ඉඩෝරයක මල් වැස්සක් – 49

“අර ලියුමේ තියෙන අනිත් ඒවා බොරු වුනාට ඉසුරියි අපේ පුතයි සම්බන්ධව තිබුණු කතාව ඇත්තක් කියලා මට හිතෙනවා නයනා. අද දවසේ ඇත්තක් නොවුනත් ඇත්තක් වෙයි කවදහරි කියලා හිතෙනවා”

ජයවර්ධන පැවසූයේ තම බිරිඳ දෙසට හැරෙමින්ය. අදටත් ඇය නිදා ගන්නේ තමාගේ වම් අත උඩය. මුලදී එය අපහසුවක් සේ දැනුනත් ජයවර්ධනටත් දැන් එය පුරුද්දකි. ඇය රෝහල් ගතව සිටි කාලයේ ඔහු මේ යහනේ උන්නේ මහත් අපහසුවක් දරාගෙනය. ජීවිතය වර්ණවත් වන්නේත් සතුට සැනසීම ළඟ රැඳෙන්නේත් තමා තෝරා ගන්නා සහකරුවා හෝ සහකාරිය නිසා බැව් ජයවර්ධන විශ්වාසයෙන්ම දැන උන් එකකි. විවාහ වී වසර තිස් එකකට ආසන්න කාලයක් ගෙවී තිබුණත් අදටත් උදාවෙන සෑම දවසක්ම පෙම්වත් එකකි. දරු මුණුබුරන්  සිටියත් අදටත් ජීවිතය ආදරයෙන් පිරි එකකි. 

“ඇයි මහත්තයා එහෙම කියන්නේ….”

“මම හිතන්නේ එදා බිනර සල්ලි හෙව්වේ ඉසුරිගේ ඔය ප්‍රශ්නෙ විසඳන්න. මම චුට්ටක් හොයල බැලුවා. ඒ දෙන්නා අනිත් අයට වඩා ටිකක් සමීපයි. ඒක හොඳ යාළුකමක් වෙන්නත් පුළුවන්.” 

“එතකොට ඔය ගෑණු දරුව දන්නවද අපේ බිනර කාගේ කවුද කියලා කියන්න.”

“මං හිතන්නේ නෑ. මම චුට්ටක් ඒ ළමයාගේ වටපිටාව ගැනත් හොයලා බැලුවා.”

“කොහොම තැනක දරුවෙක්ද..”

“ගෙදර නම් ප්‍රශ්න ගොඩක් නයනා. ඒ ළමයාගේ තාත්තා එයාලා පුංචි කාලෙදිම දාලා ගිහිල්ලා. දැන් වෙන මැරේජ් එකක. හැබැයි ඉතින් මෙයාලගේ ප්‍රශ්න  වලදි කරදර වලදි එනවා, යනවා උදව් කරනවා. අම්මනම් ටිකක් කට හොඳ නෑ කියලා තමයි මිනිස්සු කියන්නේ. එයාගේ වෙන වෙන සම්බන්ධකම් තියෙනවා කියලත් මිනිස්සු කියනවලු. මේ ළමයා කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ප්‍රමාණයක්ලු මදි වුණේ. හරි හොඳ හැදියාවක් තියෙන ගමේම ඉන්න හොඳම ගෑණු ළමයා කියලා තමයි මං ඒ විස්තර අහපු තැනින් කිව්වේ. මල්ලි කෙනෙක් ඉන්නවාලු චුට්ටක් හිතුවක්කාරයිලු. නංගි කෙනෙක් ඉන්නවලු හොඳට ඉගෙන ගන්නවලු. ඒ ළමයත් ඩොක්ටර් කෙනෙක් වගේ වෙයි කියලා විශ්වාස කරනවා කිව්වා.”

“කවුද ඔයාට ඔච්චර විස්තර කිව්වේ……”

“ඔයාට මතකද නිත්‍යාරාමෙ ලොකු හාමුදුරුවෝ. අර එකපාරක් දහම් පාසලේ තෑගි බෙදා දීමේ උත්සවයකට අපෙන් පොත් වගයක් බලාපොරොත්තුවෙන් ආවේ. පස්සේ මම ඒ උත්සවයේ පොත්වල වියදම සම්පූර්ණයෙන්ම භාරගත්තේ.”

“ආ…මට මතකයි……”

“හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා.”

“ඒ මොකක්ද….”

“පොඩි කාලෙ ඉඳලම ඉසුරි එයාගේ මස්සිනා කෙනෙකුට ඒ කියන්නේ තාත්තගෙ අක්කගෙ පුතාට ප්‍රපෝස් වෙලාලු ඉන්නේ. ඒ පිරිමි ළමයා නං මහා එපා කරපු ළමයෙක්ලු.”

“ඉතින් මහත්තයා ඒ අපිට ගැලපෙන පවුලක් නෙමෙයි නේ.”

“ඒක තමයි ප්‍රශ්නෙ…”

“මං පුතා එක්ක කතා කරන්නද?”

“එපා …එපා..මිනිහා සමහරවිට මේ විදිහට වගකීම් ඇති පිරිමියෙක් වුණේ ඔය සම්බන්ධකම් හින්දද දන්නෙ නෑ. මම පොඩි දුවගෙන් අහපු වෙලාවෙ එයත් කිව්වේ “දැනට දෙන්න හොඳ යාළුවෝ විතරයි තාත්තේ” කියලා. නැති දේවල් මවන්න ගිහිල්ලා අපි දරුවො ඉස්සරහ ලැජ්ජ වෙන්න ඕනෙ නෑ නයනා.”

“හදිස්සියේවත් එහෙම සම්බන්ධකමක් ඇතිවුණොත් මහත්තයා මොකද කරන්නේ?. බිනර කියන්නේ හරි ඉක්මනට රිද්දගෙන හරි ඉක්මනට එපාවෙලා හැම දෙයක්ම දාලා යන දරුවෙක්. එයාගේ හිතත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ හරි පරිස්සමට මහත්තයා. එයා ඇමරිකාවේ සෙට්ල්වෙන්න හැමදේම ලෑස්ති කරගෙන ඉඳිද්දී තමයි මං අසනීපයි කියපු ගමන් ලංකාවට ආවේ. කාර් සෙල් හීනයක් ඔලුවෙ තියාගෙන අවුරුදු ගානක් ඒකට දඟලපු දරුවෙක් තමයි අද ඔයාගේ බිස්නස් එක බාරගන්න ලෑස්ති වෙලා ඉන්නේ.”

“ඒක තමයි මමත් කියන්නේ අපි කලබල නොවී ඉමු කියලා.”

“අපිට සල්ලි වලින් අඩුපාඩුවක් නෑනේ මහත්තයා. ඔය ළමයාගේ ඔය ගෙයි ප්‍රශ්නෙ විසඳලා දෙන්න. තාත්තත් එහෙමනම් අම්මත් එහෙම නං එතන ඒ දරුවෝ තුන්දෙනානේ අසරණ වෙන්නේ.” 

“ඔව්… ඒ ළමයගෙන් සල්ලි නොගෙනම මට ඒක කරල දෙන්නන පුළුවන්. අපි ඒ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දීපු, ආවාස පන්සල් හදලා දීපු මිනිස්සු තමයි. ඒ උනාට මං ඒ ළමයට ඒ මුදල දෙන්නේ ණය මුදලක් විදිහට. එකක් තමයි ඒ ළමයාගේ ආත්මාභිමානයට කැළලක් ඇති කරන්න හොඳ නෑ. අනිත් එක තමයි තරුණ දරුවෙක්ට ඒ වගේ මුදලක් නිකං ලැබුනහම එයාට මුදලේ වටිනාකමක් නැතුව යනවා. කාලයත් එක්ක අපි ලෝන් එකේ වාරිකයට සාපේක්ෂව එයාගේ සැලරි එක වැඩි කරමු. එයාට ගැටළුවක් නොවෙන විදිහට.”

“ඔයා ගන්න සමහර තීරණය සෑහෙන්න දුරදිග හිතල ගන්න ඒවා…”

“දුරදිග හිතලා ගතපු තීරණ  නිසානේ අදටත් මං සතුටින් ඉන්නේ.”

ඔහු එවර පැවසුවේ තම බිරිඳගේ නළලත සිපගෙනය.

“මහත්තයා මට එක පොරොන්දුවක් වෙන්න.”

“මොකක්ද?”

“අපි හැමෝම දන්නවා මට ජීවත් වෙන්න තියෙන්නේ තව පොඩි කාලයයි කියලා. මට නිදහසේ යන්න ඕනෙ මහත්තයා. පොඩි දුවගෙ වෙඩින් එක මැයි වල කෙරෙන නිසා ඒක මගේ හිතට ලොකු සහනයක්. ඒ දරුවත් දැන් අපිට අපේ පවුලේ දරුවෙක් වගේ. ලොකු දුවට හම්බවෙච්ච සහකාරයත් හරි සවිමත් පිරිමියෙක්. ඒ දරුවාගෙන් මං දකින්නේ ඔයාව. ඔයා මගේ දරුවොත් එක්ක සතුටින් ඉන්න ඕනේ. බිනරයි පොඩි දුවයි එකතු වෙලා මේ ව්‍යාපාර ඉදිරියට ගෙනියාවි. ඔයාට ජීවත් වෙන්න යම් වත්කමක්  ඔයා උපයා ගෙන තියෙනවා. සැරින් සැරේ මේ දරුවෝ තුන්දෙනාගෙම ළඟට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක සතුටින් කාලේ ගත කරන්න”

“එක ප්‍රශ්නයක් තියෙනවා නයනා..මගේ තාත්තා වගේම මමත් මේ ගෙදරට පුදුම විදිහට ආදරෙයි. මගේ ළමා කාලේ ගෙවිලා ගියේ කොහොමද කොතනද කියන එක මං ඔයාට කියලා තියෙනවා. මේ ගේ කියන්නේ එදා මට මාළිගාවක්. අදටත් ඒක එහෙම්මමයි. මොකක්දෝ අවාසනාවකට මගේ අම්මට පිනක් තිබුණේ නැහැ ඒ මුඩුක්කු ජීවිතයෙන් මිඳිලා මේ මාළිගාවට එන්න. ඊට කලින් එයා අපිව දාලා ගියා. තාත්තයි මමයි මේ මාළිගාවට ආවට අපි දෙන්න දැනගෙන හිටියේ පරිප්පු හොද්දක්  හදාගන්න විතරයි. ඒකටත් මහන්සි වෙන්නෙ මොකටද කියලා හිතුණු අපි දෙන්නා තුන් වේලම බඩ පුරවගත්තේ කඩෙන්. ගෙදරට ඇවිල්ලා තාත්තා තාත්තාගේ කාමරේට ගියා මං මගේ කාමරේට ගියා මේ ගෙදර සද්දයක් ඇහුනෙ නෑ. ඇත්තටම ඒක අපිට ගෙයක් කියල දැනුනේ නෑ. අර මාලිගාවත්තේ තිබුණු පොඩි ගෙදර ඇඟේ හැප්පි හැප්පි ඉන්නව තරං සතුටක් අපි දෙන්නටම මේ ගෙදර තිබුණෙ නෑ. එහෙම කාලෙක තමයි නයනා ඔයා මේ ගෙදරට ආවේ. මේ මාලිගාව ගෙයක් කලේ ඔයා. මේ ගෙදර හැමතැනකම ඔයා එහෙට මෙහෙටට දිව්වා. ලස්සන කලා. දූවිලි පොදක් රැඳෙන්නෙ නැති වෙන්න අතු ගෑවා. සති ගානක් රෙදි ගොට ගැහුනු කූඩ හැමදාම හිස් වෙලා තිබුණා. පළවෙනි වතාවට කුස්සිය පැත්තෙන් කෑම සුවඳ එන්න ගත්තා. අපිට කාමරවලට වෙලා ඉන්න බැරි උනා. කතා කරන්න දේවල් ඕන තරං එකතු වුණා. මං දන්නවා. ඔයාට යන්න වෙනවා. යන්න එපා කියලා ඔයාව නවත්තන්න මට බෑ. සමහර විට ඔයාට කලින් මට යන්න වෙයි. අපි දෙන්නටම කලින් තාත්තට යන්න වෙයි. ඒක තමයි ජීවිතේ. පොඩි දුවත් කසාද බැඳලා ගියාට පස්සේ පිරිමි තුන් දෙනෙක් මේ ගෙදර ආපහු තනිවෙයි. අන්න එතකොට ආපහු මේ ගෙදරට ඕන වෙනවා ඔයා වගේ ශ්‍රියාකාන්තාවක්.”

“ඔයා කතා කරන්නේ බිනර ගැන…”

“ඔව්…”

“කිචන් එක කෑම සුවඳින් පුරවන එක සර්වන්ට්  කෙනෙකුට වුණත් කරන්න පුළුවන්. එක රැල්ලක් නැති වෙන්න ඇඳේ බෙට් ශීට් එක හදන එක, ඇඳුම් කූඩ හිස් කරන එක. අල්මාරියෙ ඇඳුම් ටික නවල දාන එක. දූවිලි පොදක් නැති වෙන්න ගේ ලස්සන කරන එක. ගාර්ඩන් එක පිළිවෙලකට තියාගන්න එක ඒවා සර්වන්ට් කෙනෙකුට කරන්නත් පුළුවන්. ඔය අසනීප වෙනකම්ම මේ ගෙදරට සර්වන්ට් කෙනෙක් ගන්නවට ඔයා කැමති වුණේ නෑ. අද වුණත් මං දන්නවා සර්වන්ට්ට  වඩා වැඩි වැඩ කොටසක් කරන්නේ ඔයා කියලා. අපිව දන්නේ ඔයා නයනා. ඔයා යන්න ගියහම ආපහු මේ ගෙදර ඉන්න පිරිමි තුන්දෙනා කාමර තුනක තනිවේවි. ඒ බැඳීම එකතු කරල තියාගන්නනම් බිනර මැරි කරලා මේ ගෙදරට එන කෙනා බැඳීම් වල අගය දන්න කෙනෙක් වෙන්න ඕනේ. බැඳීම්වලට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනෙ. තමන්ගෙකම් වලට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. ඔෆිස්  එකේ වැඩ කරන සිය ගණනක් ගෑනු ළමයි දිහා බලාගෙන මම හිතනවා බිනරට ගැලපෙන එක ගෑණු ළමයෙක් මෙතන ඉන්නවද කියල. මට ඕනේ බිනරට ඔයා වගේ කෙනෙක් හොයලා දෙන්න. එහෙම උනොත් විතරයි මේ මාලිගාව ගෙයක් වෙන්නේ. ඔයා නැති අඩුව පිරෙන්නේ…හැබැයි අද වෙනතුරු මට ඔයා වගේ කෙනෙක් හම්බවෙලා නෑ නයනා…”

“අනේ මහත්තයා……”

“දැන් නිදා  ගමු ඔයාට නිදි මරන්න හොඳ නෑ. සල්ලි හම්බ කරලා ගෙදර ගේන්න මට පුළුවන්. හැබැයි ප්‍රශ්න වලට මුහුණ දෙන ශක්තිය තිබුනේ ඔයා ළඟ. ජීවිතය ලස්සනට විසඳන තීරණ තිබුණේ ඔයා ලඟ. මොන විදිහේ පීඩනයකින් මං ගෙදර ආවත් ඔයාට පුළුවන් උනා මගේ ඔළුව නිදහස් කරන්න.”

ජයවර්ධන එසේ පැවසූයේ යළිත් වරක්  තම බිරිඳගේ හිස සිප ගනිමින්ය. නයනා ඔහුගේ වම් අත මතට වී දෑස් පියා ගත්තේ තව වසර කිහිපයක් තමාට ජීවත් වන්නට ඉඩ දෙන්නයැයි විශ්වයෙන් ඉල්ලමින්ය. ඇයට ලෝබ සිතෙන්නේ ජීවිතය දමා යාමට නොවේ. අදටත් තමාගේ රැකවරණය සොයන මේ සුන්දර පවුල දමා යාමටය. 

                                      ******************

පාරින්දගේ මවත් නැගණියත් ඉසුරිගේ නිවසට පැමිණියේ පාන්දරමය. අදත් පාසල් යන්නට බැරි බව පැවසූ නැගණියටත් සොහොයුරාටත් නිදාගන්නට ඉඩ හැරී ඉසුරි උදයේම සහල් ලිප තබා බෝංචි හින්දුමක්, කරවල බැදුමක් සහ පරිප්පු හොද්දක් සෑදුවාය. ඇයට දහවල බත් පාර්සලයටත් මේ ඇතිය. හිතා මතාම බිත්තරයක් තම්බා ගත්තේ බිනර වෙනුවෙන්ය. සමහර දිනක ඔහු පෙර සේම මිතුරන් සමග කෑමට පැමිණියත් තවත් සමහර දිනෙක කාර්යාලයෙන් පිටව යන අයුරු ඉසුරි බලාගෙනය. 

නිවසේ ප්‍රධාන දොර නොහැරියේ කිසිවෙකු තවමත් නිවසින්  පිටව නොගිය නිසාය. ඊයේ රාත්‍රියේත් ඉසුරිත් නිදාගත්තේ මවගේ කාමරයේය. දැඩි හිතේ අමාරුවකින් සිටි ඇය තම ජීවිතයට අනතුරක් කර ගනීයැයි  බියක් යුවතිය තුල විය. ඊයේ සවස ඈ කිරි අම්මාට උපදෙස් ලබා දුන්නේ නිරතුරුවම අම්මා සමග සිටින ලෙසය. තමා නිසා තමාගේ ජීවිතයට වරදක් වූවාය  යන හැඟීමෙන් මිදෙන්නට අම්මාට නොහැකි බව ඉසුරි දැන සිටියාය. සිදුවිය යුත්තේ අසරණ වූ සිත් වේදනාවෙන් සිටින මිනිසුන් තලා පෙළා දැමීම නොව ඔවුන්ගේ හිතට  හයියක් වීම බව යුවතිය දැන සිටියාය. අම්මාගේ සිත රිදෙන්නට වදනක්වත් නොකියන්නයැයි  ඈ දිගින් දිගටම සොහොයුරාවත් පොරොන්දු කරවා ගත්තේ එනිසාය. 

කිසිවෙකු උස් හඬින් කෑ ගසන හඬක් දිගටම දොරට පහර දෙන හඬත් ඇසුණේ යුවතිය කාර්යාලයට යාමට සූදානම් වද්දීය.

“මේ දොරවල් ඇරපන්. උඹලට කොහොමත් හෙට අනිද්දා ගෙවල් ඇතුලට වෙලා දොරවල් වහගෙන තමයි ඉන්න වෙන්නේ. රාජිනී මට උඹත් එක්ක කතා කරගන්න දෙයක් තියෙනවා. අපේ බූරුවා මේවා උඹලට ලියලා ගියාට මේවා අපේ මහ ගෙවල්. අපි හැදුනේ වැඩුනේ උස්මහත් වුනේ වැටි වැටි ඇවිද්දෙ මේවායේ….”

දුවගෙන  ගොස් දොර ඇරියේ ඉසුරිය. නැන්දා දොරට ගසන වේගයට දොර කඩා වැටේ යයි බියක් ඈ තුල විය. සියල්ලටම වඩා උස්ව ඇසෙන නැන්දාගේ හඬට අහල පහල මිනිසුන් වට වේයැයි ඕ අවසන සිතුවාය. 

ඉසුරි පසුපසින් රාජිනී සේම නිදා ඔවුන් සොහොයුරාත් සොහොයුරියත් විය. 

“නංගි ඔයා මල්ලිවක් එක්කරගෙන කාමරයට යන්න…..”

ඉසුරි එසේ පැවසූයේත් දොර අරිනා ගමන්ය.

“එන්න නැද්දේ ගෙට….”

ඈ නිවස තුළට ඇතුළු වූයේම සිය දෑස් නිවස තුළ ඇවිද්දවමින්ය. 

“මං හිතුවා උඹලා බඩුමුට්ටුත් විකුනන් කාලා කියලා.”

“ඉඳගන්න නැද්දේ…..”

“උඹත් එක්ක මට කතාවක් නෑ ඉසුරි. උඹ පැත්තකට වෙලා ඉදපං. ඉඳගෙන නෑදෑකම් පවත්වන්න ආපු ගමනක් නෙමෙයි මේ. උඹේ තියන හොඳකම හින්දා උඹව මගේ පවුලට සම්බන්ධ කරගන්න හිතුවට මේකෙ ඉන්න අනිත් එවුන්ගේ මරණෙකටවත් මේ ගෙදරට පය තියන්නෙ නෑ කියලා මම තීරණයක් අරගෙන හිටියේ. මට කතාව තියෙන්නේ මෙන්න මේකිත් එක්ක. මට කියහං උඹ  මේ ගේ උකස් කරලා මොනවද කලේ කියලා.”

“ඒ ප්‍රශ්නය ඉවරයි නැද්දේ ඒක විසඳගන්න පුළුවන්. ගේ උකස  බේර ගන්න සල්ලි දැන් අපි ළඟ තියෙනවා.”

“ඒ උඹ වැඩ කරන තැනින් ණයට ගතපු සල්ලිනේ.”

“ලැජ්ජ නැත්ද රාජිනී….තමන්ගේ දරුවන්ටවත් ජීවත් වෙන්න ඉඩක් දෙන්නේ නෑ. මේ මුළු ගමම  දන්නවා උඹ නටපු නාඩගම්. උඹ අන්තිමට මේ ළමයිව පාරට ඇදලා දාලා ඉන්න හිටින්න තැනක් නැති කළා. මේ හෙට අනිද්දා දීගෙක යන්න ඉන්න කෙල්ලෙක්. ඒකිගේ තුට්ටු දෙකට තට්ටු කරලා හරියනවද.?”

“අනේ නැන්දේ වාඩිවෙලා කතා කරමු. ප්‍රශ්න මෙහෙම කතා කරන්න බෑ. අනිත් එක අම්මට දොස් කියන්න එපා..”

එවර ඉසුරි පැවසූයේ බැගෑපත් හඬකින්ය. 

(හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles