පොළොස් බැඳුම

ලංකාවේ අපිට ආඩම්බරයක්, ආභරණයක් වුන අපේ ආහාර ගැන කතා කරද්දි කොස් ගහ එහෙමත් නැත්නම් බත් ගහෙන් අපේ ආහාර වේලට නිරතුරුවම එකතු වෙන කොස්, පොළොස් වලට ලැබෙන්නෙ විශේෂ ස්ථානයක්නෙ.

සාමාන්‍යයෙන් හදන පොළොස් ව්‍යාංජනය, කිරි කොස් ව්‍යාංජනය, කොස් තැම්බුම, කොස් මැල්ලුම වගේ අපිට පුරුදු රසෙන් ටිකක් වෙනස් පොළොස් බැඳුමක් හදාගන්න විදිහ ඔබට කියන්නයි ඔන්න smart lady අපි අද ලෑස්ති වෙලා ඉන්නෙ.

එහෙනම් පුරුදු විදිහටම අපි අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

සෝදා පිරිසිදු කරගෙන කැබලි වලට කපාගත් සාමාන්‍ය ප්‍රමාණයේ පොළොස් ගෙඩි‍යක් 

සිහින්ව ලියාගත් ලොකු ළූණු ගෙඩි දෙකක්

කරපිංචා ඉති 10 ක කොළ 

විනාකිරි

උණු වතුර අඩු කෝප්ප භාගයක පමණ දියකර ගත් සියඹලා වලින් සකස් කරගත් සියඹලා යුෂ

කුරුඳු පොතු කැබැල්ලක් 

තලාගත් සුදුළූණු බික් දෙක තුනක් 

කෑලි මිරිස්

ලුණු කුඩු

කහ කුඩු 

තෙල් 

ඔබ කැමති නම් වියළි ඉස්සන්, කූනිස්සන් හෝ හාල් මැස්සන් යොදාගන්න පුළුවන්.

සාදාගන්නා ආකාරය

මුලින්ම පොළොස් කැබලි සිහින් පෙති වලට කපාගන්න. 

ඒ පොළොස් පෙති වලට කහ කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් දමා හොඳින් කලවම් කරගන්න.

දැන් මේ පොළොස් පෙති ටික රයිස් කුකර් එකේ උඩ කොටස, ස්ටීමරයක් හෝ ප්‍රෙෂර් කුකර් එකක් ආධාරයෙන් විනාඩි 10 ක් පමණ තම්බා ගන්න.

තම්බාගත් පොළොස් කැබලි නිමෙනකන් තබා ගන්නා අතරතුර සිහින්ව ලියාගත් ළූණු සහ ඔබේ කැමැත්ත පරිදි එකතු කරගත් හාල්මැස්සන්, වියළි ඉස්සන් හෝ කූනිස්සන් ටිකත් රන්වන් පාට වනතුරු බැඳගන්න.

 ඒ අතරතුර අපි තම්බා සූදානම් කරගත් පොළොස් කැබලි ටිකත් රන්වන් පාටවනතුරු බැඳගන්න.

දැන් ලිප නිවා රත්වූ තෙලට කරපිංචා කොළ ටික දමා කරපිංචා කොළ බැඳී පාට වෙනස්වීමට පෙර ලිපෙන් ඉවත් කරගන්න.  

දැන් අපි සියල්ල සූදානම් කරගෙන අවසන්.

ඊළඟට භාජනයක් මඳගින්නේ ලිපතබා එයට තෙල් මේස හැඳි 02 ක් පමණ දමා තෙල් රත්වීගෙන එන විට තලාගත් සුදුළූණු සහ කුරුඳු පොතු එකතු කර සුදුළූණු වල සුවඳ එනතෙක් බැඳගන්න. 

දැන් එයට ඔබේ රස අනුව කෑලි මිරිස් සහ ලුණු එකතු කර සියඹලා යුෂ සහ විනාකිරි මේස හැඳි 02 ක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න.

මේ මිශ්‍රණයට අපි කලින් බැඳගත් පොළොස්, ලූණු, කරපිංචා සහ හාල් මැස්සන්, වියළි ඉස්සන් හෝ කූනිස්සන් එකතු කර සියල්ලම හොඳින් කලවම් කරගන්න.

විනාඩියක් දෙකක් පමණ ලිපේ තබා ලිපෙන් ඉවත්කර නිමුණු පසු රස බලන්න ඔන්න දැන් පොළොස් බැඳුමක් ලෑස්තියි.

හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles