කෝපයෙන් ඇරඹි කතාබහ මහා රණ්ඩුවක් දක්වා දුරදිග යනතුරුම කිසිවෙකු නවතා ගැනීමේ හැකියාවක් ඉසුරිට වූයේ නැත. අවසන සිතුවා සේම අහල පහල නිවැසියන් කිහිප දෙනෙකුත් ඉසුරිගේ නිවසට පැමිණියහ. පාරින්දගේ මව බලෙන් මෙන් ගේට්ටුව තෙක් කැඳවාගෙන ගියේ ඔවුන්ය.
“නල්ල මලේ අක්කණ්ඩිට තිබුණනෙ මල්ලිට කරුණු කාරණා කියලා දීලා මෙතන දරුවෝ තුන්දෙනෙක් ඉන්න බව මතක් කරලා දීලා වෙන ගෑනියෙක් අරගෙන යන්න එපා කියලා අවවාද කරන්න. ඉඩම නෙමෙයි මං ඇඟ විකුණන් කෑවත් දැන් උඹලට මුකුත් කියන්න බෑ.”
“උඹ ඇඟ විකුණන් තමයි මෙච්චර දවස් කෑවේ. උඹ හිතනවද ඒක අපි නොදන්න දෙයක් කියලා. ඒක මේ මුළු ගමම දන්නවා.”
“උඹ ඇස් දෙකෙන් දැක්කද කියහං මම ඇඟ විකුණන් කනවා.”
මේ ඇවිස්සෙමින් තිබෙන්නේ කුණු ගොඩකි. අම්මා හෝ නැන්දා නවතන පාටක් නොවේ.
“මාව නරක මිනිහ කරගන්නේ නැතුව මෙතනින් යන්න. හැමදාම ඉවසනකොට එනවා ඔළුවට අත හෝදන්න.”
ඒ උස් හඬ සොහොයුරාගේය. තවදුරටත් ඔහුව කාමරයට දා රැක ගන්නට නංගිටත් කිරි අම්මාටත් බැරි වන්නට ඇත. කියාගත්තේත් නොකියා ගත්තේත් මොනවාදැයි තේරුම් බේරුම් කරගත නොහැකි වූ තරමටම එක් පසෙකින් නැන්දාත් අනෙක් පසෙන් අම්මාත් අවලාද නගමින් උන්නාය.
“උඹ හිතන්නේ මං උඹේ ඉතිහාසේ දන්නේ නෑ කියලද..දහ අට වන්නම් නටලා සුමනසිරි අයියගේ කරේ එල්ලුනා කියලා මේ මුළු ගමම දන්නවා. ඕකට තමයි කියන්නේ පත්තිනි අම්මගේ රෙද්දෙ තුත්තිරි කියලා.”
අම්මාත් නැන්දාට දෙවනිවන පාටක් නොවේ.
ඉසුරි මහ හඬින් හඬා වැටුණාය. දෙපසට වරින් වර හැරී වැඳ වැටුණාය. දෙදෙනාගේම කටවල් නවතන්නට හැකි සෑම උත්සාහයක්ම දැරුවාය. අවසන තණකොළ බිස්සේම වාඩි වූයේ වෙහෙස කරවය. එකිනෙකාගේ රෙදි ගලවා ගන්නා ගැහැණුන් දෙදෙනාටම හෙට දවසේ රටට ලෝකයට මුහුණ දිය යුතු බවට හැඟීමක් තිබුණේ නැත. අවසන මිතුරෙකුගේ යතුරුපැදියේ පැමිණි පාරින්ද කලබලයෙන් ඉන් බැස ගනිද්දී නැන්දාව ඇදගෙන ගේට්ටුව අසරට ගිය පිරිස උන්නේ ඇයව මඳක් හෝ ඉන් එහාට රැගෙන යාමේ වෑයමකය.
“මොනවද අම්මේ මේ කරන වැඩ. මං ඊයෙ රෑම කිව්වා පිස්සු නටන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඕගොල්ලෝ මෙහෙම ගහ මරාගන්න හදනකොට අපි කොහොමද ලෝකෙට මුහුණ දෙන්නෙ?. මෙන්න මෙහෙට එන්න යන්න.”
අවසන පාරින්දගේ උස් හඬ ඇසෙන්නට විය.
“මේ අපේ දේවල්. කොහේවත් යන උන්ට අයිති වුණාට මේ මම උස්මහත් වෙච්ච තැන. උඹට නැති කැක්කුමක් මට තියෙනවා.”
නැන්දාගේ හඬ ලොකු අයියාගේ හඬ පරදමින් යළිත් ඇසෙන්නට විය.
“ආ ඔය ඇවිත් ඉන්නේ වීරයා හතර කොනටම ගිනි තියලා…”
ඇඟට දැනුණු අපහසුව පරදා යුවතිය යළිත් නැඟී සිටියේ සොහොයුරාගේ ඒ හඬ ඇසෙද්දීය. ඒ හඬ දඹරයකට කරනා ඇරයුමක් වැනියැයි ඇයට සිතුනි. සිතූ සේම ලොකු අයියා සොහොයුරාගේ ඇඟට කඩා පැන්නේය. වෙළුම් පටි වලින් වෙලා තිබූ අත ගැන වත් ඔහුට ගණනක් නොවූ තරම්ය.
“මං දවසකුත් කිව්වා උඹේ කට වැඩියි ආ….”
“වැඩිද… වැඩි හරිය මං බලාගන්නම්. අනේ නිකන් යනවා හලෝ යන්න. ඔයිට වැඩිය හොඳයි කලිසම ගලවලා චීත්තයක් ඇඳ ගත්තනම්.”
“මොකක්ද මොකක්ද උඹ කිව්වේ…..”
සොහොයුරාත් පාරින්දත් අතරට මැදි වූයේ ඉසුරිය. ලොකු අයියා සිටියේ මල්ලීගේ කමිසයෙන් අල්ලාගෙනය. වම් අත මිට මොලවා ඔහු සොහොයුරාට එල්ල කළ පහර කිහිපයක්ම වලකාගන්නට ඉසුරි සමත් විය. එහෙත් ඒවා වැදුනේ ඇයටය.
“පින් අයිති වෙයි දෙන්නගෙන් එක්කෙනෙක් නතර කරන්න මේක. ඇයි දෙයියනේ මට සැනසීමේ ජීවත් වෙන්න ඉඩ දෙන්නෙ නැත්තේ. මෙච්චර කාලයක් රණ්ඩු උනේ අම්මයි නැන්දයි විතරයි. ඔය දෙන්නත් දැන් පටන් ගත්තද?”
ඉසුරි කෑ ගැසුවේ කවදාවත් නොවූ තරම් උස් හඬකින්ය. පාරින්ද සමඟ ආ මිතුරා ඔහුත් යාබද නිවසක විසූ තරුණයන් දෙදෙනෙකු ඉසුරුත් දෙපසකට කළේ මහත් වෙහෙසක් දැරුවාට පසුවය. ඒ වන විටත් ඉසුරිගේ මුහුණ ඉදිමී තඩිස්සි වී තිබිණ.
තවත් විනාඩි කිහිපයක ඇවෑමෙන් පාරින්දගේ පාර්ශවයත් රාජනීගේගේ පාර්ශවයත් දෙපසකට කරන්නටට අහල පහල මිනිසුන් සමත් විය. එහෙත් බොහෝ දුර යනතුරුම පාරදිගටම නැන්දා බනිමින් ගියේ අම්මා නරක ගැහැණියකගේ තත්ත්වයට පත් කරමින්ය.
“හැබෑද බං මේ ගේ බැංකුවට උකස් තියලා සල්ලි ගත්තා කියලා කියන්නේ.”
අම්මාවත්, මල්ලීවත් වත්තම් කරගෙන නිවස තුළට පැමිණෙද්දී යාබද නිවසක ගැහැණියක නැගණියගෙන් එසේ විමසන අයුරු ඉසුරී අසාගෙනය. දැන් සියල්ලටම වඩා අමාරු වන්නේ ඔවුන්ගේ ප්රශ්නවලට පිළිතුරු සැපයීමය.
ඉසුරි කාර්යාලයට ගියේ තවත් පැයකට පමණ පසුවය. ඒ දුරකථනයෙන් ඇණවුම්කර ගෙන්වා ගත් ත්රී රෝද රථයකින් බස් නැවතුම තෙක් ගියාට පසුවය. අද දින ණය මුදල ගැන කතා කර ගැනීමට කාර්යාලයට යා යුතුමය. එසේ නොවීනම් කාර්යාලයට යාමට තරම් සිතක් ඇයට වූයේ නැත.
මුහුණේ තඩිස්සිව රතු වී තිබූ තැන් තවමත් එහෙමමය. ඕ බිනරට සංශිප්තය සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යැවූයේ මඟදීමය.
“ඔයාට කවුරු හරි ගහලා කියලා මූණෙන් පේනවද?”
“ඔව් හොඳට බැලුවොත් නොපෙනෙන්නේ නෑ.”
“කවුරු හරි ඇහුවොත් අපිට වෙන මොනවා හරි කියන්න බැරිද ඉසුරි.”
“පුළුවන්. ඒත් මොනවද කියන්න ඕනේ කියලා මගේ මතකෙට එන්නේ නෑ.”
“ඔයාට ලිස්සල වැටුනා කියල කියන්න බැරිද. එහෙම නැත්තං එක්සිඩන්ට් එකක් උනා කියලා.”
“එක්සිඩන්ට් එකක් වෙලා මූණ විතරක් තඩිස්සිවුනේ කොහොමද කියලා මිනිස්සු අහයි නේද බිනර…”
“එහෙනම් වැටිලා මූණ වැදුනා කියලා කියමු. අර සමහර වෙලාවට මිනිස්සු ඉස්සරහ පැත්තට ඇදගෙන වැටෙන්නේ…”
“මුනින් අතට…”
“ඔව් ඒ වචනේ තමයි…”
“එහෙම කියමු. ඒත් ඉතින් මේ ලෝකෙ ගැන අත්දැකීම් ඇති මිනිස්සු හිතයි ඒක එහෙම නෙමෙයි කියලා.”
“අද හවසට මමත් එක්ක ටිකක් වෙලා ඉඳලා යන්න ඉසුරි. කොහොමද මේ විදිහට ඔයා ඔය ගෙදර ඉන්නේ.”
“ඔයා කිව්වත් නොකිව්වත් මට ඔයාගේ ළඟට වෙලා ඉන්න ඕන බිනර. රෑ වුණාට කමක් නෑ. අපිට දැන් ඇතිවෙන්නවත් නැති වෙන්නවත් දෙයක් නෑ. ඊට වඩා පුංචිම මොහොතකට හරි මේ හිත ලබන සැනසීම වටිනවා.”
“මං ඔයාව පන්සලට එක්කරගෙන යන්නම්. ඊට පස්සේ ගොඩක් රෑ වෙන්නේ නැතුව ගෙදරට දාන්නම්. හංසිකා මිස් එක්කවත් මිස්ටර් ජයවර්ධන එක්කවත් මේ කිසිම දෙයක් කියන්න එපා. මතකනේ අපි ඩිසයිඩ් කරපු බොරුව. ඒකම කියන්න.”
“බොරු කියන්න මං බයයි බිනර. ඒ පන්සිල් පද පහ කැඩෙන නිසා නෙමෙයි. එක බොරුවක් වහන්න තවත් බොරු සීයක් කියන්න වෙනව. අන්න ඒ බොරු සීය ගොතා ගන්න මට තේරෙන්නෙ නෑ.”
“ඉට්ස් ඕකේ….ලොකුවට හිතලා ස්ට්රෙස් ගන්න එපා. එන විදිහකට මුහුණ දෙමු. ඔෆිස් එකට ඇවිල්ල මට මැසේජ් එකක් දෙන්න. මොනවා උනත් ඔයාට මං ඉන්නවා. මේ ප්රශ්නෙ විසඳුවා වගේම ඔයාගේ ජීවිතේ අනිත් හැම ප්රශ්නයක්ම විසඳනවා කියලා මං පොරොන්දු වෙනවා.”
ඔහු අවසන පැවසූයේ දුරකථන ඇමතුම නිමා කරන්නට තත්පර කිහිපයකට පෙරය. තාත්තා දිගින් දිගටම ඉසුරිගේ දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් උන්නේය.
“ඉසුරි මොකද වුනේ පුතේ ගෙදර. මට ධර්මරත්න මාමලගේ ගෙදරින් කෝල් කරලා කිව්වේ.”
“දන්නේ නෑ තාත්තේ උදේ නැන්දා යක්ෂණියක් වගේ ගෙදරට කඩා පාත් උනා. හොඳින් කතා කරමු කියලා කිව්වට ඇහුවෙම නෑ.”
“එයා හොඳින් කතා කරන්න දන්න කෙනෙක් නෙමෙයිනේ.”
“අන්තිමට මහ රණ්ඩුවක් උනා තාත්තේ. මට නැන්දයි අම්මයි කෑ ගහගත්ත එකට බයක් නෑ දුකකුත් නෑ. අන්තිමට ඒ රණ්ඩුව කෙළවර වුණේ ලොකු අයියයි මල්ලියි පටලැවිලා.”
“ඒකනේ ඉසුරි. ඔයාලා කාටවත් බැරි උනාද මල්ලිව නවත්තගන්න.”
“මල්ලිව විතරක් නෙමෙයි තාත්තේ ලොකු අයියත් නවත්තගන්න කාටවත් බැරි වුණා. මට බය තියෙන්නේ මේක දිගින් දිගටම යයිද කියලා. ලොකු අයියා පොළොවේ අත ගහලා කිව්වා මල්ලිගෙන් පලිගන්නවම කියලා. දැනුම් තේරුම් ඇති මිනිස්සු විදිහට ඇයි දෙයියනේ මේ පොඩි එකෙක් කියලවත් එයාට හිතන්න බැරි.”
“මං ලොකු පුතා එක්ක කතා කරන්නම් ඉසුරි බය නැතුව ඉන්න.”
“තාත්ත ද ලොකු අයියට මේ විස්තරේ කිව්වේ.”
“ඊයේ මාව හම්බවෙන්න ලොකු පුතා ආවා ඉසුරි. රෑ ගෙදරට අර ඔෆිස් එකේ ළමයි ආපු එක එයා වරදවල තේරුම් අරගෙන තිබුණා. ඒ වැරදි වැටහීම නැති කරන්න අන්තිමට මට මේ කතාව එයාට කියන්න වුණා ඉසුරි. කොහොමටත් මේ කතාව මට එයාට හංගන්න බෑ. ඒ හෙට අනිද්දා ඔයාගේ සහකාරයා වෙන්න ඉන්න කෙනා. හැබැයි මම ලොකු පුතාව පොරොන්දු කරගත්තා අම්මට මේ දේවල් කියන්නෙ නෑ කියලා.”
“එයා පොරොන්දු රකින්න දන්න කෙනෙක් නෙමෙයි තාත්තෙ. එහෙම උනානම් අද අපි කාටවත් මෙහෙම වෙන්නේ නෑ. අනේ තාත්තේ මං වැදලා කියන්නම්. ලොකු අයියගේ ළඟට ගිහිල්ලා හිඟන්නියක් ගානට වැටිලා මැරිලා යන්න මට බෑ. මට කසාද එපා. මට ඕනේ මල්ලිවයි නංගිවයි බලාගෙන ජීවත් වෙන්න. නැන්දාගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා ඒ ප්රශ්නෙ විසඳ ගත්තා දැන් කෑ ගහන්න එපා කියලා. මුළු ගමම මේක දැනගත්තා තාත්තේ. ඔයා අපිව දාල ගියාට පස්සේ අපේ ගෙදරට පුංචිම හරි ගෞරවයක් තිබුනනම් ඒකත් නැති උනා.”
“ඉසුරි පුතේ ඔයා මට දොස් කියනවද…..”
“ඔයාට දොස් කියන්නද අම්මට දොස් කියන්නද කියලා මට තේරෙන්නේ නෑ තාත්තේ. ඔයා ඔයාගේ සතුට, අම්ම අම්මගේ සතුට හොයාගෙන යද්දි අපි තුන්දෙනාව එක පාරක්වත් මතක් උනේ නැද්ද. අවුරුදු ගානක් තිස්සේ අපි විදෙව්ව තාත්තේ..උඹලයි තාත්තා වෙන ගෑනියෙක් අරං ගිහිල්ලා නේද කියලා ඉස්කෝලෙ යාළුවෝ අහද්දි අපි හරි අමාරුවෙන් දරා ගත්තේ තාත්තේ. මල්ලි කී දෙනෙක් එක්ක රණ්ඩු උනාද කියලා තාත්තා දන්නවද? ඇයි ඔය දෙන්නට එකම එක වතාවක් කතා කරලා එක ගෙදර කාමර දෙකක කතා නොකර හරි අපි වෙනුවෙන් ජීවත් වෙන්න බැරි වුණේ.?”
“අනේ පුතේ ඔහොම කතා කරන්න එපා. ඔයා කවදාවත් ඔහොම කතා කරලා නෑ.”
“අද මට මං ගැන දුකක් නෑ තාත්තේ. අනේ මගේ මල්ලියි, නංගියි. අදින් පස්සේ මල්ලි කොහේ හරි ගිහිල්ලා ගෙදරට එනකල් මම ඉන්න ඕනේ පපුව පුච්ච ගෙන. මම ඩොක්ටර් කෙනෙක් වෙනවාම තමයි කියලා පොතේම එල්ලිලා ඉඳපු නංගි පොත දිහා බලාගෙන හිටියට හිත තියෙන්නෙ වෙන කොහෙවත්. මේ ප්රශ්න එයාලට ඔරොත්තු දෙන්නෙ නෑ තාත්තේ..”
“මට මොකක්ද ඉසුරි කරන්න කියන්නේ. මට ආපස්සට හැරෙන්න බෑ ඉසුරි. ඔය ගේ ඇතුලෙ පුංචිම හරි සැනසීමක් හොයාගන්න මමත් සෑහෙන කාලයක් දුක් වින්දා. තවදුරටත් ඔතන ජීවත් වෙලා මං මිනීමරුවෙක් වෙයි කියලා බයටයි ඉසුරි ඉස්සරහට අඩියක් තියන්න හිතුවේ.”
“ඒ වගේ කිසිම කෙනෙකුට වෙන්න එපා තාත්තේ. අම්මා තාත්තා දෙපැත්තකට වෙච්ච පවුල් ඇතුලේ දරුවෝ කොච්චර විඳවනවා ඇද්ද…ඔයත් සැනසීම හෙව්වා අම්මත් සැනසීම හෙව්වා ඒ අපේ සැනසීම උදුරගෙන”
“ඔයා කතා කරන්නේ කේන්තියෙන් පුතේ මං හවසට ගෙදර එන්නම්. අපි කතා කරමු.”
ඉසුරි දුරකතනය විසන්ධි කළේ ඔහු එසේ පවසද්දීය. ඒ වන විටත් බස් රථයේ ගමන් කළ කිහිප දෙනෙකු ඇය දෙස විමසිල්ලේ බලමින් උන්නේය. මේ අසරණකම අහසටත් වඩා උසයැයි ඇයට සිතුණේ එවේලෙහිය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)












