ඔබේ දින චරියාවේ private time එකක් තිබෙනවාද?

දවසක් අවසන් වෙන විට ඔබ ඇත්තටම ඉන්නේ සතුටින් ද? කාන්තාවක් ලෙස නිවසක වැඩත්, දරුවන්ගේ වැඩත්, කාර්යාලයේ හෝ ඔබේ ව්‍යාපාරයේ වැඩත් කරලා ඔබට කිසිම නිදහසක් නැති බව සිතමින් ඔබ මානසික ආතතියෙන් පීඩා විඳිනවා ඇති. මෙයට ඉතා සරල විසඳුමක් තිබෙනවා.
මනෝ විශ්ලේෂකයන් එය හඳුන්වන්නේ private time හැටියටයි. මේ දවසේ ඔබට වෙන් වූ කාල වේලාවයි.
අපි මේ නිදහස් වෙලාව අපිට උවමනා වෙලාවක ලබා ගන්න ඕනෑ. සාමාන්‍යයෙන් පැය භාගයක කාලයක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වෙලාව ඔබ ගත කළ යුතු වන්නේ ඔබ සමඟ යි.
මුලින්ම ඔබේ කටයුතු අවසන් කරන්න. දවස මැද මේ වෙලාව ගන්නවා නම් ඒ වෙලාව වන විට ඔබ අවසන් කළ යුතු වැඩ අවසන් කරන්න.  ඉන්පසු නිවසේ නිදහස් තැනකට යන්න. දුරකථනය රැගෙන යන්න එපා. කුඩා දරුවන් සිටිනවා නම් ඔවුන් නින්දට යන වෙලාවක් තෝරා ගැනීම වැදගත්.
මේ වෙලාවෙන් ටික වෙලාවක් ඔබ ඔබ ගැනම සිතන්න. ඔබට ඇති ගැටළු, ඒවාට ඔබට සොයා ගත හැකි විසඳුම්, ඔබ ඉදිරියේ දී කළ යුතු දේවල් සහ අරමුණු ගැන සිහිපත් කර ගන්න.
ඉන්පසු ඔබව වඩා සන්සුන් කරන දෙයක නිරත වන්න. පොතක් කියවීම, ලිවීමට ප්‍රිය නම් ලේඛනයේ නිරත වීම, ගීතයකට සවන්දීම, මිදුලේ හෝ ගෙවත්තේ මඳක් ඇවිදීම, නැටීම හෝ ගී ගැයීම වැනි දෙයක නිරත වෙන්න ඔබට පුලුවන්.
කැමති කෑමක් හැදීම, ගෙවත්තේ වැඩ වගේ දෙයකිනුත් ඔබ සතුටට පත් කරනවා විය හැකියි. නමුත් මේ ප්‍රයිවෙට් ටයිම් එකේදී ඔබ දවසේ අනිත් වෙලාවට සිදු නොකරන දෙයක් සිදු කිරීමෙන් ඔබට වඩා සන්සුන් බවක් සහ මනසට සුවයක් ලබාගන්න හැකියාව තිබෙනවා.
දවස පුරා වැඩ රාජකාරි සමඟ ආතතියෙන් ඉන්න තවදුරටත් උත්සාහ කරන්න එපා. මනෝ විශ්ලේෂකයන්ට අනුව මෙය අති සාර්ථක ක්‍රමයක්.
පැය බාගයක නිදහස් වෙලාවකින් ඔබට මුළු දවසටම සතුටෙන් මුහුණ දෙන්න ශක්තිය ලැබීම ඒකාන්ත යි.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles