යා හඬන්නට ගත්තාය. විමුක්ති මනුජගේ පියා වෙත ඇවිද ගියේය.
” තාත්තේ.. එයාට බනින්න එපා.. මේක මගේ තීරණයක්.. මමයි යෝජනා කලේ…. මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ…. මම මනුර්‍යාට ඇත්තටම ආදරෙයි…. මම එයාව හැමදාම සතුටින් තියනවා… මම එයාව බලාගන්නවා…”
විමුක්ති ඉවසීමෙන් පැහැදිළි කරන්නට උත්සාහ කලද, මනුජගේ පියාට ඉවසීමක් වූයේ නැත. ඔහු විමුක්ති ගේ කමිස කොලරයෙන් තද වන සේ අල්ලා ගත්තේය. මනුජ වහා දෙදෙනා අසලට ගියේය.
” ඔය මොන කතාව වුනත්, පලක් තියෙනවා ද? අනාතයෙක් වගෙ අපේ දරුවාව කසාද බැඳගෙන .. එහෙම වෙන්න ඕනි දේවල්ද මේ ? ඔක්කොමත් හරි… ඔය ළමයාගේ ගෙදර මිනිස්සු මේක ගැන කොහොම හිතාවිද ? අපි ඔය ළමයින්ව විස්වාස කලාම මේක තමා අපට කරන්නේ..”
“අතාරින්නකෝ තාත්තේ.. අතාරින්නකෝ…”
මනුජ විමුක්ති ව පසෙකට කලේය.
මෙය සිතූ තරම් පහසුවෙන් ගලපා ගන්නට නොහැකි බව මනුජට වැටහේ. අම්මා සහ තාත්තා මෙම කාරණාව සරලව ගන්නට හැකි මානසිකත්වයක නොවීම වරදක් සේ ගත නොහැක.











