නිවසින් පිට වූ පාරින්ද සවස් වන තුරුම රැඳී සිටියේ මිතුරාගේ නිවසේය. වෙනදා නිහඬව සිටි යුවතිය ඒ අයුරින් හෝ යමක් කතා කිරීම ඔහුට ඉවසුම් නොදෙන්නට විය.
“මගේ වැරැද්ද බං. ඒකිව ජොබ් එකට යවපු එක. එයා එතනින් තමයි නිදහස හොයන්න ගත්තේ.”
“එහෙම හිතන්නත් එපා බං. ඉසුරි කියන්නේ ඉගෙන ගතපු කෙල්ලෙක්. අනෙක අපි හොඳටම දන්නවා දන්න දවසේ ඉඳලම උඹ ගැනම හිතුවා මිසක්කා ඒ කෙල්ල තමන්ගේ නමවත් චරිතෙවත් සවුත්තු කරගත්තේ නෑ.”
“ඒ උනාට ඒක එහෙම කරගන්න එකක් නෑ කියල දැන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉස්සර හැමදේකටම “ඔව් ලොකු අයියේ” “හා ලොකු අයියේ” කියලා ඔළුව වනපු කෙල්ල තමයි දැන් ඔය සද්දේ දාගෙන මටත් උඩින් කියවගෙන එන්නේ.”
“උඹ මොකක් හරි වැරදි දෙයක් කියන්න ඇති…”
“උඹටත් ඉතින් ඒකි මොනවා කිව්වත් හරි. වැරදි දෙයක් කියන්න ඇති නෙමෙයි එයා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි.”
“අනේ මන්ද බං මෙව්වා. උඹලා හෙට අනිද්දා කසාද බඳින්න ඉන්නේ. එහෙම එකේ මේවා මීට වඩා පිළිවෙලක් වෙන්න ඕන නේද?”
“එයාට මං කවුද කියලා හරියටම පෙන්නන්නෙ කසාදෙන් පස්සේ තමයි. මේකි මට කිසි දෙයක් කිව්වේ නෑ ඒ උනාට ගේ ඇතුලෙ මොනවා හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉසුරිගේ ඇස් රතු වෙලා මූණ ඉදිමිලා තිබුණේ. ඒ නිකං වෙන්න බෑනේ”
“දුක කියන එක උන්ට අමුතු දෙයක් නෙමෙයිනේ බං. ඒ ළමයා ගෙදරක වගකීම් දරන ළමයෙක්. පුංචි පුංචි ප්‍රශ්නවලින් රිදෙනවා කියන එක අමුත්තක් නෙමෙයි.”
“උඹටත් එයා ගැන මාර අනුකම්පාවක්නේ තියෙන්නේ.”
“උඹට පුළුවන්නම් ඒකටත් කතාවක් හදපංකෝ….”
“මට හිතෙනවා බං මාමා හම්බවෙන්නේ.”
“ඒ මොකටද…”
“එයා ඊයේ හවස ගෙදරට ඇවිත් තියෙනවා. මං දන්න තරමෙන් එයා අර ගෑනිව මැරි කලාට පස්සේ ඔය ගෙදරට ආවෙ එකපාරයි නැත්තං දෙපාරයි. ඊට කලින් දවස් දෙකකුත් ඉසුරි පිට දාලා මාමා ඔය ගෙදරට ඇවිත් තියෙනවා. ඊයේ හවසත් එයා ඇවිත් ඉඳලා තියෙනවා. මොනවා හරි දෙයක් උනා නං මාමා නොදැන ඉන්න විදිහක් නෑ.”
“එහෙනම් ඉතින් යමු.”
“උඹට වැඩක් නැද්ද…”
“වැඩක් තිබුණත් උඹ තනියෙන් ගිහිල්ලා ඔතන අනාගෙන දඟලනවාට වැඩිය හොඳයි උඹත් එක්ක යන එක.”
අවසන දෙදෙනා සුරංගගේ කාර්යාලයට ගියේ සවසය. කාර්යාලය තුළදී යමක් කතා කළ නොහැකි නිසාම සුරංග පාරින්දත් ඔහුගේ මිතුරාවත් කැඳවාගෙන කැන්ටිම වෙත ගියේය.
“මොකක්ද මාමේ ඉසුරිලගේ ගෙදර වෙලා තියෙන ප්‍රශ්නේ. මේ ළමයා මමත් එක්ක කිසි දෙයක් කියන්නේ නෑ. මොනවා හරි කරදරයක්නම් අපිත් උදව් වෙලා ඒ දේවල් වලට විසඳුමක් දෙනවනේ. ජොබ් එකට යන්න පටන් ගත්තට පස්සේ ඉසුරි හරි වෙනස් මාමේ. ඔය ගෙදර සිද්ධ වෙච්ච දේවල් වලට එයා ළඟ හැමදාම හිටියෙ මම. අම්ම තාත්තා මොනවා කිව්වත් මං එයා එක්ක ඉඳපු බව මාමා දන්නවා.”
“මේ උඹ එහෙනම් අංකල් එක්ක කතා කරගෙන වරෙන් මම එළියෙන් ඉන්නවා.”
සුරංග විසින් ඇනවුම් කළ කිරි තේ එක බී නිම කළ චාමික නැගී සිටියේ එසේ පවසමින්ය. මේ ඔවුන්ගේ පවුලේ ප්‍රශ්නයකි.
“එහේ පොඩි කරදරයක්. අම්මත් එක්ක දන්ම කියන්න ඕනේ නෑ. නිකං කලබල වෙනවනේ”
අනිවාර්යෙන් මං හිතුවා මොකක් හරි දෙයක් වෙලා ඇති කියලා…”
“ලොකු පුතා දැන් මේ පවුලට සම්බන්ධ වෙන්න ඉන්න කෙනා නිසා මේවා හංගල වැඩක් නෑ. හැබැයි ඔයා මේ වෙලාවේ ඉන්න ඕනේ ඉසුරිත් එක්ක ඉසුරිගෙ පැත්තේ. ලොකු පුතා මං ඔයත් එක්ක කොහොමත් කතා කරන්න හිටියේ. අම්ම සමහර වෙලාවට බොහොම නරක විදිහට ඉසුරිට කතා කරනවා.”
“මාමා අපේ අම්මගේ හැටි මට වඩා හොඳට දන්නවනේ. එයා නරක විදිහට කතා නොකරන්නේ කාටද. මං ඉසුරිට ඒ ගැන පැහැදිලිවම කියලා තියෙන්නේ මාමේ. මං හිතන්නේ මට වඩා හොඳට ඉසුරිත් අපේ අම්මා අඳුරනවා. මොකක්ද දැන් ඉසුරිගෙ ගෙදර තියෙන ප්‍රශ්නෙ.”
“රාජිණී ඒ ගේ උකස් කරලා සල්ලි වගයක් අරගෙන”
“මේ ගෑනි මහ පුදුම ගෑනියෙක්නේ..”
“ලොකු පුතා කලබල වෙන්නෙ නැතුව මං කියන දේ අහන්නකෝ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් අපි අරයට මෙයාට ඇඟිල්ල දික් කරලා චෝදනා කරගන්න එකේ තේරුමක් නෑ. මේ ප්‍රශ්නෙට හරි හමන් විසඳුමක් හොයනවා මිසක්කා.”
“කීයක්ද මාමෙ අරන් තියෙන්නේ? මොනවද ඔය ගෑනි ඒ සල්ලි වලට කරලා තියෙන්නේ.”
“ලක්ෂ තිස්පහක්. හැබැයි නැන්දා එක වාරිකයක්වත් වරද්දන්නෙ නැතිව ගෙවාගෙන ඇවිල්ලා. ජොබ් එකෙන් නතර වුණාට පස්සේ එයාට වාරික දෙකක් ගෙවා ගන්න බැරි වෙලා. ඒක මම මධාරාගේ ජුවලරි එකක් උකස් කරලා අද කිව්වා. දැන් අපි බලන්න ඕනේ ලොකු පුතා ඊළඟ වාරික ටික කොහොමද ගෙවා ගන්නේ කියලා.”
“මට ඔය ගෑනිත් එක්ක එන කේන්තියක් කියන්න වචන නෑ මාමේ. එක අතකින් අපේ අම්මලා අසාධාරණ නෑ. එයාට තිබුණා අඩුගානේ තමන්ගේ ළමයි තුන් දෙන ගැන හරි හිතන්න. ෂුවර් එකට ඔය සල්ලි අරගෙන කවුරුහරි මිනිහෙක්ට දෙන්න ඇති.”
“එතනදි රාජණී වැරදිත් නෑ පුතා. ඔයා එක්ක මම මේ ටික කිව්වේ මේ දවස්වල ඉසුරිත් එක්ක කතාබහ කරද්දි ටිකක් පරිස්සමෙන් කතාබහ කරන්න කියන්න. ළමයා හොඳටම හිත රිද්දගෙන ඉන්නේ.”
“එයා එක්කත් මට කේන්ති එනවා මාමේ ඔක්කොම දේවල් හිතේ තියාගෙන ඉන්නවා එළියට දාන්නේ නෑ. කොහොමත් මේ ළඟකදී ඉඳලා එයා ටිකක් ගානට වැඩියි.”
“ලොකු පුතා…මටයි නැන්දටයි වෙච්ච දේ ඔයාලා දෙන්නට වෙනවට මං කැමති නෑ. තාත්තා කෙනෙක් විදිහට මට පුළුවන් තරමින් මං එයාලා ළඟ හිටියා. කොහොමටත් ඉසුරියි මමයි අතරේ ලොකු බැඳීමක් තියෙනවා. ඔයාට මං මගේ කෙල්ලව දෙන්නේ ලොකු විශ්වාසයකින්. අඬ අඬා විඳව විඳව ඉන්න ජීවිතයක් මගේ කෙල්ලට දෙන්න එපා. ඒ අහිංසක කෙල්ලත් දන්න කාලේ ඉඳලම ඔයාව විශ්වාස කළා කියලා මං දන්නවා.”
“මං ඔය හදිස්සියට කෑ ගැහුවට ඒවා මගේ හිතේ නෑ මාමේ. වෙලාවකට මට තද වෙන විදිහටනේ ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඊයේ පෙරේදා ඉසුරුත් මමත් එක්ක එකට එක කියාගෙන ආවා. මං ඒ වෙලාවේ ඌට කිව්වෙත් උඹ කවුද මම කවුද කියන එක මතක තියාගනින් කියලා.”
“කොල්ලෝ ටිකක් ඔය වයසට ආවේගශීලීයිනේ පුතේ. උඹ කියලත් වෙනසක් නෑනේ. මටත් වැඩ වගයක් තියෙනවා. දැන් ලොකු පුතා යන්න. මේ දවස් ටිකේම අපේ ගෙවල් පැත්තෙ හවසට හවසට යන්න. ගිහිල්ලා ඉසුරු එක්ක කතාබහ කරලා එයාගේ හිත සනසන්න බලන්න.”
සුරංග පුටුවෙන් නැගී සිටියේ තරුණයාගේ පිටට තට්ටුවක් යොදමින්ය. සැබවින්ම ඔහුගේ සිතෙහි ඉසුරි ගැන වූයේ බියකටත් වඩා දුකකි. එනිසාම ලොකු පුතා ඇගේ ජීවිතයට සතුට ළඟා කරනු ඇතැයි ඔහු විශ්වාස කළේය.
****************
ඉසුරි හංසිකාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ බිනර පිටව ගිය හැටියේමය. ඔහු අම්මාටත් ඒ විස්තරය පැවසූයේ පැහැදිලිවය.
“අනේ එතකොට මේ දරුවාගේ පඩියෙන් ඉතුරු වෙන දෙයක් නැතිවෙයි…”
“ඒ ගැන මේ වෙලාව හිතන්න එපා ආන්ටි. අපි මුලින්ම මේ තියෙන ප්‍රශ්නෙ විසඳගෙන ඉමු. සමහර විට ඉසුරිට පුළුවන් වෙයි ඒ යන ගාන කවර් කරගන්න තව මොනවා හරි කරන්නත්. ආන්ටි ගෙදර හිටියොත් පොඩි බිස්නස් එකක් හරි කරන්න බැරි කමක් නෑ නේ.”
“අනේ පුතේ ඔයා වගේ යාළුවෝ හැමෝටම හම්බවෙන්නේ නෑ.”
අවසන රාජිනී එසේ පවසද්දී ඒ දෑස් දෙපසින් කඳුළු ගලා යන්නට විය.
“ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ ආන්ටි. සමහර මිනිස්සුන්ට වෙච්ච දේවල්වල විදිහට මේක හරි සුළු දෙයක් වෙන්න ඇති. දැන් කොහොම වුණත් ඒ ප්‍රශ්නේ විසඳුනා කියලා හිතන්නකෝ…”
අවසන ඔහු පැවසූයේ ලෙන්ගතු ස්වරයකින්ය. විනාඩි කිහිපයකට පසු බිනර පිටව ගියේ තේ එකක්වත් නොබීය.
“ඔයාලා හැමෝම ආපහු සතුටින් ඉන්න දවසක මම එනවා. තේ බීලා විතරක් නෙමෙයි. ලන්ච් එකත් අරගෙන යන්නෙ.”
අම්මා විස්සෝප වද්දී ඔහු පැවසූයේ ඒ අයුරින්ය.
හංසිකා ජංගම දුරකථනය සමග සම්බන්ධ වූයේ මද වේලාවක් එය නාද වූවාට පසුවය. එවේලෙහි ඈ උන්නේ තාත්තා සමගය. ඉසුරි ගැන ඈ තාත්තා සමග කතා කළේ සුලක්ෂාගේ වදන්වලින් ලද දිරියත් සමඟය.
“ඔයාට විශ්වාසයිද ඔය ළමයා දිගටම අපිත් එක්ක රැඳිලා ඉඳී කියලා. මනුස්සකං, හිතවත්කම්, පින් දහම් මේවා බිස්නස් එකත් එක්ක පටලවා ගන්න බෑ පොඩි දුව. එහෙමනම් ඉසුරිට අපිත් එක්ක ඇග්‍රිමන්ට් එකක් සයින් කරන්න සිද්ධ වෙනවා එයා මේ ණය මුදල ගෙවලා ඉවර වෙනකල් අපිත් එක්ක ඉන්නවා කියලා. යම්කිසි දවසක එයාට රස්සාවෙන් අස්වෙන්න උනත් මේ ණය මුදල සම්පූර්ණයෙන් ගෙවලා තමයි රස්සාවෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා”
ජයවර්ධන පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව කල්පනා කළාට පසුවය. සේවයට පැමිණ කෙටි කාලයක් ගෙවී ගියත් ඉසුරි යනු දක්ෂ, ගුණ යහපත් ළමයකු බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. ගිණුම් අංශයේ ඔහුගේ ආයතන ප්‍රධානියාවූත්, තමාත් වරෙක උපදෙස් ලබාගත් ආයතනයේ පරණම සේවකයාත් වූත් සමරසේකර පවා ඉසුරි ගැන කතා කරන්නේ පහන් හැඟීමකින්ය.
“ඒකට එයා අකමැති වෙන එකක් නැහැ තාත්තේ.”
“ඒ වගේම තමයි ආයතනික වශයෙන් අපිට මේ කාරණය පිටට ගෙනියන්න බැහැ පොඩි දුව. මොකද සේවක සුභසාධනයේදී අපිට යම් ලිමිට් එකක් තියෙනවා. එතකොට බෑන්ක් එකකට කතා කරලා බෑන්ක් එකක් හරහා තමයි අපිට ඉසුරිට මේ වැඩේ කරල දෙන්න පුළුවන්. ඒ උදව්වක් විදිහට. එයාගේ සැලරි එක සම්පූර්ණයෙන්ම බෑන්ක් එකට හරවලා ලෝන් එකේ වාරිකය කැපිලා ඉතුරු මුදල තමයි එයාගේ අතට ලැබෙන්නේ.”
“ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.”
“එහෙමනම් ගැටළුවක් නෑ අපේ ඉසුරිට මේ උදව්ව කරමු. මොකද ගෙයක් දොරක් කියන්නේ බොහොම වටින තැනක්. ඔය විදිහට තාත්තත් නැත්නම් ස්ථිර ජොබ් එකක් නැති අම්මයි, නංගියි, මල්ලියි එක්ක එයා ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වේවි. අවුරුදු දහයකට බෑන්ක් ලෝන් එක ගෙවන්න දැම්මත් එයාට මාසෙකට 25000ක් විතර වගේ ගෙවන්න වෙනවා පොඩි දුව. මං හිතන්නේ ඉසුරිගේ සැලරි එක තිස් හතක් වගේ තමයි වෙන්නේ. අපි එයාගේ සැලරි එක තව තුන්දාහකින් වැඩි කලත් හතළිහක් වගේ තමයි එයාට ගන්න පුළුවන්. පහළොස් දාහකින් වගේ එයාට එයාගේ වියදම් කවර් කරගන්න පුළුවන් වෙයිද?”
ජයවර්ධන එවර ඇසුවේ සිය ලැප්ටොප් පරිගණකය දෙස විනාඩි කිහිපයක් බලා සිට යතුරු පුවරුවේ යමක් එබුවාට පසුවය.
“ඔව්.. එක්කෝ එයාට ඕ ටී එකක් කරන්න වෙනවා තාත්තා එහෙම නැත්නම් වෙන මොනවා හරි අමතර දෙයක් කරන්න වෙනවා. මම හිතුවා එයාව පබ්ලිකේෂන් එකේ වැඩ වලට සම්බන්ධ කරගන්නවා කියලා. ඒ කියන්නේ පාට් ටයිම් එකක් විදිහට. අපි එයාට උදව් කරන්න බලමු.”
“පොඩි දුව මට කොහොමත් ඔයාත් එක්ක ඉසුරි ගැන කතා කරන්න වුවමනාවක් තිබුණා. ඉස්සර වෙලා අපි ඒ ළමයාට මේ උදව්ව කරලා ඉමු. ඒකයි වැදගත්. අනිත් එක මම ඔයාට කියන්න හිටියා මල්ලි ගැන ටිකක් ඇහැ ගහගෙන ඉන්න කියලා.”
“ඇයි තාත්තා එයා එහෙම වරදක් කරන්නේ නැහැ…”
“නෑ එහෙම දෙයක් ගැන නෙමෙයි. අපි ඒක පස්සේ වෙලාවක කතා කරමු. මල්ලිට වරදක් වෙයි කියලයි මං ඔයාට මල්ලි ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා කිව්වේ. අනිත් එක එයා කවුද කියන එක ඔෆිස් එකට අඳුන්වල දෙන එක අපි තවත් පරක්කු කරන්න ඕන නෑ. ඒක ප්‍රශ්න ගොඩකට මුලක් වෙන්න පුළුවන්.”
හංසිකා එවර හිස වැනුවේ ඔහුට එකඟවය. ඇය මේ සියල්ලම ඉසුරිට පැහැදිලි කලේ ඇගේ දුරකථන ඇමතුම ලැබුනාට පසුවය. තාත්තා සඳුදා දින බැංකුවත් සමග කතා කර ණය මුදල පිළිවෙලක් කරන්නට පොරොන්දු වූයේය. ඊට අවශ්‍ය ලියකියවිලි කිහිපයක් රැගෙන එන්නයැයි හංසිකා ඉසුරිට දැනුම් දුන්නාය.
“ඒ අයියා හරි කිවුට් හලෝ. අපේ අක්කට හරි යන්නෙ මූකලං බස්සා නෙමෙයි. ඒ වගේ අයියා කෙනෙක්. ඇත්තමයි මට එයාව ගෙදරින් යවන්න හිතුනෙ නෑ අයියේ…”
සියල්ල කතා කරගත් පසුව ඉසුරි වතුර වීදුරු දෙකක් පානය කලේ එක හුස්මටය. විනාඩි කිහිපයකට පෙර සිය ජංගම දුරකථනය ඉල්ලාගෙන ගිය නැගණිය කවුරුන් හෝ සමග එසේ පවසනවා ඉසුරි අසාගෙනය. ඒ මුව මත සටහන් වූයේ අන් කවරදාවකවත් නොවූ අයුරේ සැහැල්ලු සිනහවකි.
( යළිත් හමුවෙමු ආදරයෙන්)












